Skip to content

පටුනට යන්න

ඔබව “නොමඟ යවයි”

ඔබව “නොමඟ යවයි”

ඔබව “නොමඟ යවයි”

රූපවාහිනියෙන්, විවිධ රටවලට සංචාරය කර කවදාවත් මුණ නොගැසෙන මිනිසුන් ගැන දැනගන්න, කඳු නඟින්න, වැසි වනාන්තරවලට යන්න, මුහුදේ කිමිදෙන්න පුළුවන්; එමෙන්ම පරමාණුවේ සිට ග්‍රහලෝක දක්වා අරුම පුදුම දේවල් ගැන අවබෝධයක් ලබාගන්නත්, ලෝකයේ අනිත් කෙළවරේ සිද්ධ වෙන දේවල් ඒ වෙලාවෙම දැකගන්නත් පුළුවන්; දේශපාලනය, ඉතිහාසය, වත්මන් සිද්ධීන් හා සංස්කෘතීන් ගැනත් අපව දැනුවත් කරනවා; මිනිසුන්ගේ දුක සැප දෙකම එයින් ප්‍රදර්ශනය කරනවා. මෙලෙස රූපවාහිනිය මගින් බොහෝ දේ ඉගෙනගත හැකියි. එසේනම් රූපවාහිනිය නිකම්ම වින්දනය ලබන දෙයක් පමණක් නෙවෙයි.

කොහොමවුණත් රූපවාහිනී වැඩසටහන් වැඩිහරියකින් දැනුම ලැබෙන්නෙවත් යහපතක් සිදු වෙන්නෙවත් නැහැ. රූපවාහිනියේ වැඩිපුරම තිබෙන්නේ ප්‍රචණ්ඩත්වය හා ලිංගික දර්ශන බව බොහෝදෙනෙක් කියා සිටිනවා. උදාහරණයකට එක්සත් ජනපදයේ කළ එක් අධ්‍යයනයකට අනුව සෑම වැඩසටහන් තුනෙන් දෙකකම ප්‍රචණ්ඩත්වය දක්වන දර්ශනයි පෙන්වන්නේ. පැයකට මෙවැනි දර්ශන හයක්වත් දකින්න ලැබෙනවා. මේ අනුව බාලයෙක් වැඩිහිටියෙකු වන විට පැහැදිලිවම දක්වන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඝාතනයන් දහස් ගණනක් ඔහු දැක තිබේවි. ලිංගික දර්ශනත් ඒ හා සමානව දිස් වෙනවා. වැඩසටහන් තුනෙන් දෙකකම කතා කරන්නේ ලිංගික දේවල් ගැනයි. සෑම වැඩසටහන් තුනෙන් එකක දක්නට ලැබෙන්නේ ලිංගික දර්ශනයි. ඊට අමතරව ඒවායේ කිසි අවදානමක් නැති බවත්, අවිවාහක අය අතරේ ඒවා සිදු වුණත් ගැටලුවක් නැති බවත් අඟවනවා. *

අමෙරිකාවේ නිපදවන මෙවැනි වැඩසටහන් ලොව පුරා විකාශනය කරන්නේ හැඟීම් අවුස්සන දර්ශනවලට හා ප්‍රචණ්ඩත්වයට වැඩිපුර ඉල්ලීමක් තිබෙන නිසයි. ඊට අමතරව මෙවැනි වැඩසටහන් නිපදවීමට හොඳ කතාවක්වත් දක්ෂ නළුනිළියන්වත් අවශ්‍ය නැහැ. නරඹන්නන්ව ආකර්ෂණය කරගන්නේ ගැටුම්, මිනීමැරුම්, බොරුව සැබෑ කිරීම හා කාමුක දේ හුවා දැක්වීම මගිනුයි. නමුත් නරඹන්නන්ට පවා මේ දේවල් නිතර දකිද්දී සාමාන්‍ය දේවල් බවට පත් වෙන නිසා නිෂ්පාදකයන්ට සිදු වෙනවා විටින් විට ඒවා වෙනස් කරන්න. එය කරන්නේ වැඩසටහන්වලට ප්‍රචණ්ඩ, ලිංගික හා පහත් දර්ශන තව තවත් ඇතුළත් කරමින්.

එහි බලපෑම ගැන විවිධ අදහස්

මෙවැනි නුසුදුසු දර්ශන දිගටම නැරඹීමෙන් සිදු වන්නේ කුමක්ද? විවේචකයන් පැමිණිලි කරන්නේ, රූපවාහිනියේ ප්‍රචණ්ඩත්වය නිතර නිතර දැකීමෙන් නරඹන්නන්ටත් එලෙස හැසිරීමට පෙලඹීමක් ඇති වෙනවා විතරක් නෙවෙයි ඇත්තටම ප්‍රචණ්ඩත්වයට ලක් වූ කෙනෙක් කෙරෙහි වුණත් අනුකම්පාවක් ඇති නොවන බවයි. ලිංගික හා කාමුක දර්ශන නිතර දිස්වීමෙන් සමාජයේ සාරධර්ම පිරිහෙනවා.

එහෙත් රූපවාහිනිය ඇත්තටම එතරම්ම නරකද? මේ ප්‍රශ්නය දශක ගණනාවක් තිස්සේ ඇදෙන ප්‍රශ්නයක්. සියගණන් අධ්‍යයනවලින් හා දහසකුත් පොත් පත්වලින් මේ ගැන කතා බහ කෙරෙනවා. කෙනෙක් කුඩා අවදියේදී රූපවාහිනියෙන් දකින ප්‍රචණ්ඩ දර්ශනවලින් වැඩිහිටියෙකු වූ පසු ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු වන බව ඔප්පු කිරීම අසීරු කරුණක් වී තිබෙනවා. උදාහරණයකට මුල් වරට ගත් බෙහෙතකින් වැඩි වේලා නොගොස් ඇඟේ පලු දමන්න පටන්ගත්තොත් පහසුවෙන්ම තීරණය කළ හැකි වන්නේ ඒ බෙහෙත ඔරොත්තු දෙන්නේ නැති බවයි. නමුත් සමහරවිට පලු මතු වන්නේ දවස් හෝ සති කීපයකට පසුව නම් ඊට හේතුව එම බෙහෙතම කියා ස්ථිර නිගමනයකට ඒම අපහසුයි.

ඒ හා සමානව, රූපවාහිනියේ දිස්වෙන ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රචණ්ඩත්වයට හා අපරාධවලට මඟ පාදන බව ඔප්පු කිරීමට අපහසු වී තිබෙනවා. බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ රූපවාහිනිය හා කෙනෙකුගේ ජීවිතය අතර සම්බන්ධයක් තිබෙන බවයි. එපමණක්ද නොව සමහර අපරාධකරුවන් පවසන්නේ ඔවුන් රූපවාහිනියෙන් දුටු දේ ඔවුන්ගේ ආකල්පවලට හා ක්‍රියාවලට බලපෑ බවයි. අනෙක් අතට, කෙනෙකුගේ ජීවිතයට බලපාන වෙනත් බොහෝ දේත් තිබෙනවා. ප්‍රචණ්ඩ වීඩියෝ ක්‍රීඩා, මිතුරන්ගේ හා පවුලේ අයගේ ප්‍රතිපත්ති, පොදු ජීවන රටාවන් යන මේ සියල්ලත් කලහකාරී හැසිරීමකට දායක වෙන්න ඉඩ තිබෙනවා.

එලෙස විවිධ මත දැරීම පුදුමයක් නෙවෙයි. කැනේඩියානු මනෝවිද්‍යාඥයෙකු මෙලෙස ලිව්වා. “ප්‍රචණ්ඩ දේවල් නැරඹීමෙන් මිනිසුන් ප්‍රචණ්ඩ හෝ අසංවේදී පුද්ගලයන් වෙනවා කියා පැවසීමට විද්‍යාත්මක සාක්ෂි නැහැ.” කෙසේවුවද ජනමාධ්‍යය හා සමාජය පිළිබඳ අමෙරිකානු මනෝවිද්‍යා සංගමය මෙසේ පැවසුවා. “ප්‍රචණ්ඩත්වය වැඩි වැඩියෙන් නරඹනවා නම් අනිවාර්යයෙන්ම ඒවා සාමාන්‍ය දේවල් ලෙස පිළිගන්නා බවටත්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට පොලඹවන බවටත් කිසිම සැකයක් නැහැ.”

මේ ගැන සිතන්න

සාක්ෂි තිබෙනවාද නැද්ද යන ප්‍රශ්නය ගැන ප්‍රවීණයන් වාද කළත් රූපවාහිනිය අපේ සිතුවිලිවලට හා ක්‍රියාකලාපයට යම් බලපෑමක් කරයි කියන කාරණයට ඕනෑම කෙනෙක් එකඟ වෙයි. මේ ගැන සිතන්න. ඡායාරූපයකට හැකියි අපිව කේන්ති කරන්න, අඬවන්න හෝ හිනස්සවන්න. සංගීතයට හැකියි අපේ හැඟීම් පුබුදුවන්න. කියවන දෙයටත් හැකියි අපට යමක් හැඟෙන්න සලස්වන්නත් ඒ අනුව ක්‍රියා කරවන්නත්. මේ ක්‍රම තුනම දක්ෂ ලෙස සම්මිශ්‍රණය කර ඉදිරිපත් කළොත් ඊටත් වඩා කොපමණ බලපෑමක් ඇති වෙයිද? රූපවාහිනිය ජනප්‍රිය වීමට රහස එයයි! එය ලබාගන්න අපහසු දෙයකුත් නෙවෙයි. එක් ලේඛකයෙක් මෙසේ පවසනවා. “මිනිසා අකුරු ලියන්න පටන්ගත් දා සිට . . . අදහස් හුවමාරුවට හා ශිෂ්ටාචාරයට රූපවාහිනිය මෙන් මෙතරම් බලපෑ කිසිම මාධ්‍යයක් අද දක්වා තිබී නැහැ.”

ව්‍යාපාරිකයන් සෑම වසරකම වෙළඳ දැන්වීම් සඳහා කෝටි ගණන් මුදල් වැය කරන්නේ සැකයකින් තොරවයි. ඊට හේතුව නරඹන්නන් අහන දකින දේවලින් පෙලඹෙන බව ඔවුන් දැනසිටීමයි. වෙළඳ දැන්වීම් මගින් භාණ්ඩ විකිණෙන ප්‍රමාණය වැඩි වන බව ඔවුන් දන්නවා. වර්ෂ 2004දී කොකා කෝලා සමාගම ඔවුන්ගේ වෙළඳ දැන්වීම් පුවත්පත්වල, ගුවන්විදුලියේ හා රූපවාහිනියේ පළ කිරීම සඳහා ඩොලර් බිලියන 2.2ක් වියදම් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම වසරේදී ඔවුන් බිලියන 22කට ආසන්න මුදලක ලාභයක් ඉපයුවා. එක වෙළඳ දැන්වීමකින් ලාභයක් නොලැබෙන බව දන්නා ඔවුන් දිගටම වෙළඳ දැන්වීම් දමන්නේ ඒවා දකින නරඹන්නන්ගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය හැකියි කියා විශ්වාස කරන නිසයි.

තත්පර 30ක වෙළඳ දැන්වීමක් මගින් අප තුළ පෙලඹීමක් ඇති කළ හැකි නම් පැය ගණනක් රූපවාහිනිය නැරඹීමෙන් අනිවාර්යයෙන්ම අපිට යම් බලපෑමක් සිදු වෙයි. එක් කර්තෘවරයෙක් මේ ගැන පවසන්නේ “රූපවාහිනිය වින්දනයක් ලබන්න නැරඹුවත් එම මාධ්‍යය නොදැනුවත්වම අපේ ජීවිත පාලනය කරයි” කියායි. (ඔහුගේ පොත Television—An International History) තවත් පොතක මෙසේ පවසනවා. “රූපවාහිනිය අප සිතන ආකාරය වෙනස් කරනවා.” (එම පොත A Pictorial History of Television) එසේනම් අපි අපෙන්ම මේ ප්‍රශ්නය අසාගත යුතුයි. ‘මම නරඹන දේ මට ඕන විදිහට මගේ සිතුවිලිවලට බලපායිද?’

මේ ප්‍රශ්නය හුඟක් වැදගත් වන්නේ දෙවිට සේවය කරන අයටයි. ඊට හේතුව බොහෝ වැඩසටහන්වල පෙන්වන දේ බයිබලයේ ඉගැන්වීම් හා උසස් ප්‍රතිපත්තිවලට පටහැනිවීමයි. බයිබලයේ සම්පූර්ණයෙන්ම හෙළා දකින ජීවන රටාවන් හා ක්‍රියාවන් සාමාන්‍ය දේවල් මෙන්ම පිළිගත හැකි දේවල් ලෙස රූපවාහිනියෙන් මවා පෙන්වනවා. මේ අතරතුර රූපවාහිනියේ, ක්‍රිස්තියානි සාරධර්ම පිළිපදින්නන්ව නොසලකාහරින අතර සරදමටත් ලක් කරයි. කර්තෘවරයෙක් කනගාටුවෙන් පැවසුවේ මෙලෙසයි. “නුසුදුසු දේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් බවට පත් කිරීම පමණක්ම මදි. සාමාන්‍ය දෙයක් බවට පත් කළ දේත් තව තවත් නුසුදුසු දෙයක් බවට පත් කළ යුතුයි.” වැඩි වැඩියෙන් සිදු වන්නේ මේ “නොමඟ යවන්නා” සූක්ෂ්ම ලෙස “නපුරට යහපතය, යහපතට නපුරය” කියා පෙන්වීමයි.—යෙසායා 5:20.

අපි බලන දේ අපේ සිතුවිලිවලට බලපාන නිසා අපි පරෙස්සම් විය යුතුයි. බයිබලයේ පවසන්නේ “ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්ත වන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදු වන්නේය” කියායි. (හිතෝපදේශ 13:20, පැරණි අනුවාදය) බයිබල් විශාරදයෙකු වන ඇඩම් ක්ලාර්ක් පවසන්නේ මෙයයි. “කෙනෙක් කැටුව යනවා කීමෙන් අඟවන්නේ එම තැනැත්තා සමඟ ඇල්මක් හා බැඳීමක් ඇති කරගෙන ඇති බවයි. එසේනම් බොහෝවිට අප අනුකරණය කරන්නේ අපි ඇලුම් කරන අයවයි. ‘ඔබේ මිතුරන් කවුද කියා මට කියන්න. එවිට ඔබ කවුද කියා මම කියන්නම්’ යන කියමනත් ඇති වුණේ ඒ නිසයි. ඉන් අදහස් වන්නේ කෙනෙක් ඇසුරු කරන අය මගින් ඒ කෙනාගේ චරිතය මොන වගේද කියා දැනගත හැකි බවයි.” අවංක ක්‍රිස්තියානියෙක් තමන්ගේ ගෙදරට කිසිවිටකත් වැද්ද ගන්නේ නැති අයව අද බොහෝදෙනෙක් රූපවාහිනිය මාර්ගයෙන් ගෙදරට වැද්දගෙන ඇසුරු කරනවා.

ඔබේ වෛද්‍යවරයා සැර බෙහෙතක් ගන්න කියා කිව්වොත් සුවය ලැබෙන ආකාරය ගැන වගේම අවදානම් පැති ගැනත් ඔබ පරෙස්සමින් සිතා බලයි. වැරදි බෙහෙත් ගැනීමෙන් හෝ මාත්‍රාව වැඩි කොට ගැනීමෙන් ඔබේ සෞඛ්‍යයට හානි විය හැකියි. රූපවාහිනිය නැරඹීම ගැනත් පැවසිය හැක්කේ එයමයි. එසේනම් නැණවත් දේ වන්නේ අපි බලන දේ ගැන දෙවරක් සිතා බැලීමයි.

දේවානුභාවය ලත් පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගැන්නුවේ සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, නිර්මල, ප්‍රේමය ඇති කරන, යහපත් කීර්තියක් ඇති, ගුණවත් හා ප්‍රශංසනීය දේවල් ගැන කල්පනා කිරීමටයි. (ෆිලිප්පි 4:6-8) ඔබ එම අවවාදය පිළිපදින්න කැමතිද? එසේ කළොත් ඔබත් සතුටු වෙයි.

[පාදසටහන]

^ 3 ඡේ. එක්සත් ජනපදයේ නිපදවන රූපවාහිනි වැඩසටහන් හා චිත්‍රපට ලොව පුරාම පෙන්වන නිසා බොහෝ රටවලටත් මේ සංඛ්‍යා ලේඛන අදාළයි.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔබේ නිවසට වැද්දගන්නැති අයට දොර විවර කරන මාධ්‍යයක් රූපවාහිනිය.”—බ්‍රිතාන්‍යයේ ගුවන්විදුලි ප්‍රචාරක ඩේවිඩ් ෆ්‍රොස්ට්

[5වන පිටුවේ කොටුව]

බයිබලයේ ලිංගික කාරණා හා ප්‍රචණ්ඩත්වය නැද්ද?

රූපවාහිනියේ පෙන්වන ප්‍රචණ්ඩත්වය හා ලිංගික දේවල්, බයිබලයේ විස්තර කර තිබෙන දේට වඩා වෙනස් වෙන්නේ කොහොමද? බයිබලයේ මේ දේවල් ලියා තිබෙන්නේ උපදෙස් දීමට මිස වින්දනයක් ලැබීමට නොවෙයි. (රෝම 15:4) දේවවචනයෙහි වාර්තා කර තිබෙන්නේ ඓතිහාසික සිද්ධීන්. යම් කාරණා දෙස දෙවි බලන අයුරු වටහාගැනීමටත් අන් අයගේ වැරදිවලින් අපට යම් පාඩමක් ඉගෙනගැනීමටත් එය පිටුවහලක්.

හුඟක් රටවල වෙළඳ දැන්වීම්වලින් ලිංගික දේවල් හා ප්‍රචණ්ඩත්වය පෙන්වන්නේ පාඩමක් ඉගැන්වීමට නොව මුදල් ඉපැයීමටයි. ඒවා පෙන්වන්නන්ට වුවමනා වන්නේ එමගින් බොහෝදෙනෙකුව ඇද බැඳ තබාගැනීමටයි. ප්‍රතිඵලය වන්නේ ඔවුන් වෙළඳ දැන්වීමෙන් දකින දේ මිල දී ගැනීමයි. මාධ්‍යවේදීන් අවධානය දෙන්නේ එදිනෙදා තොරතුරු ඇතුළත් කිරීමට වඩා අපරාධ, ව්‍යසනයන් හා යුද්ධය පිළිබඳ කම්පිත කරවන කතා ප්‍රවෘත්තිවලට ඇතුළත් කිරීමටයි.

ප්‍රචණ්ඩ ක්‍රියා ගැන බයිබලයේ සඳහන් වුණත් ජනයාට උනන්දු කර තිබෙන්නේ පළිගැනීමට නොව සන්සුන්ව ගැටලු විසඳාගනිමින් සාමකාමීව ජීවත් වීමටයි. එමෙන්ම එහි නිරතුරුවම උනන්දු කරන්නේ සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමටයි. නමුත් රූපවාහිනියේ විකාශනය වන්නේ එවැනි අදහස් නෙවෙයි.—යෙසායා 2:2-4; 1 කොරින්ති 13:4-8; එෆීස 4:32.

[7වන පිටුවේ කොටුව/පින්තූරය]

බාලයන්ට සුදුසුද?

“දශක කීපයක් පුරා කරන ලද අධ්‍යයනවලින් ගොනු කරගත් සාක්ෂිවලට අනුව විද්‍යා හා මහජන සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන්හි සිටින්නන්ගේ නිගමනය වී තිබෙන්නේ ප්‍රචණ්ඩ දේවල් නැරඹීම බාලයන්ට හානිදායක බවයි.”—හෙන්රි ජේ. කයිසර් ෆැමිලි ෆවුන්ඩේෂන්.

“ළමා රෝග පිළිබඳ අමෙරිකානු ඇකඩමිය පවසන්නේ ‘වයස අවුරුදු දෙක හා ඊට පහළ දරුවන්ට [රූපවාහිනිය බලන්න] දෙන්න හොඳ නැහැ’ කියායි. [ඒකට අපිත් එකඟයි.] මේ දරුවන් හැදෙන වැඩෙන නිසා දුව පැන සෙල්ලම් කළ යුතුයි. ඒ වගේම ඔවුන්ගේ මොළය ශීඝ්‍රයෙන් වර්ධනය වීමටත්, දක්ෂතා ඇති දරුවන් ලෙස සමාජයේ ගැවසීමටත් ඔවුන් අන් අය සමඟ හවුල් වී දේවල් කළ යුතුයි.”—ද නැෂනල් ඉන්ස්ටිටියුට් ඔන් මීඩියා ඇන්ඩ් ද ෆැමිලි.

[6, 7වන පිටුවේ පින්තූරය]

මම නරඹන දේ මට ඕන විදිහට මගේ සිතුවිලිවලට බලපායිද?