Skip to content

පටුනට යන්න

මගේ දෙපා සවි වන දා

මගේ දෙපා සවි වන දා

මගේ දෙපා සවි වන දා

ෆ්‍රාන්චෙස්කො ආබටෙමාර්කොගේ කතාව

“ඇයි මටම මෙහෙම වුණේ? දෙවිට මේ දුක පේන්නැද්ද?” මේ ප්‍රශ්න කී සැරයක් නම් මම අහලා ඇද්ද! අත් කකුල් පාවිච්චි කරන්න බැරි මට අයිති රෝද පුටුවයි. මේ මොන ජීවිතයක්ද?

මම මෙලොව එළිය දුටුවේ 1962දී ඉතාලියේ බැසිලිකාටා පළාතේ පුංචි නගරයකයි. වැඩි කල් යන්න මත්තෙන් ඒ එළිය අඳුරු වුණා. මාව හම්බවෙන වෙලාවේ අම්මට ගොඩක් අමාරු වුණ නිසා වෛද්‍යවරුන් ඇයට එක එක බෙහෙත් විදලා. කවුද දන්නේ ඒවායින් ඇති වුණ භයානක ප්‍රතිඵල මට විඳින්න වෙයි කියලා. ඊට දවස් තුනකට පස්සේ පුංචි මට වලිප්පුව හැදුණා. ඒකෙන් මගේ අත් හා කකුල් පණ නැති වුණා වගේම ස්වර තන්ත්‍රවලට හානි වුණ නිසා කතා කිරීමත් අපහසු වුණා.

මම වැඩෙද්දී මගේ සෞඛ්‍ය තත්වය තව තවත් දුර්වල වූ නිසා මානසිකවත් වැටුණා. මම නිතරම හිටියේ කේන්තියෙන්. කිසිම හේතුවක් නැතුවත් අනිත් අයට බැන්නා. මම ගත කළේ පලක් නැති ජීවිතයක්. මට කිසි අරමුණක් තිබුණෙත් නැහැ. අවුරුදු 25 වෙනකොට මම හිටියේ හොඳටම කලකිරිලා. දෙවි මේවට ඉඩ දෙනවා කියන්නේ දෙවි කෙනෙක් නැහැ කියන එකයි කියලා මම හිතුවා.

අලුත් දෙයක්

එක්දාස් නවසිය අසූ හතේ එක් උදෑසනක මම රෝද පුටුවේ වාඩි වෙලා ඉන්නකොට පිළිවෙළකට ඇඳපු තරුණයෝ දෙන්නෙක් මගේ ළඟට ආවා. මම හිතුවේ ඒගොල්ලන් ආවේ අයියව හම්බ වෙන්න කියලා. අයියා ගෙදර නෑ කියලා කිව්වේ බොහොම අමාරුවෙන්. නමුත් ඔවුන් කිව්වා “අපිට ඕනෙ ඔයත් එක්ක කතා කරන්න” කියලා. මාත් එක්කත් චුට්ටක් හරි කතා කරන්න කැමති අය ඉන්නවානේ කියලා මම පුදුම වුණා.

“ඔයා දෙවි කෙනෙක් විශ්වාස කරනවාද?” කියලා ඒගොල්ලන් මගෙන් අහනකොට “පේන්නෙ නැද්ද, මෙහෙම ඉද්දී කොහොමද විශ්වාස කරන්නේ” කියලා මම කේන්තියෙන් කිව්වා. කොහොමවුණත් අපි ටිකක් කතා කළා. ඊට පස්සේ මම දැනගත්තා ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව. මේ අය මට ජීවය—මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද?  * යන පොත ඉදිරිපත් කළ විට මම එය භාරගත්තේ අකමැත්තෙන්. අපි නැවත දවසක ඔයාව මුණගැහෙන්න එන්නම් කියා කියූ විට මම සිතින් කිව්වේ නාවත් කමක් නැහැ කියලා.

සාක්ෂිකරුවන් දෙන්නා පොරොන්දු වුණා වගේම නැවත ඇවිත් මාත් එක්ක කතා කළා. මට මතකයි ඒගොල්ලන් මට පෙන්වපු බයිබලයේ යෙසායා 35:5, 6හි සඳහන් වූ වචන, “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය. බිහිරන්ගේ කන් ඇරෙන්නේය. එකල කොරා මුවකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය.” මේ වචන මගේ හිතට කාවැදුණා. දැන් හිටගන්නවත් බැරි මම කොහොමද පැන පැන යන්නේ කියලා මට හිතුණා. මම බයිබලය පාඩම් කරන්න එකඟ වුණත් එයින් කිසි වැඩක් වෙයි කියලා හිතුවේ නැහැ. ඊට අමතරව මගේ ආබාධවලින් කවදාහරි නිදහස් වෙයි කියන එක නිකන් හරියට සුරංගනා කතාවක් වගෙයි මට දැනුණේ.

ටික දවසකට පස්සේ ඔවුන් මට ආරාධනා කළා සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වෙන්න කියලා. එදා මම සවන් දුන්න කතාව නම් මට මතක නෑ, ඒත් ඔවුන් පෙන්නූ හිතවත්කම හා ආදරය නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. නිකන්ම මට අනේ පව් කියන්නේ නැතුව ඔවුන් මාව ආදරයෙන් පිළිගත්තා. එදාම මම තීරණය කළා දිගටම රාජ්‍ය ශාලාවේ පවත්වන රැස්වීම්වලට යන්න.

කන්දක් වැනි බාධාවක්

බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් මගේ හිතට තදින් කාවැදුණා. ඒ තුළින් මගේ අඳුරු වූ ජීවිතයට එළිය වැටෙන්න පටන්ගත්තා. එතකොටයි මට ජීවත් වීමට ආශාවක් ඇති වුණේ. මම කවදාවත් හිතුවේ නැහැ මට එහෙම හැඟෙයි කියලා. මම දැනගත්ත මේ මවිතකර බලාපොරොත්තුව ගැන අනිත් අයට කතා කරන්න ඕනෙ කියලා මට හැඟුණා. (මතෙව් 24:14) ඒත් මම මේක කරන්නේ කොහොමද? මේ සඳහා මට මාර්ගයක් පෙන්නන්න කියලා මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා.

අපේ සභාවට පුරෝගාමියෙක් නැත්නම් පූර්ණ කාලීන දේවසේවකයෙක්ව 1991 සැප්තැම්බර් මාසයේදී එව්වා. දවසක් ඔහුගේ නිවසේදී දේශනා සේවය කරන්න ආසයි කියලා මම ඔහුට කිව්වා. මට හොඳට කතා කරන්න බැරි නිසා අපි තීරණය කළා යතුරු ලියනයෙන් ලියුම් ලියා මේ දේ කරන්න. නමුත් මට තවත් බාධාවක් තිබුණා. ඒ තමයි මගේ පණ නැති අත් දෙක. මේ පුරෝගාමියාගේ උපකාරය ඇතුව විවිධ විකල්ප ක්‍රම මම අත්හදා බැලුවා. පැන්සල දත්වලින් අල්ලගෙන ඒකෙන් යතුරු ලියනයේ යතුරු ඔබන්න උත්සාහ කළාට ඒක සාර්ථක වුණේ නැහැ. පස්සේ කූරක් සවි කරපු හිස් ආවරණයක් දාගෙන ඒ කූරෙන් යතුරු ලියනයේ යතුරු ඔබන්න උත්සාහ කළා. ඒකත් සාර්ථක වුණේ නෑ.

අපි මේ ප්‍රශ්නෙ ගැන කතා කර කර ඉන්නකොට ඒ පුරෝගාමී සහෝදරයා විහිළුවට මෙහෙම කිව්වා: “ඔයාට හොඳ නහයක් තියෙන්නේ” කියලා. ඉක්මනින්ම මම නහයෙන් යතුරු ලියනයේ යතුරු ඔබන්න උත්සාහ කෙරුවා. පුදුමෙනුත් පුදුමයි මේ ක්‍රමය නම් සාර්ථක වුණා! ඒත් මේක ලේසි වැඩක් නෙවෙයි. අපි හිතුවා පරිගණකයකින් මේක මීට වඩා පහසුවෙන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් පරිගණකයක් ගන්න තරම් මුදලක් මම හොයාගන්නේ කොහොමද? ඒ සඳහා නියම වෙලාව එනකම් බලාගෙන ඉඳලා මගේ දෙමාපියන් එක්ක මේ ගැන මම කතා කළා. ඊට ටික දවසකට පස්සේ මම පරිගණකය පාවිච්චි කරමින් ලිපි ලියන්න පටන්ගත්තා.

මගේ ආශාව ඉටු වෙයි

මුලින්ම මම ලිව්වේ මගේ යාළුවන්ටයි, නෑදෑයන්ටයි. ටිකෙන් ටික අසල්වාසීන්ටත් ගමේ ඉන්න අනිත් අයටත් ලිපි ලියන්න පටන්ගත්තා. වැඩි කල් නොගොස් රට පුරාම ඉන්න අයට ලිපි ලියන්න පුළුවන් වුණා. මම ලියපු ලියුමකට පිළිතුරු ලැබුණම මට දැනුණේ කියා නිම කරන්න බැරි සතුටක්. එක්දාස් නවසිය අනූඑකේ දෙසැම්බර් මාසේ මාව බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් බවට පත් කළා. ඒ වගේම දිව්‍යාණ්ඩු සේවා පාසැලටද ඇතුල් වුණා. මෙම පාසැල සතිපතාම යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවත්වනවා. මට කතාවක් දෙන්න පැවරුමක් ලැබුණම මම ගෙදර ඉඳන් පරිගණකය පාවිච්චි කරලා පරෙස්සමින් ඒ කතාව සූදානම් කරනවා. කතාව ඉදිරිපත් කරන්න නියමිත දිනයේදී යාළුවෙක් මම සූදානම් කරපු කරුණු ටික වේදිකාවේ සිට කියවනවා.

යෙහෝවා දෙවි මට දැක්වූ ප්‍රේමයට අගය පෙන්වන්න නම් ඔහු ගැන තව තවත් ඉගෙනගනිමින් ඔහුට කැපවී බව්තීස්ම වෙන්න අවශ්‍යයි කියලා මම තේරුම්ගත්තා. මේ ගැන දෙමාපියන් එක්ක කතා කරන්න මට ලේසි වුණේ නැහැ. ඔවුන්ද එයට කැමති වුණේ නැහැ. කෙසේවෙතත් මම භය වුණේ නැහැ. යෙහෝවා දෙවිගේ සහ මගේ ඇදහිලිවන්ත සාක්ෂිකරුවන්ගේ උපකාරයෙන් 1992 අගෝස්තු මාසේ මම බව්තීස්ම වුණා. මේ අවස්ථාවට මගේ අයියයි නෑනයි පැමිණ සිටීම මට මොන තරම් සතුටක් වුණාද!

මගේ ආකල්ප වෙනස් වෙයි

දෙවිගේ වචනයෙහි ඇති ප්‍රතිපත්ති ක්‍රමක්‍රමයෙන් පැහැදිලි වුණ නිසා මම දැනගත්තා වෙනස් කරන්න අවශ්‍ය වැරදි ආකල්ප මොනවාද කියලා. මගේ ආබාධය නිසා නිතරම හිතුවේ මං ගැන විතරයි. මේ හැඟීම්වලින් මිදෙන්න මට යම් පොරබැදීමක් කරන්න සිදු වුණා. මම දැන් අනුන් ගැනත් හිතන්න ඕනෙ වගේම ඔවුන් මට කරන උදව්වලටත් ස්තුති කරන්න ඕනෙ.

හැමතිස්සෙම මං ගැන හිතලා දුක් වෙන්නේ නැතුව අනිත් අයටත් උදව් කරන්න ඕනෙ කියලා මට හිතුණා. අනික මට මොනවා හරි වුණාම තරහා නොවී ඒ ගැන හිනා වෙන්න වුණත් මම ඉගෙනගත්තා. දවසක් මමයි සහෝදරයෝ දෙන්නෙකුයි දේශනා සේවයේ යද්දී හොඳ වැඩක් වුණා. අපි එක ගෙදරකට තට්ටු කරද්දී පොඩි ගැහැනු ළමයෙක් ඇවිත් දොර ඇරියා. මාත් එක්ක හිටිය එක්කෙනෙක් ඇහුවා, දුවේ අම්මා හරි තාත්තා හරි ගෙදර ඉන්නවාද කියලා. මේ පොඩි ළමයා, “අම්මේ, මිනිස්සු දෙන්නෙක් ලෙඩෙක් අරන් ඇවිල්ලා” කියලා කෑ ගැහුවා. මාව දැක්ක ඒ අම්මට කියාගන්න දෙයක් නැතුව අපහසුතාවට පත් වුණා. එතකොට මාත් එක්ක හිටිය දෙන්නා මෙහෙම කිව්වා. “ඇත්තටම අපි දෙන්නා තමයි අසනීපෙන් ඉන්නේ ඒ වුණාට මෙයා හොඳින්” කියලා. අප හැමෝටම හිනා ගියා. ඊට පස්සේ ඇයත් එක්ක හොඳ සාකච්ඡාවක් කරන්න අපිට පුළුවන් වුණා.

පුරෝගාමී සේවය

මගේ බව්තීස්මයෙන් පස්සේ මම මාසෙකට පැය 60ක් දේවසේවය සඳහා වෙන් කර උපකාරික පුරෝගාමියෙක් ලෙස මාස නවයක් පුරා සේවය කළා. ඒත් මට ඕනෙ මීටත් වඩා වැඩියෙන් කරන්න නිසා මම වැඩි කාලයක් කැප කරමින් ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. මුල් මාස කිහිපය ටිකක් අමාරු වුණා. බොහෝ අය හිතුවේ මම ඔවුන්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ සල්ලි ඉල්ලන්න කියලා. මෙහෙම වෙනකොට මම වගේම මා සමඟ ගිය අයටත් ටිකක් ලැජ්ජ හිතුණා.

තවත් දෙයක් තමයි සභාවේ ඉන්න හුඟක් අය මට උදව් කරන්න කැමතියි. එහෙත් මම කතා කරන දේ තේරුම්ගන්න බැරි නිසා මට උදව් කරන්න අවශ්‍ය විදිහ ඔවුන්ට තේරෙන්නේ නැහැ. නමුත් යෙහෝවා දෙවිගේ උපකාරය හා සාක්ෂිකාර සහෝදර සහෝදරියන්ගේ වෑයම නිසා මට හැකි වුණා එම තත්වයෙන් ගොඩ එන්න. මිනිසුන් දැන් මාව සලකන්නේ නිකම්ම නිකම් ලෙඩෙක් හැටියට නෙවෙයි නමුත් අන් අයට යෙහෝවා දෙවි ගැන දැනගන්න උපකාර කරන සාක්ෂිකාරයෙක් හැටියටයි.

එක්දාස් නවසිය අනුහතරේ ජූලි මාසේ පැවැත්වූ සති දෙකක පුරෝගාමී පාසැලටද මට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී අපිට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති මෙන්ම දේශනා සේවය හා මිනිසුන්ට සත්‍ය කියා දීමේ වැඩය ගැන මඟ පෙන්වීම් හා ප්‍රායෝගික පුහුණුවක්ද ලැබුණා. මගේ නිවසේ සිට පාසැලට යන්න කිලෝමීටර් 60ක දුරක් තිබුණත් එම බාධාවත් මම ජයගත්තා. රෑට ගෙදරින් පිට ඉන්න අමාරු නිසා මාව උදේට පාසැලට එක්කගෙන යෑමත් හවසට ගෙදර එක්කගෙන ඒමත් සහෝදරයන් මාරුවෙන් මාරුවට කළා. දවල් කෑම කන වෙලාවට කවුරුහරි මාව උස්සගෙන දෙවෙනි තට්ටුවට අරන් යනවා මොකද අපි හැමෝම කෑම කෑවේ එකට.

තවත් විශාල වගකීමක්

මාව 2003 මාර්තු මාසේ සභා වැඩිමහල්ලෙක් ලෙස පත් කළා. මට දැන් සිදු වෙනවා වැඩි වැඩියෙන් අනිත් අය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. යේසුස් කියූ මේ වචනවල අදහස මට දැන් හොඳින්ම පැහැදිලියි. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.” (ක්‍රියා 20:35) මා සමඟ වැඩ කරන සෙසු වැඩිමහල්ලන් හුඟක් හොඳ සහෝදරයන්. ඔවුන් මගේ වැඩවලට උදව් කරනවා. සභාවේ හැමෝම මාව අගය කරනවා. විශේෂයෙන්ම යෞවනයන්. ඔවුන්ගේ දේවල්වලටත් මාව හවුල් කරගන්නවා. ඔවුන් මම බාධාවන් ජයගෙන කොහොමද යෙහෝවා දෙවිට සේවය කරන්නේ කියලා දකින නිසා ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නවලින් ජයගන්න උපකාරත් මගෙන් ඉල්ලනවා.

මම දැනගත්ත දෙයක් තමයි පුද්ගලයෙකුට සන්තෝෂය ලැබෙන්නේ හොඳ ශරීර සෞඛ්‍යයකින් පමණක් නොවන බව. වැදගත්ම දේ වන්නේ යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගැනීම හා ඔහුගේ කැමැත්ත කිරීමයි. මට දවසක රෝද පුටුවක් නැතුව යන්න පුළුවන් වෙනවා කියන බලාපොරොත්තුව ගැන මම දෙවිට ස්තුතිවන්ත වෙනවා. ‘කොරා මුවෙකු මෙන් පැන යන්නේය’ කියන කාලය එන තෙක් මම බලන් ඉන්නේ ආසාවෙන්. ඒවගේම මට ඕන සැබෑ දෙවිට සදාකාලයටම සේවය කරන්නයි.—යෙසායා 35:5, 6

[පාදසටහන]

^ 8 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. සිංහලෙන් නැහැ.

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මිනිසුන් දැන් මාව සලකන්නේ නිකම්ම නිකම් ලෙඩෙක් හැටියට නෙවෙයි නමුත් අන් අයට යෙහෝවා දෙවි ගැන දැනගන්න උපකාර කරන සාක්ෂිකාරයෙක් හැටියටයි

[21වන පිටුවේ පින්තූරය]

මම නහයෙන් පරිගණකය පාවිච්චි කරමින් සභා රැස්වීම්වලට සූදානම් වෙනවා