Skip to content

පටුනට යන්න

මිල කළ නොහැකි දියරය

මිල කළ නොහැකි දියරය

මිල කළ නොහැකි දියරය

“ප්‍රවාහණයට ඛනිජ තෙල් අවශ්‍ය වන්නා සේම ජීවිතයට රුධිරය අවශ්‍යයි.”—පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ජෛව ශාස්ත්‍ර පීඨයේ අධ්‍යක්ෂක ආතර් කැප්ලන්.

මේ දිනවල ඛනිජ තෙල්වල මිල අහස උසට නැඟෙන නිසා හුඟදෙනෙක් සිතන්නේ තිබෙන වටිනාම දියරය එය කියායි. මේ ගැන ටිකක් සිතන්න. මිනිසාගේ ඉල්ලුමට අවශ්‍ය ඛනිජ තෙල් සැපයීම සඳහා සෑම වසරකම තෙල් බැරල් බිලියන ගණනාවක් භූ තලයෙන් ඇදගැනීමට සිදු වෙනවා. මෙම ඛනිජ තෙල්වලට වඩා බෙහෙවින් වටිනා දියර වර්ගයක් අපි හැම කෙනා ළඟම තිබෙනවා. රෝගීන් සඳහා සෑම වසරකම මේ දියර ඒකක මිලියන 90ක් පමණ මිනිසුන්ගෙන් ලබාගැනීමට සිදු වෙනවා. එම දියරය රුධිරයයි. * එම විශාල ප්‍රමාණය පියවීමට නම් මිනිසුන් 80,00,000කගේ පමණ රුධිරය අවශ්‍යයි.

ඛණිජ තෙල් නැති දාට ප්‍රවාහණයට කුමක් වේද? රුධිරය නැති දාට ජීවිතයට කුමක් වේද? ලොව පුරා වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් රුධිරය හිඟවීම ගැන නිතර අනතුරු අඟවනවා. (“රුධිර හිඟය කොතැනත්” යන කොටුව බලන්න.) රුධිරය මෙතරම් වටින්නේ මන්ද?

අද්විතීය දෙයක්

බොහෝ දේ අඩංගු රුධිරයෙන් ශරීරයට විශාල වැඩ කොටසක් ඉටු වන බැවින් එය අද්විතීය දෙයක්. එමනිසා එය ශරීරයේ ඉන්ද්‍රියයක් හැටියටත් හඳුන්වා තිබෙනවා. “ශරීරය තුළ විවිධාකාරයෙන් ක්‍රියාත්මක ඉන්ද්‍රියයන්ගෙන් එකක් රුධිරය. අදහාගත නොහැකි වැඩක් ඉන් ඉටු කෙරෙනවා” කියා පිබිදෙව්! සඟරාවට පැවසුවේ වෛද්‍ය බෲස් ලෙනස්. එක් විද්‍යා පොතක රුධිරය ගැන පැහැදිලි කර තිබෙන්නේ “ශරීරයේ ද්‍රව ලෙස පවතින එකම ඉන්ද්‍රිය” රුධිරය කියායි. රුධිරය “ජීවමාන ප්‍රවාහණ පද්ධතියක්” හැටියටත් එම පොතේම සඳහන් වෙනවා. එයින් අදහස් කරන්නේ කුමක්ද?

“රුධිර සංසරණ පද්ධතිය හරියට නළ පද්ධතියක් වගෙයි. එතුළ ප්‍රයෝජනවත් සියල්ල මෙන්ම බොහෝ අපද්‍රව්‍යත් ගමන් කරනවා” කියා එන්. ලී ඇන්ඩසන් නම් විද්‍යාඥයා පැවසුවා. අපේ මුළු රුධිර සංසරණ පද්ධතියේ දිග කිලෝමීටර් 1,00,000ක් වන අතර රුධිරය එම දීර්ඝ ගමනේ යෙදෙද්දී හෘදය, වකුගඩු, අක්මාව සහ පෙණහලු යන අතිවැදගත් ඉන්ද්‍රියයන් ඇතුළු සිරුරේ තිබෙන සෑම පටකයක් හරහාම දිව යනවා.

ඔබේ සිරුරේ ඇති සෛලවලට ඔක්සිජන්, පෝෂ්‍ය පදාර්ථ හා සෞඛ්‍යය රැකීමට අවශ්‍ය දේ වැනි “ප්‍රයෝජනවත් දේවල්” රුධිරය මගින් ලබා දෙන අතර විෂ සහිත කාබන් ඩයොක්සයිඩ්, හානි වූ හා මැරුණු සෛල මෙන්ම වෙනත් අපද්‍රව්‍යයත් එමගින් ඉවතට ගෙන යනවා. රුධිරය තුළ මේ අපද්‍රව්‍ය තිබෙන නිසා සිරුරෙන් ඉවත් වූ රුධිරයෙන් පවා හානි විය හැකියි. කෙනෙකුට රුධිරය ලබා දීමට පෙර එහි ඇති සියලුම අපද්‍රව්‍ය හඳුනාගෙන ඒවා ඉවත් කර තිබෙන බවට සහතික වීමට කිසිවෙකුටත් නොහැකියි.

ජීවිතය පවත්වාගැනීමට රුධිරය අත්‍යවශ්‍යයි. රුධිරය අඩු රෝගීන්ට රුධිරය දීමට වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටින්නන් පුරුදු වී තිබෙන්නේ ඒ නිසයි. රුධිරය මිල කළ නොහැකි අගනා වස්තුවක් වී ඇත්තේ ඒ හේතුවෙන්යයි බොහෝ වෛද්‍යවරුන් පැවසිය හැකියි. නමුත් වෛද්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු වෙමින් පවතිනවා. කලක් රුධිරය ගන්න කියා නිර්දේශ කිරීමට ඉක්මන් වූ බොහෝ වෛද්‍යවරුන් හා ශල්‍ය වෛද්‍යවරුන් දැන් ඒ ගැන දෙවරක් හිතන්න පටන්ගෙන තිබෙනවා. ඊට හේතුව කුමක්ද?

[පාදසටහන]

^ 3 ඡේ. ඒකකයක රුධිරය මිලිලීටර් 450ක් (පයින්ට් 1ක්) අඩංගුයි.

[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රුධිර හිඟය කොතැනත්

සෑම වසරකම ලොව පුරා තවත් රුධිර ඒකක මිලියන 200ක් අවශ්‍ය වන බවට වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් තක්සේරු කර තිබෙනවා. මුළු ලෝක ජනගහනයෙන් සියයට 82ක් සංවර්ධනය වෙමින් පවතින රටවල වෙසුණත් එම රටවලින් ලේ දන් දෙන්නේ සියයට 40කට වඩා අඩු සංඛ්‍යාවක්. එම රටවල බොහෝ රෝහල් රුධිර හිඟයකට මුහුණ පා තිබෙනවා. කෙන්යාවේ පුවත්පතක් වාර්තා කළේ ‘රුධිර හිඟය නිසා රුධිරය ලබා දීමට අවශ්‍යව තිබූ ප්‍රතිකාරවලින් අඩක්ම නතර කිරීමට හෝ කල් දැමීමට සිදු වී තිබෙන බවයි.’—එම පුවත්පත The Nation.

ධනවත් රටවලත් රුධිර හිඟය සාමාන්‍ය දෙයක් වෙලා. එක් හේතුවක් වන්නේ අද වෙසෙන ජනයාගේ ආයුෂ කාලය දිගු වීම හා වෛද්‍ය තාක්ෂණයන් දියුණු වීම නිසා වැඩි වැඩියෙන් සැත්කම් සිදුවීමයි. අනෙක අධි අවදානම් සහිත ජීවන රටා ගත කිරීම, සංචාරයන්වල යෙදෙන අය රෝගවලට හෝ පරපෝෂිතයන්ට ගොදුරු වීම නිසා එවැනි අය දෙන රුධිරය භාරගන්න වෛද්‍ය ක්ෂේත්‍රය පසුබැසීමයි.

ලේ බැංකු වැනි රුධිරය ගබඩා කිරීමේ කාර්ය භාරයේ නියැලෙන අය අතරත් කලකිරුණු තත්වයක් ඇති වෙලා. අවදානම් සහිත ජීවන රටා ගත නොකරන යෞවනයන් ආරක්ෂිත රුධිරය සපයන්නන් ලෙස සලකන නිසා, ඔවුන්ගෙන් රුධිරය ලබාගන්න පටන් ගෙන තිබෙනවා. සිම්බාබ්වේවලට අවශ්‍ය වී ඇති රුධිරයෙන් සියයට 70ක් සපයන්නේ එහි පාසැල් දරුවන්. ලේ ගබඩා කරන ස්ථානවල සේවා කාලය දැන් දිගු කර තිබෙන අතර ලේ දන් දීමට දිරිගැන්වීම සඳහා සමහර රටවල දිරි දීමනාවක් හෝ වෙනත් යමක් දීමට එවැනි ස්ථානවලට ඉඩහැර තිබෙනවා. ඊට කදිම නිදසුනක් බලමු. චෙක් ජනරජයෙන් වැඩපිළිවෙළක් දියත් කරමින් රටවැසියන්ට මෙවැනි ආරාධනාවක් කළා. තම ගත සිත පිනවාගැනීමට බීර ලීටර් කීපයක් ලබාගන්න ආස නම් තමන්ගේ ලේ බිඳක් පමණක් පරිත්‍යාග කරන්න! ඉන්දියාවේ එක් ප්‍රදේශයක බලධාරීන් මෑතකදී ගෙයින් ගෙට ගියේ හිඟය පියවාගැනීමට රුධිරය පරිත්‍යාග කරන්නන් සෙවීමටයි.