Skip to content

පටුනට යන්න

ඔබ විශ්වාස කරන දේ එතරම්ම වැදගත්ද?

ඔබ විශ්වාස කරන දේ එතරම්ම වැදගත්ද?

ඔබ විශ්වාස කරන දේ එතරම්ම වැදගත්ද?

ජීවිතයට අරමුණක් තිබෙනවාද? පරිණාමය සත්‍යයක් නම් එක් සඟරාවක පැවසූ මේ අදහසත් සත්‍යයක්. එහි මෙසේ සඳහන් වෙනවා “පරිණාමය ගැන අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වන්නේ . . . ජීවිතයට කිසිම අරමුණක් නැහැ කියලයි.”එම සඟරාව Scientific American.

මේ ගැන සිතා බලන්න. ජීවිතයට සැබෑ අරමුණක් නැත්නම් ඔබ ජීවත් වන කාලයේ ඔබට සිදු වන්නේ යම් හොඳ දේවල් කිරීමත් දරුවන් බිහි කිරීමත් වැනි දේවල් කරමින් ජීවත් වී අවසානයේදී මිය යන්නයි. එසේනම් ජීවිතයට අරමුණක් තිබෙනවාද කියා සිතීම පවා නිෂ්ඵල දෙයක්. ඊට හේතුව පරිණාමයට අනුව ඔබේ ජීවිතය, හැකියාවන් හා කල්පනා ශක්තිය යන සියල්ලම සොබාදහමේ අහඹු සිදුවීමක් පමණක් වන නිසයි.

පරිණාමය විශ්වාස කරන බොහෝ අය කියා සිටින්නේ දෙවි කෙනෙක් නැහැ, එහෙමත් නැත්නම් දෙවි කෙනෙක් හිටියත් ඔහු අපේ වැඩවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලයි. එය සැබෑවක් නම් අපේ අනාගතය රඳා පවතින්නේ දේශපාලනික, ආගමික හා බුද්ධිමත් පුද්ගලයන්ගේ තීරණ මතයි. එහෙත් ඉතිහාසය දෙස බලද්දී අපිට පැහැදිලි වන්නේ එදා සිට අද දක්වා ආරවුල්, ගැටලු, දූෂණ වැනි දේවල් මනුෂ්‍ය සමාජය තුළ තිබෙන බවයි. පරිණාමය සත්‍යයක් නම් අපට කරන්න තිබෙන්නේ මෙයයි. “හෙට අපි මැරෙන බැවින් කමු, බොමු.”—1 කොරින්ති 15:32.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉහත සඳහන් කළ ප්‍රකාශයන් පිළිගන්නේ නැහැ. ඔවුන් පරිණාමවාදයට දායක වන සිද්ධාන්ත පිළිගන්නෙත් නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ බයිබලයේ පවසන දේ සත්‍යය කියලයි. (යොහන් 17:17) ඒ නිසා ඔවුන් පිළිගන්නේ එහි පවසන මේ වදන්. “ජීවිතයේ උල්පත ඔබය [දෙවිය].” (ගීතාවලිය 36:9) කල්පනා කර බලන කල එහි ඉතා ගැඹුරු අදහසක් ගැබ් වී තිබෙනවා.

ඉන් අදහස් කරන්නේ ජීවිතය කියන්නේ අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් නොවන බවයි. අපේ මැවුම්කරුට ප්‍රේමණීය අරමුණක් තිබෙන අතර ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වන අයට එයින් ආශීර්වාද ලබන්නත් පුළුවන්. (දේශනාකාරයා 12:13) දෙවිගේ අරමුණ වන්නේ මිනිසාට, ආරවුල්, ගැටලු, දූෂණ හා මරණය පවා නැති පාරාදීස පොළොවක සදාකාල ජීවිතයක් ලබා දීමයි. (යෙසායා 2:4, 25:6-8) ලොව පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත යෙහෝවාගේ සාක්ෂිකරුවන් දන්නවා වෙන ඕනෑම දෙයකට වඩා දෙවි ගැන ඉගෙනගනිමින් ඔහුගේ කැමැත්ත කිරීම තුළින් තමන්ගේ ජීවිතවලට විශාල අරුතක් ලැබී තිබෙන බව!—යොහන් 17:3.

ඔබ විශ්වාස කරන දේ ඇත්තටම වැදගත්. එය අදට පමණක් නොව සන්තෝෂවත් අනාගතයකටද මඟ පාදයි. එසේනම් ඔබ කිසි පදනමක් නැති පරිණාමවාදය විශ්වාස කරනවාද? නැත්නම් බයිබලයේ කියන බුද්ධිමත්ම මැවුම්කරුවා වන යෙහෝවා දෙවි ‘සියල්ල මැවුවා’ කියා විශ්වාස කරනවාද? තේරීම ඔබ අතෙයි.—එළිදරව් 4:11.