Skip to content

පටුනට යන්න

ලොව වටා සැරිසරන සංචාරක කුරුල්ලෝ

ලොව වටා සැරිසරන සංචාරක කුරුල්ලෝ

ලොව වටා සැරිසරන සංචාරක කුරුල්ලෝ

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

මේවගේ සංචාරයක් කොහොම වෙයිද? හිරු නොබසින ආක්ටික් තැනිතලාවේ උණුසුම් කාලයේ මාස දෙකක් ගත කළායින් පසු ශීත කාලය උදාවීමත් සමඟ දකුණු අමෙරිකාව, ඕස්ට්‍රේලියාව හෝ දකුණු අප්‍රිකාව බලා යනවා. වසරේ ඉතිරි කාලය පුරාම සෑම මහද්වීපයකටම සංචාරය කර වෙරළබඩ ප්‍රදේශවලට පැමිණෙන්නේ රස නහර පිනවන ආහාර සෙවීමටයි. මේ අපි කතා කළේ එක් කුරුලු වර්ගයක් ගැනයි. උන් තම කල් ගෙවන්නේ මෙයාකාරයටයි.

මේ ලිපියේ විස්තර කරන සංචාරක කුරුල්ලන් වැඩි කැමැත්තක් දක්වන්නේ නොගැඹුරු ජලයෙන් කෑම සොයාගන්නයි. * උතුරු අර්ධගෝලයට ශීත කාලය ආ විට උන් මඩ සහිත ගං මෝය කටවල, මුහුදු වෙරළවල, වගුරු බිම්වල හෝ ගල්පර අසල මුහුදු වෙරළේ රංචු පිටින් එක් රොක් වෙනවා. ඒත් විදේශීන් මුහුදු වෙරළේ ගැවසෙන උණුසුම් මාසවලදී සංචාරක කුරුල්ලන් ආක්ටික් හා උපආක්ටික් ප්‍රදේශ කරා පියාසර කරනවා. එහි පවතින උණුසුම් කෙටි කාලය තුළදී හුදකලාවේ ඉන්නත්, තම පැටවුන්ට අවශ්‍ය ආහාර බහුල ලෙස සොයාගන්නත් උන්ට පුළුවන්.

උන් නෙත් සිත් වසඟ කරන වෛවර්ණ පාටින් හෙබි කුරුලු වර්ගයක් නොවුණත්, අලංකාර ලෙස තටු ගසමින් පියාසර කරද්දී කාගෙත් නෙත් උන් දෙසට ඇදී යනවා. “තටු අග යන්තම් වතුරේ වද්දවමින් නැතහොත් කිලෝමීටර් හයක් හෝ ඊට වැඩි ගණනක් උසකින් පියාසර කරන උන් ඇත්තෙන්ම වාතය හා සුළඟ කපාගෙන දක්ෂ ලෙස පියාසර කරන්නන්” බව එක් පොතක සඳහන් වෙනවා.—එම පොත Shorebirds—Beautiful Beachcombers.

ආරක්ෂාව සඳහා රංචු පිටින්

ආහාර බහුල ලෙස තිබෙන තැන්වලට මුන් එක් රොක් වන්නේ රංචු පිටින්. එසේ ඉන්නේ ආරක්ෂාව සඳහායි. උකුස්සන් වැනි කුරුල්ලන් මාන බලන්නේ තනි වෙලා ඉන්න කුරුල්ලන්ව ඩැහැගන්නයි. ඒත් රංචු පිටින් ඉන්නකොට උන්ට ඒක කරන්න අපහසුයි. එමෙන්ම තමන්ව ගොදුරු කරගන්න එන තැනැත්තාව දුරතියාම දැකගන්නත් දහස්ගණනින් රොක් වී සිටීම උපකාරයක් වෙනවා. මෙම අධි ආරක්ෂිත ක්‍රමයෙන් ප්‍රයෝජනගැනීමට බොහෝ සංචාරක කුරුල්ලන් කරන්නේ කුරුලු වර්ග කීපයක් සමඟ එක් රොක් වී සිටීමයි.

මෙවැනි කුරුලු රංචුවක් අහසට පියඹා යෑම අපූරු දසුනක්. උන් දහස් ගණනක් එක ගොඩේ පියාසර කරන ගමන් එක විටම කරණම් ගසන්නෙත්, ඉහළට නැඟ එක පාරට පහළට එන්නෙත් හරියට විශාල සතෙක් වගෙයි. “අධික වේගයකින් එකට පියාසර කරන දහස් ගණන් කුරුල්ලන්ට හැප්පෙන්නෙත්, පැටලෙන්නෙත් නැතුව එක මොහෙතේදීම හැරෙන්නත් කරණම් ගහන්නත් හැකියාව තිබෙන එක ඇත්තටම පුදුමයක්” කියා පොතක සඳහන් වෙනවා. (එම පොත Handbook of the Birds of the World) දුඹුළු හින්නන් රංචුවකගේ රූපගත කළ දර්ශනවල වේගය අඩු කර (පුනරූප දර්ශන) බැලූ පක්ෂි විද්‍යාඥයන් නිගමනය කළේ එක් කුරුල්ලෙක් මුල් පියවර ගත් පසු මුළු රංචුවම ඌ පිටුපස පියාසර කරන බවයි. මේ සියල්ල සිදු වන්නේ නිමේෂයකින්.

ලොව වටා සංචාරයක්

සමහර සංචාරක කුරුල්ලන් ලෝකෙ වටේම සැරිසරනවා. උදාහරණයකට රතුනොට් හින්නන් සහ වැලි හින්නන් තම වර්ගයා බෝ කිරීම සඳහා වෙන ඕනෑම කුරුල්ලෙකුට වඩා උතුරු දිශාවකට යනවා. ඕනෑම මුහුදු වෙරළක දක්නට ලැබෙන සංචාරක කුරුල්ලන් වාර්ෂිකව කිලෝමීටර් 32,000ක ප්‍රදේශයක් පුරා සංක්‍රමණය කරනවා.

ඇතැම් අවස්ථාවලදී උන් සාගර හරහා පියාසර කළත් උන්ට පීනන්න බැරි නිසා කිසිවිටක වතුරේ රැඳෙන්නේ නැහැ. මෙවැනි දීර්ඝ ගමනක් සඳහා උන්ට විශාල ශක්තියක් අවශ්‍යයි. උදාහරණයකට විශාල ජෙට් යානයක සම්පූර්ණ බරෙන් සියයට 40ක්ම තිබෙන්නේ ඉන්ධනයි. මේ හා සසඳා බලන කල මේ චූටි කුරුල්ලාට ඊට වඩා ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි. එම ශක්තිය උන්ට ලැබෙන්නේ කොහොමද?

“උන් එය ලබාගන්නේ මේදය තුළින්. වගුරුබිම්වලදී උන් නොනවත්වා ආහාර බුදිනවා. උණුසුම් කාලයේදී සති කීපයකින් උන්ගේ බර දෙගුණයක් වෙනවා” කියා ඩේවිඩ් ඇටන්බරෝ කුරුල්ලන් පිළිබඳ පොතේ සඳහන් කළා. (එම පොත The Life of Birds) ඒ වගේම “කලින් සිතුවාට වඩා උන්ගේ මේද ප්‍රමාණයත් වැඩි විය හැකියි. ඊට හේතුව උන්ගේ මොළය හා අන්ත්‍රය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඇකිලෙද්දී ඒවාවල මේදය තැන්පත් වීම තුළින් උන්ට අවශ්‍ය ශක්තිය ලැබෙන නිසයි.”

අද්විතීය සංචාරකයෙක් තමයි ඇලස්කාවේ සිට හවායි දූපත් කරා සංක්‍රමණය කරන පැසිෆික් ආශ්‍රිතව වෙසෙන රන් මහ ඔලෙවියා. එක එල්ලේම කිලෝමීටර් 4,500ක් පියාසර කිරීමට ඉවසීම හා ශක්තිය තිබෙනවාට අමතරව එසේ පියඹා යද්දී සාගරය මැද පිහිටි හවායි දූපත් සොයාගැනීමට උන්ට තිබෙන හැකියාවත් ඇත්තටම ප්‍රාතිහාර්යයක්. මෙවැනි එක් කුරුල්ලෙකුගේ ගමන ගණනය කර බැලූ විට ගමන අවසන් කිරීමට ගත වන්නේ දින හතරකටත් වඩා අඩු කාලයක් බව සොයාගත්තා. වයසින් පූර්ණ වූ මෙම කුරුල්ලෙක් උගේ මුළු ජීවිත කාලයේදී 20 වාරයකට වඩා මෙම ගමනේ යෙදී තිබෙනවා.

තම වර්ගයා බෝ කිරීමේ ක්‍රියාවලිය සඳහා දුෂ්කර ගමනක අවසානයේ උන් ආක්ටික් අර්ධගෝලයට පැමිණි විටත් උන්ට ජීවිතය පහසු වෙන්නේ නැහැ. සති දෙකක් ඇතුළත සහකරුවෙකු හෝ සහකාරියක සොයාගැනීමටත්, ප්‍රදේශයක් වෙන් කරගැනීමටත්, කැදැල්ලක් සෑදීමටත් සිදු වෙයි. උන්ගේ බිත්තර රකින්න උන්ට තිබෙන්නේ සති තුනයි. ඊටපසු තම පැටවුන්ව රැකබලා ගැනීමට තවත් ඉතිරිව ඇත්තේ සති තුනක කාලයක් පමණයි. ජූලි මාසය අවසන් වෙද්දී උන්ට සිදු වන්නේ යළි දකුණට පියාසර කරන්නයි.

සංක්‍රමණයේදී දුක් ගැහැට

දීර්ඝ සංචාරයන්වල යෙදෙද්දී සංචාරක කුරුල්ලන්ට අනේක විධ දුක් ගැහැට විඳින්න සිදු වෙනවා. මිනිසුන්ගෙනුත් උන්ට විශාල තර්ජනයක් එල්ල වෙනවා. සොබාදහම පිළිබඳ ප්‍රවීණයෙකු වූ ජෝන් ජේම්ස් ඕඩබන් 19වන සියවසේදී වාර්තා කළේ දඩයක්කාරයෝ අමෙරිකානු රන් මහා ඔලෙවියන් 48,000ක් එක දවසකින් දඩයම් කරන බවයි. අද දින මුළු ලොව පුරාම සිටින මෙම කුරුලු වර්ගයේ මුළු සංඛ්‍යාව ඊටත් වඩා අඩු විය හැකියි.

සංචාරක කුරුල්ලන් මුහුණ පාන තවත් විශාල තර්ජනයක් වන්නේ වගුරු බිම් නැති වී යෑමයි. ඒවා අහිමි වෙද්දී වෙනත් තැනකට හුරු වෙන්න උන්ට අමාරුයි. “සංචාරක කුරුල්ලන්ගේ බෝ කිරීමේ ක්‍රියාවලිය, සංක්‍රමණය හා ශීත කාලය ගත කරන ස්ථාන ගොඩනඟාගෙන තිබෙන්නේ වසර දහස් ගණනකට පෙර සිටයි. එනමුත් මිනිසාට හැකියි එය මොහොතකින් වෙනස් කිරීමට හෝ විනාශ කර දැමීමට” කියා එම කුරුල්ලන් ගැන ලියැවුණු පොතක පැහැදිලි කරයි. (එම පොත Shorebirds—An Identification Guide to the Waders of the World) දසදහස් ගණනින් සැරිසරන මෙම කුරුල්ලන්ව ආරක්ෂා කරගැනීමට නම් උන්ගේ සංචාරයේදී ලැගුම්ගැනීමට ඉතිරිව ඇති ප්‍රධාන ස්ථාන අතලොස්ස රැකගත යුතුයි.

වසන්ත සමයේදී එක්සත් ජනපදයේ නිව් ජර්සිවල නිරිතදිග වෙරළේ පිහිටි ඩෙලව බොක්කට එක් රැස් වෙන රතුනොට් හින්නා වර්ගය උදාහරණයකට ගමු. උන් එහි රැස් වෙන්නේ හිතේ හැටියට එක් කකුළු වර්ගයක බිත්තර ගිල දමන්නයි. උන් මෙසේ ගිල දමන්නේ “කිසි තැනක නොනැවතී එක දිගටම දීර්ඝ ගමනක යෙදී” දැන් බෙහෙවින් කුසගිනිව සිටින නිසයි. සති දෙකක් තුළදී ගිනිකොණදිග බ්‍රසීලයේ සිට මේ ස්ථානය දක්වා කිලෝමීටර් 8,000ක් පියාසර කළ උන්ගේ බර සියයට 50කින්ම අඩු වෙලා.

සංරක්ෂකයන් දරන වෑයමින් සංචාරක කුරුල්ලන් ලගින මෙවැනි නැවතුම්පොළවල් සුරැකීමට හැකි වෙයි. ඔබ ජීවත් වෙන ප්‍රදේශය කිට්ටුවත් සමහරවිට එවැනි ස්ථානයක් ඇති. රංචු ගැසී කරණම් ගසමින් අහසේ පියාසර කරන සංචාරක කුරුල්ලන්ව ඔබ එක් වතාවක් දුටුවොත් උන්ගේ හඬ සවනේ වැකී තිබුණා නම් ඒ දසුන හෝ හඬ පහසුවෙන්ම ඔබට අමතක නොවෙයි.

සොබාදහම පිළිබඳ ප්‍රවීණයෙකු වූ ආතර් මොරිස් මෙවැන්නක් ලිව්වා. “සංචාරක කුරුල්ලන් දෙස බලා සිටින්න කැමති කවුරුත් පාහේ දකින්නේ එකම දසුනයි. පාළු මුහුදු වෙරළක් හෝ වගුරු බිමක් අසල සිටිද්දී හින්නෝ රංචුවක් පියාසර කරනවා අපි අනන්ත අප්‍රමාණ වාරයක් දැක තිබෙනවා. ඒ සෑම වතාවකම අපි පුදුමයෙන් පුදුමයට පත් වුණා.”

[පාදසටහන]

^ 4 ඡේ. සංචාරක කුරුල්ලන් අයත් වන්නේ අනුතීරචාරී ගෝත්‍රයටයි. වර්ග 200කට වඩා සිටිනවා.

[18වන පිටුවේ කොටුව⁄පින්තූර]

ලොව වටා සැරිසරන අතිදක්ෂයෝ

රතු නොට් හින්නෝ තමයි දීර්ඝතම ගමනේ යෙදෙන්නන් ලෙස ත්‍යාගය ලබන්නේ. කැනඩාවේ උතුරු කෙළවරේ බෝ කිරීමේ ක්‍රියාවලියෙහි යෙදෙන උන් සාමාන්‍යයෙන් ශීත කාලය ගත කරන්නේ බටහිර යුරෝපයේ හෝ දකුණු අමෙරිකාවේ දකුණු ප්‍රදේශයෙයි (එනම් කිලෝමීටර් 10,000කට වඩා ඈතකයි)

[හිමිකම් විස්තර]

KK Hui

දුඹුළු හින්නෝ මිලියනයක් පමණ රංචු ගැසෙන්නේ නෙදර්ලන්තයේ හා මෝරටේනියාවේදීයි

වයිරපෙඳ ගොහොදුවිත්තන් බොහෝවිට විසිර යන්නේ සයිබීරියාවෙන්. බෝ කිරීම සිදු කළ පසුව බ්‍රිතාන්‍ය දූපත්, දකුණු අප්‍රිකාව, මැදපෙරදිග, ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය කරා සංචාරය කරනවා

වැලි හින්නෝ ලෝකයේ ඕනෑම වෙරළක දක්නට ලැබෙන වර්ගයක්. උත්තර ධෘවයේ සිට කිලෝමීටර් 950ක ඇතුළත ප්‍රදේශයකදී බෝ කිරීම සිදු කරනවා

[16, 17වන පිටුවේ පින්තූර]

සංචාරක කුරුල්ලන්ට ජලය මත රැඳී සිටිය නොහැකි නිසා මහා සාගර හරහා යෑමට විශාල ශක්තියක් රඳවා තබාගත යුතුයි

[16, 17වන පිටුවේ පින්තූර]

වැලි හින්නෝ ආරක්ෂාව සඳහා සිටින්නේ රංචු පිටින්

[17වන පිටුවේ පින්තූරය]

යුරාසියා බොලුගුල්ලා

[17වන පිටුවේ පින්තූරය]

මඩ වගුරුවල ආහාර සොයන තිත් රත්පා සිලිබිල්ලා

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top and bottom panoramic photos: © Richard Crossley/​VIREO