Skip to content

පටුනට යන්න

සම්බාහනයක් කිරිකැටියාටත්!

සම්බාහනයක් කිරිකැටියාටත්!

සම්බාහනයක් කිරිකැටියාටත්!

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

නයිජීරියාවේ තරුණ මවක් වන අනීටා තම කිරිකැටියාව නාවා ඉතා පරෙස්සමින් සම්බාහනය කරනවා. මෙය දෙදෙනාටම සතුටගෙන දෙන්නක්. අනීටා මෙසේ පවසනවා. “නයිජීරියාවේ අම්මලා බිලිඳු දරුවන්ව රැක බලාගැනීමේදී සිරිතක් වශයෙන් එහෙම කරනවා. මගේ අම්මාත් මාවයි මගේ මල්ලිලාවයි සම්බාහනය කළා. බිලිඳෙකුගේ පේශි ශක්තිමත් වෙන්නත් බිලිඳාට පහසුවක් දැනෙන්නත් කදිම ක්‍රමයක් සම්බාහනය කිරීම. මගේ කිරිකැටියාව සම්බාහනය කරන ගමන් මම එයාට ඇහෙන්න සිංදු කියනවා, කතා කරනවා. එතකොට එයත් සතුටෙන් අත පය ගහලා හිනා වෙනවා. ඒක අපූරු අවස්ථාවක්!”

බිලිඳුන්ව සම්බාහනය කිරීම බොහෝ රටවල සාමාන්‍ය දෙයක් වන අතර සමහර බටහිර රටවලත් එය ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ පිළිබඳව පිහිටුවා ඇති ස්පාඤ්ඤ සමාගමකට අනුව නොරිදවා සියුමැළි ලෙස සම්බාහනය කිරීම දෙමාපියෙකුට තම කිරිකැටියා සමඟ කතා නොකළත් බැඳීමක් ඇති කරගැනීමට හොඳ ක්‍රමයක්. දරුවාගේ කකුල් හා යටිපතුල් මෙන්ම පිට, පපුව, බඩ, මුහුණ සහ අත් මෘදු ලෙස හොඳින් අතගෑමත් ඊට ඇතුළත්.

සම්බාහනය කිරීමෙන් සිඟිත්තාට යහපතක් වෙයිද? එයින් සිඟිත්තාට ආදරය හා සෙනෙහස ලැබෙනවා. අලුත උපන් දරුවෙකුට පෝෂණය පමණක් නොව දෙමාපිය ස්නේහයත් අත්‍යවශ්‍යයි. මවට හෝ පියාට පුළුවන් තම බිලිඳාව මෘදු ලෙස සම්බාහනය කිරීමෙන් ආදරය පෙන්වීමට. මේ ආකාරයෙන් බිලිඳාගේ හැඟීම්වලට කතා කළ හැකියි. ඉපදුණ දා පටන්ම දරුවාව සම්බාහනය කිරීමෙන් දරුවාගෙත් දෙමාපියන්ගෙත් ස්නේහයේ බැඳීම ශක්තිමත් වෙනවා.

ආදරය පෙන්වනවාට අමතරව සම්බාහනය කිරීමෙන් දරුවාට පහසුබවක් දැනෙන අතර සැරෙන් සැරේ ඇහැරෙන්නේ නැතුව දිගු වේලාවක් සනීපෙට නිදාගන්නත් එය උපකාරයක් වෙනවා. එමෙන්ම පේශි ශක්තිමත් වීමටත්, රුධිර සංසරණය, ආහාර ජීරණය මෙන්ම හුස්ම ගැනීම හා පිට කිරීම පාලනය වීමටත් එය දායක විය හැකියි. සමහරු පවසන්නේ බිලිඳාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් එය ප්‍රයෝජනවත් වන බවයි. දැනීම, පෙනීම හා ඇසීම යන සංවේදයන් උක්තේජනය වීමටත් සම්බාහනය කිරීම දායක විය හැකි නිසා මතක තබාගැනීමට හා ඉගෙනගැනීමට එය පිටුවහලක් විය හැකියි.

සමහර රෝහල්වල මෙහි වටිනාකම අත්හදා බලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් සම්බාහනය කිරීමකට ලක් කළ නොමේරූ බිලිඳුන්ට එසේ නොකළ බිලිඳුන්ට වඩා දවස් හතක් කලින් රෝහලෙන් පිට වෙන්න ලැබුණ බව එක් අධ්‍යයනයක් මගින් සොයාගත්තා. ඔවුන්ගේ බරත් අනික් දරුවන්ට වඩා සියයට 47කින් වැඩි වී තිබුණා.

එසේනම් මෘදු ලෙස සම්බාහනය කිරීමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ වැඩිහිටියන්ට පමණක් නොවන බව පැහැදිලියි. කිරිකැටියන්ව සම්බාහනය කිරීමෙන් ඔවුන්ට දැනෙන්නේ පහසු බව පමණක් නොවෙයි. එසේනම් මුවෙන් නොකියා සෙනෙහසින් මෘදු ලෙස ඇඟිලි තුඩුවලින් සම්බාහනය කිරීමෙන් ආදරය සෙනෙහස පෑමට පුළුවන්.