Skip to content

පටුනට යන්න

ජීව රසායන විද්‍යාඥයෙකු සමඟ කළ සාකච්ඡාවක්

ජීව රසායන විද්‍යාඥයෙකු සමඟ කළ සාකච්ඡාවක්

ජීව රසායන විද්‍යාඥයෙකු සමඟ කළ සාකච්ඡාවක්

එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ලීහයි විශ්වවිද්‍යාලයේ ජීව රසායන විද්‍යාඥයෙක් වන මහාචාර්ය මයිකල් ජේ. බීහී 1996දී ඩාවින්ස් බ්ලැක් බොක්ස් ද බයෝකෙමිකල් චැලෙන්ජ් ටු ඉවලූෂන් යන පොත නිකුත් කළා. වර්ෂ 1997 මැයි 8 පිබිදෙව් සඟරාවේ අපි මෙහාට ආවේ කොහොමද? අහම්බෙන්ද නැත්නම් නිර්මාණයකින්ද? යන මාතෘකාව යටතේ තිබෙන ලිපිවල බීහීගේ මේ පොත ගැන සඳහන් කර තිබුණා. බීහී තම පොත නිකුත් කළාට පසු පරිණාමවාදී විද්‍යාඥයන් එහි ඇති තර්කයන් බිඳ හෙළන්න උත්සාහ කළා. විවේචකයන් කියා සිටින්නේ ඔහු රෝමානු කතෝලිකයෙක් නිසා ඔහුගේ ආගමික විශ්වාසයන්ට ඔහු මුල් තැන දී තිබෙනවා කියායි. තවත් සමහරුන් කියන්නේ ඔහුගේ තර්ක විද්‍යානුකූල නැහැ කියලයි. පිබිදෙව්! ලේඛකයන් මහාචාර්ය බීහී සමඟ සාකච්ඡා කළේ ඔහුගේ අදහස් මෙතරම් මතභේදයකට තුඩු දුන්නේ ඇයි කියා දැනගන්නයි.

පිබිදෙව්!: ජීවය, බුද්ධිමත් නිර්මාතෘවරයෙකු සිටින බවට සාක්ෂි සපයනවා කියා ඔබට හැඟුණේ ඇයි?

මහාචාර්ය බීහී: ඕනෑම සංකීර්ණ දෙයක් දකින විට අපි එය ඉතා හොඳ නිර්මාණයක් කියා නිගමනය කරනවා. මහන මැෂිමක් හෝ වාහනයක් ඊට කදිම උදාහරණයි. මම නම් කියන්නේ මී කතුර දෙස බැලුවත් අපිට නිගමනය කරන්න වෙන්නේ එය කවුරු හරි නිර්මාණය කළා කියලයි. ඊට හේතුව මීයෙකුව අල්ලාගැනීමට හැකි වෙන විදිහට එහි එක් එක් කොටස් යම් සැලැස්මකට අනුව සම්බන්ධ කර සාදා තිබීමයි.

ඒක සෛල ජීවීන්ව හා අණු පිළිබඳව අධ්‍යයනය කිරීමට තරම්ම විද්‍යාව දැන් දියුණු වී තිබෙනවා. එහි තිබෙන සැලැස්ම හා ක්‍රියාකාරිත්වය ගැන විද්‍යාඥයන් පුදුම වෙනවා. උදාහරණයකට, සෛලයක් තුළ තිබෙන කුඩා අණු සමහරක්, සෛලයේ එක් පැත්තක සිට අනිත් පැත්තට නොයෙක් ද්‍රව්‍යයන් ප්‍රවාහණය කරනවා. ඒ වගේම තවත් සමහර අණු මේ ද්‍රව්‍යය රැගත් අණුවලට යන්න අවශ්‍ය තැනට යන්න සංඥා කරනවා. සමහර අණු “බෝට්ටුවක පිටතින් ඇති මෝටරය” වගේ ක්‍රියා කරන නිසා ශරීරයේ තිබෙන දියර ඔස්සේ ගමන් කරන්න සෛලයට හැකියාව ලැබෙනවා. ඕනෑම දෙයක මේ හා සමාන සංකීර්ණ සැලැස්මක් දකින විට ඒවාට බුද්ධිමත් නිර්මාණකරුවෙක් සිටින බව අපි පිළිගන්නවා. ජීවීන් තුළ තිබෙන සංකීර්ණත්වය හා සැලැස්ම දකින විට ජීවය අහම්බෙන් ඇති වුණා කියන ඩාවින්ගේ මතය එයට ගැළපෙන්නේ නැහැ. ඇත්තටම ජීවයට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටින බව නිගමනය කිරීම සාධාරණයි.

පිබිදෙව්!: බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවා කියා ඔබ කළ නිගමනයට ඔබේ වෘත්තියේ යෙදෙන්නන් එකඟ නොවීමට හේතුව කුමක් කියාද ඔබ සිතන්නේ?

මහාචාර්ය බීහී: බොහෝ විද්‍යාඥයන් කියන්නේ ජීවයේ පිටුපස බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවා නම් එය විද්‍යාවට එකඟ නැහැ වගේම සොබාදහමටත් පිටින් තිබෙන දෙයක් කියායි. ඒ නිසා ඔවුන් කැමති නැහැ මගේ නිගමනය පිළිගන්න. මම නම් ඉගෙනගෙන තිබෙන්නේ විද්‍යාවෙන් යමක් නිගමනය කරන්න නම් එය ඔප්පු කරන්න සාක්ෂි තිබෙන්න ඕනෙ කියලයි. ඇත්තටම මම දකින්නේ යමක් ඔප්පු කරන්න ප්‍රබල සාක්ෂි තිබියදීත් අපේ මතයට එය නොගැළපෙනවා කියා ප්‍රතික්ෂේප කිරීම මහ බියගුලුකමක් හැටියටයි.

පිබිදෙව්!: බුද්ධිමත් නිර්මාතෘවරයෙකුව පිළිගැනීම අඥානකමක් කියා විවේචකයන් කියද්දී ඔබ එය භාරගන්නේ කෙසේද?

මහාචාර්ය බීහී: ජීවය බුද්ධිමත් මැවුම්කරුවෙකුගේ නිර්මාණයක් කියා පිළිගැනීම අඥානකමක් නෙවෙයි. එය පදනම් කරගෙන තිබෙන්නේ නොදන්නා දේවල් මත නෙවෙයි දන්නා දේවල් මතයි. ඩාවින් විසින් ජීවයේ සම්භවය යන පොත ප්‍රකාශයට පත් කළේ මීට වසර 150කට ඉහතදීයි. එදා සිටි විද්‍යාඥයන් හිතුවේ ජීවය කියන්නේ සරල දෙයක් කියලයි. එදා ඔවුන්ට තිබුණ අවබෝධයට අනුව ඔවුන් විශ්වාස කළේ සරල සෛලයකට මුහුදේ මඩවලින් වුවත් මතුවිය හැකි බවයි. නමුත් දැන් විද්‍යාව දියුණුයි. නවීන දින සොයාගැනීම්වලින් හෙළි වන්නේ සෛලය 21වන සියවසේ තිබෙන ඕනෑම යන්ත්‍ර සූත්‍රයකට වඩා සංකීර්ණ දෙයක් හැටියටයි. මෙතරම් සංකීර්ණ දෙයකින් අනිවාර්යයෙන්ම අරමුණක් ඇති නිර්මාතෘවරයෙක් සිටින්න ඕන බව ඔප්පු වෙනවා.

පිබිදෙව්!: සෛල හා ඒ තුළ තිබෙන අණුවලින් ඉතා සංකීර්ණ වැඩ කොටසක් ඉටු වන බව ඔබ පැහැදිලි කළා. මේ සියල්ල ස්වාභාවික වරණය මගින් ඇති වූ බවට විද්‍යාවෙන් සාක්ෂි සපයා තිබෙනවාද?

මහාචාර්ය බීහී: නැහැ. ඕනෑම විද්‍යා පොතක් කියෙව්වොත් ඔබට පැහැදිලි වෙයි අද වන තුරු කිසිම කෙනෙකුට ඩාවින් විස්තර කළ දෙයට මෙතරම් සංකීර්ණ දේවල් ඇති වුණ බව ඔප්පු කරන්න බැරි වෙලා තිබෙනවා කියලා. මගේ පොත පළ කළේ මීට අවුරුදු 10කට පෙරයි. එදා සිට විද්‍යා කටයුතු පිළිබඳ ජාතික ඇකඩමිය සහ විද්‍යාවේ උන්නතිය තකා පිහිටුවා ඇති අමෙරිකානු සංගමය වැනි ආයතන ඔවුන්ගේ සාමාජිකයන්ගෙන් පුන පුනා ඉල්ලන්නේ මැවුම්කරුවෙක් නැහැ කියන්න තිබෙන සාක්ෂි හොයන්න කියලයි. ඒත් තාම ඒක කරන්න බැරි වෙලා තිබෙනවා.

පිබිදෙව්!: සමහර අය ශාකවල හෝ සතුන්ගේ යම් යම් කොටස් බලා පවසන්නේ මේවා නිර්මාණයේ දෝෂයක් කියලයි. එයට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

මහාචාර්ය බීහී: ජීවීන්ගේ හෝ ශාකවල යම් කොටස්වල අර්ථය අපට හරියටම තේරුම්ගන්න අමාරු නිසා එය වැඩක් නැහැයි කීම සුදුසු නැහැ. කලින් ශරීරයේ තිබෙන සමහර අවයවයන් ගැනද හිතුවේ ඒ විදිහටයි. උදාහරණයක් හැටියට උණ්ඩුක පුච්ඡය හා සෙම්ගෙඩි (උගුර දෙපැත්තේ තිබෙන කුඩා ග්‍රන්ථි දෙක) සුළු ශල්‍යකර්මයකින් ඉවත් කළේ එම හේතුව නිසයි. නමුත් දැන් අපි දන්නවා මේ කුඩා අවයවයන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍යයි කියලා. ඒවා නිර්මාණයේ දෝෂයක් නෙවෙයි.

තවත් කරුණක් නම් ජීව විද්‍යාවේ සිදු වන හැම දෙයක්ම අපට විස්තර කරන්න බැරි වීමයි. නමුත් නොදන්නාකම නිසා එය නිර්මාණය කළේ නැහැ කියා තර්ක කරන්න අපට බැහැ. මෙහෙම හිතන්න. මගේ කාර් එකේ තැල්මක් තිබුණා කියලා හරි, ටයර් එකේ හුළං ගියා කියලා හරි ඒවා නිර්මාණය කළේ නැහැ කියලා මට තර්ක කරන්න පුළුවන්ද? එසේ කිරීම අසාධාරණයි. ඒ වගේම ජීව විද්‍යාවේ සිදු වන හැම දෙයක්ම විස්තර කරන්න බැරි නිසා හෝ තේරුම්ගන්න බැරි නිසා එය අහම්බෙන් සිදු වුණා කියලා කියන්න බැහැ. ඒක තර්කානුකූල නැහැ.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මම දකින්නේ යමක් ඔප්පු කරන්න ප්‍රබල සාක්ෂි තිබියදීත් අපේ මතයට එය නොගැළපෙනවා කියා ප්‍රතික්ෂේප කිරීම මහ බියගුලුකමක් හැටියටයි.”