Skip to content

පටුනට යන්න

දරුවෙකුගේ ඇදහිල්ල

දරුවෙකුගේ ඇදහිල්ල

දරුවෙකුගේ ඇදහිල්ල

ඩස්ටින්ට වයස අවුරුදු 11දී ඔහුගේ මව යෙහෝවාගේ සාක්ෂිකාරියක් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඩස්ටිනුත් එයට සහභාගි වී ඉගෙනගන්නා දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බොහෝ ප්‍රශ්න ඇසුවා. ටික කලක් යද්දී ඔහු කැමති වුණා තම මව සමඟ පාඩම කළ මිෂනාරි සහෝදරිය සමඟ වෙනමම පාඩමක් කරන්න. ඊට පස්සේ, ඉගෙනගන්නා දේවල් පාසැලේ මිතුරන්ට කියන්නත් ඔහු පටන්ගත්තා.

ප්‍රදේශයේ රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට යන්න පටන්ගත්ත ඩස්ටින් සභාවෙන් ප්‍රශ්න ඇසූ විට ඒවාට පිළිතුරු දීමෙන් සහභාගි වුණා. ඔහුත් ඔහුගේ නංගිලා මල්ලිලාත් ඔවුන්ගේ පියාව බලන්න ගිය විට තමා සමඟ පල්ලි යන්න හැමෝම එන්න ඕන කියා පියා පැවසුවා. ඒත් ඩස්ටින් කැමති රාජ්‍ය ශාලාවට යන්නයි කියා පියාට පැවසූ විට ඔහු ඩස්ටින්ට ඉඩ දුන්නා.

එක් සැන්දෑවක රැස්වීමෙන් පසුව ඩස්ටින්ගේ මව බලද්දී ඔහු සිටියේ නැහැ. ඇයටත් නොකියා ඔහු දිව්‍යාණ්ඩු සේවා පාසැල් අවේක්ෂක ළඟට ගිහින් පාසැලට ඇතුල් වෙන්න කැමති බව පැවසුවා. ඔහුගේ මව ඊට එකඟ වුණා. කුතුහලය දනවන ප්‍රීතියකින් ඔහු බලා සිටියේ ඔහුට ලැබුණ කතාව දීමටයි. මේ අතරතුර ඔහුගේ උකුල ළඟ තද කැක්කුමක් ආව නිසා විවිධ වෛද්‍යවරුන් වෙත ඔහුව ගෙන ගියා. ඔන්න දැන් ඔහු ආශාවෙන් බලා සිටි දවසත් උදා වුණා. ඒ වන විට ඔහු ඇවිද්දේ කිහිලි කරුවලින් වුණත් දැඩි වේදනාවක් තිබියදීම ඔහු එදා වේදිකාවට නැග්ගේ කිහිලිකරු නැතුවයි.

ඉන් ටික කලකට පසු ඩස්ටින්ට කලාතුරකින් හැදෙන අස්ථි පිළිකා වර්ගයක් සෑදී තිබෙන බව සොයාගත්තා. ඊළඟ වසරේ වැඩි කාලයක් පුරා ඔහු ගත කළේ කැළිෆෝනියාවේ සැන්ඩියාගෝහි ළමා රෝහලෙයි. එහිදී ඔහුට පිළිකාවට බෙහෙත් විද්ද අතර විකිරණ චිකිත්සාවන්ටත් ඔහුව භාජන කළා. අන්තිමේදී ඔහුගේ දකුණු කකුල හා උකුල් ඇටයත් කපා ඉවත් කිරීමට සිදු වුණා. මේ සියල්ල සිදු වුණත් යෙහෝවා කෙරෙහි ඔහුට තිබුණු දැඩි ඇදහිල්ල හා ප්‍රේමය නම් කිසි විටකත් අඩු වුණේ නැහැ. කියවීමට නොහැකි තරමටම දුර්වල වූ විට සෙවණැල්ල මෙන් සිටි මව ඔහුට ඇසෙන සේ කියෙව්වා.

ඩස්ටින්ගේ තත්වය දරුණු වුණත් ඒ ගැන ඔහු පැමිණිලි කළේම නැහැ. රෝද පුටුවෙන් එහාට මෙහාට යමින් ඔහු රෝහලේ සිටි අනිත් රෝගීන්ව හා ඔවුන්ගේ දෙමාපියන්ව දිරිගැන්නුවා. සාක්ෂිකාර රෝගියෙකුත් ඒ අතර සිටියා. එම දරුවා හා ඩස්ටින් අනිත් ළමයින්ට වඩා වෙනස් බවත්, ඔවුන්ව ජීවත් කළේ ඔවුන්ගේ ඇදහිල්ල බවත් රෝහල් නිලධාරීන් දැක්කා.

ඩස්ටින්ට බව්තීස්ම වෙන්න ඕන වුණා. ඒත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ලෙස බව්තීස්ම වීමට පෙර සිදු කෙරෙන ප්‍රශ්නෝත්තර වැඩසටහනට ඔහු සහභාගි වුණේ කොහොමද? ඔහුට ඉඳගන්න බැරි නිසා ඔහු සෝපාවේ හාන්සි වෙලා ඉන්දැද්දීම ක්‍රිස්තියානි වැඩිමහල්ලන් ඔහු සමඟ බව්තීස්ම ප්‍රශ්න සලකා බැලුවා. වර්ෂ 2004 ඔක්තෝබර් 16වෙනිදා චාරිකා එක්රැස්වීමකදී ඩස්ටින් බව්තීස්ම වුණා. එතකොට ඔහුගේ වයස අවුරුදු දොළහමාරයි.

බව්තීස්ම කතාව පටන්ගන්න ඔන්න මෙන්න කියා තිබියදී ඩස්ටින් රෝද පුටුවෙන් ආසන අතර මාර්ගය දිගේ අනෙක් බව්තීස්ම අපේක්ෂකයන් ළඟට ගියා. තිබුණ හොඳම ඇඳුම ඇඳ සිටි ඩස්ටින් බව්තීස්ම අපේක්ෂකයන්ට නැඟිටින්න කියා කියූ විට පුටුව අල්ලගෙන තනි කකුලෙන් නැඟී හිටියා. බව්තීස්ම ප්‍රශ්නවලට හඬ නඟා පැහැදිලිව උත්තර දුන්නා. ඩස්ටින්ගේ තාත්තා සහ කුඩම්මා ඇතුළු පවුලේ සියලුදෙනාම එහි ඇවිත් සිටියා. ඒ විතරක් නෙවෙයි පිළිකා රෝහල් කාර්ය මණ්ඩලයත්, රෝහල්ගතව සිටි ළමයිනුත් පැමිණ සිටියා.

බව්තීස්මයෙන් පසු දවසේ යළි ඩස්ටින්ව රෝහල්ගත කළා. ඔහුගේ සිරුරේ සෑම අස්ථියකටම පිළිකාව පැතිර තිබුණා. ක්‍රමක්‍රමයෙන් දුර්වල වේගන යද්දී මම මැරෙයිද කියා ඔහු මවගෙන් ඇසුවා. “ඇයි ඔයා එහෙම අහන්නේ? මැරෙන්න බයද” කියා ඇය විමසුවා.

“අපොයි නෑ. මම මගේ ඇස් දෙක පියාගන්නවා. ඊට පස්සේ ඇස් අරිනකොට නැවත නැඟිටලා එච්චරයි. හරියට තත්පරයකට කලින් ඇස් පියාගත්තා වගේ දැනෙයි. අනිත් එක එතකොට මට වේදනාව දැනෙන්නෙත් නැහැනේ” කියා ඔහු පවසා මෙලෙසත් පැහැදිලි කළා. “මගේ පවුලේ අය ගැන තමයි මට දුක.”

ඊළඟ මාසෙදී ඩස්ටින් මිය ගියා. වෛද්‍යවරුන්, හෙදියන්, රෝහල් සේවකයන්ගේ පවුල්, ගුරුවරුන්, අසල් වාසීන් මෙන්ම ඩස්ටින්ගේ පවුලේ සාක්ෂිකරුවන් වන හා නොවන නෑදෑයනුත් ඔහුගේ භූමදානයට ඇවිත් සිටියා. තමා මිය ගිය දාට පැමිණෙන සියලුදෙනාට තම විශ්වාසයන් ගැන හොඳ සාක්ෂියක් දෙන්න කියා ඩස්ටින් කලින්ම ඉල්ලා සිටියා. ඩස්ටින්ට ශිෂ්‍ය කතාව පැවරූ දිව්‍යාණ්ඩු සේවා පාසැල් අවේක්ෂක අතුරු සිදුරු නැතුව පිරී සිටි සෙනඟට ඇදහිල්ල ශක්තිමත් කරවන කදිම කතාවක් ඉදිරිපත් කළා.

ඩස්ටින්ගේ සිත් ගත් ශුද්ධ ලියවිලි පද දෙකක් වන මතෙව් 24:14ත්, 2 තිමෝති 4:7ත් මුද්‍රණය කර ඔහුගේ මරණයට පැමිණි සියලුදෙනාට බෙදාහැරියා. ඔහුව දැන සිටි සියල්ලන් ඔහුගේ ශක්තිමත් ඇදහිල්ලෙන් හා අඛණ්ඩ විශ්වාසයෙන් ධෛර්යවත් වුණා. අපි බලා සිටින්නේ නැවත නැඟිටින දාට ඔහුව සාදරයෙන් පිළිගන්නයි.—පැවසුවේ ඩස්ටින්ට පාඩම කළ සාක්ෂිකාරිය.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මම යහපත් සටනෙහි සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි.”—2 තිමෝ. 4:7.

[26වන පිටුවේ පින්තූරය]

ඉහළ: නිරෝගීව සිටියදී ඩස්ටින්

[26වන පිටුවේ පින්තූරය]

පහළ: වයස 12 1⁄2දී ඩස්ටින් බව්තීස්ම වෙමින්