Skip to content

පටුනට යන්න

කාව විශ්වාස කරන්නද?

කාව විශ්වාස කරන්නද?

කාව විශ්වාස කරන්නද?

“සෑම ගෘහයක්ම යමෙකු විසින් ඉදි කරනු ලබන බව සැබෑය. නමුත් සියල්ල ඉදි කළ තැනැත්තා දෙවිය.”—හෙබ්‍රෙව් 3:4.

මෙම වදන් තර්කානුකූලද? ඊට එකඟ විය හැකිද? මෙම වදන් ලියනු ලැබුවේ බයිබල් ලේඛකයෙකු විසින් මීට වසර 2,000කට කලිනුයි. එදා මෙදා තුර කාලය පුරා විද්‍යාව මහත් දියුණුවක් ලබා තිබියදීත් සොබාදහමේ නිර්මාණයන් දෙස බලා නිර්මාතෘවරයෙක් එනම් මැවුම්කාර දෙවි කෙනෙක් සිටිනවා කියා විශ්වාස කරන අය තවමත් සිටිනවාද?

ඔව්, කාර්මික රටවල සිටින බොහෝදෙනෙක් පවා එසේ විශ්වාස කරනවා. උදාහරණයකට එක්සත් ජනපදයේ නිව්ස්වීක් සඟරාවේ ලේඛකයන් 2005දී සිදු කළ සමීක්ෂණයකින් සොයාගත්තේ සියයට 80ක ජනතාවක් “දෙවි විසින් විශ්වය මැව්වා කියා විශ්වාස කරන” බවයි. මෙවැනි විශ්වාසයක් තිබෙන්නේ නූගත්කම නිසාද? විද්‍යාඥයන් දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසයක් තබයිද? සමීක්ෂණයකට භාජන කළ ජීව විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයන් හා ගණිතඥයන්ගෙන් සියයට 40ක්ම දෙවි කෙනෙකුව විශ්වාස කරනවා පමණක් නොව ඔහු යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙන බවද විශ්වාස කරනවා කියා නේචර් නම් විද්‍යා සඟරාවේ 1997දී වාර්තා වුණා.

කෙසේනමුත් වෙනත් විද්‍යාඥයන් ඊට තදින්ම විරුද්ධ වුණා. උදාහරණයකට නොබෙල් ත්‍යාග ලාභී වෛද්‍ය හර්බර්ට් ඒ. හොප්ට්මන් මෑතකදී විද්‍යාව පිළිබඳ සම්මේලනයකදී පැවසුවේ මනුෂ්‍යත්වය ඉක්ම වූ කෙනෙකු විශේෂයෙන්ම දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාස කිරීම විද්‍යාව හා එකඟ නොවන බවයි. “මෙවැනි විශ්වාසයක් තිබීම මිනිස් ජාතියේ ශුභසිද්ධියට විශාල හානියක්” කියා ඔහු පැවසුවා. එමෙන්ම සමහර විද්‍යාඥයන් දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාස කළත්, ශාක හා සත්වයන් නිර්මාණය වී තිබෙන ආකාරයෙන් නිර්මාතෘ කෙනෙකු සිටින බව විශ්වාස කරන්න සිදු වෙනවා යන කාරණය ඉගැන්වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ස්මිත්සෝනියන් ආයතනයේ ෆොසිල පිළිබඳ විද්‍යාඥයෙකු වූ ඩග්ලස් එච්. අර්වින් ඊට එක් හේතුවක් දක්වමින් මෙසේ පැවසුවා. “විද්‍යාවට අනුව නම් ප්‍රාතිහාර්යයන් විශ්වාස කරන්න බැහැ.”

ඔබට වුවමනා නම්, අනිත් අයට ඕන විදිහට සිතන්නත්, විශ්වාස කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තිබෙන සාක්ෂි ගැන ඔබම සෝදිසි කර බලා යම් නිගමනයකට එළඹෙන්නත් පුළුවන්. මෑතකදී සොයාගත් විද්‍යාත්මක සොයාගැනීම් ගැන සඳහන් අනෙක් ලිපිද කියවන විට ඔබ මේ ගැනත් සිතන්න. ‘නිර්මාතෘවරයෙක් හෙවත් මැවුම්කරුවෙක් සිටින බව නිගමනය කිරීම තර්කානුකූලද?’

[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සාක්ෂි ගැන ඔබම සෝදිසි කරන්න

[3වන පිටුවේ කොටුව]

යෙහෝවාගේ සාක්ෂිකරුවන් මැවුම්වාදීන්ද?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලයේ උත්පත්ති පොතේ ඇති මැවීම පිළිබඳ වාර්තාව විශ්වාස කරනවා. කෙසේවෙතත් ඔවුන්ව මැවුම්වාදීන් කියා හැඳින්විය නොහැකියි. මන්ද සාමාන්‍යයෙන් මැවුම්වාදීන් විශ්වාස කරන්නේ විශ්වයත්, පෘථිවියත්, එහි ඇති සියල්ලත් මීට වසර 10,000කට පමණ පෙර පැය 24කින් යුත් දවස් හයකින් මැවූ බවයි. නමුත් බයිබලයේ උගන්වන්නේ එවැනි දෙයක් නොවෙයි. * එමෙන්ම මැවුම්වාදීන් බයිබලයේ නැති ඉගැන්වීම් බොහොමයක් විශ්වාස කරනවා. නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම විශ්වාසය ගොඩ නඟාගෙන තිබෙන්නේ දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට එකඟවයි.

සමහර රටවල දේශපාලනයෙහි ප්‍රබල ලෙස හවුල් වී සිටින මූලධර්මවාදී කණ්ඩායම්, “මැවුම්වාදීන්” ලෙසත් හඳුන්වනවා. එම කණ්ඩායම්වල වෑයම වන්නේ මැවුම්වාදීන්ගේ ආගමික විශ්වාසයන්ට අනුව නීති රීති පැනවීමට හා ඉගැන්වීම් කිරීමට දේශපාලනඥයන්ට, විනිශ්චයකරුවන්ට හා ගුරුවරුන්ට බලපෑම් කිරීමයි.

එහෙත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශපාලනයට හවුල් වන්නේ නැහැ. ඔවුන් රජයේ නීති රීතිවලට ගරු කරනවා. (රෝම 13:1-7) නමුත් “ලෝකයේ කොටසක් නොවෙති” කියා යේසුස් පැවසූ දෙයෙහි අර්ථය ඔවුන් බැරෑරුම්ව සලකනවා. (යොහන් 17:14-16) ප්‍රසිද්ධ දේවසේවයේ යෙදෙද්දී ඔවුන් ජනයාට අවස්ථාව සලසා දෙන්නේ දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන ඉගෙනගන්නයි. ඔවුන් පැති නොගෙන මධ්‍යස්ථව සිටිනවා. අන්‍යයන්ට බයිබල් ප්‍රමිති අදාළ කරගැනීමට බල කරන නීති පනවාගෙන සිටින මූලධර්මවාදී කණ්ඩායම්වලට ඔවුන් සහයෝගය දෙන්නේ නැහැ.—යොහන් 18:36.

[පාදසටහන]

^ 11 ඡේ. මෙම කලාපයේ 18වන පිටුවේ “බයිබලයෙන් පිළිතුරක්: විද්‍යාව උත්පත්ති පොතේ වාර්තාවට පටහැනිද?” යන ලිපිය බලන්න.