Skip to content

පටුනට යන්න

නිර්මාතෘවරයාව විශ්වාස කිරීමට හේතු

නිර්මාතෘවරයාව විශ්වාස කිරීමට හේතු

නිර්මාතෘවරයාව විශ්වාස කිරීමට හේතු

විද්‍යා ක්ෂේත්‍රවල නිරත වන ප්‍රවීණයන් බොහෝදෙනෙක් බුද්ධිමය නිර්මාණවලින් සොබාදහම පිරී ඇති බව ඒත්තුගෙන තිබෙනවා. ජීවීන්ගේ සංකීර්ණ සැකැස්ම දෙස බලද්දී ඒවා ඉබේ ඇති වුණා කීම තර්කානුකූල නොවන බවයි ඔවුන්ගේ අදහස. එමනිසා විද්‍යාඥයන් හා පර්යේෂකයන් හුඟදෙනෙක් නිර්මාතෘවරයෙකුව විශ්වාස කරනවා.

මොවුන්ගෙන් කීපදෙනෙක් දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්. බයිබලයේ සඳහන් වන දෙවි විශ්වයේ නිර්මාතෘ මෙන්ම මැවුම්කරු බව ඔවුන් ඒත්තුගෙන තිබෙනවා. එවැනි නිගමනයකට එළඹුණේ ඇයි කියා පිබිදෙව්! ලේඛකයන් ඔවුන්ගෙන් විමසූ විට මතු දැක්වෙන සිත්ගන්නා අදහස් ඔවුන් ඉදිරිපත් කළා. *

“ජීවීන් තේරුම්ගත නොහැකි තරම් සංකීර්ණයි”

වොල්ෆ්-එකාට් ලෝනිග්

පෞද්ගලික තොරතුරු: වසර 28ක් පුරා මම ශාකවල ජාන විකෘති පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ පවත්වා තිබෙනවා. ඉන් වසර 21ක්ම මම රැකියාව කළේ ජර්මනියේ කොලාන්හි ශාක පිළිබඳ පර්යේෂණ සිදු කළ මැක්ස් ප්ලැන්ක් ආයතනයෙයි. ඒ වගේම මේ වන තුරු වසර 30ක පමණ කාලයක් පුරා මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකු ලෙසත් සේවය කරමින් සිටිනවා.

ජාන පිළිබඳව පර්යේෂණ පැවැත්වීමෙන් හා භෞතික විද්‍යාව මෙන්ම රූප විද්‍යාව වැනි ජීව විද්‍යාත්මක විෂයන් හැදෑරීමෙන් ජීවය මොන තරම් සංකීර්ණද කියා මම දැනගත්තා. මේ විෂයන් හැදෑරීමෙන් ඉතාම සරල ජීවියෙක් පවා බිහිවීම පිටුපස යම් බුද්ධිමත් කෙනෙක් සිටිය යුතු බව පිළිගන්න මට සිදු වුණා.

විද්‍යා ක්ෂේත්‍රයේ සිටින්නන් හොඳින්ම දන්නවා ජීවය මොන තරම් සංකීර්ණද කියලා. ඒත් ඔවුන් කැමති වන්නේ මෙවැනි පුදුමාකාර දේවල් පරිණාමයෙන් ඇති වුණා කියා පිළිගන්නයි. කොහොමවුණත් මගේ අදහස නම් විද්‍යාත්මක ලෙස බලන කල බයිබලයේ මැවීම පිළිබඳ වාර්තාවට විරුද්ධව නඟා ඇති තර්කයන් බොරු වෙන බවයි. මොකද මම වසර ගණනාවක් පුරා එවැනි තර්කයන් ගැන අධ්‍යයනය කර තිබෙනවා. ජීවීන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදීමෙන් පසුව හා ජීවය පැවතීමට හැකි වන ලෙසින් විශ්වය තුළ පොළොව පිහිටුවා තිබෙන ආකාරය ගැන සලකා බැලීමෙන් පසුව මේ සියල්ලට නිර්මාතෘ කෙනෙක් සිටිය යුතු බව විශ්වාස නොකර ඉන්න මට බැහැ.

“හැම දේකටම හේතුවක් තියෙනවා”

▪ බයිරන් ලියෝන් මෙඩෝස්

පෞද්ගලික තොරතුරු: මම ඉන්නේ එක්සත් ජනපදයේ. වැඩ කරන්නේ ජාතික ගුවන් ගමන් හා අභ්‍යවකාශ පරිපාලන ආයතනයේ ඉලෙක්ට්‍රොනික විද්‍යා අංශයේ ලේසර් කිරණවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන්. දැන් මම ලෝක දේශගුණය, කාලගුණය හා වෙනත් සංසිද්ධීන් පාලනය කළ හැකි තාක්ෂණයක් වැඩිදියුණු කරමින් ඉන්නවා. ඒ වගේම මම වර්ජීනියාවල කිල්මාර්නක් නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙක්.

මගේ වැඩවලට බොහෝදුරට භෞතික නීති සම්බන්ධයි. සමහර දේවල් සිදු වෙන විදිහත්, ඒවා සිදුවීමට හේතුවත් තේරුම්ගන්න මම උත්සාහ කරනවා. මේ ක්ෂේත්‍රයේ අධ්‍යයනයන්වල යෙදෙද්දී දකින හැම දේකටම හේතුවක් තියෙන බව පේනවා. විද්‍යාත්මකව බලන කල සොබාදහමේ පවතින සියල්ලේ මූලාරම්භක හේතුව, නිර්මාතෘ දෙවි කෙනෙක් කියා පිළිගන්න සිද්ධ වෙනවා. සොබාදහමේ භෞතික නීති කොතරම් ස්ථිරද කියනවා නම් සංවිධායකයෙකු නැතහොත් නිර්මාතෘවරයෙකු ඒවා පිහිටුවා තිබෙන බව විශ්වාස කරන්නම වෙනවා.

එළඹෙන්න සිදු වන්නේ මෙවැනි නිගමනයකට වුණත් බොහෝ විද්‍යාඥයන් පරිණාමය විශ්වාස කරන්නේ ඇයි? සාක්ෂි තිබුණත් බොහෝ පරිණාමවාදීන් පිළිගන්නේ තමන්ගේ මතවලට ගැළපෙන තොරතුරු පමණක් විය හැකියි. මෙවැනි දේවල් විද්‍යා ක්ෂේත්‍රයේ සිදුවීම පුදුමයක් නොවෙයි. නමුත් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත නොහැකි වුණත් නිරීක්ෂණයකින් එළඹෙන නිගමනය සියයට සීයක් නිවැරදි වන්නේ නැහැ. උදාහරණයකට ලේසර් කිරණවල ක්‍රියාකාරිත්වය ගැන පර්යේෂණය කරන කෙනෙක් ආලෝකය තරංගයක් මෙන් ක්‍රියා කරන නිසා ආලෝකය ධ්වනි තරංගයක් වැනි තරංගයක් බව තරයේ කියා සිටිය හැකියි. එහෙත් ඔහුගේ නිගමනය සීයට සීයක් නිවැරදි නොවේවි. මොකද ආලෝකය පෝටන ලෙස හැඳින්වෙන අංශු කාණ්ඩයකින් හෙබි කදම්බයක් ලෙසත් ක්‍රියා කරන බව සාක්ෂිවලින් පෙන්වනවා. එලෙසම පරිණාමය සැබෑවක් ලෙස දක්වන අය තම නිගමනයන්ට එළඹී තිබෙන්නේ සම්පූර්ණයෙන්ම ඔප්පු කරන ලද සාක්ෂි අනුව නෙවෙයි. එමෙන්ම ඔවුන් නිගමනවලට එළඹෙන්නේ තමන් එම සාක්ෂිය දෙස බලන ආකාරය අනුවයි.

පරිණාමය සත්‍යයක් කියා යමෙක් පිළිගන්නවා නම් ඒක මට පුදුමයක්. මොකද තාමත් පරිණාමයවාදී “ප්‍රවීණයන්” පවා එය කෙසේ සිද්ධ වෙන්න ඇද්දැයි විවාද කරමිනුයි ඉන්නේ. උදාහරණයකට, දෙකයි දෙකයි හතරයි කියා ඇතැම් ප්‍රවීණයන් පවසද්දී තවත් අය 3ක් නැත්නම් 6ක් වෙන්නත් පුළුවන් කියා පැවසුවොත් එම එකතු කිරීම සැබෑවක් ලෙස සැලකිය හැකිද? විද්‍යාව කියන්නේ පරීක්ෂණය, නිරීක්ෂණය හා නිගමනය තුළින් යමක් සොයාගැනීමයි. විද්‍යාවෙන් යමක ඇත්ත නැත්ත ඔප්පු කරන්න නම් ඒ සොයාගත් දේ යළි නිපදවීමේ හැකියාවක් තිබෙන්න ඕන. ඒ අනුව සියලුම ජීවීන් එක ජීවියෙකුගෙන් පරිණාමය වුණා යන සිද්ධාන්තය විද්‍යාත්මකව බලන කල සත්‍යයක් වන්නේ නැහැ.

නැති දෙයකින් යමක් ඇති වෙන්න බැහැ”

▪ කෙනත් ලොයිඩ් ටානාකා

පෞද්ගලික තොරතුරු: භූ විද්‍යාඥයෙක් වන මම එක්සත් ජනපදයේ ඇරිසෝනාහි ෆ්ලැග්ස්ටාෆ් නගරයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටිනවා. වසර 30කට ආසන්න කාලයක් පුරා ග්‍රහලෝකවල භූ විද්‍යාව ඇතුළු විවිධ භූ විද්‍යා ක්ෂේත්‍රවල විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීමට මම සහභාගි වෙලා තියෙනවා. පිළිගත් විද්‍යා සඟරාවල මගේ පර්යේෂණ ගණනාවක් මෙන්ම අඟහරු ග්‍රහයාගේ භූ විද්‍යා සිතියම් පළ කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන මම හැම මාසෙකම පැය 70ක් විතර ගත කරනවා අනිත් අයට බයිබලය කියවන්න උනන්දු කරන්න.

මට උගන්වා තිබෙන්නේ පරිණාමය විශ්වාස කිරීමට වුණත් මෙතරම් විශාල විශ්වයක් සෑදීමට අවශ්‍ය වූ අතිමහත් බලය බලවත් නිර්මාතෘවරයෙකු නැතුව ඇති වෙයි කියා හිතන්න බැහැ. නැති දෙයකින් යමක් ඇති වෙන්න විදිහක් නැහැ. නිර්මාතෘවරයෙකු හෙවත් මැවුම්කරුවෙකු ඉන්න බවට බයිබලයෙන්ම ප්‍රබල තර්කයක් සොයාගන්න පුළුවන්. මගේ ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් සොයාගෙන ඇති විද්‍යාත්මක සත්‍යයන් ගණනාවක් බයිබලයේ තියෙනවා. උදාහරණයකට පෘථිවිය ගෝලාකාර බවත්, එය “කිසිත් නැතිකමේ” එල්ලෙන බවත් එහි සඳහන් වෙනවා. (යෝබ් 26:7; යෙසායා 40:22) බයිබලයේ මෙවැනි සත්‍යයන් සඳහන් වී තිබුණේ මිනිසුන් ඒවා සොයාගැනීමට බොහෝ කලකට පෙරයි.

අපව සෑදී තිබෙන ආකාරය ගැනත් හිතන්න. සංවේදන ඉන්ද්‍රියයන්, දැනුම හා අවබෝධය, බුද්ධිය පාවිච්චි කිරීමේ හැකියාව, අදහස් හුවමාරු කිරීමේ හැකියාව සහ හැඟීම් අප සතුව තිබෙනවා. විශේෂයෙන්ම අපිට ප්‍රේමය ලැබීමට, එය අගය කිරීමට හා පෙන්වීමට හැකියාව තිබෙනවා. මෙම අද්විතීය හැකියාව ඇති වුණේ කොහොමද කියලා පරිණාමය යන ඉගැන්වීම තුළින් පැහැදිලි කරන්න බැහැ.

‘පරිණාමය පැහැදිලි කිරීමට සොයාගෙන තිබෙන තොරතුරු ඇත්තෙන්ම විශ්වාසදායකද නිවැරදිද’ කියා ඔබම කල්පනා කර බලන්න. භූ විද්‍යාව ගැන අපි දන්නා තොරතුරු අසම්පූර්ණයි, සංකීර්ණයි වගේම පැටලිලි සහිතයි. පරීක්ෂණාගාරවලදී කරන ලද විද්‍යාත්මක අත්හදා බැලීම්වලින් පරිණාම ක්‍රියාවලිය සිදු වූ ආකාරය සීයට සීයක් ඔප්පු කිරීමට පරිණාමවාදී විද්‍යාඥයන් සමත් වී නැහැ. දත්ත එකතු කරගැනීමට විද්‍යාඥයන් දක්ෂ ලෙස පර්යේෂණ කළත් බොහෝවිට සිදු වන්නේ ඔවුන් තම සොයාගැනීම් ගැන පැහැදිලි කරද්දී ඔවුන්ගේ ආත්මාර්ථකාමි චේතනාවන් ඉස්මතු වීමයි. එම දත්තවලින් හරි නිගමනයකට එන්න බැරි නම් හෝ දත්ත එකිනෙකට සම්බන්ධ කරගත නොහැකි නම් විද්‍යාඥයන් පෙලඹී තිබෙන්නේ තමන්ගේම මතයන් ඉදිරිපත් කිරීමටයි. ඊට හේතුව ඔවුන් තම වෘත්තිය ගැනත් තමන් ගැනත් ඕනෑවට වඩා සිතීමයි.

විද්‍යාඥයෙකු හා බයිබල් ශිෂ්‍යයෙකු වන මම සොයන්නේ සත්‍ය තොරතුරු වගේම සියලු සාධක හා නිරීක්ෂණයන් මගින් නිවැරදි අවබෝධයක් ලබාගැනීමටයි. මට හිතෙන්නේ නිර්මාතෘව විශ්වාස කිරීම තමයි සුදුසුම දේ කියලා.

“සෛලය නිර්මාණයක් බව පැහැදිලියි”

▪ පෝල කින්චලෝ

පෞද්ගලික තොරතුරු: සෛල හා අණුක ජීව විද්‍යාව මෙන්ම ක්ෂුද්‍ර ජීව විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි පර්යේෂිකාවක් ලෙස මට වසර කීපයක පළපුරුද්දක් තියෙනවා. මම දැනට සේවය කරන්නේ අමෙරිකාවේ ජෝර්ජියාවල ඇට්ලෑන්ටා නගරයේ ඉමරි විශ්ව විද්‍යාලයෙයි. ඒ වගේම රුසියානු භාෂාව කතා කරන අයට ස්වේච්ඡාවෙන් මම බයිබලය උගන්වනවා.

ජීව විද්‍යාව හදාරද්දී සෛලය හා එහි අඩංගු කොටස් ගැන අධ්‍යයනය කිරීමට පමණක් මම අවුරුදු හතරක් මිඩංගු කළා. මම DNA හා RNA යන අණු, ප්‍රෝටීන, රසායනික මෙන්ම භෞතික විපර්යාසයන් ගැන වැඩි වැඩියෙන් ඉගෙනගනිද්දී ඒවාවල තිබෙන සංකීර්ණත්වය, සංවිධානාත්මකබව හා නිරවද්‍යතාව දැකලා හුඟක් පුදුම වුණා. සෛලය ගැන කෙනෙකුට මේ තරම් දේවල් ඉගෙනගන්න තියෙනවා නම් තවත් කොච්චර දේවල් තියෙනවද ඉගෙනගන්න කියන එක ගැන හිතාගන්නවත් බැහැ. සෛලය නිර්මාණයක් බව මට පැහැදිලියි. මම දෙවි කෙනෙකුව විශ්වාස කිරීමට එය එක් හේතුවක්.

බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඒ දෙවි කවුද කියා දැනගත්තා. ඔහු මැවුම්කාර දෙවි වන යෙහෝවායි. ඔහු බුද්ධිමත් නිර්මාතෘවරයෙකු පමණක් නොව මා ගැන සැලකිලිමත් වන කරුණාවන්ත මෙන්ම ප්‍රේමණීය පියෙකු බවත් මට ස්ථිරයි. ජීවිතයේ අරමුණ ගැන බයිබලයේ පැහැදිලි කරලා තියෙනවා. ප්‍රීතිමත් අනාගතයක් ගැන බලාපොරොත්තුවක්ද එහි සපයනවා.

පරිණාමවාදය ගැන පාසැලේදී ඉගෙනගන්නා බාලයන්ට කුමක් විශ්වාස කළ යුතුද කියා හිතාගන්න බැරි වෙන්න පුළුවන්. ඇත්තෙන්ම මෙය ඔවුන්ව වියවුලට පත් කරවන කාලයක්. ඔවුන් දෙවිව විශ්වාස කරනවා නම් ඔවුන්ගේ ඇදහිල්ලත් පරීක්ෂණයට ලක් වෙයි. අප අවට සොබාදහමේ තිබෙන පුදුමාකාර දේවල් සෝදිසි කර බැලීමෙනුත් නිර්මාතෘ හා ඔහුගේ ගුණාංග ගැන නොකඩවාම දැනුම ලබාගැනීමෙනුත් එම අභියෝගය ජයගන්න ඔවුන්ට හැකියි. මමත් ඒ විදිහට කරලා තියෙන නිසා මැවීම පිළිබඳව බයිබලයේ සඳහන් වාර්තාව නිවැරදි මෙන්ම විද්‍යාවට පටහැනි නොවන බව මට ස්ථිරයි.

“නීති හරිම සරලයි”

▪ එන්රීකේ හර්නාන්ඩෙස් ලේමූස්

පෞද්ගලික තොරතුරු: මම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණකාලීන දේවසේවකයෙක්. ඒ වගේම මම මෙක්සිකෝවල ජාතික විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් ලෙස වැඩ කරනවා. දැනට මම කරන්නේ තාරකා ඇතිවීමට විද්‍යාත්මක හේතු ගැන පර්යේෂණ පැවැත්වීමයි. ඒ වගේම සංකීර්ණ DNA අණුව සම්බන්ධයෙනුත් මම වැඩ කරලා තියෙනවා.

ජීවය දෙස බලන කල එය ඉබේ ඇති වූවක් නොවන බව අවංකවම පිළිගන්න සිදු වෙනවා. උදාහරණයකට ඩිඔක්සිරයිබොනියුක්ලෙයික් අම්ලය හෙවත් DNA අණුවක අන්තර්ගත තොරතුරු සම්භාරය ගැන සිතා බලන්න. වර්ණදේහයක ඉබේ ඇතිවීම ගැන සංඛ්‍යාත්මකව බලනවා නම් එය හිතාගන්නවත් බැරි සංඛ්‍යාවක්. එම සංඛ්‍යාව, එකයි බිංදු දහඅටකින් ලියා දක්වන සංඛ්‍යාවක් වන ට්‍රිලියනයක් නවයෙන් වැඩි කර ඒ එන සංඛ්‍යාවෙනුත් එකක් ලෙසයි දැක්විය හැක්කේ. මේ අනුව බැලුවොත් එය අහම්බෙන් ඇති වුණා කියන්න පුළුවන්ද? බුද්ධිමය හැකියාවක් නැති ශක්තීන්ට වර්ණදේහයක් විතරක් නොව සියලුම ජීවීන් තුළ තිබෙන පුදුමාකාර සංකීර්ණ දේවල් ඇති කරන්න පුළුවන් කියා විශ්වාස කිරීම මට හිතෙන විදිහට ඇත්තෙන්ම මෝඩකමක්.

විශ්වයේ තිබෙන කුඩාම දේවල් එනම් අණ්වීක්ෂයකින් බලා දැකගැනීමට සිදු වන දේවල් හා අහසේ දකින්න තිබෙන ග්‍රහලෝක වැනි විශාලතම දේවල් නිර්මාණය වීමට ඉවහල් වූ සෑම ද්‍රව්‍යයකම සංකීර්ණ ක්‍රියාකාරිත්වය ගැන මම අධ්‍යයනය කරද්දී මට පුදුම හිතුණා. මොකද ඒවා එසේ ක්‍රියා කිරීම සඳහා තිබෙන නීති හුඟක් සරලයි. මේ සියලුම නීති දෙස බලද්දී අතිදක්ෂ ගණිතඥයෙක් වගේම දක්ෂ චිත්‍ර ශිල්පියෙකු ඒවා පිහිටුවා තිබෙන බව පැහැදිලියි.

බොහෝවිට ජනයා පුදුම වෙනවා මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් කියා ඔවුන්ට පවසද්දී. සමහරවිට ඔවුන් මගෙන් අහනවා කොහොමද ඔයා දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ කියලා. තමන් ඉගෙනගත් දේ සැබෑවක්ද කියා ඔප්පු කරන්න කියලවත්, තම විශ්වාසයන් ගැන යම් ගවේෂණයක නියැලෙන්න කියලවත් හුඟක් ආගම්වලින් ඔවුන්ට උගන්වන්නේ නැති නිසයි ඔවුන් එහෙම අහන්නේ. කොහොමවුණත් බයිබලයේ අපිට දිරිගන්වන්නේ “තීක්ෂණ ඥානය” පාවිච්චි කරන්න කියායි. (හිතෝපදේශ 3:21, නව අනුවාදය) සොබාදහමේ පවතින බුද්ධිමය නිර්මාණයන් දෙසත්, බයිබලයේ තිබෙන සාක්ෂි දෙසත් බලද්දී, මැවුම්කාර දෙවි කෙනෙක් ඉන්නවා විතරක් නෙවෙයි අපේ යාච්ඤාවලටත් ඔහු සවන් දෙනවා කියන එක මට ස්ථිරයි.

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Mars in background: Courtesy USGS Astrogeology Research Program, http://astrogeology.usgs.gov

[පාදසටහන]

^ 3 ඡේ. මෙම ලිපියේ ඉදිරිපත් කර තිබෙන අදහස් එක් එක් ප්‍රවීණයන්ගේ පෞද්ගලික අදහස් පමණයි.