Skip to content

පටුනට යන්න

ශුද්ධාත්මය කියන්නේ පුද්ගලයෙකුටද?

ශුද්ධාත්මය කියන්නේ පුද්ගලයෙකුටද?

බයිබලයෙන් පිළිතුරක්

ශුද්ධාත්මය කියන්නේ පුද්ගලයෙකුටද?

ශුද්ධාත්මය කියන්නේ ඇත්තටම කුමකටද? බයිබලයේ මුල්ම වදන්වල ඒ ගැන සඳහන් කරන්නේ මේ විදිහටයි. “දෙවිගේ ආත්මය ජල මත්තෙහි හැසිරෙමින් සිටියේය.” (උත්පත්ති 1:2) යේසුස් බව්තීස්ම වූ අවස්ථාව ගැන බයිබලයේ විස්තර කරන්නේ “දෙවි ස්වර්ගයේ” සිටිය අතර, “ශුද්ධාත්මය පරවියෙකු මෙන්” යේසුස් පිටට ආවා කියායි. (මතෙව් 3:16, 17) ඊට අමතරව, යේසුස් ශුද්ධාත්මය හැඳින්වූයේ “උපකාරකයෙකු” ලෙසයි.—යොහන් 14:16.

ඉහත සඳහන් බයිබල් පද ඇතුළු වෙනත් සමහර පද කියවද්දී බොහෝ අයට හැඟෙන්නේ දෙවි, යේසුස් සහ දේවදූතයන් වගේ ශුද්ධාත්මයත් නොපෙනෙන තනි පුද්ගලයෙක් ලෙසයි. ක්‍රිස්තියානි කියා හඳුන්වන ආගම් සියවස් ගණනක් පුරා උගන්වා තිබෙන්නේ ශුද්ධාත්මය පුද්ගලයෙක් කියායි. මෙය ප්‍රසිද්ධ ඉගැන්වීමක් වුණත් සමහර අය ඊට එකඟ නොවෙයි. උදාහරණයකට මෑතකදී කළ සමීක්ෂණයකට අනුව, අදහස් දක්වපු අයගෙන් සියයට 61ක්ම විශ්වාස කළේ දෙවිගේ ආත්මය “ජීවමාන පුද්ගලයෙක් නොව දෙවිගේ පැමිණීමේ සංකේතයක් හෝ දෙවිගේ බලය” හැටියටයි. එහෙත් බයිබලයේ මේ ගැන පවසන්නේ කුමක්ද?

බයිබලයෙන් පිළිතුරක්

අවංක බයිබල් පාඨකයන්ට පැහැදිලි වෙන්නේ ශුද්ධාත්මය පුද්ගලයෙක් නොවේ යන්නයි. අපි ඊට අදාළ බයිබල් වාර්තා කිහිපයක් සලකා බලමු.

1. යේසුස්ගේ මව වූ මරියා, ඇගේ ඥාති සහෝදරියක් වන එලිසබෙත් බලන්න ගිය විට, එලිසබෙත්ගේ කුසේ සිටි නූපන් දරුවා පැනනැංග අතර ‘එලිසබෙත් ශුද්ධාත්මයෙන් පූර්ණ වුණා’ කියා බයිබලයේ සඳහන් කරනවා. (ලූක් 1:41) එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගෙන් “පූර්ණ” වෙන්න පුළුවන්ද? මෙසේ සිතීම සාධාරණද?

2. යේසුස් ගැන යොහන් බව්තීස්ත ඔහුගේ ගෝලයන්ට කතා කරද්දී, ඔහු මෙසේ පැවසුවා: “මම ඔබව වතුරෙන් බව්තීස්ම කරමි. එහෙත් මට පසුව එන තැනැත්තා මට වඩා බලවත්ය. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් නොවටිමි. ඒ තැනැත්තා ඔබව ශුද්ධාත්මයෙන්ද බව්තීස්ම කරන්නේය.” (මතෙව් 3:11) ශුද්ධාත්මයෙන්ද බව්තීස්ම කරන්නේය කියා කියද්දී යොහන් කතා කළේ පුද්ගලයෙක් ගැන නොවෙයි.

3. ඒ කාලයේදී පේතෘස් රෝම හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ පවුලේ අයව බලන්න ගිය විට යේසුස්ව “ශුද්ධාත්මයෙන් හා බලයෙන්” දෙවි විසින් අභිෂේක කළ ආකාරය ගැන ඔහු කතා කළා. (ක්‍රියා 10:38) වැඩි කල් නොගොස් මෙම නිලධාරියාගේ නිවසේ සිටි සියලුදෙනා මතට ‘ශුද්ධාත්මය පැමිණුණා.’ මෙම වාර්තාව තවදුරටත් පෙන්නුම් කරන්නේ “නොමිලේ දෙන ශුද්ධාත්මය නමැති දීමනාව අන්‍යජාතීන් මතද වගුරුවනු ලැබූ හෙයින් විස්මයට පත් වූහ” කියායි. (ක්‍රියා 10:44, 45) මේ බයිබල් පද කියවද්දී ශුද්ධාත්මය පුද්ගලයෙක් කියා නිගමනය කරන්න බැහැ.

දේවවචනය වන බයිබලයේ යම් දේවල් පුද්ගලයන් ලෙස හඳුන්වා තිබුණත් ඒවා පුද්ගලයන් නෙවෙයි. මෙයට ඇතුළත් වෙන්නේ ප්‍රඥාව, වටහාගැනීම, පාපය, මරණය සහ දෙවිගේ මහත් කරුණාවයි. (හිතෝපදේශ 8:1—9:6; රෝම 5:14, 17, 21; 6:12) “ප්‍රඥාව ධර්මිෂ්ඨ බව එහි සියලු දරුවන් මගින් ඔප්පු වේ” කියා යේසුස්ම ප්‍රකාශ කළා. (ලූක් 7:35) ප්‍රඥාව කියන්නේ පුද්ගලයෙක් නොවන බව පැහැදිලියි. එමෙන්ම දරුවන් කියා හඳුන්වන්නේ යහපත් ප්‍රතිඵලවලටයි. මේ ආකාරයට යම් අවස්ථාවලදී ශුද්ධාත්මය පුද්ගලයෙක් ලෙස හඳුන්වා තිබුණත් එය පුද්ගලයෙක් නොවෙයි.

ශුද්ධාත්මය කියන්නේ කුමක්ද?

දෙවි දේවල් කරන්නේ ඔහුගේ ශුද්ධාත්මය මාර්ගයෙන් කියා බයිබලය පවසයි. ඒ නිසා බයිබලයේ හෙබ්‍රෙව් පිටපත්වල ශුද්ධාත්මය යන වචනය නිවැරදි ලෙස පරිවර්තනය කර ඇත්තේ “දෙවිගේ බලය” ලෙසයි. (උත්පත්ති 1:2, නව ලොව පරිවර්තනය) මේ අදහස බයිබලය පුරාම දකින්න තිබෙනවා.—මීකා 3:8; ලූක් 1:35; ක්‍රියා 10:38.

දෙවි එකම වෙලාවේ සෑම තැනකම පෙනී සිටිනවා කියා පොදුවේ පිළිගත් තවත් වැරදි මතයක් තිබුණත්, ඇත්තටම දෙවිට නිශ්චිත “වාසස්ථානයක්” තිබෙනවා. ඒ මිනිස් ඇසට නොපෙනෙන “ස්වර්ගයයි.” (1 රාජාවලිය 8:39; 2 ලේකම් 6:39) වෙනත් බයිබල් පදවල දෙවිගේ වාසස්ථානයේ ඔහුගේ “සිංහාසනය” පිහිටුවා ඇති බව සඳහන් කරනවා. (1 රාජාවලිය 22:19; යෙසායා 6:1; දානියෙල් 7:9; එළිදරව් 4:1-3) කෙසේවෙතත් මෙම “වාසස්ථානයේ” සිට දෙවිට ඔහුගේ බලය පාවිච්චි කරමින් ස්වර්ගයෙත් පොළොවෙත් ඕනෑම තැනක තම අරමුණු ඉටු කරන්න පුළුවන්.—ගීතාවලිය 139:7.

වර්ෂ 1879හි සිටි බයිබල් විශාරදයෙක් වන චාල්ස් එල්. අයිව්ස් මේ ගැන හොඳ උදාහරණයක් දුන්නා. “පොළොවෙන් ගව් ගණනක් ඈත එපිට ඉර පිහිටලා තිබුණත් අපිට ආලෝකය සහ උණුසුම ලබා දෙන්න ඉරට පුළුවන්. ඒවා ලබා දෙන්න ඉර අපි ළඟට එන්න අවශ්‍ය නැහැ.” ඒ හා සමානව දෙවිට අවශ්‍ය දේ කරන්න ඔහුට තැනින් තැනට යන්න වුවමනා නැහැ. ඒ වෙනුවට ඔහුගේ බලය යොදාගන්නවා. මෙම බලය දෙවිට මැවිල්ලේ කෙළවර දක්වාම යොදාගන්න පුළුවන්. එහෙම නම් ශුද්ධාත්මය කියන්නේ දෙවිගේ බලයටයි. මෙම කාරණය පැහැදිලිව තේරුම්ගන්නවා නම් අපිටත් ඔහුගේ පොරොන්දු ඉටු කරන බවට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්.

මේ ගැන සිතුවාද?

ශුද්ධාත්මය කියන්නේ කුමක්ද?—උත්පත්ති 1:2.

▪ දෙවිගේ බලය පුද්ගලයෙක් නොවෙයි.—ක්‍රියා 10:44, 45.

▪ දෙවිගේ බලය පැතිරෙන්නේ කොතරම් දුරකටද?—ගීතාවලිය 139:7