Skip to content

පටුනට යන්න

මිනිසා මිය ගිය විට දේවදූතයන් වේද?

මිනිසා මිය ගිය විට දේවදූතයන් වේද?

බයිබලයෙන් පිළිතුරක්

මිනිසා මිය ගිය විට දේවදූතයන් වේද?

ආරිරෝ මිය ගියේ ළාබාල වයසේදීයි. මේ පුංචි දියණියට තම ජීවිතය අහිමි වුණේ වයස අවුරුදු හතේදීයි. ඇය ලස්සන සුදු ඇඳුමකින් සැරසී සිටියත් මිනිපෙට්ටිය දකින විට ආරිරෝගේ දෙමාපියන්ට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද? පූජකවරයා ඔවුන්ව සනසන්න උත්සාහ කරමින් පැවසුවේ, “දෙවියන් වහන්සේට තවත් දේවදූතයෙක් අවශ්‍ය නිසයි පුංචි ආරිරෝව ගත්තේ, දැන් ඇගේ ආත්මය දෙවියන් වහන්සේ සමඟයි ඉන්නේ” කියලයි.

බොහෝදෙනාගේ මතය නම් මිනිසෙකු මිය යන විට ඔහුගේ ශරීරය මැරුණත් ආත්මය ඉතිරි වන බවයි. (එනම් ආත්මය හෙවත් අමරණීය දෙයක්.) බොහෝ ආගම්වල සිටින අය මේ මතය පිළිගන්නවා. ඔවුන්ගෙන් සමහරෙක් විශ්වාස කරන්නේ කෙනෙක් මිය ගිය විට ඔහුගේ ආත්මය ස්වර්ගයට ගිහින් දේවදූතයෙක් වන බවයි. ඊට අමතරව චිත්‍රපටි සහ ටෙලිනාට්‍යවල මේ අදහස තවත් ජනප්‍රිය කර තිබෙනවා. ඒවාවල පෙන්වන්නේ පුද්ගලයෙක් මැරුණට පස්සේ ඔහුගේ ආත්මය ජීවතුන් අතර සිටින්නන්ට උපකාර මෙන්ම ආරක්ෂාව සපයනවා නම් ඔහුට දේවදූතයෙක් වීමට සුදුසුකම් ලැබෙන අතර ඔහුට ‘තටුද’ ලැබෙන බවයි.

මේ මතය සැබෑවක්ද? ඔබ ප්‍රේම කරන කෙනෙක් මැරුණට පස්සේ දේවදූතයෙක් වෙයි කියලා ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්ද? බයිබලයේ මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද? පිළිතුර සඳහා ශුද්ධ බයිබලය පරීක්ෂා කිරීමෙන් දේවදූතයන් කියන්නේ කවුද, ඒ වගේම මිය ගිය කෙනෙකුගේ සැබෑ තත්වය කුමක්ද කියා අපට පැහැදිලිවම දැනගන්න පුළුවන්.

අද්විතීය නිර්මාණයක් වන දේවදූතයෝ

දේවදූතයන් කියන්නේ දෙවි විසින් නිර්මාණය කළ ඇසට නොපෙනෙන ස්වර්ගයේ වෙසෙන බලවත් ජීවීන්ටයි. මේ අය කණ්ඩායමක් වශයෙන් දෙවිට සේවය කරනවා. දේවදූතයන් ජීවත් වන්නේ මනුෂ්‍යයන්ගෙන් ස්වාධීනවයි. බයිබලයේ පවසන්නේ “[දේවදූතයන්] යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා; මක්නිසාද ඔහු අණ කළේය; එවිට ඒවා [ඔවුන්] මවන ලද්දේය” කියායි.—ගීතාවලිය 148:2, 5.

දේවදූතයන්ට පවරා ඇති වැඩ විවිධයි. බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට සෙරාප්වරුන්, කෙරුබ්වරුන් ඇතුළු මිලියන සංඛ්‍යාත විශ්වාසවන්ත දේවදූතයන් කීකරුව දෙවිට සේවය කරන්නේ ඔවුන්ගේ තත්වය හා පැවරුමට අනුවයි. (ගීතාවලිය 103:20, 21; යෙසායා 6:1-7; දානියෙල් 7:9, 10) දෙවිට දේවදූතයන්ව නිර්මාණය කිරීමට මිනිසුන් මිය යන්න අවශ්‍ය වුණාද? කොහෙත්ම නැහැ. එය හිතාගන්නවත් බැරි දෙයක්.

බයිබලයේ දේවදූතයන්ව අලංකාර ලෙස විස්තර කර තිබෙන්නේ පහන් තාරකාවන් හැටියටයි. ඊට අමතරව දේවදූතයන්ව මැව්වේ මිනිසාව මැවීමට බොහෝ කලකට පෙර බවත් එහි පෙන්වනවා. යෙහෝවා දෙවි පෘථිවිය නිර්මාණය කළාට පසුව ඔහු සමඟ සිටි දේවදූතයන් ‘එකතුව ගීතිකා කී බවත්, ප්‍රීති නාද පැවැත්වූ බවත්’ බයිබලයේ පවසනවා.—යෝබ් 38:4-7.

දේවදූතයන් මිනිසාට වඩා පෙනුමෙන් වෙනස් වෙනවා පමණක් නොව යෙහෝවා දෙවි ඔවුන් සඳහා අරමුණු කළ දෙයත් වෙනස්. දෙවි මිනිසාව “දේවදූතයන්ට වඩා මදක් පහත්” ලෙස නිර්මාණය කළ නිසා මිනිසාට වඩා දේවදූතයන් බුද්ධියෙන් හා හැකියාවන්ගෙන් උසස්. (හෙබ්‍රෙව් 2:7) දේවදූතයන්ගේ “නියම වාසස්ථානය” වන්නේ ස්වර්ගයයි. (යූද් 6) ඒත් මිනිසා සඳහා දෙවි අරමුණු කළේ සදාකාලයටම මේ පොළොවේ ජීවත් වීමයි. (උත්පත්ති 1:28; 2:17; ගීතාවලිය 37:29) මුල් මිනිස් යුවළ දෙවිට කීකරු වී සිටියා නම් ඔවුන්ට මේ පොළොවේ නොමැරී සදාකාලයටම ජීවත් වෙන්න තිබුණා. මෙයින් අපට පැහැදිලි වන්නේ පටන්ගැන්මේ සිට දෙවි මිනිසා සඳහා අරමුණු කළ දෙය සහ දේවදූතයන් සඳහා අරමුණු කළ දෙය අතර වෙනසක් ඇති බවයි.

මරණයේදී සිදු වන්නේ කුමක්ද?

තවත් වැදගත් ප්‍රශ්න කීපයකට පිළිතුරු සොයන්න අවශ්‍යයි. එනම් පුද්ගලයෙක් මැරුණට පස්සේ ඔහුට සිදු වෙන්නේ මොකක්ද? ක්ෂණිකවම ඔහුගේ පැවැත්ම වෙනස් වී ඔහු දේවදූතයෙක් වෙනවාද? බයිබලයේ මේ සඳහා පැහැදිලි සරල පිළිතුරක් සපයනවා. “ජීවත් වන්නෝ තමන් නසින බව දනිති; එහෙත් මළාහු කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5) මනුෂ්‍යයෙක් මිය ගිය විට ඔහුගේ පැවැත්ම එතැනින් නතර වෙනවා. මිය ගිය කෙනෙකුට කිසි හැඟීමක්වත් දැනීමක්වත් නැහැ.

එසේනම් මිය ගිය අය පිළිබඳව බලාපොරොත්තුවක් නැද්ද? බයිබලයේ සඳහන් කරන ආකාරයට ඔවුන්ට ඇති බලාපොරොත්තුව නම් නැවත නැඟිටීමයි. මිය ගිය අය අතරින් අතිමහත් ජනකායක් පාරාදීස පොළොවක නැවතත් මනුෂ්‍යයන් වශයෙන් ජීවනය ලබන්න යනවා.—ලූක් 23:43; යොහන් 5:28.

සීමිත සංඛ්‍යාවකට ස්වර්ගික ජීවිතයක් සඳහා නැවත නැඟිටීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. සංඛ්‍යාත්මකව ගත් කල ඔවුන් 1,44,000ක් පමණයි. කෙසේවෙතත් මෙම 1,44,000දෙනාවවත් දේවදූතයන් කියා හඳුන්වන්නේ නැහැ. උදාහරණයකට 1,44,000දෙනා රජවරුන් හා පූජකයන් ලෙස යේසුස් සමඟ පාලනයට හවුල් වෙනවා. ඔවුන් විනිශ්චයකාරයන්ද වෙනවා. (1 කොරින්ති 6:3; එළිදරව් 20:6) එසේනම් මේ අය මිය ගිය ළදරුවන්ද? නැහැ. යේසුස්ගේ අනුගාමිකයන් වන ඔවුන් විවිධ පරීක්ෂාවලට මුහුණ දී මරණය දක්වාම විශ්වාසවන්තකම රැකගෙන තිබෙන අයයි.—ලූක් 22:28, 29.

තවදුරටත් මිය ගිය පුද්ගලයෙක් හා දේවදූතයෙක් අතර ඇති වෙනස ගැන මදක් කල්පනා කර බලන්න. මිය ගිය පුද්ගලයෙක් ‘කිසිවක් දන්නේ නැහැ.’ එනමුත් දේවදූතයන්ට සම්පූර්ණ සිහිකල්පනාව සහ හැඟීම් තිබෙනවා පමණක් නොව ස්වාධීනව කටයුතු කරන්න හැකියාවත් තියෙනවා. (උත්පත්ති 6:2, 4; ගීතාවලිය 146:4; 2 පේතෘස් 2:4) මළවුන්ව විස්තර කරන්නේ ‘අප්‍රාණික’ හෝ බලයක් නැති අය හැටියටයි. ඒත් දේවදූතයන්ව විස්තර කරන්නේ ‘බලසම්පන්න වූ’ අය හැටියටයි. (යෙසායා 26:14; ගීතාවලිය 103:20) ආදම් කළ වරද නිසා ඔහුගෙන් පැවතෙන මිනිස් වර්ගයාට මරණය උරුම වී තිබෙනවා. නමුත් දේවදූතයන්ට මරණය උරුම වී නැහැ. ඔවුන්ට දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න පුළුවන්.—මතෙව් 18:10.

මිය ගිය පුද්ගලයෙක් දේවදූතයෙක් වෙනවා යන අදහස චිත්‍රපටිවල හෝ රූපවාහිනි වැඩසටහන්වල පෙන්නුම් කළත් මේ මතයට ශුද්ධ ලියවිල්ල එකඟ නැහැ. අපේ මිය ගිය ප්‍රේමණීයයන් ගැන සත්‍යය දැනගන්නත් ඒ ගැන ඇති වැරදි අදහස් මඟහරින්නත් බයිබලය අපට උපකාර කරනවා. දේවදූතයන් කියන්නේ වෙනම නිර්මාණයක් වගේම ඔවුන් දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් බව බයිබලයේ පවසනවා. මනුෂ්‍යයන්ට වඩා උසස් ඔවුන් හැමවිටම දෙවිගේ කැමත්ත කරන්න සූදානම්. දෙවිගේ අරමුණ නම් ඔහුට ඇදහිලිවන්තව සේවය කරන අයව බලාගැනීමට හා උදව් උපකාර කිරීමට මෙවැනි දේවදූතයන්ව යොදාගැනීමයි. මෙය අපට මොන තරම් සතුටක්ද!—ගීතාවලිය 34:7.

මේ ගැන ඔබ සිතුවාද?

▪ ඔබගේ ප්‍රේමණීය කෙනෙක් මිය ගිය විට ඔහු දේවදූතයෙක් වෙලා ස්වර්ගයේ සිට දෙවිට සේවය කරනවාද?—දේශනාකාරයා 9:5, 10

▪ දරුවන් මිය යන්නේ දෙවිට තවත් දේවදූතයන් අවශ්‍ය නිසාද?—යෝබ් 34:10

▪ ජීවතුන්ව ආරක්ෂා කරන්න මිය ගිය අයට පුළුවන්ද?—යෙසායා 26:14

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“[දේවදූතයන්] යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා; මක්නිසාද ඔහු අණ කළේය; එවිට ඒවා මවන ලද්දේය”—ගීතාවලිය 148:2, 5.