Skip to content

පටුනට යන්න

මිල කළ නොහැකි රුධිරය

මිල කළ නොහැකි රුධිරය

මිල කළ නොහැකි රුධිරය

“මුළු මිනිස් සංහතියටම උරුම වූ දෙයක් රුධිරය. ආගම, ජාතිය හෝ සමේ පාට කුමක් වුවත් සෑමදෙනාගේම ජීවන බලය පවතින්නේ රුධිරයෙයි.”—එක්සත් ජාතීන්ගේ මහා රැස්වීමේ සභාපති.

එම වදන්වල යම් සත්‍යතාවක් තිබෙනවා. සෑම මිනිසෙකුටම ජීවත් වීමට රුධිරය අත්‍යවශ්‍යයි. එහෙත් වෛද්‍ය අවශ්‍යතා අනුව මිනිසුන් එම දියරය බෙදාගැනීම ආරක්ෂිත මෙන්ම නැණවත් දෙයක් කියා ඔබට ඒත්තුගොස් තිබෙනවාද?

රුධිරය ලබාගැනීම බොහෝදෙනෙක් හිතන තරම් ආරක්ෂිත නැති බව අප දැන් දන්නවා. ඊට හේතුව ආරක්ෂාව පිළිබඳ හැම තැනම එකම ප්‍රමිතියක් නැති නිසයි. වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය, දක්ෂතා සහ අදහස් වෙනස් නිසා ඔවුන් රුධිරය යොදාගන්නා ආකාරයත් එකිනෙකාට හාත්පසින්ම වෙනස්. නමුත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් රුධිරය ලබා දීම සම්බන්ධයෙන් කල්පනාකාරී වන අතර සෑහෙන සංඛ්‍යාවක් වැඩි කැමැත්තක් දක්වන්නේ රුධිරය නොදී ප්‍රතිකාර කරන්නයි.

රුධිරය ප්‍රතිකාරයක් වශයෙන් යොදාගැනීම ප්‍රශ්නයක් වී ඇත්නම් රුධිරයෙන් ඉටු වන වෙනත් දෙයක් ඇද්ද? මේ ලිපි මාලාවේ මුල් ලිපියේ සඳහන් වූ රුධිරය මෙතරම් වටින්නේ ඇයි යන ප්‍රශ්නය නැවත සලකා බලන්න අපිට සිදු වෙනවා.

නිර්මාතෘගේ අදහස

මුළු මිනිස් වර්ගයාගේ මුතුන්මිත්තෙකු වූ නෝවාගේ කාලයේදී මිනිසාගේ නිර්මාතෘ වන දෙවි විශේෂ යමක් පැවසුවා. සත්ව මස් කන්න අවසර දුන්නත් එහි ඇති රුධිරය කෑම තහනම් කරන නීතියක් පැනෙව්වා. (උත්පත්ති 9:4) ඊට හේතුව වුණේ සතාගේ ප්‍රාණය නැත්නම් ජීවිතය පවා දෙවි විසින් රුධිරයට සමාන කළ නිසයි. පසුව ඔහු “ප්‍රාණය ලෙයෙහි වේ” කියා පැවසුවා. එයින් ඇඟවෙන්නේ සෑම ජීවියෙකුවම ජීවත් කරවන පණ අගනා තෑග්ගක් වන අතර එය රැඳී තිබෙන්නේ රුධිරයේ බවයි. විවිධ අවස්ථාවලදී දෙවි යළි යළිත් මේ ප්‍රතිපත්තිය ගැන කතා කළා.—ලෙවී කතාව 3:17; 17:10, 11, 14; ද්විතීය කතාව 12:16, 23.

මීට වසර 2,000කට පමණ පෙර ක්‍රිස්තියානි සභාව පිහිටුවා වැඩි කලක් යන්න කලින් ක්‍රිස්තියානීන්ට මෙවැනි අණක් දුන්නා. ‘ලෙයින් වැළකී සිටින්න.’ මෙම තහනම දැමුවේ සෞඛ්‍ය හේතු මත නොව දෙවි ඉදිරියේ රුධිරයේ ඇති පරිශුද්ධභාවය නිසයි. (ක්‍රියා 15:19, 20, 29) “වැළකී සිටින්න” කීමෙන් අදහස් කරන්නේ රුධිරය කන්න එපා කියලනේ කියා සමහරු වාද කරනවා. ඒත් වෛද්‍යවරයෙක් අපට මත්පැන්වලින් වළකින්න කියා කිව්වොත් අප එය බොන්නේ නැතුව එන්නත් කරගැනීම සුදුසු වෙයිද?

රුධිරය මෙතරම් පරිශුද්ධ වන්නේ මන්දැයි බයිබලයේ තවදුරටත් පැහැදිලි කරනවා. යේසුස් ක්‍රිස්තුස් මිනිස් වර්ගයා වෙනුවෙන් තම ජීවිතය පූජා කරමින් වැගිරෙවූ රුධිරය ක්‍රිස්තියානීන්ගේ බලාපොරොතුව සඳහා පදනමයි. ඉන් අදහස් වන්නේ යේසුස් ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරය නිසා පාපයට සමාවත් සදාකාල ජීවනය සඳහා බලාපොරොත්තුවත් අපට තිබෙන බවයි. ක්‍රිස්තියානියෙකු ලෙයින් වැළකීමෙන් පෙන්වන්නේ ක්‍රිස්තුස් වැගිරෙවූ රුධිරය මගින් ලැබෙන සැබෑ ගැලවීම පිළිබඳ තමාට ඇදහිල්ලක් තිබෙන බවයි.—එෆීස 1:7.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ප්‍රසිද්ධ වී තිබෙන්නේ බයිබලයේ ඇති ආඥා පිළිපදින්නන් ලෙසයි. ඔවුන් සම්පූර්ණ රුධිරය හෝ එහි අඩංගු ප්‍රධාන කොටස් හතර වන රතු රුධිරාණු, සුදු රුධිරාණු, ප්ලාස්මාව හා පට්ටිකා ගැනීමෙන්ද වළකිනවා. එම ප්‍රධාන කොටස්වලින් වෙන් කරගත් වෙනත් අතුරු කොටස් සහ එවැනි අතුරු කොටස් අඩංගු නිෂ්පාදනයන් ගැන බයිබලයේ අදහසක් දක්වා නැහැ. එමනිසා ඒවා ලබාගැනීම ගැන සාක්ෂිකරුවන් පෞද්ගලිකව තීරණයක් ගන්නවා. සාක්ෂිකරුවන් මෙලෙස බයිබලයේ ප්‍රමිතියක් මත පිහිටා සිටීමෙන් අදහස් කරන්නේ ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන බවද? එසේ නැතහොත් තම සෞඛ්‍යය හා ජීවිතය ගැන ඔවුන් සැලකිල්ලක් නොදක්වන බවද? කොහොමටවත් නැහැ. (“සෞඛ්‍යය හා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ” යන කොටුව බලන්න.)

බයිබල් ප්‍රමිති පිළිපැදීමෙන් සාක්ෂිකරුවන් සෞඛ්‍යය රැකගෙන තිබෙන බව බොහෝ වෛද්‍යවරුන් මෑතකදී තේරුම්ගෙන තිබෙනවා. උදාහරණයකට රුධිරය ලබාගන්නවා වෙනුවට විකල්ප ප්‍රතිකාර තෝරාගැනීම ගැන ස්නායු ශල්‍ය විශේෂඥයෙක් මෑතකදී ප්‍රසාදය පළ කළා. ඔහු පැවසුවේ මෙයයි. “එහෙම කරන එක තමයි හොඳම දේ. මේක යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට සුදුසුයි.”

සෞඛ්‍ය සම්බන්ධයෙන් බැරෑරුම් තීරණ ගැනීම ලේසි පහසු දෙයක් නෙවෙයි. එය මානසික පීඩනයක් ඇති කරන අසීරු වැඩක්. රුධිරය ලබා දීමේ පුරුද්ද ගැන ශ්වසන රෝග විශේෂඥ මෙන්ම වෛද්‍ය අධ්‍යක්ෂක මාහාචාර්ය ඩේව් විලියම්ස් පැවසුවේ මෙයයි. “මිනිසුන්ගේ කැමැත්තට අපි ගරු කිරීම වැදගත් . . . වගේම අපේ ශරීරය තුළට ගන්නා දේ ගැනත් අපි හුඟක් සැලකිලිමත් වෙන්න ඕන.” එම වදන් වෙන කෙදිනකටත් වඩා අද සැබෑවක් වී තිබෙනවා.

[11වන පිටුවේ කොටුව/පින්තූර]

මේ අලුත් නිෂ්පාදනය සුදුසුද නැද්ද?

සෑම රතු රුධිරාණුවක හීමොග්ලොබින් අණු මිලියන 300ක් පමණ අඩංගුයි. හොඳින් වැඩුණු රතු රුධිරාණුවක හීමොග්ලොබින් තුනෙන් එකක් පමණ තිබෙනවා. සෑම හීමොග්ලොබින් අණුවකම ග්ලොබින් නමැති ප්‍රෝටීනය මෙන්ම හීම් නම් වර්ණකය හා යකඩ පරමාණු සංයෝගයක් අඩංගුයි. රුධිරය පෙණහලු තුළින් ගමන් කරන විට ඔක්සිජන් අණු රතු රුධිරාණුවලට ඇතුල් වී හීමොග්ලොබින් අණුවලට සම්බන්ධ වෙයි. පසුව එම රුධිරය සිරුරේ පටකයන් වෙත ගමන් කර සෛලවලට අවශ්‍ය ඔක්සිජන් මුදාහරියි. මේ සියල්ලම වෙන්නේ තත්පර කීපයක් ඇතුළතදියි. සෛලවල ජීවය රැඳෙන්නේ එලෙසයි.

සමහර නිෂ්පාදකයෝ දැන් මිනිසුන්ගේ හෝ ගවයන්ගේ රතු රුධිරාණු ලබාගෙන ඒවා යම් ක්‍රියාදාමයකට නතු කර හීමොග්ලොබින් වෙන් කරගන්නවා. ඉන්පසු රසායනික ද්‍රව්‍ය යොදා පිරිපහදු කෙරෙන එම හීමොග්ලොබින් ද්‍රාවණයක් සමඟ මිශ්‍ර කර ඇසුරුමක බහාලනවා. (ලැබෙන මෙම නිෂ්පාදනය හඳුන්වන්නේ hemoglobin-based oxygen carrier නැතහොත් HBOC ලෙසයි.) රුධිරයේ තද රතු වර්ණය ලබා දෙන්නේ හීම් වර්ණකය මගින් නිසා එම නිෂ්පාදනය රතු රුධිරාණුවලින් කොටසක් පමණක් වුණත් එහි ඒකකයක් දිස් වන්නේ රතු රුධිරාණු ඒකකයක් ලෙසයි.

සිරුරෙන් ලබාගන්නා රතු රුධිරාණු කල් තබාගත හැක්කේ ශීතකරණයේ තැබීමෙන් පමණක් වුවත් සති කීපයක් ඇතුළතදී භාවිතයට නොගැනුණොත් ඒවා ඉවත ලෑමටත් සිදු වෙනවා. නමුත් මෙම නව නිෂ්පාදනය ඊට වෙනස්. එය කාමර උෂ්ණත්වයේම තබා මාස කීපයකට පසුව පවා භාවිතයට ගත හැකියි. රුධිරය ගැනීමේදී රුධිර වර්ග නොගැළපුණොත් එයින් කෙනෙකුට හානියක් විය හැකියි. නමුත් මේ නිෂ්පාදනයේ තිබෙන්නේ සම්පූර්ණ රතු රුධිරාණු නොවන නිසා එවැනි ගැටලුවක් ඇතිවීමේ ප්‍රවණතාව හුඟක් අඩුයි. කෙසේවුවත් වෙනත් රුධිර කොටස් හා සසඳා බලන කල මේ නිෂ්පාදනය ගැන කුමක් කිව හැකිද? රුධිරය පිළිබඳ දෙවිගේ නීතියටත් බයිබල් ප්‍රතිපත්තිවලටත් කීකරු වීමට වෑයම් කරන ක්‍රිස්තියානීන්ට මෙය අභියෝගයක් වෙනවා. ඊට ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් නම් රුධිරයේ ප්‍රධාන කොටසක් වන රතු රුධිරාණුවල ප්‍රධාන කාර්ය භාරය මෙම නිෂ්පාදනය මගින් ඉටුවීමයි. අනික, මේ නිෂ්පාදනයේ තිබෙන මූලික ද්‍රව්‍යය වන හීමොග්ලොබීන් කෙළින්ම ලබාගන්නේ රුධිරයෙන් වීමයි. මේනිසා ක්‍රිස්තියානීන්ට මෙවැනි නිෂ්පාදන ගැන බැරෑරුම් තීරණයක් ගන්න සිදු වෙනවා. ඔවුන් යෙහෝවා දෙවි සමඟ හොඳ මිත්‍රත්වයක් දිගටම පවත්වාගැනීමට නම් රුධිරයේ පරිශුද්ධභාවය පිළිබඳ බයිබල් ප්‍රතිපත්ති ගැන පරෙස්සමින් හා යාච්ඤාපූර්වකව කල්පනා කර බලා බයිබලයේ මඟ පෙන්වීම් සැලකිල්ලට ගනිමින් තම හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත යුතුයි.—ගලාති 6:5.

[පින්තූරය]

හීමොග්ලොබින් අණුව

[12වන පිටුවේ කොටුව/පින්තූරය]

වාසිදායක විකල්පයක්

“බොහෝ රෝහල්වල දැන් රෝගීන්ට ‘රුධිරය රහිත’ සැත්කම් කිරීමට අවස්ථාව ලබා දෙනවා.” (එසේ වාර්තා කළේ The Wall Street Journal.) “මුලින්ම රුධිරය රහිත සැත්කම් කළේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පමණයි. නමුත් දැන් බොහෝ රෝහල්වලත් රුධිරය රහිත සැත්කම් කිරීම සාමාන්‍ය දෙයක් වී තිබෙන අතර එහි ඇති වාසිදායක පැති ගැන රෝගීන්ටත් පහදා දෙනවා” කියාද එහි පවසනවා. විකල්ප ප්‍රතිකාර යොදාගනිමින් රුධිරය ලබා දීම අඩු කරන විට රෝගීන්ට විශාල යහපතක් වන බව ලොව පුරා රෝහල් මගින් සොයාගෙන තිබෙනවා. දැනටමත්, රුධිරය ලබා නොදී රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් දහස් ගණනක් සිටිනවා.

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සෞඛ්‍යය හා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ

යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්පූර්ණ රුධිරය හෝ රුධිරයේ ප්‍රධාන කොටස් ගැනීම ප්‍රතිකේෂේප කරන බව ලෝක ප්‍රසිද්ධයි. මොවුන් අතර වෛද්‍යවරුන් හා හෙද සේවකයන් කීපදෙනෙකුත් සිටිනවා. ඔවුන්ගේ මෙම ස්ථාවරයට හේතුව කුමක්ද? මිනිසෙකුගේ මතයක් නිසාද? නැතහොත් ඇදහිල්ලෙන් හෙවත් විශ්වාසයෙන් පමණක් ඕනෑම රෝගයක් සුව කළ හැකියි කියා ඔවුන් විශ්වාස කරන නිසාද? කොහෙත්ම නැහැ!

මේ අය ජීවිතය සලකන්නේ දෙවිගෙන් ලද ත්‍යාගයක් හැටියටයි. ඊට අමතරව බයිබලය “දේවානුභාවයෙන්” ලැබූ දෙයක් ලෙස විශ්වාස කරන නිසා එයට අනුව තම ජීවිත ගත කරන්න සාක්ෂිකරුවන් පරිශ්‍රමයක් දරනවා. (2 තිමෝති 3:16, 17; එළිදරව් 4:11) එම පොතෙහි දෙවිගේ නමස්කාරකයන්ට දිරිගන්වන්නේ තම සෞඛ්‍යයට හෝ ජීවිතයට හානි වන දේවලින් වළකින්න කියායි. එමනිසා ඔවුන් අධික කෑම, දුම්පානය හෝ බුලත් කෑම, අනිසි මත්පැන් භාවිතය හා මත් ද්‍රව්‍ය ගැනීම වැනි දේවලින් වැළකෙනවා.—හිතෝපදේශ 23:20; 2 කොරින්ති 7:1.

අපේ ශරීරය හා වටපිටාව පිරිසිදුව තබාගැනීමෙන් මෙන්ම සෞඛ්‍ය හොඳින් තබාගැනීමට ව්‍යායාම කිරීමෙන් අපි බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කරනවා. (මතෙව් 7:12; 1 තිමෝති 4:8) යෙහෝවාගේ සාක්ෂිකරුවන් අසනීපයක් සෑදුණු විට අන්තයට නොයන අතර රුධිරය හැර වෙනත් වෛද්‍ය ප්‍රතිකාර බොහොමයකින් ප්‍රයෝජන ලබාගන්නවා. (ෆිලිප්පි 4:5) රුධිරය රහිත ප්‍රතිකාර ලබා දෙන්න කියා ඔවුන් බල කර සිටින්නේ ‘ලෙයින් වැළකී සිටින්න’ යන බයිබල් අණට කීකරු වන නිසයි. (ක්‍රියා 15:29) එමෙන්ම මේ තේරීම බොහෝවිට හොඳම ප්‍රතිකාරය බවට පත් වී තිබෙනවා.