Skip to content

පටුනට යන්න

පරිණාමය සත්‍යයක්ද?

පරිණාමය සත්‍යයක්ද?

පරිණාමය සත්‍යයක්ද?

“සූර්යාගේ තාපය සත්‍යයක් වගේම පරිණාමයත් සත්‍යයක්” කියා ප්‍රසිද්ධ පරිණාමවාදී විද්‍යාඥයෙක් වන රිචඩ් ඩෝකින්ස් තරයේ කියා සිටිනවා. පරීක්ෂණවලින් ඔප්පු කර තිබෙන්නේ සූර්යයා රස්නෙ බවයි. නමුත් පරිණාමය සත්‍යයක් කියා පරීක්ෂණවලින් ඔප්පු කර තිබෙනවාද?

මුලින්ම අපි යමක් පැහැදිලි කරන්න අවශ්‍යයි. කාලයත් සමඟ පරම්පරාවෙන් පරම්පරාවට ජීවීන්ගේ සුළු වෙනස් වීමක් සිදු විය හැකි බව බොහෝ විද්‍යාඥයන් දැක තිබෙනවා. (microevolution) මෙය දැක තිබෙනවා පමණක් නොව වාර්තා කරලත් තිබෙනවා. මෙයින් සතුන් හා ශාක බෝකරන්නන් ප්‍රයෝජන ගන්නවා. * විද්‍යාඥයන් පවසන්නේ කාලයත් සමඟ ජීවීන්ට සුළු වෙනස් වීමක් වෙන්න පුළුවන් නම් ජීවීන්ට විශාල කාලයක් ඇතුළත ලොකු පරිණාමයක් වෙන්නත් පුළුවන් බවයි. (macroevolution) ඒත් මේ සඳහා කිසිම සාක්ෂියක් නැති අතර පරීක්ෂණවලින් ඔප්පු කරලත් නැහැ.

ඩාවින් ඔප්පු කරන්න පුළුවන් දේවලටත් වඩා ඔබ්බට ගියා. ඔහු ජීවයේ සම්භවය නමැති පොතේ පෙන්වා තිබෙන්නේ මෙසෙයි. “ජීවී විශේෂ බොහොමයක් තිබුණත් ඒ සියල්ල පැමිණියේ විශේෂ කිහිපයක් පරිණාමය වී මිස මැවිල්ලකින් නෙවෙයි.” ඩාවින් කිව්වේ විශාල කාලයක් තුළ ඒක සෛලී ජීවීන් ටිකෙන් ටික වෙනස් වී අවසානයේදී බොහෝ ජීවී විශේෂ ඇති වුණා කියලයි. පරිණාමවාදීන් උගන්වන්නේ මේ වගේ කුඩා වෙනස් වීම් රාශියක් එකතු වෙලා මාළුවන්ගෙන් උභයජීවීන් හෝ වානරයන්ගෙන් මනුෂ්‍යයන් බිහි වුණා කියලයි. බොහෝදෙනෙකුට මෙවැනි තර්කයක් සාධාරණ විය හැකියි. ‘යම් විශේෂයක කුඩා වෙනස්කම් සිදු වෙන්න පුළුවන් නම්, විශාල කාලයක් තුළ පරිණාමය වීමෙන් ලොකු වෙනස්කම් සිදු වෙන්න බැරි ඇයි’ කියා ඔවුන් සිතනවා. *

විශාල වෙනස්කම් සිදු වුණා කියා පැවසීම පදනම් වී තිබෙන්නේ මූලික උපකල්පනයන් තුනක් මතයි:

1. අලුත් විශේෂයන් බිහිවීමට හේතු වූ විකෘති තිබීම. *

2. අලුත් විශේෂයක් බිහිවීමට ස්වාභාවික වරණය පෙරමුණ ගෙන තිබීම.

3. ශාක හා සතුන්ගේ මහ පරිමාණයෙන් සිදු වන වෙනස් වීම් ෆොසිලවල දක්නට ලැබීම.

විශාල ලෙස පරිණාමය සිදු වුණා කියා ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි තිබෙනවාද?

විකෘති මගින් අලුත් වර්ග බිහි වේද?

ශාකයක හා ජීවියෙකුගේ වැඩීම තීරණය වන්නේ එහි තිබෙන ජානවලට අනුවයි. මෙම ජාන පිහිටා තිබෙන්නේ සෛලයේ ඇති න්‍යෂ්ටිය තුළයි. * පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ ජාන විකෘති වීමෙන් ඇති වන ශාකය හා ජීවියා විකෘති වන බවයි. නොබෙල් ත්‍යාග ලාභියෙක් හා ජාන විකෘතිය අධ්‍යයනය කිරීම ආරම්භ කළ තැනැත්තා වන හර්මන් ජේ. මුලර් 1946දී මෙසේ පැවසුවා. “සුළු සුළු වෙනස් වීම් නිසා ශාකයක් හා ජීවියෙක් වඩා හොඳ තත්වයකට පත් වෙනවා පමණක් නෙවෙයි ස්වාභාවික වරණය හේතුවෙන් පරිණාමයකටද ලක් වෙනවා.”

විද්‍යාඥයන් පවසන්නේ විකෘති මගින් අලුත් විශේෂයන් පමණක් නොව අලුත් කුලද ඇති විය හැකි බවයි. මෙම ක්‍රියාවලිය පරිණාමයකට මඟ පාදනවා කියාද ඔවුන් පවසනවා. නමුත් ඔවුන් තරයේ පවසන මේ දෙයට පදනමක් තිබෙනවාද? දැනට අවුරුදු 100ක පමණ සිට ජාන පිළිබඳව කළ පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ කුමක්ද?

ස්වාභාවික වරණයට ලක්වීම හේතුවෙන් ඉතිරි වන විකෘති මගින් ශාකවල අලුත් විශේෂයන් බිහි විය හැකි නම් එම ක්‍රියාවලියට මිනිසා මැදිහත් වුණොත් ඊට වඩා සාර්ථක විශේෂයන් බිහි කළ හැකියි කියා 1930 ගණන්වල අග භාගයේදී විද්‍යාඥයන් තීරණය කළා. ජර්මනියේ ශාක පිළිබඳ පර්යේෂණ සිදු කළ මැක්ස් ප්ලැන්ක් ආයතනයේ අවුරුදු 28ක් පමණ ශාකවල විකෘති අධ්‍යයනය කළ වොල්ෆ්-එකාට් ලෝනිග් පිබිදෙව්! සමඟ කළ සාකච්ඡාවකදී මෙසේ පැවසුවා. “ජීව විද්‍යාඥයන් අතර පමණක් නෙවෙයි විශේෂයෙන්ම ප්‍රවේණි විද්‍යාඥයන් හා ශාක බෝකරන්නන් අතරත් පුදුමාකාර සතුටක් ඇති වුණා. ඔවුන් හිතුවේ පාරම්පරික ක්‍රමයට සතුන් හා ශාක බෝ කිරීම වෙනස් කිරීමට කාලය පැමිණ තිබෙනවා කියලයි. ඒ වගේම හිතකර විකෘති තෝරාගෙන අලුත් සහ වඩාත් හොඳ, ශාක හා සතුන් ඇති කරන්න පුළුවන් කියලත් ඔවුන් හිතුවා.” *

තමන්ට පරිණාමය වේගවත් කරන්න හැකි වෙයි කියා සිතාගෙන එක්සත් ජනපදයේ ආසියාවේ හා යුරෝපයේ සිටින විද්‍යාඥයන් එකතු වී විශාල මුදලක් යට කර ඔවුන්ගේ පර්යේෂණ පැවැත්තුවා. අවුරුදු 40ක් පුරා කරන ලද ඔවුන්ගේ පර්යේෂණවල ප්‍රතිඵලය වූයේ කුමක්ද? එක් විද්‍යාඥයෙක් වන පීටර් ෆොන් සේංබුෂ් ඊට පිළිතුරක් දුන්නේ මෙසේයි. “මෙතරම් විශාල මුදලක් වැය කරලත් විකෘති මගින් වඩා හොඳ ශාක ඇති කරන්න දැරූ උත්සාහය අසාර්ථක වුණා.” ලෝනිග් මේ ගැන මෙසේ පැවසුවා. “විද්‍යාඥයන්ට තිබූ බලාපොරොත්තුව බොඳ වී ගියා. මේ සම්බන්ධයෙන් අත්හදා බැලීම සඳහා විකෘති පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට වෙනම අංශයක් පිහිටුවා තිබුණත්, 1980 ගණන්වලදී බටහිර රටවල් තමන් දැරූ උත්සාහය සම්පූර්ණයෙන්ම අත්හැරියා. විකෘති මගින් බිහි කළ සතුන් හා ශාක දුර්වල වුණා නැත්නම් මිය ගියා.” *

විකෘති පිළිබඳව පසු ගිය අවුරුදු 100 පුරාම කළ පර්යේෂණවලින් සහ අවුරුදු 70ක් තිස්සේ කළ බිහි කිරීම්වලින්, විකෘති තුළින් අලුත් විශේෂ බිහි කිරීමට හැකි වී තිබෙනවාද? තිබෙන සාක්ෂි සලකා බැලුවායින් පස්සේ ලෝනිග් මෙසේ පැවසුවා. “සතුන් හෝ ශාක විශේෂයකින් ගත් විකෘතිවලින් අලුත් විශේෂයක් බිහි කරන්න බැහැ. මෙම නිගමනය 20වන සියවසේදී කර තිබෙන පර්යේෂණවල ප්‍රතිඵලවලින් ඔප්පු වෙනවා. අපට දකින්ට තිබෙන්නේ ඕනෑම විශේෂයක යම් සීමාවක් තිබෙන බවයි. එම සීමාව අහම්බෙන් සිදු වන විකෘති මගින් වෙනස් කරන්න බැහැ.”

මේ ගැන ටිකක් සිතා බලන්න. දැනුමත් හැකියාවත් තිබෙන විද්‍යාඥයන්ට එක් විශේෂයකින් විකෘති ලබාගෙන අලුත් විශේෂයක් බිහි කරන්න බැරි වුණා නම් කිසිම කෙනෙකුගේ මැදිහත් වීමක් නැතුව අහඹු සිදුවීමකින් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිද? විකෘති මගින් අලුත් විශේෂ ඇති වුණේ නැති බව ඔප්පු වී තිබෙනවා නම් පරිණාමයට අවශ්‍ය ආකාරයට විශාල වෙනස්කම් සිදු වුණේ කොහොමද?

ස්වාභාවික වරණය මගින්ද?

ස්වාභාවික වරණය මගින් පරිසරයට අනුව සකස් වන ශාක හා ජීවීන් පමණක් ඉතුරු වී අනිකුත් ඒවා විනාශ වෙන බව ඩාවින් විශ්වාස කළා. නවීන දින පරිණාමවාදීන් උගන්වන්නේ විවිධ විශේෂයන් විවිධ ප්‍රදේශවලට පැතිර ගිය විට ස්වාභාවික වරණය මගින් එම විශේෂ තුළ වෙනස්කම් ඇති කර පරිසරයට අනුව සකස් වීමට ඉඩහැරිය බවයි. ඒ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් එක් විශේෂයකින් අලුත් විශේෂයක් ඇති වුණා කියායි.

විකෘති මගින් අලුත් සත්ව හෝ ශාක වර්ග බිහි කළ නොහැකි බව ඔප්පු වී තිබෙනවා. ඒ බව ලිපියේ කලින් සඳහන් කළා. එසේනම් ස්වාභාවික වරණය මගින් වඩාත් සුදුසු විකෘති තෝරාගෙන අලුත් විශේෂ ඇති කළ හැකි බවට විද්‍යාඥයන් ඉදිරිපත් කරන සාක්ෂි මොනවාද? එක්සත් ජනපදයේ විද්‍යා කටයුතු පිළිබඳ ජාතික ඇකඩමිය මගින් 1999දී මුද්‍රණය කළ අත් පොතක මෙවැනි අදහසක් පළ කරනවා. “මේ ආකාරයෙන් අලුත් විශේෂයන් බිහිවීමට කදිම සාක්ෂියක් වන්නේ ගලාපගස් දූපත්වල සිටින පිංචි නමැති කුඩා කුරුලු විශේෂ 13යි.”

පීටර් සහ රෝස්මරී ග්‍රාන්ට් පෙරමුණ ගෙන පර්යේෂණ කණ්ඩායමක් සමඟ මේ පිංචියන් ගැන අධ්‍යයනය කරන්න පටන්ගත්තේ 1970 ගණන්වලදීයි. ඔවුන් සොයාගත්තේ දූපතට නියඟයක් ආ විට ඊට සාර්ථකව මුහුණ දීමේ හැකියාව තිබෙන්නේ ලොකු හොටක් තිබෙන පිංචියන්ට කියායි. මේ පිංචියන් විශේෂ 13 හඳුනාගන්නේ උන්ගේ හොටේ ප්‍රමාණය හා හැඩය අනුව නිසා මේ සොයාගැනීම සැලකිය යුතු දෙයක් කියා ඔවුන් සිතුවා. එම අත් පොතේ තවදුරටත් සඳහන් කර තිබුණේ “ග්‍රාන්ට් යුවළ ගණන් බලා තිබෙන විදිහට සෑම අවුරුදු දහයකට වරක්ම මේ දූපත්වලට නියඟයක් ආවොත් අවුරුදු 200කට පමණ පස්සේ අලුත් පිංචි විශේෂයක් බිහි වෙයි” කියලයි.

කෙසේවෙතත් මේ අත් පොතේ සඳහන් කර නැති ඉතා වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා. නියඟය අවසන් වූ විගස කුඩා හොටක් ඇති පිංචියන්ගේ සංඛ්‍යාව නැවත ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගියා. මේ අනුව පීටර් ග්‍රාන්ට් සහ උපාධිධාරී ශිෂ්‍යයෙක් වන ලයිල් ගිබ්ස් 1987දී නේචර් නමැති සඟරාවේ මෙසේ වාර්තා කළා. ‘අපි හිතපු විදිහට නෙවෙයි ස්වාභාවික වරණය සිදු වුණේ.’ පසුව 1991දී ග්‍රාන්ට් පැවසුවේ ස්වාභාවික වරණය එකම විදිහකට සිදු වන්නේවත්, එකම විශේෂයකට හැමවිටම අවස්ථාව දෙන්නේවත් නැහැ කියායි. දේශගුණය වෙනස් වන හැමවිටම මෙය දකින්න ලැබෙනවා. පරීක්ෂකයන් දුටු තවත් දෙයක් නම් සමහර අවස්ථාවලදී පිංචියන් විශේෂ දෙකක් එකට එකතු වී පැටව් බෝ කිරීමයි. මේ ආකාරයට ඇති වන පැටවුන්ට උන්ගේ දෙමාපියන්ට වඩා පරිසරයට හොඳින් හැඩගැසීමේ හැකියාව තිබෙනවා. ග්‍රාන්ට් යුවළ කියා සිටින්නේ දිගටම මේ ආකාරයට සිදු වුණොත් අවුරුදු 200ක කාලයක් ඇතුළත විශේෂයන් දෙකක් එකතු වී එක් විශේෂයක් ඇති වෙයි කියලයි.

වර්ෂ 1966දී පරිණාම පිළිබඳ ජීව විද්‍යාඥයෙක් වන ජෝර්ජ් ක්‍රිස්ටෝෆ විලියම්ස් මෙසේ ලිව්වා. “පරිණාමයට හේතු වුණේ ස්වාභාවික වරණයයි කියා පැවසීම ඇත්තටම අපරාධයක්. විශේෂයක් තුළ යම් සකස් කිරීම් දිගටම පවත්වාගෙන යෑමට ස්වාභාවික වරණය උපකාරවත් වෙයි කියා පැවසුවොත් එය වඩාත් නිවැරදියි.” පරිණාමවාදියෙක් වන ජෙෆ්රි ෂ්වෝට්ස් 1999දී පැවසුවේ, විලියම්ස් කියූ දෙය නිවැරදි නම් ස්වාභාවික වරණය මගින් සිදු වන්නේ, තිබෙන විශේෂයකට තම වර්ගයාගේ පැවැත්ම සඳහා යම් සකස් වීම් කරන්න දායක වීම මිස “අලුත් යමක් බිහි කිරීම නොවෙයි” කියලයි.

ඩාවින් උදාහරණයක් ලෙස පෙන්වූ පිංචීන් තවම වෙනස් වී නැහැ. උන්ගෙන් ‘අලුත් යමක්’ බිහි වීත් නැහැ. ඊට අමතරව උන්ගෙන් විශේෂයන් දෙකක් එකතු වී වර්ගයා බෝ කිරීමෙන් ඇති වන්නේ විශේෂයක්ද කියා හඳුනාගැනීමට පරිණාමවාදීන්ට තිබූ හේතු මේ පැටවුන් ළඟ ඇත්තෙත් නැහැ. තවත් දෙයක් නම් ප්‍රසිද්ධ විද්‍යා ආයතන පවා විටින් විට තමන්ගේ මතයන්ට එකඟ වන තොරතුරු පමණක් ඉදිරිපත් කරන බවයි පෙනෙන්න තිබෙන්නේ.

පරිණාමය ෆොසිල වාර්තාවෙන් ඔප්පු වේද?

කලින් සඳහන් කළ ඇකඩමිය විසින් පළ කළ අත් පොතේ පරිණාමය සහතික කරන්න ඕන තරම් සාක්ෂි තිබෙන බවට අදහසක් පළ වුණා. එහි කියන්නේ “මාළුන්ගෙන් උභයජීවීන්, උභයජීවීන්ගෙන් උරගයන්, උරගයන්ගෙන් ක්ෂීරපායින් යන මේ හැම විශේෂයක්ම පරිණාමය වූ ආකාරය ෆොසිලවලින් පැහැදිලිවම දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වානර විශේෂයන් එකින් එකට පරිවර්තනය වුණා කියා පැවසීමට ඕන තරම් ෆොසිල වාර්තාත් තිබෙනවා” කියලයි.

මෙය නිවැරදි වාර්තාවක්ද? තවත් පිළිගත් ප්‍රකාශනයක් වන නැෂනල් ජියොග්‍රෆික් සඟරාව 2004දී ෆොසිල වාර්තා ගැන මෙසේ පවසා තිබුණා. “මෙය හරියට චිත්‍ර පටියක තිබෙන දර්ශන පෙළ වගෙයි. නමුත් සෑම දර්ශන 1,000කින් 999ක්ම නැති වී තිබෙනවා.” එසේ නම් පැහැදිලි සාක්ෂි තිබෙනවා කියා සිතිය හැකිද? ෆොසිල වාර්තාවලින් ඇත්තටම හෙළි කරන දේ පිළිබඳව දැඩි ලෙස පරිණාමය විශ්වාස කරන්නෙක් වන නයිල්ස් එල්ඩ්‍රෙජ් පවසන්නේ, සෑහෙන කාලයක් ගෙවී ගොස් තිබුණත් ෆොසිලවලින් “එක් එක් විශේෂයන් තුළ ඉතා සුළු වෙනස්කම් පමණයි අපට දකින්න තිබෙන්නේ” කියලයි.

අද දක්වා ලොව පුරා සිටින විද්‍යාඥයන් විශාල ෆොසිල මිලියන 200ක් පමණ සහ කුඩා ෆොසිල කැබලි බිලියන ගණන් සොයාගෙන පරීක්ෂණ පවත්වා තිබෙනවා. ෆොසිල වාර්තාවලින් පෙනී යන්නේ සියලුම ප්‍රධාන සත්ව වර්ග ඒ ඒ වර්ග ලෙස ඇති වූ අතර පරිණාමයක් ලෙස හැඳින්විය හැකි වෙනස් වීම් ඒවායේ දකින්න නැති බවයි. බොහෝ පර්යේෂකයන් ඊට එකඟ වෙනවා. ජීව විද්‍යාඥයෙක් වන ජොනතන් වෙල්ස් ෆොසිල වාර්තා පරීක්ෂා කළායින් පසු මෙවැන්නක් පැවසුවා. “සත්ව හා ශාක ලෝකය තුළ තිබෙන වංශ හා වර්ග දෙස බලද්දී මේවා එක පොදු ජීවියෙකුගෙන් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී ඇති වුණා කියා පැවසීම ෆොසිල වාර්තාවෙන් කොහෙත්ම ඔප්පු වී නැහැ. පරිණාමය මතයක් පමණයි. ඒ මතය ඔප්පු කරන්න හරි හැටි සාක්ෂි නැහැ.”

පරිණාමය—සත්‍යයක්ද අසත්‍යයක්ද?

ප්‍රසිද්ධ පරිණාමවාදීන් බොහෝදෙනෙක් පරිණාමය සත්‍යයක් හැටියට ඉදිරිපත් කිරීමට හේතුව කුමක්ද? මේ අයගෙන් කෙනෙක් වන රිචඩ් ලෙවන්ටන් ඩෝකින්ගේ තර්ක කිහිපයක් ප්‍රතික්ෂේප කළායින් පසු මේ ප්‍රශ්නයට පිළිතුරු සපයනවා. ඔහු කියා සිටින්නේ “අපේ වගකීම වන්නේ දකින දේ මත පමණක් නිගමනයකට ඒමයි. * නොපෙනෙන දෙවි කෙනෙක් මේවාට සම්බන්ධයි යන අදහසට අපි කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ.” මේ නිසයි බොහෝ විද්‍යාඥයන් බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවා යන අදහසට එකඟ නොවන්නේ.

ඒ හා සමාන අදහසක් සයන්ටිෆික් අමෙරිකන් සඟරාවේ සමාජ විද්‍යාඥයෙක් වන රොඩ්නි ස්ටාක් පවසා තිබුණා. “විද්‍යාව හදාරන්න කැමති නම් තමන්ගේ ආගම අත්හරින්න වෙනවා යන ආකල්පය අවුරුදු 200ක් පුරා තිබිලා තියෙනවා.” බොහෝ පර්යේෂණ පවත්වන විශ්ව විද්‍යාලවල “විද්‍යාඥයන් අතර සිටින ආගම දහමට ලැදි අයව ඔවුන් කොන් කරන නිසා මේ අයට සිදු වන්නේ කට වහගෙන ඉන්නයි” කියා ඔහු තවදුරටත් පවසනවා. ස්ටාක්ගේ අදහසට අනුව “විද්‍යා ක්ෂේත්‍රයේ පිළිගැනීමක් හා ජනප්‍රියත්වයක් ලබාගන්නේ ආගමක් අදහන්නේ නැති අය පමණයි.”

ඔබ පරිණාමය සත්‍යයක් හැටියට පිළිගන්න කැමති නම්, ඔබට සිදු වන්නේ අදේවවාදී හා අඥෙයවාදී විද්‍යාඥයන් තම පෞද්ගලික මතයන් ඉදිරිපත් නොකර සැබෑ විද්‍යාත්මක දේ පමණක් ඔබට හෙළි කරයි කියා විශ්වාස කිරීමටයි. ඊට අමතරව සියවසක් පුරා විකෘති ගැන අධ්‍යයනය කරලා, විකෘති මගින් අලුත් විශේෂ ඇති වුණේ නැති බව ඔප්පු වී තිබුණත්, ඇති වුණා කියා විශ්වාස කිරීමටයි. ප්‍රධාන සත්ව වර්ගයන් ඒ ඒ වර්ග ලෙස ඇති වූ බවත් ඉන් එහාට විශාල පරිණාමයක් සිදු වී නැති බවත් ෆොසිල වාර්තාවෙන් ඔප්පු වී තිබුණත් සියලු සත්ව වර්ගයන් පොදු ජීවියෙකුගෙන් පරිණාමය වුණා කියා ඔබ විශ්වාස කිරීමට සූදානමින් සිටිය යුතුයි. මෙවැනි විශ්වාසයන් පදනමක් සහිතද? නැතහොත් පදනමක් රහිතද? එසේනම් පරිණාමය—සත්‍යයක්ද අසත්‍යයක්ද?

[පාදසටහන්]

^ 3 ඡේ. බල්ලන්ව බෝකරන්නන්ට හැකියාව තිබෙනවා වර්ග දෙකක බල්ලන් එකතු කිරීමෙන් කකුල් කොට, ලෝම දිග බලු පැටවුන්ව බෝ කරන්න. නමුත් මෙවැනි වෙනස්කම් කරද්දී පැටවුන්ගේ ජාන විකෘති වෙනවා. උදාහරණයකට කුරු බල්ලන් (dachshund) ඇති වන්නේ උන්ගේ අස්ථි නියමාකාරයෙන් හැදෙන්නේ නැති නිසයි.

^ 4 ඡේ. මෙම ලිපියේ “විශේෂ” යන වචනය භාවිත කළත් එම වචනය බයිබලයෙහි සඳහන් වී නැහැ. බයිබලයේ භාවිත කරන්නේ ඊට වඩා පුළුල් අර්ථයක් ඇති “වර්ග” යන වචනයයි. බොහෝදුරට විද්‍යාඥයන් අලුත් විශේෂයක් පරිණාමය වෙනවා කියා කිව්වත්, එය ඇත්තටම බයිබලයේ සඳහන් කර ඇති ‘වර්ගය’ තුළ සිදු වන වෙනස් වීමක් පමණයි.

^ 6 ඡේ. “ජීවීන් වර්ග කරන ආකාරය” යන කොටුව බලන්න.

^ 11 ඡේ. ජීවියෙකුගේ හා ශාකයක වැඩීමට ඒවායේ සෛලවල අභ්‍යන්තරයේ තිබෙන කොටස් දායක වෙන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා.

^ 13 ඡේ. මෙහිදී ලෝනිග් පවසන්නේ ඔහුගේ පෞද්ගලික අදහස් පමණයි. මේවා ඔහු වැඩ කරන ආයතනයේ අදහස් නොවිය හැකියි.

^ 14 ඡේ. විකෘති පිළිබඳව කළ පර්යේෂණවලින් පෙනී ගියේ යම් විශේෂයක් තුළ බිහි කළ හැකි විකෘති සීමිත බවයි. බිහි කළ ශාක විකෘතිවලින් සියයට එකක් පමණයි වැඩි පර්යේෂණ සඳහා යොදාගත හැකි වුණේ. එයිනුත් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් පමණයි වෙළඳ පොළට ඉදිරිපත් කළ හැකි වුණේ. සතුන් සම්බන්ධයෙන් කළ පර්යේෂණ මීටත් වඩා අසාර්ථක වූ නිසයි සියලු පර්යේෂණ නතර කළේ.

^ 29 ඡේ. මේ මතයට අනුව ඔවුන් විශ්වාස කරන්නේ දකින දේ පමණක් සැබෑයි. ජීවීන් ඇතුළුව විශ්වයේ තිබෙන සියල්ලම ඇති වෙලා තිබෙන්නේ කිසිම දෙවි කෙනෙකුගේ මැදිහත් වීමකින් තොරවයි කියායි.

[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සතුන් හෝ ශාක විශේෂයකින් ගත් විකෘතිවලින් අලුත් විශේෂයක් බිහි කරන්න බැහැ”

[16වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පිංචියන් දේශගුණයට අනුව සකස් වුවත් උන් පරිණාමයක් කියා සඳහන් කරන්න බැහැ

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ප්‍රධාන සත්ව වර්ගයන් ඒ ඒ වර්ග ලෙස ඇති වූ බවත් ඉන් එහාට විශාල පරිණාමයක් සිදු වී නැති බවත් ෆොසිල වාර්තාවෙන් පෙනේ

[14වන පිටුවේ වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

ජීවීන් වර්ග කරන ආකාරය

ජීවීන් වර්ග කර තිබෙන්නේ විශේෂයේ සිට රාජධානිය දක්වා. * උදාහරණයක් හැටියට මිනිසාව හා පලතුරු මැස්සාව පමණක් වර්ග කර තිබෙන ආකාරය පහත සඳහන් වේ.

මිනිසා පලතුරු මැස්සා

විශේෂය සේපියන්ස් මැලොනෝගැස්ටර්

ගණය හෝමෝ ඩ්‍රොසොෆිලා

කුලය හොමිනිඩ් ඩ්‍රොසොෆිලිඩ්

ගෝත්‍රය ප්‍රිමේට්ස් ඩිප්ටරා

වර්ගය ක්ෂීරපායි කෘමීන්

වංශය කෝඩේටා සන්ධිපාදිකයෝ

රාජධානිය සත්ව සත්ව

[පාදසටහන]

^ 49 ඡේ. සටහන: උත්පත්ති පළමුවන පරිච්ඡේදයේ පවසන්නේ සියලුම ශාක හා සතුන් “ඒ ඒ වර්ගයට අනුව” හටගන්නවා කියායි. (උත්පත්ති 1:12, 21, 24, 25) බයිබලයේ භාවිත කරන “වර්ගය” යන වචනය විද්‍යාවෙන් හඳුන්වන “විශේෂය” යන වචනයට සමාන නැහැ.

[හිමිකම් විස්තර]

මෙම ශ්‍රේණිගත කිරීම ලබාගත්තේ ජොනතන් වෙල්ස් විසින් ලියූ පොතකින්. එම පොත—Icons of Evolution—Science or Myth? Why Much of What We Teach About Evolution Is Wrong.

[15වන පිටුවේ පින්තූර]

විකෘති වූ පලතුරු මැස්සෙක් (ඉහළ) තවමත් පලතුරු මැස්සෙක්මයි

[හිමිකම් විස්තර]

© Dr. Jeremy Burgess/​Photo Researchers, Inc.

[15වන පිටුවේ පින්තූර]

ශාක සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් හෙළි වූයේ එක් ශාකයකින් ලබාගත හැකි අලුත් විකෘති සීමිත බවයි. (ලොකු මල විකෘතියක්)

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

From a Photograph by Mrs. J. M. Cameron/​U.S. National Archives photo

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Finch heads: © Dr. Jeremy Burgess/​Photo Researchers, Inc.

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Dinosaur: © Pat Canova/​Index Stock Imagery; fossils: GOH CHAI HIN/​AFP/​Getty Images