ගලීල බෝට්ටුව බයිබල් ඉතිහාසයේ පුරාවස්තුවක්
ගලීල බෝට්ටුව බයිබල් ඉතිහාසයේ පුරාවස්තුවක්
ඊශ්‍රායෙලයේ පිබිදෙව්! ලේඛක විසින්
ගලීල මුහුද අද එතරම් ප්‍රසිද්ධ නූණත් අවුරුදු 2,000කට පමණ පෙර හුඟක් ජනප්‍රියව තිබූ එය විශාල විලක්. එදා දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් මුහුද මත ඇවිද්දේ, සැඩ කුණාටු නිශ්චල කළේ, ප්‍රාතිහාරයකින් දහස් ගණනකට කෑම දුන්නේ හා රෝගීන් සුව කළේ මේ විල අසලයි.
පුරාණ කපර්ණවුම නගරය පිහිටා තිබූ ස්ථානයට නුදුරින් මුහුදු පතුලෙන් 1986දී පුදුමාකාර දෙයක් සොයාගත්තා. ඒ යේසුස්ගේ කාලයේදී භාවිත කළ බෝට්ටුවක්. ඒක හොයාගත්තේ කොහොමද? ඒ පැරණි දෙයින් අපට යමක් දැනගන්න පුළුවන්ද?
නියඟයේ ප්‍රතිඵලයක්
වර්ෂ 1985දී මූලික හේතු දෙකක් නිසා මෙම විලේ වතුර මට්ටම පහත වැටුණා. සමහර නොගැඹුරු තැන්වල ඉතුරු වුණේ මඩ තට්ටු පමණයි. අවුරුදු කිහිපයක් පුරා පැවති නියඟය සහ එහි ජලය වගාවන් සඳහා යොදාගැනීම ඊට මූලික හේතුයි. මෙම තත්වයෙන් වාසි ප්‍රයෝජන ලබාගැනීම සඳහා ළඟ පාත කිබූට්ස් නගරයෙන් සහෝදරයෝ දෙන්නෙක් මෙහි නිධාන ඇතැයි සැක පිට මඩ තට්ටු මත ඇවිදින්න පටන්ගත්තා. එවිට ඔවුන්ට හැකි වුණා ඉපැරණි පිත්තල හෝ ලෝකඩ කාසි කිහිපයක් හා ඇණ කිහිපයක් හොයාගන්න. ඒ අතරෙදී ඔවුන් දැක්කා මඩවලින් වැසී තිබූ ඉලිප්සාකාර යමක ඡායාවක්. මෙවර ඔවුන්ට නොදැනුවත්ව හෝ සොයාගන්න ලැබුණේ සැබෑ නිධානයක්!
ගලීල මුහුදේ අවුරුදු 2,000ක් පමණ පැරණි බෝට්ටුවක් සම්භවෙයි කියා පුරාවිද්‍යාඥයන් හිතුවේ නැහැ. ඔවුන් හිතුවේ එතරම් පැරණි දෙයක් ජලය යට බොහෝ කාලයක් තිබෙද්දී සම්පූර්ණයෙන්ම දිරාපත් වී ඇතැයි කියායි. එහෙත් එම බෝට්ටුව පරීක්ෂා කරද්දීත් එහි අවට තිබුණු කාසි සමඟ එය සසඳද්දීත් ඔවුන් නිගමනය කළේ මෙම බෝට්ටුව ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසත් ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසත් අතර කාලයේදී පාවිච්චි කළ බෝට්ටුවක් විය හැකි බවයි. මෙතරම් පැරණි දෙයක් විනාශ නොවී තිබුණේ කොහොමද?
පෙනෙන විදිහට ඒ බෝට්ටුව මූදුබත් වෙද්දී එය මුහුදු පත්ලේ තිබුණු මඩවලට සම්පූර්ණයෙන් යට වෙන්න ඇති. කල් යද්දී ඒ බෝට්ටුව වටේට මඩ තට්ටු ඇලිලා හයි වෙන්න ඇති. මේ ආකාරයට සියවස් 20ක් පමණ බයිබල් ඉතිහාසයේ මෙම පුරාවස්තුව සුරක්ෂිතව තිබුණා.
ඒ බෝට්ටුව සොයාගත් බවට වූ ප්‍රවෘත්තිය දසත පැතිරුණු විට බොහෝදෙනෙක් එය යේසුස් බෝට්ටුව කියා හැඳින්නුවා. නමුත් යේසුස් හෝ ඔහුගේ ගෝලයන් ඒ බෝට්ටුවේ ගමන් කළා කියා කවුරුත් අදහස් කළේ නැතත් එම නම ඔවුන් තැබුවේ එය යේසුස් මෙලොව ජීවත් වූ කාලයේ තිබූ දෙයක් නිසයි. ඊට අමතරව මෙම බෝට්ටුව බයිබලයේ යේසුස්ගේ කාලයේ ලියවුණු පොත්වල විස්තර කරන බෝට්ටුවලට සමාන නිසා, එය ඉතිහාසඥයන්ට පමණක් නෙවෙයි බයිබල් විශාරදයන්ට පවා කුතුහලය දනවන දෙයක් වුණා.
මේ බෝට්ටුව දිගින් මීටර් 8.2ක් වන අතර පළලින් මීටර් 2.3ක් වෙනවා. සාමාන්‍යයෙන් බෝට්ටුවක් සාදන්නේ පළමුව සැකිල්ලක් නිර්මාණය කර එයට ලෑලි ගැසීමෙනුයි. නමුත් මේ බෝට්ටුව නිර්මාණය කර තිබෙන්නේ ඊට වෙනස් ක්‍රමයකටයි. යට සිට බෝට්ටුවේ හැඩයට එකිනෙකට ලෑලි සවි කිරීමෙන් පසුව, ඇතුළතින් ඊට අවශ්‍ය ශක්තිය සැපයීම සඳහා ආධාරක සවි කර තිබෙනවා. ඒ කාලයේදී මධ්‍යධරණී මුහුද තරණය කළ බෝට්ටු සාදා තිබුණේ ඒ විදිහටයි. නමුත් මේ ගලීල බෝට්ටුව යොදාගෙන තිබුණේ මධ්‍යධරණී මුහුදේ පැදීමට නොවෙයි.
පෙනෙන විදිහට මෙම බෝට්ටුවේ තිබුණේ තනි හතරැස් රුවලක්. ඊට අමතරව එයට හබල් හතරක් තිබුණු නිසා ඉන් පෙනී යන්නේ එය ගෙන යෑමට අඩුම වශයෙන් පස්දෙනෙක්වත් අවශ්‍ය වූ බවයි. එනම් හබල් ගැසීමට හතරදෙනෙක් හා නියමුවෙක්. කෙසේවෙතත් බෝට්ටුවේ ප්‍රමාණය හැටියට එහි දහදෙනෙකුටවත් පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තිබුණා. මාළු අල්ලමින් සිටි යේසුස්ගේ ගෝලයන් හත්දෙනා යේසුස්ව දුටු අවස්ථාව ගැන බයිබලයෙන් කියවද්දී අපට මේ හා සමාන බෝට්ටුවක් සිතේ මවාගැනීම පහසු වෙනවා.—යොහන් 21:2-8.
මාක් 4:38) සමහරවිට ඔහු “කොට්ටයක්” හැටියට පාවිච්චි කරන්න ඇත්තේ බෝට්ටුවේ තිබුණු වැලි ගෝනියක්. *
මේ ගලීල බෝට්ටුවේ අවරෙහි එනම් එහි කෙළවරේ අනිවාර්යයෙන්ම ලී තට්ටුවක් සාදා තිබෙන්න ඇති. සාමාන්‍යයෙන් ධීවරයන් ඒ මත විශාල දැල් තැබූ අතර, ඔවුන් මහන්සි වූ විට හාන්සි වුණේ එය යටයි. යේසුස් පවා එවැනි තැනක් තිබීමේ වාසිය අද්දැක්කා. කුණාටුවක් හමද්දී “ඔහු ඔරුවේ අවරෙහි කොට්ටයක් මත නිදාගෙන සිටියේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගලීල මුහුද අවට සිටි ධීවරයන්
පළවෙනි සියවසේදී ඔබත් ගලීල මුහුදේ මෙවැනි බෝට්ටුවක ගමන් කරනවා කියා සිතන්න. ඔබට දකින්න තිබෙන්නේ මොන වගේ දර්ශනද? හැම පැත්තෙම ධීවරයෝ. සමහරුන් කුඩා බෝට්ටුවල මසුන් අල්ලනවා. තවත් සමහරු වෙරළ ආසන්නව සිටගෙන දැල් දමමින් ඉන්නවා. ඒ එක දැලක් මීටර් 6ත් 8ත් අතර වටප්‍රමාණයකින් යුත් වීසි දැලක්. ඔවුන් දක්ෂ ලෙස මේ දැල හෙලද්දී එය මලක් වගේ දිගහැරී මසුන් ගොදුරු කරගනිමින් මුහුදේ පතිත වෙනවා. පසුව ධීවරයා මසුන් අසු වී ඇති එම දැල ඉහළට ඇදගන්නවා. සීමොන් සහ අන්දෘ “දැල් හෙළමින්” සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් සමහරවිට මීට සමාන ආකාරයකින් එය කරන්න ඇති.—මාක් 1:16.
ඒ වගේම තවත් සමහර ධීවරයන් එකට ඉඳගෙන කතා කර කර යමක් කරමින් සිටිනවාත් ඔබට දැකගන්න පුළුවන්. මොවුන් කරන්නේ තමන්ගේ මාදැල් සූදානම් කරන එකයි. ඒ මාදැල් දිගින් මීටර් 300ක් පමණ වන අතර, එහි හරි මැද පළල මීටර් 8යි. එහි දෙකෙළවරවල පළල මීටර් 8ට වඩා අඩුයි. දැලේ දෙකෙළවරෙහි කඹ සවි කර තිබෙනවා. මේ දැල හෙලීම සඳහා ධීවරයන් කණ්ඩායම් දෙකකට බෙදෙනවා. එක් කණ්ඩායමක් වෙරළේ සිට දැළේ එක් කෙළවරක් අල්ලාගෙන සිටින අතර, අනිත් කණ්ඩායම බෝට්ටුවේ ගමන් කරමින් දැලේ අනිත් කෙළවර අතින් අල්ලාගෙන දැල සම්පූර්ණයෙන්ම දියට දමමින් නැවත වෙරළට පැමිණෙනවා. දැන් වෙරළේ සිටින කණ්ඩායමයි බෝට්ටුවෙන් බැස්ස කණ්ඩායමයි දැලේ කෙළවරවල් දෙක අදින ගමන් ටිකෙන් ටික ළං වෙනවා. මේ ආකාරයට ඔවුන් මාදැලෙන් මසුන් අල්ලනවා.—මතෙව් 13:47, 48.
තවත් සමහරු බිලි පිත්තක් යොදාගෙන තනියම මාළු අල්ලනවා ඔබට දැකගන්න පුළුවන්. යේසුස් පේතෘස්ට බිලි බාන්න කියා පැවසූ අවස්ථාවේදී පේතෘස් අල්ලාගත් මාළුවාගේ කටේ දේවමාලිගාවේ බද්ද ගෙවීමට නියමිත ප්‍රමාණයේ රිදී කාසියක් තිබුණා. පේතෘස් ඒ ගැන කොතරම් පුදුම වන්න ඇද්ද!—මතෙව් 17:27.
මසුන් ඇල්ලීමට ධීවරයන් තවත් ක්‍රමයක් යොදාගන්නවා. අඳුර වැටීගෙන එද්දී ඔවුන් එකක් ළඟින් තව එකක් සිටින සේ කෙළින් අතට දැල් කීපයක් හෙලනවා. එක පාරටම නිසල විලේ විශාල ඝෝෂාවක් ඇති කරමින් බෝට්ටුවේ සිටින ධීවරයෝ බෝට්ටුවේ අඩියට තම කකුල් ගසන අතරේම හබල්වලින් වතුරටද ගසමින් හැකි තරම් හයියෙන් ශබ්දයක් නඟනවා. ඝෝෂාවට භය වූ මාළුවන් පහසුවෙන්ම ඒවාවල පැටලෙන්නේ උන්ට මෙම දැල් නොපෙනෙන නිසායි. රාත්‍රිය පුරා කිහිප වතාවක්ම මේ ආකාරයට දැල් හෙලමින් මසුන් අල්ලනවා. උදෑසන මේ දැල් සෝදා වේලාගනු ලබනවා. ලූක් 5:1-7 දක්වා විස්තර කර තිබෙන විශාල මසුන් ප්‍රමාණය අල්ලාගන්න ඇත්තේ මේ ක්‍රමයට විය හැකිද?
බෝට්ටුව පිළිසකර කිරීම
දැන් අපි නැවතත් මෑතකදී සොයාගත් මේ ගලීල බෝට්ටුව ගැන සලකා බලමු. එයට කිසිදු හානියක් සිදු වී තිබුණේ නැතත් එහි ලී පෙඟී තෙත කාඩ්බෝඩ් කඩදාසියක් මෙන් වෙලා. එතරම් කලක් පැවති ඒ බෝට්ටුව මඩෙන් ගොඩ ගනිද්දී කැබලිවලට කැඩී ගියා නම්, එය මොනතරම් අපරාධයක්ද! එය පරෙස්සමින් ගොඩ ගත්තේ කොහොමද? විලේ වතුර ඉහළ නැඟීමට තිබුණු ඉඩකඩ නිසා කැණීම් කළ තැන වටේට වේල්ලක් ඉදි කරනු ලැබුවා. බෝට්ටුවට යටින් උමං හාරා ෆයිබර්ග්ලාස්වලින් බෝට්ටුවට ආධාරක සවි කළා. ඉන්පසුව පරෙස්සමින් මඩ ටික ඉවත් කරන ගමන්ම බෝට්ටුවේ පිටතට හා ඇතුළතට පොලියුරිතේන් මිශ්‍ර දියරයක් ස්ප්‍රේ කෙරුවා. එයින් නැඟුණු පෙණ ඝන වී බෝට්ටුව ආවරණය වුණා.
ඊළඟ අභියෝගය වුණේ බෝට්ටුව පිළිසකර කිරීම සඳහා මීටර් 300ක් පමණ ඈතින් පිහිටි ස්ථානයකට ගෙන යෑමයි. එය ආවරණය කර තිබූ පොලියුරිතේන් පෙණ බෝට්ටුව වටේ හොඳින් ඝන වෙලා තිබුණත් එය උස්සගෙන යද්දී යන්තම් හරි ගැස්සුණොත් බෝට්ටුවේ ලී කුඩු වෙන්න ඉඩ තිබුණා. මේ පිළිසකර වැඩ කරමින් සිටි කණ්ඩායමට හොඳ අදහසක් පහළ වුණා. ඔවුන් වේල්ල ඉවත් කළා. නවීන පන්නයේ ආවරණයක් සහිත ඒ බෝට්ටුව, ශතවර්ෂ ගණනාවකට පසුව නැවතත් ගලීල මුහුදේ පාවෙන්න පටන්ගත්තා.
බෝට්ටුව පිළිසකර කිරීම සඳහා වසර 14ක් ගත වුණා. ඒ කාලයේදී බෝට්ටුව තබා තිබුණේ විශාල සිමෙන්ති ටැංකියකයි. ටැංකියේ මදුරුවන් බෝවීම
එහි වැඩ කරන අයට මහ හිසරදයක් වුණා. කොහොමනමුත් ඊට හොඳ විසඳුමක් ඔවුන් සොයාගත්තා. ඔවුන් මාළු වර්ගයක් (සෙන්ට් පීටස් ෆිෂ්) ටැංකියට දැම්මා. උන් මදුරු කීටයන් ටික ඔක්කෝම ගිල දමමින් ජලය සුද්ද කළා.අන්තිමේදී බෝට්ටුව වේලාගැනීම සඳහා කාලය එළඹුණා. නමුත් එළිමහනේ තබා වේලාගැනීමට තරම් ශක්තියක් එහි තිබුණේ නැහැ. වතුරෙන් පෙඟී තිබූ බෝට්ටුව වේලෙද්දී ලීය ඇකිළෙන්න බලන නිසා ඔවුන් පෙඟුණු ලී ඇතුළට විශේෂ ඉටි වර්ගයක් විද්දා. එමඟින් බෝට්ටුව වේලෙද්දී එහි නියම හැඩය රැකගන්න ඔවුන්ට හැකි වුණා.
පිළිසකර කිරීමේ වැඩ ටික අවසන් වුණාම හැමෝටම පේන්න තිබුණේ සාමාන්‍ය බෝට්ටුවක්. එය සාදා තිබුණේ විවිධ ලී වර්ග 12කින්. එයට හේතු දෙකක් තිබෙන්න ඇති. එක හේතුවක් ඒ කාලයේදී ලී හොයාගැනීම අපහසු කාර්යයක් වෙන්න ඇති. නැතහොත් එහි අයිතිකාරයා එතරම් පොහොසත් කෙනෙක් නොවූ නිසා ඔහු එය අලුත්වැඩියා කළ හැම අවස්ථාවකදීම වෙනත් ආකාරයක ලී යොදාගන්න ඇති.
මෙම ගලීල බෝට්ටුව හා යේසුස් අතර කිසි සම්බන්ධයක් නොතිබෙන්න ඇති. නමුත් යේසුස් මිහිපිට සේවය කළ වකවානුව ගැන චිත්‍රයක් මවාගැනීමට ඒ බෝට්ටුව අපිට උපකාරවත් වෙනවා. ඇත්තටම මෙය බොහෝදෙනෙකුට සැබෑ බයිබල් ඉතිහාසයෙන් පුරාවස්තුවක්!
[පාදසටහන]
^ 12 ඡේ. 2005 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 8වන පිටුවේ තිබෙන “ගලීල මුහුදේ ගිය ගමනක්” යන ලිපිය බලන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.
[15වන පිටුවේ පින්තූරය]
පිළිසකර කිරීමේදී බෝට්ටුවෙන් ඉතාමත්ම පරෙස්සමින් මඩ ඉවත් කිරීම
[15වන පිටුවේ පින්තූරය]
ප්‍රදර්ශනය සඳහා පිළිසකර කළ ගලීල බෝට්ටුව
[15වන පිටුවේ පින්තූරය]
පොලියුරිතේන් ආවරණය සහිත බෝට්ටුව
[15වන පිටුවේ පින්තූරය]
වසර 2,000කට පමණ පසුව බෝට්ටුව නැවත පාවෙයි
[15වන පිටුවේ පින්තූරය]
පළමු ශතවර්ෂයේ මේ බෝට්ටුව තිබූ ආකාරය පෙන්නුම් කරන ආකෘතියක්
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
All photos except model and sea: Israel Antiquities Authority - The Yigal Allon Center, Ginosar