Skip to content

පටුනට යන්න

රුධිරය ගැනීම ආරක්ෂිතද අනාරක්ෂිතද?

රුධිරය ගැනීම ආරක්ෂිතද අනාරක්ෂිතද?

රුධිරය ගැනීම ආරක්ෂිතද අනාරක්ෂිතද?

“වැසි වනාන්තරයක හුරු පුරුදු පාරක වුණත් ගමන් කරන්න වෙන්නේ හුඟක් පරෙස්සමින්. එහෙම නොවුණොත් කලින් අපේක්ෂා නොකළ දෙයක් නොසිතූ මොහොතක සිදු වෙන්න ඉඩ තිබෙනවා. ප්‍රතිකාරයක් ලෙස රුධිරය ගැනීම ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි.”—මාහාචාර්ය වෛද්‍ය ඉයන් එම්. ෆ්‍රැන්ක්ලින්.

භයානක ඒඩ්ස් රෝගය හිස එසෙව්වේ 1980 ගණන්වලදියි. එදා පටන් ලොව පුරාම රුධිරය ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න පටන්ගත්තා. රුධිරයේ තිබෙන “නොපෙනෙන අනතුරු” කලින්ම සොයාගෙන ඒවා නැති කර දැමීමට වහා ක්‍රියාත්මක වුණත් සම්පූර්ණයෙන්ම සාර්ථක වුණේ නැහැ. වර්ෂ 2005 ජූනිවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්තේ මෙයයි. “රටින් රටට තත්වයන් වෙනස් නිසා . . . ලේ ගැනීමේදී කිසිම හානියක් නොවෙයි කියා පැවසීමට තිබෙන ඉඩ කඩ හුඟක් අඩුයි.” ඊට හේතු වී ඇත්තේ කුමක්ද?

රුධිරය හා රුධිර නිෂ්පාදනයන් එකතු කිරීමට, පරීක්ෂා කිරීමට හා ප්‍රවාහණය කිරීමට ආරක්ෂිත ප්‍රමිති සහතික විය හැකි ජාතික වැඩසටහන් බොහෝ රටවල නැහැ. සමහරවිට ඒවා ගබඩා කරන්නෙත් සාමාන්‍ය ශීතකරණවල හා අයිස් දැමූ පෙට්ටිවලයි. සමහරවිට කිලෝමීටර් සිය දහස් ගණන් ඈතකින් ගෙනෙන රුධිරය ආරක්ෂිත ප්‍රමිති නැති එවැනි අනාරක්ෂිත ස්ථානවල ගබඩා කරනවා. අවසානයේදී ඒ රුධිරය ගන්නා රෝගියාට දරුණු රෝග ලක්ෂණ පහළ විය හැකියි.

සීයට සීයක් විශ්වාසදායකද?

සමහර රටවල් කියා සිටින්නේ වෙන කවරදාටත් වඩා දැන් තම ලේ බැංකුවල ආරක්ෂිත මෙන්ම පිරිසිදු රුධිරය තිබෙනවා කියායි. එහෙත් එම රුධිරය සීයට සීයක් විශ්වාසදායකද? එක්සත් ජනපදයේ රුධිරය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන තුනක් එකතු වී ලේඛනයක් සකස් කළා. එහි මුල් පිටුවේ පවසන්නේ මෙයයි. “අවවාදයයි! රුධිරය හා රුධිරයේ මූලික කොටස් ලබාගෙන තිබෙන්නේ මිනිසුන්ගෙන් නිසා එහි වයිරසයන් වැනි බෝවෙන රෝගකාරකයන් අඩංගු විය හැකියි. . . . ලේ දන් දෙන තැනැත්තා නිරෝගී වුණත් රුධිරය පරීක්ෂා කර තිබුණත් කිසිම අවදානමක් නැතැයි කියා කිව නොහැකියි.”

ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ පීටර් කැරලන් මතු දැක්වෙන දේ පැවසුවේ හේතුවක් නැතුව නොවෙයි. ඔහු පැවසුවේ මෙයයි. “ප්‍රතිකාරය සඳහා දෙන රුධිරය සියයට සීයක් විශ්වාසදායකයි කියා ස්ථිර වෙන්න බැහැ. අහලවත් නැති බෝවෙන රෝග කොයි මොහොතේ හෝ ඇති වෙන්න පුළුවන්. ඒවා හටගන්න කලින් ඒවා සඳහා පරීක්ෂණ පවත්වන්න බැහැනේ.”

ඒඩ්ස් රෝගය පැතිර ගියේ එහි මුල් අවදියේදී එය සැඟවී තිබූ නිසයි. එමෙන්ම එය රුධිරය මගින් අන් අයට පහසුවෙන්ම බෝ වුණ නිසයි. එවැනි බෝ වන රෝගයක් අලුතින් හටගත්තොත් කුමක් කරන්නද? එක්සත් ජනපදයේ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ වෛද්‍ය හාර්වි ජී. ක්ලයින් 2005 අප්‍රියෙල්වලදී චෙක් ජනරජයේ ප්‍රාග්හි පැවැත්වූ වෛද්‍ය සම්මන්ත්‍රණයකදී පැවසුවේ මෙයයි. “තත්වය නම් භයානකයි. එදා ඒඩ්ස් රෝගය හටගත් කාලයේදී රුධිරය පිළිබඳව කුමක් කරන්නද කියා අපි නොදැනුවත්වයි හිටියේ. අලුත් රෝගයක් හටගත්තත් අපි තාමත් සිටින්නේ එවැනි අන්තරායකයි.”

අතපසු වීම් සහ අතුරු ප්‍රතිඵල

දියුණු රටවල පවා ලේ ගැනීම භයානක දෙයක්. ඊට මූලික හේතු දෙක වන්නේ අතපසු වීම් හා අතුරු ප්‍රතිඵලයි. වර්ෂ 2001දී කැනඩාවේ කරන ලද අධ්‍යයනයක් සම්බන්ධයෙන් එක් පුවත්පතක වාර්තා කළේ ලේ ගත් අයගෙන් දහස් ගණනක් අනූනවයෙන් බේරුණ බවයි. ඊට හේතු වූයේ “පරීක්ෂණ සඳහා වැරදි රෝගියාගෙන් ලේ ගැනීම, රුධිර සාම්පලයට වැරදි නමක් හෝ වැරදි ලකුණක් දැමීම හා වැරදි රෝගියාට ලේ දීම” වැනි දේවල්. (එම පුවත්පත Globe and Mail) මෙවැනි අතපසු වීම් නිසා 1995ත්, 2001ත් අතර එක්සත් ජනපදයේ අඩුම තරමින් රෝගීන් 441ක්වත් මිය යන්න ඇති.

ලේ ගැනීමේදී ඇති වන අතුරු ප්‍රතිඵලද භයානක විය හැකියි. එය හරියට සැත්කමකින් තවත් කෙනෙකුගේ ඉන්ද්‍රියයක් බද්ධ කරද්දී ඇති වන අතුරු ප්‍රතිඵල හා සමානයි. සාමාන්‍යයෙන් කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිටින් එන පටක ප්‍රතික්ෂේප කරන්නේ ශරීරයේ ආරක්ෂාවටයි. නමුත් සමහර අවස්ථාවලදී රුධිරය ගැනීම නිසා මෙම ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය නතර වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාමාන්‍යයෙන් ඔරොත්තු දෙන රෝගයකට පවා ඔරොත්තු දෙන්න රෝගියාට නොහැකි වෙයි. මෙම ලිපියේ මුලින් සඳහන් කළ මහාචාර්ය ඉයන් එම්. ෆ්‍රැන්ක්ලින් වෛද්‍යවරුන්ට දිරිගන්වන්නේ “රෝගීන්ට ලේ දීමට කලින් දෙවරක් නොව තුන් වරක්ම සිතා බලන්න” කියායි.

විශේෂඥ අදහස්

රුධිරය හා රුධිරය ගැනීම ගැන දැනුවත්ව සිටින නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් දැන් ඒ ගැන දෙවරක් සිතා බලනවා. රුධිරය පිළිබඳ පොතක මෙසේ පවසනවා. “සමහර වෛද්‍යවරුන් කියා සිටින්නේ මිනිස් රුධිරය ප්‍රතිකාරයක් ලෙස භාවිත කිරීම භයානක වැඩක්. ඒ වගේම අනෙක් ඖෂධවලට අදාළ ප්‍රමිති රුධිරයට අදාළ කළොත් රුධිරය දීම තහනම් කිරීමට සිදු වෙනවා” කියලයි.—එම පොත Dailey’s Notes on Blood.

හෘද සැත්කමකට භාජන වන රෝගීන්ට රුධිරයේ මූලික කොටසක් දීම ගැන මහාචාර්ය බෲස් ස්පීස් 2004 අගභාගයේදී මෙවැනි අදහසක් පළ කළා. “මෙවැන්නක් දීමෙන් රෝගියාට යහපතක් වෙයි කියා සහතික විය හැකි වෛද්‍ය වාර්තාවක් සොයාගැනීමට නැති තරම්.” ඇත්තෙන්ම “යහපතකට වඩා නියුමෝනියාව, බෝවෙන රෝග, හෘදයාබාධ හා අංශභාගය වැනි රෝග හටගැනීමේ ප්‍රවණතාව වැඩි වෙයි” කියා ඔහු තවදුරටත් පැවසුවා.

රුධිරය ගැනීම සම්බන්ධයෙන් හරි ප්‍රමිතියක් නැතැයි කියා දැනගැනීමෙන් බොහෝදෙනෙක් පුදුමයට පත් වෙනවා. එහෙත් මෑතකදී වෛද්‍ය ගේබ්‍රියෙල් පෙඩ්‍රාසා චිලීහි සිටි තම සෙසු වෛද්‍යවරුන්ට සිහිගැන්නුවේ “රුධිරය ගැනීම ගැන විවිධ අදහස් තිබෙන නිසා ජාත්‍යන්තර මට්ටමකින් ප්‍රමිති අදාළ කිරීම අපහසු දෙයක්” කියායි. එඩින්බරෝ හා ස්කොට්ලන්තයේ ලේ දීමේ සේවාවේ අධ්‍යක්ෂක බ්‍රයන් මැක්ලේලන්ඩ් වෛද්‍යවරුන්ට කියා සිටියේ “රුධිරය ගැනීම හරියට ඉන්ද්‍රියයක් බද්ධ කිරීම වගෙයි. මේක සුළු දෙයක් නොවෙන බව අපි මතක තබාගන්න ඕන” කියායි. ඔහු එම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ මෙසේ සිතීමටයි. “මට හෝ මගේ දරුවට ලේ ගන්න සිදු වුණොත් මම ඒකට එකඟ වෙනවාද?”

රුධිරය පිළිබඳ විශේෂඥයෙක් පිබිදෙව්! සඟරාවට පැවසුවේ මෙවැනි අදහසක්. “මේ ක්ෂේත්‍රයේ ඉන්න අපි රුධිරය ගන්නත් දෙන්නත් කැමති නැහැ.” මෙම ක්ෂේත්‍රයේ නියැලෙන්නන් දැන් එම අදහසට වැඩි වැඩියෙන් එකඟ වෙනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන පළපුරුදු අයටම මෙසේ හැඟෙනවා නම් රෝගීන්ට කෙසේ හැඟෙයිද?

වෙනසක් දකින්න ලැබේවිද?

‘ලේ ගැනීම මෙතරම් භයානක නම් විකල්ප ක්‍රම තිබියදීත් ඇයි තවමත් ලේ ගන්න කියා නිර්දේශ කරන්නේ’ කියා ඔබ කල්පනා කළ හැකියි. එක හේතුවක් නම් බොහෝ වෛද්‍යවරුන් කලක් තිස්සේ යොදාගත් ප්‍රතිකාර ක්‍රම වෙනස් කිරීමට අදිමදි කිරීමයි. අනෙක රුධිරය වෙනුවට යොදාගත හැකි විකල්ප ප්‍රතිකාර තිබියදීත් ඒ ගැන දැනුවත්ව නොසිටීමයි. එක් සඟරාවක පළ වූ ලිපියක පවසා තිබෙන්නේ මෙලෙසයි. “වෛද්‍යවරුන් රුධිරය නිර්දේශ කිරීමට තීරණය කරන්නේ අතීතයේදී තමා ඉගෙනගත් දේ, වෛද්‍ය සමාජයේ පිළිගත් සම්මතය හා ‘රෝගියාව පරීක්ෂා කිරීමේදී තමන් පෞද්ගලිකව එලඹෙන නිගමනය’ අනුවයි.”

ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දක්ෂතාවන්ද මෙයට බලපානවා. එංගලන්තයේ ලන්ඩන්හි වෛද්‍ය බෙවලි හන්ට් කියා සිටින්නේ “සැත්කමකදී ගලා යන ලේ ප්‍රමාණය ශල්‍ය වෛද්‍යවරයාගේ දක්ෂතාවට අනුව අඩු හෝ වැඩිවීමට හැකියි. ඒ නිසා රුධිරය ගැලීම නැවැත්වීමට ශල්‍යවද්‍යවරුන්ව පුහුණු කිරීමට දැන් වැඩි අවධානයක් දීම අවශ්‍යයි” කියායි. තවත් අය පවසන ආකාරයට රුධිරය වෙනුවට භාවිත කරන විකල්ප ප්‍රතිකාරවල මිල අධිකයි. හැබැයි වාර්තාවල පෙන්වන්නේ එය සැබෑ තත්වය නොවන බවයි. කෙසේවෙතත්, වෛද්‍ය අධ්‍යක්ෂක මයිකල් රෝස් පවසන දේට බොහෝ වෛද්‍යවරුන්ද එකඟ වෙයි. ඔහු පැවසුවේ මෙයයි. “සැත්කමකදී රෝගියෙකුට ලබාගත හැකි හොඳම ප්‍රතිකාරය නම් රුධිරය රහිත ප්‍රතිකාර ගැනීමයි.” *

ඕනෑම කෙනෙකු කැමති වන්නේ හොඳම ප්‍රතිකාරය ලබාගන්නයි. ඔබටත් ඕනේ එයම නොවෙයිද? මේ සඟරාව පළ කරන අයගේ අදහසත් එයමයි. රුධිරය ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස හා ඊට හේතු දැනගැනීමට අනිත් ලිපියත් කියවා බලන්න.

[පාදසටහන]

^ 19 ඡේ. “රුධිරය වෙනුවට විකල්පයක්” යන කොටුව 8වන පිටුවෙන් බලන්න.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“රෝගීන්ට ලේ දීමට කලින් දෙවරක් නොව තුන් වරක්ම සිතා බලන්න.”—මහාචාර්ය ඉයන් එම්. ෆ්‍රැන්ක්ලින්

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මට හෝ මගේ දරුවට ලේ ගන්න සිදු වුණොත් මම ඒකට එකඟ වෙනවාද?”—බ්‍රයන් මැක්ලේලන්ඩ්

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අලුත් තර්ජනයක්

රුධිරය ගැනීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියටත්, පෙණහලුවලටත් බරපතළ හානි විය හැකි අතර එය මාරාන්තික තත්වයක් පවා විය හැකියි. මේ දේ මුලින්ම වාර්තා වුණේ 1990 ගණන්වල මුල් කාලයේදීයි. (එය හඳුන්වන්නේ Transfussion-related acute lung injury හෙවත් TRALI ලෙසයි.) මේ හේතුවෙන් වාර්ෂිකව සියගණනක් මිය යන බව දැන් ප්‍රසිද්ධයි. කෙසේවුවද ප්‍රවීණයන්ගේ අදහස වී තිබෙන්නේ බොහෝ සෞඛ්‍ය නිලධාරීන්ට එහි රෝග ලක්ෂණ හඳුනාගැනීමට නොහැකි වන නිසා එම සංඛ්‍යාව ඊට වැඩි බවයි. මෙම තත්වය ඇතිවීමට හේතුව හරියටම නොදන්නා නමුත් එක් සඟරාවකට අනුව “කලින් රුධිරය කීප වතාවක්ම ලබාගෙන ඇති . . . අයගේ රුධිරයෙහි රුධිර වර්ග කීපයක් අඩංගු විය හැකියි. (එම සඟරාව New Scientist) එවැනි අයගේ රුධිරය ලබාගත් විට” මේ තත්වය ඇති විය හැකියි. එක් වාර්තාවක පවසන්නේ එක්සත් ජනපදයේ හා බ්‍රිතාන්‍යයේ ලේ ගැනීමෙන් සිදු වන මරණවලට විශාලතම හේතුව වන්නේ මෙම රෝග තත්වය බවයි. එමනිසා “HIV වයිරසයට වඩා ලේ බැංකුවලට ප්‍රශ්නයක් වී තිබෙන්නේ එයයි.”

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රුධිරයේ සංයුතිය

රුධිරය පරිත්‍යාග කරන අය මූලික කොටස් හතරකින් යුත් සම්පූර්ණ රුධිරයම පරිත්‍යාග කරනවා. සමහර රටවල එය ලබා දෙන්නේ සම්පූර්ණ රුධිරය හැටියටයි. නමුත් බොහෝ රටවල එය පරීක්ෂණයකට ලක් කර ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ලබා දෙන්නේ එහි ඇති මූලික කොටස් හතර වෙන් කළ පසුවයි. දැන් අපි එම මූලික කොටස් හතරේ ක්‍රියාකාරිත්වය ගැනත්, ඒවා සම්පූර්ණ රුධිරයේ සියයට කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියාත් බලමු.

ප්ලාස්මාව අඩංගු වන්නේ සියයට 52 සිට 62 දක්වා ප්‍රමාණයක්. ලා කහපාටට හුරු ද්‍රවයක් වන එය රුධිර සෛල, ප්‍රෝටීන් හා වෙනත් ද්‍රව්‍යයන් සිරුර පුරා ගෙන යෑමට දායක වෙනවා.

ප්ලාස්මාවේ සියයට 91.5ක්ම තිබෙන්නේ ජලයයි. ඊට අමතරව ප්‍රෝටීන් සියයට 7ක් තිබෙනවා. (ප්‍රෝටීන් කාණ්ඩයන් වන ඇල්බියුමින් සියයට 4ක් පමණත්, ග්ලොබියුලින් සියයට 3ක් පමණත්, ෆයිබ්‍රිනෝජන් සියයට 1කට වඩා අඩුවෙනුත් ප්ලාස්මාවේ අඩංගුයි.) ඉතිරි සියයට 1.5හි පෝෂ්‍ය පදාර්ථ, හෝමෝන, ශ්වසන වායු, ශක්තිජනක පදාර්ථ, විටමින් හා නයිට්‍රජන් සහිත අපද්‍රව්‍යයන් වැනි වෙනත් ද්‍රව්‍යනුත් අඩංගුයි.

සුදු රුධිරාණු (ශ්වේතසෛට) අඩංගු වන්නේ සියයට එකකට වඩා අඩු ප්‍රමාණයක්. මේවා බැක්ටීරියා හා වයිරස් වැනි හානිකර දේවල් මර්දනය කර හෝ විනාශ කර දමනවා.

පට්ටිකා (ත්‍රොම්බෝසෛට) සියයට එකකට වඩා අඩුවෙන් පවතින මේවා රුධිරය කැටි ගැසීමට දායක වෙමින් තුවාලවලින් රුධිරය ගැලීම නතර කරයි.

රතු රුධිරාණු (එරිත්‍රෝසෛට) සියයට 38 සිට 48 දක්වා ප්‍රමාණයක් අඩංගුයි. පටකවලට ඔක්සිජන් ගෙන ඒමෙන් හා ඒවායින් කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමෙන් පටක ප්‍රාණවත්ව තබන්නේ රතු රුධිරාණුයි.

ප්ලාස්මාව ඊටත් වඩා කුඩා කොටස්වලට වෙන් කළ හැකි සේම අනිත් මූලික කොටස් තුනත් තවත් කුඩා කොටස්වලට වෙන් කළ හැකියි. උදාහරණයකට රතු රුධිරාණුවලින් හිමොග්ලොබින් වෙන් කරගත හැකියි.

[රූප සටහන]

ප්ලාස්මාව

ජලය 91.5%

ප්‍රෝටීන් 7%

ඇල්බියුමින්

ග්ලොබියුලින්

ෆයිබ්‍රිනෝජන්

වෙනත් ද්‍රව්‍යයන් 1.5%

පෝෂ්‍ය පදාර්ථ

හෝමෝන

ශ්වසන වායු

ශක්තිජනක පදාර්ථ

විටමින්

නයිට්‍රජන් සහිත අපද්‍රව්‍යයන්

[හිමිකම් විස්තර]

Page 9: Blood components in circles: This project has been funded in whole or in part with federal funds from the National Cancer Institute, National Institutes of Health, under contract N01-CO-12400. The content of this publication does not necessarily reflect the views or policies of the Department of Health and Human Services, nor does mention of trade names, commercial products, or organizations imply endorsement by the U.S. Government

[8, 9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රුධිරය වෙනුවට විකල්පයක්

යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් රුධිරය වෙනුවට විකල්ප ක්‍රම—සරලයි, සුරක්ෂිතයි, ඵලදායකයි යන වැඩසටහන ඇතුළත් වීඩියෝ පට හා DVD තැටි නිෂ්පාදනය කර තිබෙනවා. පසුගිය වසර හයේදී ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රෝහල් සබඳතා කමිටු වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට මේවා භාෂා 25කින් පමණ දහස් ගණනක් බෙදාහැරියා. * ප්‍රසිද්ධ පළපුරුදු වෛද්‍යවරුන් රුධිරය නොදී රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි පලදායී ක්‍රම ගැන කෙරෙන සංවාදයක් එම වැඩසටහනෙන් දැකගත හැකියි. ජනයා කැමැත්තෙන් එය නරඹා තිබෙනවා. උදාහරණයකට 2001 අගභාගයේදී එක්සත් රාජධානියේ ජාතික රුධිර සේවය (NBS) එම වැඩසටහන නැරඹූ පසු එම රට පුරා සිටින සියලුම ලේ බැංකු කලමනාකරුවන්ට හා ලේ පිළිබඳ උපදේශකවරුන්ට මෙම වැඩසටහන සමඟ ලිපියක් යැව්වා. “හැකි සෑම අවස්ථාවකම රුධිරය නොදීම හොඳම වෛද්‍ය ප්‍රතිකාරයක් බව පිළිගන්නා” අයගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබෙන නිසයි ඔවුන් ඒ වැඩසටහන බැලීමට පෙලඹුණේ. ලිපියේ සඳහන් වුණේ “මෙම [වැඩසටහනෙන්] දෙන පණිවිඩය පැසසිය යුතු අතරම NBS ඊට බොහෝ සෙයින් එකඟ වෙනවා” යන්නයි.

[පාදසටහන]

^ 57 ඡේ. රුධිරය වෙනුවට විකල්ප ක්‍රම යන වැඩසටහන නැරඹීමට කැමති නම් එහි නිෂ්පාදකයන් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අතුරු කොටස් ප්‍රතිකාරවලදී භාවිත වන අයුරු

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව හේතුවෙන් රුධිරයේ මූලික කොටස්වලින් අතුරු කොටස්ද ලබාගත හැකියි. නිදසුනකට මුහුදු ජලය ගැන සලකා බලමු. එහි සියයට 96.5ක්ම තිබෙන්නේ ජලය වන අතර ඉතිරියේ මැග්නීසියම්, බ්‍රෝමයින් හා ලුණු අඩංගුයි. මේවා එක් එක් ද්‍රව්‍ය වශයෙන් වෙන් කරගත හැකියි. එලෙසම සම්පූර්ණ රුධිර ඒකකයක් විද්‍යාත්මක ක්‍රියාවලියකට භාජන කර එහි අඩංගු ද්‍රව්‍යයන්ද එකිනෙකට වෙන් කළ හැකියි. එහි අඩකට වඩා වැඩියෙන් තිබෙන ප්ලාස්මාවත් වෙන් කරගත හැකියි. ප්ලාස්මාවේ සියයට 90ක ජලය මෙන්ම ඇල්බියුමින්, ෆයිබ්‍රිනෝජන් හා විවිධ ග්ලොබියුලින් වර්ග වැනි ප්‍රෝටීනත් අතුරු කොටස් වශයෙන් වෙන් කළ හැකියි.

පසුව මෙම අතුරු කොටසක් ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කිරීමට ඉඩ තිබෙනවා. ප්ලාස්මාව අධිශීතකරණයේ තබා ගනවීමේ හා යළි දියවීමේ ක්‍රියාවලියකට භාජන කිරීමෙන් එක් අතුරු කොටසක් ලැබෙනවා. මෙම ගන ප්‍රෝටීන බහුල අතුරු කොටස රුධිරය කැටිගැසීමට දායක වන නිසා රුධිරය ගැලීමට ලක්ව තිබෙන රෝගීන්ට එය දෙනු ලබනවා. සුළු ප්‍රමාණයක් හෝ විශාල ප්‍රමාණයක් වශයෙන් ගත් අතුරු කොටස් එක් කර සාදන නිෂ්පාදනයන් තවත් ප්‍රතිකාර සඳහා යොදාගැනෙනවා. * ප්ලාස්මාවෙන් ලැබෙන තවත් සමහර ප්‍රෝටීන් වර්ග බෝවන රෝග වැලඳී ඇති අයගේ ප්‍රතිශක්තිකරණය නඟා සිටුවීමට ඉවහල් වෙනවා. ප්‍රතිකාර වශයෙන් දෙනු ලබන අතුරු කොටස්වලින් වැඩිහරියක ප්ලාස්මාවේ ඇති ප්‍රෝටීන් අඩංගුයි.

එක් සඟරාවකට අනුව “කෙනෙකුගේ රුධිරයේ අඩංගු ප්‍රෝටීන් වර්ග දහස් ගණන අතුරින් සිය ගණනක් පමණයි විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙන්නේ.”(එම සඟරාව Science News) රුධිරය පිළිබඳව අනාගතයේදී අවබෝධය තව තවත් පුළුල් වෙද්දී මෙම ප්‍රෝටීන්වලින් තවත් නව නිෂ්පාදනයන් බිහි වේවි.

[පාදසටහන]

^ 63 ඡේ. සත්ව රුධිරයෙන් ලබාගන්නා අතුරු කොටස්ද සමහර නිෂ්පාදනයන්ට යොදාගැනෙයි.

[6, 7වන පිටුවේ පින්තූරය]

සමහර වෛද්‍ය සේවකයන් පවා රුධිරය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ හුඟක් පරෙස්සමින්