Skip to content

පටුනට යන්න

ආහාර පාලනයෙන් මම රෝගියෙක් වෙලාද?

ආහාර පාලනයෙන් මම රෝගියෙක් වෙලාද?

යෞවන අය අසති . . .

ආහාර පාලනයෙන් මම රෝගියෙක් වෙලාද?

“සමහර වෙලාවට මම කෑමට වාඩි වුණාම මහත් වෙයි කියලා බයට මාව වෙවුලනවා. මගේ බර තවත් කිලෝ දෙකකින්වත් අඩු කරගන්න ඕනෙ කියලා මම මටම කියාගන්නවා.”—මෙලීසා. *

“මට ඕනෙ හැඩට ඉන්න. ඒත් මට බය මහත් වෙලා කැත වෙයි කියලයි. කෑවට පස්සේ ගිහින් වමනෙ කරනවා කියලා කවුරුත් දැනගන්නවාට මම කැමති නැහැ. දැනගත්තොත් ලැජ්ජාවක්.”—ඇම්බ

“මම මටම මෙහෙම කියාගන්නවා: ‘. . . අද මම වැඩිය කන්නේ නැතුව ඉන්නවා’. . . ඒත් දන්නෙ නැතුවම හුඟක් කැවෙනවා. ඊට පස්සේ හිත වද දෙනවා. ඒ නිසා මට මැරෙන්න හිතෙනවා.”—ජෙනිෆ

ඔබ කැමති හොඳ පෙනුමකට, එහි වරදක් නැහැ. ඔබ කාන්සාවෙන් හෝ අධෛර්යය වීමෙන් සිටින විට ඔබට සහනයක් ලැබෙනවාට ඔබ කැමතියි. ඒක සාමාන්‍යයි. නමුත් ඔබත් ඉහත සඳහන් කළ යෞවනියන් වගේ නම් ඉන් අදහස් කරන්නේ ඔබටත් ගැටලුවක් තිබෙන බවයි. ආහාර පාලනය නිසා යෞවන යෞවනියන් මිලියන සංඛ්‍යාවක් රෝගීන් වී ඇති බව සත්‍යයක්. *

ඇනරෙක්සියා, බුලිමියා සහ අධික ලෙස අනුභව කිරීම යන රෝග ගැන අපි ටිකක් බලමු. මෙම රෝගවල එකිනෙකට වෙනස් රෝග ලක්ෂණ තිබුණත්, මේ සියල්ලටම පොදු වූ එක් දෙයක් තිබෙනවා. ඒ ආහාර පිළිබඳව දක්වන අසාමාන්‍ය ආකල්පයයි. මෙහි සඳහන් තොරතුරුවලට අනුව ඔබත් ආහාර පාලනය නිසා රෝගී වෙලා කියා හැඟුණොත් කලබල වෙන්න එපා. හේතුව ඔබේ තත්වය හොඳ අතට හරවාගැනීමට ඔබට හැකියි!

රෝග හඳුනාගනිමු

ඇනරෙක්සියා. මෙම රෝගය ඇති යෞවනියක් නිතරම හිතන්නේ තමන් මහත කෙනෙක් කියලයි. ඇය කොච්චර කෙට්ටු වුණත් කණ්ණාඩියෙන් තමන් දෙස බලද්දී හුඟක් මහත කෙනෙක් හැටියටයි දකින්නේ. ඒ නිසා අසාමාන්‍ය ක්‍රමයකින් බර අඩු කරගන්න ඇය පෙලඹෙනවා. එක් රෝගියෙක් මෙසේ පැවසුවා. “මම ගන්න කැලරි ප්‍රමාණය අඩු කිරීම ගැන අන්තයට ගියා. මුළු සතියටම කන්නේ මොනවද කියලා මම පරෙස්සමින් සැලසුම් කළා. සමහර කෑම වේල් අත්හැරියා වගේම ටිකක් හරි වැඩියෙන් කෑවොත් පමණට වඩා ව්‍යායාම් කළා. දවසකට හය සැරයක් විරේක බෙහෙත් ගත්තා.”

ඇනරෙක්සියා රෝග ලක්ෂණ ඉක්මනින් මතු වෙනවා. මුලින්ම බර අඩුවීම, පසුව කෙස් ගැලවී යෑම, සම වියළීම, තෙහෙට්ටුව සහ අස්ථි දුර්වල වීම වැනි ලක්ෂණ රෝගියා අද්දකියි. සමහරවිට ඔසප් වීම අක්‍රමවත් වෙන්න හෝ මාස කිහිපයකට පවා එය සම්පූර්ණයෙන් නතර වෙන්නත් පුළුවන්.

මේ රෝග ලක්ෂණ එතරම් භයානක නැහැ කියා ඔබට පෙනුණත්,—ඇනරෙක්සියා රෝගය ජීවිතයට තර්ජනයක්. එක් අධ්‍යයනයකට අනුව මේ රෝගීන්ගෙන් සියයට දහයක් දක්වා ප්‍රමාණයක් මිය යන්නේ ඔවුන්ගේ ඉන්ද්‍රියයන් දුර්වල වීම නිසා හෝ අත්‍යවශ්‍ය පෝෂණය නොලැබීම නිසා කියා පෙන්නුම් කරනවා.

බුලිමියා. මෙම රෝගය තිබෙන කෙනෙක් ආහාර අඩු කරනවා වෙනුවට සීමාව ඉක්මවා ආහාර ගන්නවා. සමහර අය පැය දෙකක් තුළ කැලරි 15,000ක් ලබාගන්නවා! ඊට පස්සේ විරේක ගැනීමෙන් හෝ වමනය කිරීමෙන් සියලුම කෑම පිට කරනවා. සමහරුන් මුත්‍රා වැඩි කරන ඖෂධ ගන්නවා.

බුලිමියා රෝගියෙක් බොහෝවිට ආහාර ගන්නේ රහසිගතවයි. පසුව රෝගියාගේ හිත වද දෙනවා. “පාසැල ඇරුණ ගමන්ම හැමෝටම ඉස්සෙල්ලා ගෙදර ඇවිල්ලා කාගෙන කාගෙන යනවා. ඊට පස්සේ කාපු බව දැනගන්නවත් ඉඩ තියන්නේ නැහැ” කියා එක් ගැහැනු ළමයෙක් පැවසුවා. “ටික වෙලාවකින් හිත වද දෙනවා. මට මං ගැනම කේන්තියි. කොහොමවුණත් මම හිතුවේ කාමරේට ගිහිල්ලා උවමනාවෙන්ම වමනෙ කළොත් ඔක්කොම හරීයි කියලයි. එහෙම කළාම ලොකු සහනයක්” කියා ඇය තවදුරටත් පැවසුවා.

එහෙත් මේ විදිහට කරන එක භයානකයි. ඕනෑවට වඩා විරේක ඖෂධ ගැනීමෙන් බඩවැල් දුර්වල වෙයි. පසුව ඒවා ඉදිමෙන්න, තුවාල වෙන්න හෝ වෙනත් ආසාදන ඇති වෙන්න පුළුවන්. නිතර නිතර වමනය කිරීම විජලනයටත්, දත් දිරා යෑමටත්, ගලනාලය තුවාල වීමටත් දායක වෙනවා. සමහර අවස්ථාවලදී එමගින් හෘද රෝග පවා ඇති වෙයි.

අධික ලෙස අනුභව කිරීම. බුලිමියා රෝගියා වගේම මොහුත් අධික ලෙස ආහාර ගන්නවා. මෙහි වෙනස තිබෙන්නේ රෝගියා විරේක ඖෂධ ගැනීමක් හෝ වමනය කිරීමක් නොකිරීමයි. එහි ප්‍රතිඵලය තරබාරු වීමයි. සමහර අය තමන්ගේ බර පාලනය කරන්න අවශ්‍ය නිසා හා තමන්ගේ රෝගය අන් අයගෙන් සඟවන්න අවශ්‍ය නිසා විටින් විට නොකා සිටිනවා. එහෙමත් නැත්නම් අධික ලෙස ව්‍යායාම කරනවා.

ඇනරෙක්සියා, බුලිමියා සහ අධික ලෙස අනුභව කිරීම යන රෝග ඇති අයට ආහාර පිළිබඳව තිබෙන්නේ නුසුදුසු ආකල්පයක්. එක් ගැහැනු ළමයෙක් ඇය ගැන හා අනිත් රෝගීන් ගැන පවසන්නේ “ආහාර කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. එය හොර යාළුවෙක් වගේම සමහරවිට අපට ඉන්න එකම යාළුවා” කියලයි. තවත් කෙනෙක් පවසන්නේ “කන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනෙ නැහැ. වැදගත්ම දේ කෑමයි. ඒකෙන් තමයි අපිට සහනයක් ලැබෙන්නේ. ඒත් හුඟක් කෑවට පස්සෙ හිත වද දෙනවා වගේම අධෛර්යය වෙනවා” කියායි.

විරේක හෝ වමනෙ කළේ නැතත් අධික ලෙස ආහාර ගැනීම අනතුරුදායකයි. එය දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග සහ වෙනත් රෝග ගණනාවකට මඟ පාදන්න පුළුවන්. ඒ වගේම මානසිකවත් බලපාන්න පුළුවන්.

ඔබත් රෝගියෙක්ද?

හුඟක් අය කැමතියි බර අඩු කරගන්න හෝ හැඩට ඉන්න. මෙය රෝගයක් නෙවෙයි. එහෙත් ඉහත සඳහන් කරුණු සලකා බැලීමෙන් පසු ඔබට ඔබ ගැනම යම් සැකයක් තිබෙනවා නම් ඔබෙන්ම මෙසේ අසාගන්න:

▪ ආහාර ගන්න ප්‍රමාණය හා පුරුදු ගැන මම ලැජ්ජාවට හෝ අපහසුතාවට පත් වෙනවාද?

▪ මම අනිත් අයගෙන් මගේ ආහාර ගැනීමේ පුරුදු සඟවනවාද?

▪ මගේ ජීවිතයේ ප්‍රධානම දේ ආහාරද?

▪ දවසට කී පාරක් මම මගේ බර කිරනවාද?

▪ බර අඩු කිරීමෙන් යම් අවධානමක් ගන්න මම කැමතිද?

▪ වමනේ කිරීම, විරේක කිරීම හෝ මුත්‍රා වැඩි කරන ඖෂධ ගැනීම මගින් මම අත්හදාබැලීම් කරලා තියෙනවාද?

▪ ආහාර ගැනීමේ පුරුදු මගේ සාමාන්‍යය ජීවිතයටත් බලපාලා තියෙනවාද? උදාහරණයකට, යාළුවන් එක්ක ඉන්නවාට වඩා මම කැමති හොරෙන් ඕන තරම් කන්නද? එහෙමත් නැත්නම් විරේක කරන්න හෝ වමනෙ කරන්නද?

ඔබේ පිළිතුරුවලින් ඔබට ගැටලුවක් තිබෙනවා කියා පැහැදිලි නම් ඔබෙන්ම මෙසේ අසාගන්න

▪ මේ විදිහට කිරීම ඇත්තටම මට සතුටක්ද?

එහෙත් මෙවැනි තත්වයකදී ඔබට කුමක් කරන්න පුළුවන්ද?

වහාම පියවර ගන්න!

මුල් පියවර නම් ඔබට ගැටලුවක් ඇති බව පිළිගන්න. “මම ඒ ගැන හිතුවාම මට තේරුණා ඇනරෙක්සියා තිබෙන තරුණියන්ට හා සමාන හැඟීම් සහ පුරුදු මටත් තිබෙනවා කියලා. ඔවුන් කරන දේවල් මමත් කරනවා කියලා මට වැටහුණාම මම ඇත්තටම භය වුණා” කියා ඩැනියෙල් පවසනවා.

දෙවන පියවර, ඔබේ තත්වය කියා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. මේ සමඟ කටයුතු කිරීමට තීක්ෂ්ණ බුද්ධිය දෙවිගෙන් ඉල්ලීම තුළින් ඔබට හැකියි මෙයින් ජය ගන්න. දාවිත් වගේ ඔබටත් යාච්ඤා කරන්න පුළුවන්. “අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවත දැනගන්න. මාව සෝදිසි කර බලා මාගේ සිතට වද දෙන දේ දැනගන්න. මාව නොමඟට යවන දෙයක් මා තුළ ඇද්දැයි බලා මට සදහටම මඟ පෙන්වන්න.”—ගීතාවලිය 139:23, 24. *

එහෙත් සමහරවිට ඔබ මේ තත්වයට ඇබ්බැහි වී සිටින්න පුළුවන්. එයින් ඔබට සහනයක් ලැබෙන නිසා ඔබ එය අත්හරින්න අකමැති විය හැකියි. ඔබට එසේ හැඟෙනවා නම් ඒ ගැනත් යෙහෝවා දෙවිට යාච්ඤාවෙන් කියන්න. ඩැනියෙල්ට කරන්න තිබුණේ එයයි. “මුලින් මම වෙනස් වෙන්න කැමති වුණේ නැහැ. ඒ නිසා මට සනීප වෙන්න ආශාවක් ලබා දෙන්න කියලා මම යාච්ඤා කළා” කියා ඇය පිළිගන්නවා.

තුන්වන පියවර, ඔබට උපකාර කළ හැකි ඔබේ දෙමාපියන් සමඟ හෝ වෙනත් වැඩිහිටියෙකු සමඟ කතා කරන්න. ඔබට ආදරය කරන වැඩිහිටියන් ඔබව ලැජ්ජාවට පත් කරන්නේ නැහැ. ඇත්තටම ඔවුන් උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිව අනුකරණය කරන්නයි. ඒ ගැන බයිබලය මෙසේ පවසනවා. “ඔහු පීඩාවට ලක් වූ තැනැත්තා වැටී ඇති තත්වය නිසා ඔහුව හෙළා දැක්කේවත් පිළිකුලක් ලෙස සැලකුවේවත් නැත. ඔහු ඒ තැනැත්තාගෙන් තම මුහුණ සඟවාගත්තේ නැත. උපකාරය ඉල්ලා මොරගැසූ විට ඔහු ඇහුම්කන් දුන්නේය.”—ගීතාවලිය 22:24.

නැවත සාමාන්‍ය තත්වයට ඒම පහසු නැති බව ඇත්තයි. සමහරවිට වෛද්‍යමය වශයෙන් උදව්වක් අවශ්‍ය වෙන්නත් පුළුවන්. * වැදගත් දේ වන්නේ වහාම පියවර ගැනීමයි. එයයි බුලිමියා රෝගය සෑදුණ එක් යෞවනියක් කරන්න තීරණය කළේ. “විරේක කිරීම මාව පාලනය කරලා තිබෙන බව මට අන්තිමට වැටහුණා. ඒත් මේක මගේ තනි උත්සාහයෙන් නතර කරන්න බැහැ. අවසානයේදී මට කරන්න තිබුණ අමාරුම දේ මම කළා. ඒ අනිත් අයගෙන් උපකාර ඉල්ලීමයි.”

ඔබත් එහෙම කරන්න!

[පාදසටහන්වල]

^ 3 ඡේ. මෙම ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.

^ 6 ඡේ. ආහාර පාලනය නිසා රෝගී වී ඇති බොහෝදෙනා ගැහැනු අයයි. ඒ නිසා මේ ලිපියේ වැඩියෙන් කතා කරන්නේ ගැහැනු අය ගැනයි. නමුත් ලිපියේ තිබෙන බොහෝ තොරතුරු පිරිමි අයටත් අදාළ වෙනවා.

^ 32 ඡේ. යම් කරදරයක් ආ විට මෙම බයිබල් පද කියවීම තුළින්, යෙහෝවා දෙවි ඔබව සලකන බව ඔබට දැනගන්න පුළුවන්. නික්මයාම 3:7; ගීතාවලිය 9:9; 34:18; 51:17; 55:22; යෙසායා 57:15; 2 කොරින්ති 4:7; ෆිලිප්පි 4:6, 7; 1 පේතෘස් 5:7; 1 යොහන් 5:14.

^ 35 ඡේ. තමන් ගන්නා වූ ප්‍රතිකාර බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධ නොවන බවට ස්ථිර වීමට ක්‍රිස්තියානීන් වගබලා ගත යුතුයි.

මේ ගැන සිතන්න

▪ ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් තිබෙනවා කියා ඔබ සිතනවාද? එසේ නම් උපකාර පතා කාළඟට යා හැකිද?

▪ ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් තිබෙන යාළුවෙකුට ඔබ උපකාර කරන්නේ කෙසේද?

[19වන පිටුවේ කොටුව]

“මම හිතන්නේ ඔබට ගැටලුවක් තිබෙනවා . . . ”

පවුලේ කෙනෙක් හෝ යාළුවෙක් මේ වගේ දෙයක් කිව්වොත් එය නොසලකා හරින්න එපා. ඔබේ ගවුමේ වාටිය ගැලවිලා තිබෙන බව යාළුවෙක් කිව්වොත් ඔබ එය අගය කරන්නේ නැද්ද! බයිබලය පවසන්නේ මෙයයි. “සහෝදරයෙකුටත් වඩා හිතවත් මිතුරෙක් සිටියි.” (හිතෝපදේශ 18:24) කෙනෙක් ඔබ ළඟට ඇවිත් ඔබට තිබෙන මේ අසනීපය ගැන කතා කරනවා නම් ඒ කෙනා ඔබේ සැබෑ මිතුරෙක්!

[19වන පිටුවේ කොටුව/පින්තූරය]

“කෙට්ටු වෙන්නම ඕනෙ”

“මම බර අඩු කරන්න පටන්ගත්තා. ඒ කාලේදීම මගේ හක්කේ දත් ගලවන්න සිදු වුණා. මට කෑම කන්න අමාරු වුණා. ඒ නිසා ඇනරෙක්සියා තත්වය වැඩි වුණා. මම හිතුවේ මගේ පෙනුම හා ශරීරයේ හැඩය ගැන විතරයි. මම හුඟක් කෙට්ටු වුණත් මගේ ශරීරයට හුඟක් හානි කරගෙනයි තිබුණේ! දැන් මගේ නියපොතු වැවෙන්නේ නැහැ. හතර සැරයක් ගබ්සා වෙලත් තියෙනවා. කලින්ම ඔසප් වීම නතර වුණා වගේම ශරීරය ක්‍රියා කරන ආකාරයත් වෙනස්. මහ බඩවැල ඉදිමෙනවා. මේ ඔක්කොම කෙට්ටු වෙන්නම ඕනෙ කියලා දැරූ උත්සාහයේ ප්‍රතිඵලයි.”—නිකෝල්.

[20වන පිටුවේ කොටුව]

නැවත ලෙඩ වුණොත්?

ආහාර පාලනය කිරීම නිසා ඇති වූ රෝගවලින් ජයගත්තත් සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් නැවත මෙය ඇති වෙන්න පුළුවන්. අධෛර්යය වෙන්න එපා. බයිබලයේ ඇති දෙය පිළිගන්න. “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය.” (හිතෝදේශ 24:16) ඔබ පරාජය වී නැහැ. තව ටිකක් උත්සාහ කරන්න. ඔබටම නැවතත් රෝගී බවක් ඇති වෙනවා කියා දැනෙනවා නම් වහාම ඔබට ආදරය කරන අයගේ උපකාරය පතන්න.

[20වන පිටුවේ කොටුව/පින්තූරය]

වැඩි විස්තර

ආහාර අක්‍රමිකතාවන්ගෙන් ඔබ පීඩා විඳිනවා නම් මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු කියවීම ප්‍රයෝජනවත් වෙයි. ඔබ මේ ගැන දන්නා තරමට, එයින් ජයගන්න පහසුයි. ප්‍රායෝගික තොරතුරු පහත සඳහන් පිබිදෙව්! සඟරාවල තිබෙනවා. 1999 මැයි 8, පිටු 13-15 දක්වා සහ 1999 ඡනවාරි 22 එවේක් සඟරාවේ 3-12 පිටු කියවන්න.

[21වන පිටුවේ කොටුව]

දෙමාපියන්ට

ඔබට ආහාර ගැනීමේ අක්‍රමිකතාවකින් පෙළෙන දියණියක් සිටිනවා නම් කරන්න පුළුවන් කුමක්ද? මුලින්ම මෙම සඟරාවේ තිබෙන තොරතුරු පරෙස්සමින් නැවත සලකා බලන්න සහ 20වන පිටුවේ ඇති පාදසටහනද බලන්න. ඇය මෙවැනි පුරුදුවලට යොමු වුණේ ඇයි කියා තේරුම්ගන්න උත්සාහ කරන්න.

මෙවැනි රෝගවලින් පෙළෙන බොහෝදෙනෙකුට තමන් ගැනම සුභවාදී ආකල්පයක් නැති අතර ඔවුන් අත් කරගත නොහැකි ඉලක්කයන්ද තබාගෙන සිටිනවා. නිතරම ඔබේ දියණියව ගොඩනැඟීමට වගබලා ගන්න. (යෙසායා 50:4) “ඔබේ සාධාරණකම සියලුදෙනාටම දැනගන්න ලැබේවා!”—ෆිලිප්පි 4:5.

ඔබේ ආකල්පය ගැනත් සිතා බලන්න. ආහාර හා බර ගැන ඔබ ඕනෑවට වඩා සැලකිලිමත් වෙනවාද? යෞවන යෞවනියන් ඔවුන්ගේ පෙනුම ගැන හුඟක් සැලකිලිමත් වන නිසා සමහරවිට ඔබ ඔවුන්ට ආහාර ගැන හෝ බර ගැන විහිළුවක් කළත් සමහරවිට ඔවුන් එය වරදවා තේරුම්ගන්න පුළුවන්.

මේ කරුණු ගැන සිතා යෙහෝවා දෙවිට යාච්ඤා කර පසුව ඔබේ දියණිය සමඟ කතා කරන්න.

කියන්නේ කවදාද හා මොනවාද කියන්නේ කියා සැලසුම් කරන්න.

උදව් කිරීමට කැමති බව පැහැදිලිවම කියන්න.

මුල්ම ප්‍රතිචාරය ගැන පුදුම වෙන්න එපා.

හොඳ සවන් දෙන්නෙක් වෙන්න.

වඩා වැදගත් වන්නේ ඔබේ උත්සාහය හා දියණියගේ තත්වය හොඳ අතට ගැනීමයි. පවුලක් වශයෙන් දියණියට උපකාර කරන්න!

[21වන පිටුවේ පින්තූරය]

සුවවීමට ආශාවක් ලබා දෙන්න කියා යාච්ඤා කරන්න පුළුවන්