Skip to content

පටුනට යන්න

යුග දිවිය ප්‍රහාරයකට ලක් වී ඇද්ද?

යුග දිවිය ප්‍රහාරයකට ලක් වී ඇද්ද?

යුග දිවිය ප්‍රහාරයකට ලක් වී ඇද්ද?

“දෙවි එක් කළ දෙය කිසිවෙක් වෙන් නොකෙරේවා!”—මතෙව් 19:6.

පර්වතයක් කඩා වැටුණත් කැඩී බිඳී නොයයි කියා සිතූ නිවාස, ඒවායේ අත්තිවාරමෙන්ම ගැලවී කැඩී බිඳී ගියා. මෑතකදී මිහිකත සසල කළ අතිභයංකර සැඩකුණාටු එම දැවැන්ත ගොඩනැඟිලිවල ශක්තිමත්භාවය හා කල් පැවැත්ම දැඩි පරීක්ෂණයකට භාජන කළා.

වෙනත් වර්ගයක සැඩකුණාටුවකුත් තිබෙනවා. එය පැරණිතම සංස්ථාව වන විවාහ සංස්ථාව සුනුවිසුනු කළ හැකි කුණාටුවක්. පවුල් පිළිබඳ ඉතිහාසඥවරියක වන ස්ටෙෆ්නී කූන්ට්ස් පවසන්නේ “අද විවාහය කියන දෙය පුද්ගලයන්ටත් සමාජයටත් එතරම් වැදගත් දෙයක් නොවෙයි” කියායි.

අද සමාජය විවාහයට නිසි ගෞරවයක් නොදෙන තත්වයකට පත් වී ඇති බව ඔබ දකිනවාද? එය එසේ නම් මෙවැනි දෙයක් සිද්ධ වෙන්නේ ඇයි? ප්‍රීතිමත් විවාහයක් ඇති කරගැනීමට හෝ රැකගැනීමට හැකියි කියා බලාපොරොත්තු තබන්න පුළුවන්ද? මුලින්ම විවාහයන් දෙදරා යෑමට හේතු සොයා බලමු.

විවාහය ප්‍රහාරයට ලක් වී

විවාහයට ප්‍රහාර එල්ල වෙන්න පටන්ගත්තේ අද ඊයේ නොව මිනිස් ඉතිහාසයේ මුල පටන්මයි. අද අපි විවාහයේ දෙකඩ වීම් අද්දකින්නේ අපේ මුල් දෙමාපියන් වන ආදම් හා ඒව තුළ තිබූ ගුණාංග හා ආකල්ප නිසයි. තමන්ගේ ආශාවන් ගැන පමණක් සිතමින් ක්‍රියා කළ ඔවුන් මුළු ‘ලෝකයම පාපයට’ ඇද දැමුවා. (රෝම 5:12) ඉන් ටික කලකට පසු ‘මිනිසාගේ සිතේ කල්පනා නිතරම යොමු වී තිබුණේ නපුරටම’ බව බයිබල් ඉතිහාස වාර්තාවේ සඳහන් වෙනවා.—උත්පත්ති 6:5.

මුල පටන් වැඩි වෙනසක් සිදු වී නැහැ. විවාහයට බාධා කරන එක් නපුරු කල්පනාවක් නම් තමන්ගේම ආශාවන් පමණක් තෘප්තිමත් කරගැනීමයි. සදාචාරය පිළිබඳ අලුත් මත දරන අය විවාහ සංස්ථාව ආදි කාලේ තිබුණ එකක් මිස නවීන සමාජයට ගැළපෙන එකක් නොවෙයි කියා පැවසිය හැකියි. තිබෙන අලුත් නීති දික්කසාද වීම පහසු කාර්යයක් කරවන නිසා එයින් තම ජීවිතයට කැලලක් වෙනවා යන අදහස බැහැර වෙමින් පවතිනවා.

එහි ප්‍රතිඵලය කුමක්ද? ක්ෂණික වින්දනයක් ලැබීමට කැමති නොඉවසිලිවන්ත පුද්ගලයන් ඒ ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. දික්කසාද වීමෙන් නිදහස හා ස්වාධීනත්වය ලැබෙනවාය යන අදහස්වලින් මුළාවන්නන් සිතන්නේ දික්කසාදය තමන්ට සතුට ළඟා කර දෙන්නක් කියායි.

තවත් සමහරු තම විවාහය තුළ අද්දකින කටුක තත්වයන් හමුවේ අසරණ වන විට විවාහ උපදේශකවරුන්ගෙන් හෝ ඔවුන්ගේ පොත් පත්වලින් පිහිට පතනවා. නමුත් ඇතැම් උපදේශකයන් විවාහය රැකගැනීම සඳහා උපදෙස් දෙනවාට වඩා දික්කසාද වීමට උපදෙස් දෙන්න දක්ෂයි. එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “මිනිස් ඉතිහාසය දෙස බලන කල වෙන කවරදාටත් වඩා අද විවාහ සංස්ථාව හැම පැත්තෙන්ම පහර ලබනවා. විවාහය පිළිබඳ සමහර ‘ප්‍රවීණයන්’ පවසන්නේ ජීවිත කාලයටම විශ්වාසව සිටීමට පොරොන්දුවක් දීම ඇත්තෙන්ම බර පැටවීමක් පමණක් නොව එය අසාධාරණයක්ද වන බවයි.”—එම පොත The Case for Marriage.

වෙනස් වන ආකල්ප

එදා විවාහ සංස්ථාව ගොඩනැඟී තිබුණේ දෙදෙනා අතර පැවති විශ්වාසය හා සහයෝගය මතයි. එහෙත් අද ස්වාමිපුරුෂයා මෙන්ම භාර්යාව බලන්නේ අනිත් කෙනාට මොනවා වුණත් තමන්ගේ ආශාවන් සන්සිඳුවා ගන්නයි. විවාහය පිළිබඳ මෙම ආත්මාර්ථකාමී හැඟීම “මල්පල ගත්තේ 1960 ගණන්වලදීයි. ඉන්පසු 1970 ගණන්වලදී තත්වය ඊටත් වඩා උග්‍ර වුණා” කියා සඟරාවක සඳහන් වෙනවා. (එම සඟරාව Journal of Marriage and Family.) යුග දිවියට එළඹෙන අය අතර පවතින ආදරය, මිත්‍රත්වය, විශ්වසනීයත්වය මෙන්ම දරුවන් ලැබීම හා අන්‍යෝන්‍ය තෘප්තිය ලැබීම යනාදිය සඳහා තිබෙන ආශාව හීන වී ගොස් තිබෙනවා.

මෑතකදී හිස එසවූ දේවල් කීපයක් නිසා බොහෝ රටවල විවාහයන් කනපිට පෙරළී තිබෙනවා. පිරිමියා රස්සාවක් කර පවුල රැක බලාගැනීමේ හා ගෙදර දොරේ වැඩ කටයුතු ස්ත්‍රිය අතින් ඉටුවීමේ සාම්ප්‍රදායික කාර්ය භාරයන් දැන් හුඟක් රටවල වෙනස් වී තිබෙනවා. ඊට එක් හේතුවක් වන්නේ කාන්තාවන්ද රැකියා ක්ෂේත්‍රයට පිවිසීමෙන් සැමියා හා බිරිඳ යන දෙදෙනාම රැකියාවේ නිරත වන පවුල් වැඩිවීමයි. දෙවනි හේතුව, විවාහයෙන් පිටත දරු උපත් වැඩිවීම පිළිගත් දෙයක් වී තනි-මාපිය පවුල් වැඩිවීමයි. තුන්වනුව, විවාහ නොවී එකට ජීවත් වීමේ ප්‍රවණතාවත් දැන් වැඩි වී තිබීමයි. (“විවාහ වෙන්නම ඕනද?” යන කොටුව බලන්න.) හතර, සමලිංගික සේවනයේ යෙදීම හා එය නීත්‍යනුකූල කිරීමට දැරූ සාමූහික ප්‍රයත්නයන්ට අනුමැතිය ලැබී තිබීමයි. මෙම නවීන නැඹුරුවාවන් විවාහය පිළිබඳව ඇති ඔබේ ආකල්පයටත් බලපා තිබෙනවාද?

දික්කසාදයන් වැඩි වෙයි

විවාහයට තර්ජනයක් වී ඇති දික්කසාදය ජනප්‍රිය වී ඇති රටවල් කීපයක් ගැන දැන් අපි සලකා බලමු. එක්සත් ජනපදයේ මෑතක පළ කළ වාර්තාවකට අනුව, “1970 හා 1996 අතරතුරේදී දික්කසාද වන සංඛ්‍යාව හතර ගුණයකින් වැඩි වුණා.” දළ වශයෙන් ගත්තොත්, සෑම වැඩිහිටියන් පස්දෙනෙකුගෙන් එක්කෙනෙක් දික්කසාදය නිසා දුක් විඳිනවා. යුග දිවිය වැඩියෙන්ම අසාර්ථක වන්නේ කවරෙකු අතරද? සංඛ්‍යා ලේඛනවලට අනුව විවාහ වී මුල් වසර දහය ඇතුළත සියලු විවාහවලින් සියයට 60ක් පමණ දික්කසාද වෙනවා.

අනිත් රටවලත් දික්කසාද වීමේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. එංගලන්තයේ හා වේල්සයේ 2004දී 1,53,490ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ඕස්ට්‍රේලියානු ජාතිකයන්ගෙන් සියයට 40ක් පමණ දික්කසාද වෙන්න ඉඩ තිබෙනවා. කොරියන් ජනරජයේ 2002 සිට 2003 දක්වා වසරක් ඇතුළත 1,67,100ක් දික්කසාද වුණා. මෙය කලින් වසරට වඩා 21,800ක වැඩිවීමක්. ජපානයේ හතරට එකක්ව තිබෙන දික්කසාද අනුපාතය දැන් යුරෝපයේ අනුපාතය දක්වා වැඩි වෙමින් පවතිනවා. “අතීතයේදී දික්කසාදයන් සිදු වුණේ ඒ සඳහා වෙන කිසි විකල්පයක් නොතිබුණා නම් පමණයි. ඒත් දැන් ඒක මෝස්තරයක් වෙලා” කියා පැවසුවේ ජපානයේ රතු කුරුස විශ්වවිද්‍යාලයේ යුග දිවි පෙවෙත පිළිබඳ අධ්‍යයනයේ නියැලෙන ප්‍රවීණයෙක්.

බොහෝ රටවල ආගම හා සමාජ සිරිත් විරිත් විවාහ බැම්ම ශක්තිමත්ව තබාගන්න රුකුලක් වූ කාලයක් තිබුණා. නමුත් අද සමාජයෙහි දික්කසාදය සාමාන්‍ය දෙයක් වෙලා. ඒනිසා එහි සංඛ්‍යාව ඉහළ යෑම වළක්වන්නත් ඒවාට බැහැ. උදාහරණයකට විවාහය පාරිශුද්ධ දෙයක් සේ සලකන රෝමානු කතෝලික සභාවේ තත්වය ගැන සලකා බලමු. කතෝලික බැතිමතුන්ට පහසුවෙන්ම දික්කසාදය ලබාගැනීමට හැකි වන පරිදි කතෝලික සභාව 1983දී නීති ලිහිල් කළා. එවක් පටන් දික්කසාද සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා.

විවාහ බැමි කැඩෙමින් තිබුණත් ඊට හේතු වන සෑම දෙයක්ම සොයාගෙන නැහැ. සමාජයේ පිරිහීම එක් හේතුවක් වුවත් විවාහයන් අසාර්ථක වීමට බලපාන ලොකුම හේතුව තවමත් වැඩිදෙනෙක් දන්නේ නැහැ.

සැඟවුණු හේතුව

ආත්මාර්ථකාමිත්වයේ පියා වන සාතන් නමැති යක්ෂයා මුළු ලොවටම නොදැනෙන්න හානිකර බලපෑමක් කරමින් සිටිනවා. ඔහු එසේ කරන්නේ ඔහුව ස්වර්ගයෙන් මේ පොළොවට හෙළුව නිසයි. දැන් ඔහු ඉන්නේ තද කෝපයකින්. ඔහුගේ අභිප්‍රාය මිනිසාට සෑහෙන ‘දුකක්’ දීමටයි. දරුණු කෝපයකින් සිටින ඔහුගේ ඉලක්කය වී තිබෙන්නේ දෙවි විසින් පිහිටෙවූ විවාහ සංස්ථාව විනාශ කර දැමීමයි.—එළිදරව් 12:9, 12.

සාතන්ව පොළොවට හෙළීමෙන් පසුව ඇති වන කාලය ගැන සඳහන් කරමින් “නීති විරෝධී ක්‍රියා වැඩි වෙන බැවින් වැඩිදෙනාගේ ප්‍රේමය පිරිහෙන්නේය” කියා යේසුස් පැවසුවා. (මතෙව් 24:12) ඒ වගේම පාවුල්ද කීවේ මෙයයි. “මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය.” (2 තිමෝති 3:2-4) මෙවැනි ගුණාංග කවදත් යම් දුරකට තිබී ඇතත් මෑතක සිට වැඩිදෙනෙක් තුළ ඒවා දරුණු ලෙස දක්නට ලැබෙනවා.

යුග දිවියට එල්ල වන ප්‍රහාරය ගැන කල්පනා කර බලන කල එවැනි ප්‍රහාරවලින් ආරක්ෂා වී කල් පවතින ප්‍රීතිමත් යුග දිවියක් ගත කිරීමට අපට කුමක් කළ හැකිද? ඊළඟ ලිපියේ මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා කරනවා.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අද සමාජයේ පවතින්නේ විවාහ බැඳීමට ගරු නොකරන තත්වයක්. සැමියව හෝ බිරිඳව මාරු කරන්නේ ඇඳුම් මාරු කරනවා වගෙයි.”—පවුල් ජීවිතය පිළිබඳ නීතිඥවරියක වන සැන්ඩ්‍රා ඩේවිස්.

[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“විවාහ වෙන්නම ඕනද?”

බොහෝ පුරුෂයන් හා ස්ත්‍රීන් විවාහ නොවී එකට ජීවත් වෙනවා. කෙසේවෙතත් එවැනි බැඳීම් විවාහයන් මෙන් කල් පවතින ඒවා නොවෙයි කියා එ.ජ. රෝග මර්දනය හා වළක්වාගැනීමේ මධ්‍යස්ථාන වාර්තා කළා. තමන් එකිනෙකාට ගැළපෙනවාද කියා තක්සේරු කරගැනීමේ අදහසිනුයි මොවුන්ගෙන් සමහරු විවාහයට පෙර එකට ජීවත් වෙන්නේ. මෙවැනි ක්‍රමයකින් නොගැළපීම් සකසාගෙන සාර්ථක විවාහයකට එළඹිය හැකියි කියා සිතිය හැකිද? එක් ප්‍රකාශනයක පෙන්වන ආකාරයට සිදු වන්නේ ඊට වඩා වෙනස් දෙයක්. “විවාහයට පෙර එකට ජීවත් වූ අය විවාහ වූ පසු යුග දිවියෙන් නියම තෘප්තිය ලබන්නේ නැහැ. . . . වැඩියෙන් අහන්න ලැබෙන්නේ විවාහකයන් අතර හැලහැප්පීම් හා . . . විවාහය දෙදරා යෑමට ඇති ඉඩ කඩ වැඩි බවයි.”—Journal of Marriage and Family.

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මහලු විය හා යුග දිවිය

අද දින ජනයාගේ ආයු කාලය දිගයි. මෙය එක් අතකින් ප්‍රීතියට කරුණක් වුණත් විවාහ දිවියට පීඩනයක් වී තිබෙනවා. අතීතයේදී බොහෝවිට විවාහකයන්ට වෙන් වෙන්න සිදු වුණේ මරණයෙන් වුවත් අද දින විවාහකයන් බොහෝදෙනෙක් වෙන් වෙන්නේ දික්කසාදයෙන්. ද වොෂිංටන් පෝස්ට් පුවත්පත ජපානයේ දිගු කලක් පුරා විවාහ දිවිය ගත කළ කාන්තාවන්ට සෑදෙන අමුතු තාලේ රෝගයක් ගැන පවසනවා. එය නම් කර තිබෙන්නේ ‘විශ්‍රාම ලත් සැමියා රෝගය’ හැටියටයි. වසර 40ක යුග දිවියක් ගත කිරීමෙන් අනතුරුව එක් ස්ත්‍රියක් ඇගේ සැමියා විශ්‍රාම ගත් අවදිය මතකයට නඟමින් මෙසේ පැවසුවා. “මට දැන් වෙන්නේ එයාව දික්කසාද කරන්නයි. මොකද කලින් මට එයාව කරදරයක් වුණේ වැඩ ඇරිලා ගෙදර ආවහම විතරයි. දැන් හැම තිස්සෙම එයා ගෙදර ඉන්නකොට ඊටත් වඩා කොච්චර කරදරයක්ද?”