Skip to content

පටුනට යන්න

මැවීම පිළිබඳ මගේ විශ්වාසය අන් අයට පහදා දෙන්නේ කෙසේද?

මැවීම පිළිබඳ මගේ විශ්වාසය අන් අයට පහදා දෙන්නේ කෙසේද?

යෞවන අය අසති . . .

මැවීම පිළිබඳ මගේ විශ්වාසය අන් අයට පහදා දෙන්නේ කෙසේද?

“පරිණාමය සත්‍යයක් කියා පන්තියේදී උගන්වපු දේ මැවීම ගැන මම ඉගෙනගෙන තිබෙන දෙයට වඩා වෙනස් නිසා එය මගේ විශ්වාසයට තර්ජනයක්.”—රයන්, අවුරුදු 18යි.

“මගේ ගුරුතුමිය පරිණාමය තදින් විශ්වාස කළා. ඇගේ කාර් එකේ පවා ඩාවින්ගේ ලාංඡනයක් තිබුණා. ඒ නිසා මැවීම ගැන මගේ විශ්වාසය ඇය එක්ක කතා කරන්න මම භය වුණා. එතකොට මට වයස අවුරුදු 12යි.”—ටයිල, අවුරුදු 19යි.

“සමාජ අධ්‍යයනය ගුරුතුමිය ඊළඟට තියෙන්නේ පරිණාම පාඩම කියලා කිව්වාම මම භය වුණා. මම දැනගත්තා පන්තියේදී මගේ විශ්වාසය ගැන පැහැදිලි කරන්න වෙයි කියලා.”—රාඛෙල්, අවුරුදු 14යි.

දෙවි ‘සියල්ල මැව්වා’ කියා ඔබ විශ්වාස කරනවා නම් සමහරවිට රයන්, ටයිල සහ රාඛෙල් වගේ ඔබත් පරිණාමය පිළිබඳ විෂය පන්තියේ උගන්වන විට භයෙන් ඇති. (එළිදරව් 4:11) ඒත් අවට පෙනෙන්න තිබෙන සියල්ලෙන් ඔබට පැහැදිලි වෙන්නේ බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටින බවයි. ඔබේ ගුරුවරයා මෙන්ම පාඩම් පොත්වල කියන්නේ අපි පරිණාමයකින් ආවා කියලයි. ප්‍රවීණයන්ගේ මේ අදහස් සමඟ ඔබ තර්ක කරන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි පන්තියේදී දෙවි කෙනෙක් ගැන කතා කළොත් ඔබේ යාළුවෝ මොනවා කියයිද?

මෙම ප්‍රශ්න ඔබව අපහසුතාවට පත් කරයිද, භය වෙන්න එපා! මැවීම විශ්වාස කරන්නේ ඔබ පමණක් නෙවෙයි. ඇත්තටම බොහෝ ගුරුවරුන්ටත් විද්‍යාඥයන්ටත් පරිණාමවාදය පිළිගන්න අමාරුයි. පාඩම් පොත්වල පරිණාමවාදය ඉගැන්නුවත් එක්සත් ජනපදයේ ළමුන් පස්දෙනෙකුගෙන් හතරදෙනෙක්ම මැවුම්කරුවෙකුව විශ්වාස කරන බව තිබෙන සංඛ්‍යා ලේඛනවල පෙන්නුම් කරනවා.

ඒත් ‘මැවීම ගැන තිබෙන විශ්වාසය මම අන් අයට පහදා දෙන්නේ කොහොමද’ කියා ඔබට සිතෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. ඔබ ලැජ්ජාශීලී පුද්ගලයෙක් වුණත් යම් සූදානම් කිරීමක් කළොත් මෙය ඔබ හිතන තරම් අමාරු දෙයක් වෙන්නේ නැහැ.

ඔබේ විශ්වාසය පරීක්ෂා කර බලන්න!

ඔබ මැවීම විශ්වාස කරන්නේ ඇයි? ක්‍රිස්තියානීන් වූ ඔබේ දෙමාපියන් එය ඔබට උගන්වා තිබෙන නිසාද? එසේ කිරීම වැදගත් වුණත් ඔබ වයසින් මුහුකුරා යද්දී ඔබට අවශ්‍ය වන්නේ ඔබේ විශ්වාසයන්ට පදනමක් ඇතුව “කල්පනා ශක්තිය” පාවිච්චි කරමින් දෙවිට නමස්කාර කරන්නයි. (රෝම 12:1) ඒ නිසයි පාවුල් පළමු ශත වර්ෂයේ ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූයේ ‘සියල්ල සෝදිසි කර බලන්න’ කියලා. (1 තෙසලෝනික 5:21) ඔබටත් එසේ කරන්න පුළුවන් කොහොමද?

මුලින්ම, පාවුල් දෙවි ගැන ලියූ දෙය සලකා බලමු. ‘මන්ද ඔහුගේ අදෘශ්‍යමාන ගුණාංග, . . .ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනේ. සාදා තිබෙන දේවලින් ඒවා පැහැදිලි ලෙස වටහාගත හැකියි.’ (රෝම 1:20) මේ අදහස මනසේ තබාගෙන මනුෂ්‍ය ශරීරය, පෘථිවිය, විශ්වය, සාගර, පොළොවේ සිටින ආකර්ෂණීය කෘමීන්, ශාක හා සත්වයන් ගැන සලකා බලන්න. ඔබ කැමති ඕනෑම දෙයක් හොඳින් අධ්‍යයනය කර “කල්පනා ශක්තිය” පාවිච්චි කරමින් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මැවුම්කරුවෙක් සිටින බව මට ඔප්පු වන්නේ කුමකින්ද?’

ඒ ප්‍රශ්නයට පිළිතුර සඳහා වයස අවුරුදු 14ක් වූ සෑම් මනුෂ්‍ය ශරීරය අධ්‍යයනය කර බැලුවා. “එය හරිම පිළිවෙළයි සහ සංකීර්ණයි. ඒත් මේ සියලුම අවයවයන් වැඩ කරන්නේ එකමුතුවයි. එහෙමනම් මනුෂ්‍ය ශරීරය පරිණාමයෙන් ආපු එකක් වෙන්න බැහැ!” වයස අවුරුදු 16ක් වූ හොලීගේ අදහස මෙයයි. “මට දියවැඩියාව තිබෙනවා කියලා පරීක්ෂණය කළාට පස්සේ ශරීරයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ දේවල් මම ඉගෙනගත්තා. එය පුදුමාකාරයි. උදාහරණයකට අග්න්‍යාශය ආමාශයට පිටුපසින් සැඟවී තිබෙන කුඩා අවයවයක් වුණත් එයින් කෙරෙන කාර්යය විශාලයි. ඒ වගේම අනිත් ඉන්ද්‍රියයන්ට සහය දෙමින් රුධිරයේ නියම තත්වය පවත්වාගෙන යන්නත් උපකාර කරනවා. මේ ගැන දැනගත්තාම මම පුදුම වුණා.”

තවත් යෞවනයන් මේ ප්‍රශ්නයට පිළිතුරු සෙව්වේ වෙනත් ආකාරයකටයි. වයස අවුරුදු 19ක් වූ ජැරෙඩ් කියන්නේ මෙයයි. “දෙයක් පරිණාමය වීමට ආගම දහමට ලැදියාවක්, ඉගෙනගැනීමට ආශාවක්, අලංකාර දේවල් දෙස බලා අගය කිරීමේ හැකියාවක් වැනි ගුණාංග අවශ්‍ය නැහැ. නමුත් අපිට මෙවැනි ගුණාංග තිබීමෙන් පැහැදිලි වන්නේ මිනිසා පරිණාමයකින් ආවේ නැති බවයි. කාටහරි අවශ්‍ය වෙලා තියෙන්නේ මිනිසුන් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා දකින්න කියන දේ මට මෙයින් තේරුණා.” කලින් සඳහන් කළ ටයිලද ඒ හා සමාන අදහසක් ඉදිරිපත් කරනවා. “ශාකවල ඇති සංකීර්ණත්වය හා ඒවා අපේ පැවැත්මට දායක වන විදිහ දැනගත්තට පස්සේ මට තේරුණා මැවුම්කරුවෙක් ඉන්න ඕනෙ කියලා.”

මැවිල්ල අධ්‍යයනය කර ඔබටම ඒවා ඒත්තු ගන්වාගැනීමෙන් මැවීම ගැන අනිත් අයට කියන්න ඔබට පහසු වෙනවා. ඒ නිසයි සෑම්, හොලී, ජැරෙඩ් සහ ටයිල කළාක් මෙන් ඔබත් දෙවිගේ අත් වැඩය හෙවත් මැවිල්ල තුළින් සාක්ෂි සොයා බලන්න කාලය ගන්න අවශ්‍ය වෙන්නේ. එම සාක්ෂි හොඳින් අධ්‍යයනය කරන්න. එවිට ඔබත් පාවුල් වගේ දෙවි කෙනෙක් සිටින බවටත් ඔහුගේ ගුණාංග ‘සාදා තිබෙන දේවල්වලින් පැහැදිලි ලෙස පෙනේ’ කියා පැවසූ වදන්වලටත් එකඟ වෙනවාට කිසිම සැකයක් නැහැ. *

බයිබලයේ උගන්වන දේ දැනගන්න

විවිධ දේවල්වලට කිට්ටු අවධානයක් දෙනවාට අමතරව බයිබලයේ මැවිල්ල ගැන පවසා තිබෙන දේත් ඔබ දැනගන්න අවශ්‍යයි. බයිබලයේ කෙළින්ම පවසා නැති කරුණු සම්බන්ධයෙන් කරදර විය යුතු නැහැ. අපි ඊට උදාහරණ කිහිපයක් සලකා බලමු.

මගේ විද්‍යා පොතේ තියෙන්නේ පෘථිවිය හා සෞරග්‍රහ මණ්ඩලය පවතින්නේ අවුරුදු බිලියන ගණනක සිට කියලයි. බයිබලයේ පෘථිවිය හෝ සෞරග්‍රහ මණ්ඩලය පැවතී තිබෙන සම්පූර්ණ අවුරුදු ගණන විස්තර කර නැහැ. නමුත් මැවීමේ පළමු දවසට පෙර විශ්වය අවුරුදු බිලියන ගණනක සිට පැවතී තිබෙනවා යන අදහසද ගන්න පුළුවන්.—උත්පත්ති 1:1, 2.

පොළොව දවස් හයකින් නිර්මාණය කරන්න බැහැ කියා මගේ ගුරුතුමා කියනවා. මැවීමේ දවස් හය සාමාන්‍ය පැය 24ක දවස් කියා බයිබලයේ පවසන්නේ නැහැ. වැඩි විස්තර සඳහා මෙම සඟරාවේ 18-20 දක්වා පිටු බලන්න.

▪ අපේ පන්තියේදී සාකච්ඡා කළේ මිනිසුන් හා සතුන් කාලයත් සමඟ පරිණාමය වන ආකාරය ගැනයි. බයිබලයෙහි පවසන්නේ දෙවි ජීවමාන සියල්ලක්ම “ඒ ඒ වර්ගයට අනුව” මැවුවා කියායි. (උත්පත්ති 1:20, 21) මෙහි ජීවය අජීවී දෙයකින් ආරම්භ වුණා කියා හෝ ඒක සෛලී ජීවියෙකුගෙන් පරිණාම ක්‍රියාවලිය දෙවි ආරම්භ කළා කියා හෝ පවසන්නේ නැහැ. තවදුරටත් මේ හැම ‘වර්ගයකම’ ප්‍රභේද තිබෙනවා. එසේනම් බයිබලයේ පෙන්නුම් කරන්නේ එකම වර්ගයකින් එම කුලයට අයත් “තව වර්ගයක්” ඇති වෙන්න පුළුවන් කියායි.

නොසැලෙන විශ්වාසයක් තබාගන්න

මැවීම සම්බන්ධයෙන් ඇති ඔබේ විශ්වාසය නිසා ලැජ්ජා වීමට අවශ්‍ය නැහැ. තිබෙන විද්‍යානුකූල සාක්ෂිවලට අනුව බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටින බව පැහැදිලියි. මැවීම ඔප්පු කරන්න සාක්ෂි තිබුණත් පරිණාමය ඔප්පු කරන්න සාක්ෂි නැහැ. මෙම සඟරාවේ තිබෙන අනිකුත් ලිපි සලකා බැලීමෙන් මැවීම පිළිබඳ සාක්ෂි තුළින් මැවුම්කරුවෙක් සිටින බවට ඔබම අවබෝධ කරගන්නවාට කිසිම සැකයක් නැහැ. ඔබ ලබාගෙන තිබෙන සාක්ෂි නිසා කල්පනා ශක්තිය පාවිච්චි කරමින් දැන් ඔබට පන්තියේදී ඔබේ විශ්වාසය ගැන ලොකු නිසැකකමකින් යුතුව අන් අයට පහදා දෙන්න හැකි වෙයි.

කලින් සඳහන් කළ රාඛෙල්ටත් හැඟුණේ ඒ විදිහටමයි. ඇය මෙසේ පැවසුවා. “මට දවස් කිහිපයකින් අවබෝධ වුණා මගේ විශ්වාසය ගැන අනිත් අයටත් කියන්න ඕනෙ කියලා. ඒ නිසා ජීවය—මෙහාට පැමිණියේ කෙසේද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? යන ප්‍රකාශනයේ සමහර තැන් ලකුණු කර පාසැලේ මගේ ගුරුතුමියට දුන්නා. ඇය කිව්වා මේ ප්‍රකාශනයෙන් පරිණාමයේ ඇත්ත නැත්ත අවබෝධ වුණා කියලා. ඒ වගේම ඉදිරි පාඩම්වලදී මෙහි කරුණුද එයට එකතු කරනවා කියලා.”

[පාදසටහන]

^ 14 ඡේ. අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද? එසේනම් ඇයි මෙතරම් දුක් පීඩා? ඒවාට නිමාවක් නැද්ද? සහ ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන ප්‍රකාශනවල ඇති තොරතුරු බොහෝ යෞවනයන්ට ප්‍රයෝජනවත් වී තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන දෙකක්.

සිතා බලන්න

▪ පාසැලේදී මැවීම ගැන ඔබට තිබෙන විශ්වාසය ගැන පහසුවෙන් පහදා දෙන්න පුළුවන් කොහොමද?

▪ සියල්ල මැවූ පුද්ගලයාට ඔබේ අගය පෙන්වන්නේ කොහොමද?—ක්‍රියා 17:26, 27.

 

බහුලව ඇති සාක්ෂි

“පාසැලේදී පරිණාමය ඉගෙනගනිමින් සිටින ඒත් මැවුම්කරුවෙකු විශ්වාස කරන යෞවනයෙකුට දෙන උපදෙස කුමක්ද?” කියා යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියකගෙන් ඇහුවා. ඇය කියන්නේ “මෙය දෙවි කෙනෙක් සිටින බවට ඔබටම ඔප්පු කරගන්න කදිම අවස්ථාවක්. ඒකෙන් නියම ප්‍රයෝජන ගනිමින් සාක්ෂි සලකා බලා කවුරුත් කියන නිසා නෙවෙයි ඔබම මැවුම්කරුවෙක් සිටින බවට ස්ථිර වෙන්න. සමහරවිට ගුරුවරුන්ට පරිණාමය ඔප්පු කරන්න කිව්වොත් ඔවුන්ට ඒ සඳහා සාක්ෂි නැහැ. ඒත් ඔවුන් මෙය උගන්වන්නේ ඔවුනුත් මේ විදිහට ඉගෙනගෙන තිබෙන නිසයි. ඔබටත් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා නිර්මාතෘවරයෙක් සිටින බව ඔබටම ස්ථිර කරගන්න. මෙයට හුඟක් සාක්ෂි තිබෙන නිසා ඒක අමාරු දෙයක් නෙවෙයි.”

[28වන පිටුවේ කොටුව/පින්තූරය]

ඔබේ විශ්වාසයට හේතු

මැවුම්කරුවෙක් සිටින බවට ඔබට නිසැක විය හැකි හේතු තුනක් සඳහන් කරන්න.

1. .....

2. .....

3. .....