Skip to content

පටුනට යන්න

අවශ්‍යතා ඇති අයට උපකාර කරන්න මට පුළුවන් කොහොමද?

අවශ්‍යතා ඇති අයට උපකාර කරන්න මට පුළුවන් කොහොමද?

යෞවන අය අසති . . .

අවශ්‍යතා ඇති අයට උපකාර කරන්න මට පුළුවන් කොහොමද?

“පාසැල් ගිහින් ඉවර වුණාට පස්සේ විදුලි කාර්මිකයෙක් හැටියට වැඩ කරන්න මම ආසයි. එතකොට මට රාජ්‍ය ශාලා හදන්න උදව් වෙන්න පුළුවන්.”—ට්‍රයිස්ටන්, අවුරුදු 14යි.

“මට මේ ඩොලර් 20 ලැබුණා. ඒත් මම ඒක සම්මාදම් කරනවා අලුත් මුද්‍රණ යන්ත්‍රයක් ගන්න.”—ඇබී, අවුරුදු 9යි.

අද කාලයේ සිටින යෞවනයන් තමන් ගැන පමණයි හිතන්නේ කියා මතයක් තිබුණත් එය සම්පූර්ණ සත්‍යයක් නොවෙයි. ඉහත සඳහන් අදහස් කියවද්දී අපට පැහැදිලි වන්නේ ඊට වෙනස් යෞවනයන්ද සිටින බවයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින බොහෝ යෞවන යෞවනියන් කැමති තම කාලය, ශ්‍රමය හා මුදල් අන් අයගේ ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරන්නයි. (ගීතාවලිය 110:3) මේ සම්බන්ධයෙන් තවත් උදාහරණ කිහිපයක් සලකා බලමු.

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 7ක් වන ජීරාට ඔහුගේ ආච්චි මැරුණට පස්සේ ඔහුගේ සීයා ඩොලර් 50ක මුදලක් තෑගි කළා. ජීරා මේ සල්ලිවලට මොකද කළේ? ඊළඟ සභා රැස්වීමේදී මේ මුළු මුදලම සම්මාදම් පෙට්ටියට දැම්මා. ඒ ගැන අම්මා අහද්දී ඔහු මෙහෙම කිව්වා: “මට ඕන තරම් සෙල්ලම් බඩු තියෙනවා. අනික ආච්චි දැන් හිටියා නම් එයත් ගොඩක් සතුටු වෙයි මම මේ සල්ලි සම්මාදම් කරනවාට. ආච්චිත් යෙහෝවා දෙවිට හුඟක් ආදරෙයිනේ.”

එක්සත් ජනපදයේ වයස අවුරුදු 5ක් වන හැනා අශ්වයන්ට හුඟක් ආසයි. එයාට සෙල්ලම් අශ්වයෙක් ගන්න ඕන වුණා. ඒකෙ මිල ඩොලර් 75ක්. ඇගේ දෙමාපියන් ඉතුරු කිරීමේ වටිනාකම ඇයට කියලා දෙන්න ඕන නිසා ඒ මුදල එකපාරට නොදී ටිකෙන් ටික දුන්නා කැටේට දාන්න කියලා. වැඩි කල් නොගොස් හැනාට අවශ්‍ය මුදලටත් වඩා වැඩි මුදලක් කැටේ එකතු වුණා.

කෙසේවෙතත් ඒ අතරතුර කැට්‍රිනා චණ්ඩමාරුතයෙන් ප්‍රදේශ කිහිපයක් විනාශ වී තිබුණා. එයින් විපතට පත් වූ අය ගැන ඇය හුඟක් දුක් වුණා. ඒ නිසා හැනා තීරණය කළා ඇය ඉතිරි කළ ඩොලර්100ටත් වඩා වැඩි මුළු මුදලම ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න. හැනා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයට මෙසේ ලිව්වා: “මේ සල්ලි ඔයගොල්ලන්ට දෙන්න ඕනෙ. මම යෙහෝවා දෙවිට හුඟක් ආදරේ නිසා මම උදව් කරන්න කැමතියි.” මේ වගේ ත්‍යාගශීලී ක්‍රියාවන් යෙහෝවා දෙවි නොසලකා හරියිද? ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි: “තවද, යහපත කිරීමටද අනුන් සමඟ දේවල් බෙදා හදා ගැනීමටද අමතක නොකරන්න. මන්ද, එවැනි පූජා ගැන දෙවි සතුටු වන්නේය.”—හෙබ්‍රෙව් 13:16.

වර්ෂ 2004දී ෆ්ලොරිඩාවට හැමූ චණ්ඩමාරුත දෙකෙන් පස්සේ එක්සත් ජනපදයේ සිටින යෞවනියක් වන ටිෆනි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය වෙත මෙසේ ලිව්වා: “මමයි, මගේ මල්ලි තිමොතියි එකතු කරපු ඩොලර් 110 සම්මාදම් කරන්න අපි කැමතියි. අපේ ගෙදරට ඒ තරම්ම හානියක් වෙලා නැති වුණත් අපි දැක්කා අනිත් අයගේ ගෙවල්වලට වෙලා තියෙන දේ. මමත් මල්ලිත් ඒ අයට උදව් කරන්න කැමති නිසා, මල්ලි ඩොලර් 10ක් සහ මම ඩොලර් 100ක් එකතු කළා. මෙන්න ඒ සල්ලි ටික.” ටිෆනිට වයස අවුරුදු 13ක් වන අතර ඇගේ මල්ලි තිමොතිට අවුරුදු 7යි. අපි ගැන හිතනවට වඩා අන් අය ගැන සිතීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන හිතෝපදේශ 11:25 කියන්නේ: “නොමසුරු ලෙස අනුන්ව පෝෂණය කරන්නාවද නොමසුරු ලෙස පෝෂණය කරනු ලැබේ” කියලයි.

එක්සත් ජනපදයේ සිටින වයස අවුරුදු 4ත් 15ත් අතර සාක්ෂිකාර ළමුන් කණ්ඩායමකට දැනගන්න ලැබුණා අප්‍රිකාවේ සිටින සාක්ෂිකරුවන්ට ප්‍රමාණවත් තරම් රාජ්‍ය ශාලාවන් නැහැ කියලා. ඒ සඳහා යමක් කරන්න ඔවුන් තීරණය කළා. “අපි බිස්කටුයි රස කැවිලියි විකුණලා ඩොලර් 106.54ක මුදලක් හොයාගත්තා. ඒවා ගත්ත අයට අපි කිව්වා මේ සල්ලි පාවිච්චි කරන්නේ අප්‍රිකාවේ ඉන්න අයට බයිබලය ඉගෙනගන්න ශාලාවල් හදන්නයි කියලා. ගොඩක් අය අපෙන් රසකැවිලි ගත්තට මේ මුදල හොයාගන්න අපිට පැය 9ක්ම ගියා. ඒත් කමක් නෑ. අපි මේ දේ කළේ යෙහෝවා දෙවි වෙනුවෙන්!”

ඔබටත් හැකියි උපකාර කරන්න

මෙම යෞවනයන්ගේ අද්දැකීම්වලින් පෙනීයන්නේ යේසුස් කියූ වදන්වල ඇති සත්‍යතාවයයි. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.” (ක්‍රියා 20:35) ඔබටත් පුළුවන් එවැනි සන්තෝෂයක් ලබන්න. ඒ කොහොමද?

සෙසු නමස්කාරකයන්ගේ යම් අවශ්‍යතාවන් ගැන ඔබට දැනගන්න ලැබී තිබෙනවාද? උදාහරණයකට, ස්වාභාවික විපතකට ගොදුරු වූ අය ගැන අසා තිබෙනවාද? මෙහෙම හිතන්න. ඔබේ නිවස හා දේපළ විනාශ වුණොත් එසේ නැතහොත් ඔබ ප්‍රේම කළ කෙනෙක් මිය ගියොත් ඔබේ තත්වය කොයි වගේ වෙයිද? ඔවුනුත් සිටින්නේ එවැනි තත්වයකයි. පාවුල් මේ සම්බන්ධව ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා: “ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න.” (ෆිලිප්පි 2:4) ඔබ ජීවත් වෙන්නේ ස්වාභාවික විපත් සිදු වුණ ස්ථානයකින් ටිකක් දුරින් වුවත් සාක්ෂිකරුවන් වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කරන්න ඔබටත් පුළුවන්. *

තවත් ආකාරයක අවශ්‍යතාවක් සඳහාත් ඔබට සහයෝගය දෙන්න පුළුවන්. උදාහරණයකට ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නම් ඔබ යන රාජ්‍ය ශාලාවේ වයසක අය හෝ උපකාර අවශ්‍ය අය ඉන්නවාද? ඔවුන්ගේ ගෙදර දොරේ වැඩවලට උදව් කරන්න පුළුවන්ද? පාවුල් රෝමවරුන්ට ලියද්දී පැවසුවේ, “සහෝදර ප්‍රේමයෙන් යුතුව එකිනෙකා කෙරෙහි ගැඹුරු ස්නේහයක් ඇතිව සිටින්න. එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න” කියායි. (රෝම 12:10) අවශ්‍යතාවක් දකින විට ඒ සඳහා ඔබම මුලපුරන්න. අන් අයට කරන උදව්ද අපේ නමස්කාරය හා සම්බන්ධයි. “දුප්පතාට කරුණාව දක්වන්නා යෙහෝවාට ණයට දෙයි. ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි” කියා බයිබලයේ පවසනවා.—හිතෝපදේශ 19:17.

අන් අයට උදව් කරන්න පුළුවන් හොඳම ක්‍රමය නම් ඔවුන් සමඟ දෙවිගේ වචනය වන බයිබලයේ ඇති පණිවිඩ බෙදාගැනීමයි. මේ ගැන යේසුස් පවසන්නේ: “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය” කියලයි. (යොහන් 17:3) වෙන කවරදාකටත් වඩා අද බොහෝදෙනෙකුට අවශ්‍යව ඇත්තේ බයිබලයේ සඳහන් ජීවිතය ගලවන මේ සත්‍ය පණිවිඩය දැනගන්නයි. දේවසේවය උනන්දුවෙන් දිගටම කිරීමට අදිටන් කරගන්න. “ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව” නිතරම මතක තබාගන්න.—1 කොරින්ති 15:58.

[පාදසටහන]

^ 13 ඡේ. ආපදා කටයුතු සඳහා කරන පරිත්‍යාගයන් කෘතඥපූර්වකව පිළිගන්නවා. ඔබ දෙන පරිත්‍යාගය යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩකටයුතු සඳහා භාර දෙන විට මෙම සම්මාදම් අවශ්‍යතාවන්ට අනුව යොදවන්න අපට පුළුවන්.

සිතා බලන්න

▪ උපකාර අවශ්‍ය කෙනෙක් ගැන ඔබේ මතකයට එනවාද?

▪ මොන වගේ උපකාර කරන්න පුළුවන්ද?

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“තවද, යහපත කිරීමටද අනුන් සමඟ දේවල් බෙදා හදා ගැනීමටද අමතක නොකරන්න. මන්ද, එවැනි පූජා ගැන දෙවි සතුටු වන්නේය.“—හෙබ්‍රෙව් 13:16.

[24, 25වන පිටුවේ කොටුව⁄පින්තූර]

උදව් කිරීමට ඉගෙනගන්න ඕනෙ ඇයි?

“මගේ දෙමාපියන් තම කාලය හා ශ්‍රමය යෙහෝවා දෙවිටත්, අසල් වාසීන්ටත් සේවය කරන්න යොදවනවා. මටත් ඕනෙ ඒ දේ කරන්නයි. මගේ තාත්තා මට කිව්වේ, ‘යෙහෝවා දෙවි සදහටම ජීවත් වෙන නිසා දෙවි වෙනුවෙන් පොඩි දෙයක් හරි කෙරුවොත් ඔහු එය කවදාවත් අමතක කරන්නේ නැහැ. හැබැයි අපි ගැන විතරක් බලාගන්නවා නම් අපි මැරෙන දාට අපිත් එක්කම ඒවා වැළලිලා යනවා’ කියලයි.”—ජපානයේ කෙන්ටාරො, අවුරුදු 24යි.

“ඇත්තෙන්ම වයසක අයට උපකාර කරන්න ආසාවක් මට තිබුණේ නැහැ. විශේෂයෙන්ම සෙනසුරාදා හවස්වරුවල ඕන වුණේ යහළුවන් එක්ක විනෝද වෙන්නයි. නමුත් වයසක අය එක්ක කාලය ගත කරන්න පටන්ගත්තට පස්සේ මගේ අදහස වෙනස් වුණා. මට ඒ අයව තේරුම්ගන්න පුළුවන් වුණා. ඔවුන්ටත් මට වගේම යෞවන කාලයක් තිබුණා. මෙය මාව පෙලඹුවා ඔවුන්ට උපකාර කරන්න. දැන් මට එයින් ලොකු ප්‍රීතියක් ලැබෙනවා.”—එංගලන්තයේ ජෝන්, අවුරුදු 27යි.

“මම පුංචි කාලේ රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීමටත් වෙනත් වැඩවලටත් හවුල් වුණා. සභාවේ වැඩවලට අනිත් අය එක්ක හවුල් වීමෙන් සතුටක් ලැබුවා. ඔබ කෙනෙකුට උදව් කළා නම් එයින් ඔවුන්ට ලැබෙන සතුට ඔබටත් දැකගන්න පුළුවන්. උදාහරණයකට මම දවසක් ගියා වයසක සහෝදරියකගේ ගෙදරට තීන්ත ගාන්න. අනේ ඇය කොතරම් සතුටු වුණාද! තව කෙනෙකුව සතුටු කළොත් එයින් ඔබත් සතුටු වෙයි.”—ප්‍රංශයේ හර්මන්, අවුරුදු 23යි.

[24වන පිටුවේ පින්තූරය]

බොහෝ යෞවනයන් ආපදාවලට ලක් වූවන්ට උදව් කරන්න සම්මාදම් කරනවා