Skip to content

පටුනට යන්න

උත්පත්ති පොතේ වාර්තාව විද්‍යාවට පටහැනිද?

උත්පත්ති පොතේ වාර්තාව විද්‍යාවට පටහැනිද?

බයිබලයෙන් පිළිතුරක්

උත්පත්ති පොතේ වාර්තාව විද්‍යාවට පටහැනිද?

බොහෝදෙනා පවසන්නේ බයිබලයේ සඳහන් මැවීම පිළිබඳ වාර්තාව විද්‍යාවට පටහැනි බවයි. නමුත් යථාර්ථය නම් විද්‍යාව පටහැනි වන්නේ බයිබලයේ ඇති වාර්තාවට නොව මූලධර්මාවාදීන් ලෙස හඳුන්වන්නන්ගේ අදහස්වලටයි. මෙවැනි සමහර කණ්ඩායම් කියන්නේ බයිබලයට අනුව භෞතික සියල්ල මවනු ලැබුවේ මීට වසර 10,000කට පෙර පැය 24 දින හයකින් කියායි.

කෙසේවුවද බයිබලයේ එවැනි නිගමනයකට රුකුල් දෙන්නේ නැහැ. එසේ දුන්නා නම් පසුගිය වසර සියගණන තුළ විද්‍යාත්මකව සොයාගන්නා ලද බොහෝ දේ මගින් බයිබලයේ සඳහන් දේ ගැන සැක පහළ කිරීමට ඉඩ තිබුණා. නමුත් බයිබලය ගැඹුරට අධ්‍යයනය කරද්දී හෙළි වන්නේ සොයාගත් විද්‍යාත්මක සත්‍යතාවන්ට බයිබලය එකඟ වන බවයි. ඒ හේතුවෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් “ක්‍රිස්තියානි” මූලධර්මවාදීන් හා මැවුම්වාදීන්ගේ අදහස්වලට එකඟ වන්නේ නැහැ. බයිබලයෙහි ඇති ඉගැන්වීම්වලින් සමහරක් මතු දැක්වෙයි.

“පටන්ගැන්ම” කවදාද?

උත්පත්ති පොත ඇරඹෙන්නේ මෙම සරල බලවත් වචන පෙළින්. “පටන්ගැන්මෙහිදී දෙවි අහසත් පොළොවත් මැව්වේය.” (උත්පත්ති 1:1) මෙම පදයේ විස්තර කරන දෙයත්, තුන්වන පදයේ සිට දැක්වෙන මැවීමේ දවස්වල සිදු කෙරෙන ක්‍රියාත් අතර වෙනසක් තිබෙන බවට බයිබල් විශාරදයන් එකඟ වෙනවා. ඉන් ගැඹුරු දෙයක් අදහස් වෙනවා. බයිබලයේ මුලින්ම සඳහන් වන ප්‍රකාශයට අනුව මැවීමේ දවස් හයට පෙර අපේ පෘථිවිය ඇතුළු මුළු විශ්වයම අනියත කාලයක් පැවත තිබෙනවා.

භූ විද්‍යාඥයන් ගණන් බලා තිබෙන ආකාරයට පොළොව වසර බිලියන හතරකට ආසන්න කාලයක් පැරණියි. එමෙන්ම තාරකා විද්‍යාඥයන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම විශ්වය වසර බිලියන 15ක් පමණ පැවතී තිබෙනවා. මෙම සොයාගැනීම් හෝ ඉදිරියේදී සොයාගැනීමට ඉඩ ඇති දත්තයන් උත්පත්ති 1:1ට පටහැනිද? නැහැ. ‘අහස හා පොළොව’ කොතරම් පැරණිද කියා බයිබලයේ හරියටම පවසන්නේ නැහැ. විද්‍යාවෙන් බයිබලයේ සඳහන් දේ නිෂ්ප්‍රභ කරන්නෙත් නැහැ.

මැවීමේ දවස් කොතරම් දීර්ඝද?

මැවීමේ දවස් කෙතරම් දීර්ඝ කාලයක්ද? ඒවා සාමාන්‍ය පැය 24 දවස්ද? බයිබල් ලේඛක මෝසෙස් සතිපතා සබත ගැන සඳහන් කළේ මැවීමේ දවස් හයට පසුව හත්වෙනි දවසට යොමු දක්වමිනුයි. ඒ නිසා සමහරු පවසන්නේ සෑම මැවීමේ දවසක්ම පැය 24ක කාලයක් විය යුතු බවයි. (නික්මයාම 20:11) උත්පත්ති පොතේ එම අදහස තහවුරු කරනවාද?

නැහැ. මන්ද “දවස” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනය පැය 24ක කාලයකට සීමා වී නැහැ. එයින් විවිධ කාල පරාසයන් අදහස් විය හැකියි. උදාහරණයකට උත්පත්ති 2:4හි දෙවිගේ මැවීමේ දවස් හයම එක දවසක් ලෙස මෝසෙස් දැක්වුවා. මේ අනුව, මැවීමේ දවස් සාමාන්‍ය පැය 24ක දවස් කියා තරයේ කීමට ශුද්ධ ලියවිල්ලේ පදනමක් සපයන්නේ නැහැ.

එසේනම් මැවීමේ දවස් කෙතරම් දීර්ඝද? උත්පත්ති පළවෙනි හා දෙවෙනි පරිච්ඡේදවලින් අඟවන්නේ දිගු කාල පරිච්ඡේදයන් ඊට ඇතුළත් වී ඇති බවයි.

දිස් වන්නේ ක්‍රම ක්‍රමයෙන්

මෝසෙස් තම වාර්තාව හෙබ්‍රෙව් බසින් ලියූ අතර එසේ ලිව්වේ මිහිපිට සිටින කෙනෙක් දකින ආකාරයටයි යන කරුණත්, මැවීමේ කාලපරිච්ඡේදයන් හය පටන්ගැනීමට පෙර විශ්වය පැවතී තිබෙනවා යන්නත් මතකයේ තබාගතහොත් මැවීමේ “දවස්” සම්බන්ධ මත ගැටුම් විසඳගැනීමට හැකි වෙයි. ඒ කෙසේද?

උත්පත්ති වාර්තාව හොඳින් පරීක්ෂා කර බලද්දී එක ‘දවසක්’ තුළ පටන්ගත් දේ සමහරවිට සම්පූර්ණ වුණේ ඊළඟ දවසේ හෝ දවස් කීපයක් ගතවීමෙන් පසුවයි. උදාහරණයකට මැවීමේ පළවෙනි “දවස” පටන්ගැනීමට පෙර හිරුගෙන් එන ආලෝකය ඝන වලාකුළු නිසා පොළොවට පතිත වුණේ නැහැ. (යෝබ් 38:9) පළවෙනි “දවස” තුළදී මෙම බාධකය ක්‍රම ක්‍රමයෙන් ඉවත් වෙමින් වායුගෝලය හරහා යම් දුරකට ආලෝකය පතිත වුණා. *

පොළොවේ සිට කෙනෙකු බලා සිටියා නම් දෙවෙනි “දවස” තුළදී ඔහුට දකින්න ලැබෙන්නේ අහස හා පොළොව අතර අවකාශය මතු වෙන ආකාරයයි. නමුත් ඉර හා සඳ “අහස්තලයෙහි” පැහැදිලිවම දිස් වුණේ හතර වන ‘දවසේදීයි.’ (උත්පත්ති 1:14-16) ඉන් පැහැදිලි වන්නේ ආලෝකය පවා දිස් වෙන්න පටන්ගත්තේ ක්‍රම ක්‍රමයෙන් බවයි.

කෘමී වර්ගද කුරුල්ලන්ද දැකගන්න හැකි වුණේ පස්වෙනි ‘දවසේදී’ බව උත්පත්ති පොතේ වාර්තාව පවසනවා. කෙසේවෙතත් හයවෙනි “දවස” තුළදීත් දෙවි “වනයෙහි සියලු මෘගයන්ද ආකාශයෙහි සියලු පක්ෂීන්ද” මවමින් සිටි බව බයිබලයේ සඳහන් කරයි.—උත්පත්ති 2:19.

බයිබලයේ සඳහන් වන ආකාරයෙන් පැහැදිලි වන්නේ, සෑම ‘දවසකදීම’ නැතහොත් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් ඇතුළත විශාල වැඩ කොටසක් සිදු කර තිබෙන අතර ඒවා සිදු කළේ ක්ෂණිකව නොව ක්‍රම ක්‍රමයෙන් බවයි. සමහර මැවීමේ ක්‍රියා එක දවසකදී පටන්ගෙන අනෙක් මැවීමේ ‘දවස්’ දක්වා දිව ගියා විය හැකියි.

ඒ ඒ වර්ග ලෙස

ගස්කොළන් සහ සතුන් ක්‍රමානුකූලව හටගැන්වීමෙන් ඇඟවෙන්නේ විවිධ ජීවීන්ව බිහි කිරීමට දෙවි පරිණාමය යොදාගත් බවද? නැහැ. එම වාර්තාවේ කියන්නේ දෙවි විසින් ගස්කොළන් සහ සතුන් “ඒ ඒ වර්ග” ලෙස මැව්වා කියායි. (උත්පත්ති 1:11, 12, 20-25) මුලින්ම බිහි වූ මෙම ගස්කොළන් හා සතුන් “ඒ ඒ වර්ග” ලෙස මවා තිබුණේ වෙනස් වන පරිසරයට අනුව සකස් වීමට හෙවත් අනුවර්තනය වීමටද? “ඒ ඒ වර්ග” කියද්දී ඉන් අදහස් වන්නේ කුමක්ද? බයිබලයෙහි වර්ගය යන වචනය සවිස්තරාත්මකව දක්වා නැතත් ‘ඒ ඒ වර්ග ලෙස හටගත්’ සත්වයන් ගැන පවසනවා. (උත්පත්ති 1:21) එක් ‘වර්ගයක්’ තුළ පවා විවිධ විශේෂයන් හිටියත් උන් ඒ වර්ගයට පමණක් සීමා වී තිබෙන බව එම ප්‍රකාශයෙන් ඇඟවෙනවා. ෆොසිල පිළිබඳ වාර්තා හා නවීන පර්යේෂණයන් එය සනාථ කරනවා. ප්‍රධාන ශාක වර්ග හා සත්ව වර්ග අනාදිමත් කාලයක් තුළ වෙනස් වී ඇත්තේ ඉතා සුළු වශයෙන්.

පොළොව හා එහි වෙසෙන ජීවීන් ඇතුළු මුළු විශ්වය මවනු ලැබුවේ ඉතා සුළු කාලයක් ඇතුළතදී බව සමහර මූලධර්මවාදීන් පැවසුවත් බයිබලයේ උත්පත්ති පොතේ වාර්තාව ඊට අනුකූල නැහැ. විශ්වයේ බිහිවීම හා ජීවීන් හටගැනීම පිළිබඳ උත්පත්ති පොතේ ඇති විස්තරයට මෑතකදී සිදු කළ විද්‍යාත්මක සොයාගැනීම් බොහොමයක් එකඟයි.

බොහෝ විද්‍යාඥයන් තම දර්ශනයන් නිසා දෙවි සියල්ල මැවූ බව සඳහන් වන බයිබල් වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. කෙසේවෙතත් බයිබලයේ තිබෙන ඉපැරණි උත්පත්ති පොතේ වාර්තාවේ මෝසෙස් ලියුවේ විශ්වයට පටන්ගැන්මක් තිබෙන අතර යම් කාලයක් පුරා අදියරෙන් අදියර ජීවීන් බිහි වූ බවයි. විද්‍යාත්මකව නිවැරදි එම තොරතුරු මීට වසර 3,500කට පමණ පෙර මෝසෙස් දැනගත්තේ කොහොමද? එක දෙයක් තර්කානුකූලව පැහැදිලි කළ හැකියි. අහස හා පොළොව මැවීමට බලය හා ප්‍රඥාව තිබූ තැනැත්තා එවැනි දැනුමක් මෝසෙස්ට කලින්ම දී තිබෙනවා. බයිබලය “දේවානුභාවයෙන්” යන ප්‍රකාශය සැබෑවක් බව එයින් තහවුරු වෙනවා.—2 තිමෝති 3:16.

[පාදසටහන]

^ 14 ඡේ. පළවෙනි “දවස” තුළ සිදු වූ දේ ගැන දැක්වෙන විස්තරයේදී ආලෝකය සඳහා යොදා තිබෙන්නේ ’ඕර් යන වචනයයි. නමුත් හතරවෙනි දවසේ ආලෝකය ගැන සඳහන් කරද්දී යොදාගත්තේ ’මා ඕර් යන වචනයි. ඉන් යොමු දැක්වූයේ ආලෝකයේ ප්‍රභවය වන සූර්යාටයි.

සිතා බැලීමට යමක්

▪ දෙවි විශ්වය මැව්වේ කොපමණ කාලයකට පෙරද?—උත්පත්ති 1:1.

▪ පොළොව මැව්වේ පැය 24 දවස් හයකින්ද?—උත්පත්ති 2:4.

▪ පොළොවේ පටන්ගැන්ම සම්බන්ධයෙන් මෝසෙස්ගේ ලියවිලි විද්‍යාත්මකව නිවැරදි වන්නේ කෙසේද?—2 තිමෝති 3:16.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

විශ්වය මෑතකදී කෙටි කාලයක් තුළ මැව්වා යන අදහස උත්පත්ති වාර්තාවේ උගන්වන්නේ නැහැ

[20වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් මැව්වේය.”—උත්පත්ති 1:1

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Universe: IAC/​RGO/​David Malin Images

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

NASA photo