Skip to content

පටුනට යන්න

කාලය කා දමයිද?

කාලය කා දමයිද?

කාලය කා දමයිද?

රූපවාහිනිය නැරඹීම මුළු ජීවිත කාලයටම නවත්වනවා නම් ඔබට කෝටි ගණනාවක මුදලක් දෙනවා කියා කිව්වොත් ඔබ එය නතර කරනවාද? නැහැ. මීට වසර කීපයකට පෙර අමෙරිකානුවන්ගෙන් හතරෙන් එකක් පැවසුවේ එයාකාරයටයි. තවත් සමීක්ෂණයකදී වැඩියෙන්ම කැමති කුමකටදැයි පුරුෂයන්ගෙන් විමසනු ලැබුවා. වැඩිදෙනෙක් සාමයෙන් සතුටෙන් ඉන්න කැමති බව පැවසුවා. නමුත් එය ඔවුන්ට අවශ්‍ය වුණ මුල් දේ නෙවෙයි. මුලින්ම ඔවුන්ට අවශ්‍ය වුණේ අලුත් වර්ගයේ විශාල රූපවාහිනියක්!

ලොව පුරාම අද රූපවාහිනිය හරිම ජනප්‍රියයි. මෙය බිහි වූ මුල් අවදිය වන 1931දී අමෙරිකාවේ ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධානියා මෙසේ පැවසුවා. “රූපවාහිනියේ තත්වය උපරිමයෙන් දියුණු වුණ දාකට මුළු ලෝකෙම අය එය නරඹයි කියලා හිතන්න පුළුවන්.” ඒ කාලයේදී මෙය අතිශයෝක්තියක් මෙන් පෙනෙන්න ඇතත් අද එය සැබෑවක්. ගණන් බලා ඇති ආකාරයට, ලොව පුරා රූපවාහිනි යන්ත්‍ර බිලියන 1.5ක් ජනයා අතරට පත් වී තිබෙන අතර නරඹන්නන්ගේ සංඛ්‍යාව ඊටත් වඩා වැඩියි. කැමැත්තක් දැක්වුවත් නැතත් රූපවාහිනිය ජන ජීවිතයට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලා.

හුඟදෙනෙක් ඒ වෙනුවෙන් කැප කරන කාලය කොපමණදැයි කියා කියන්න බැරි තරම්. ලොව පුරා මෑතකදී කළ අධ්‍යයනයකට අනුව කෙනෙක් සාමාන්‍යයෙන් දිනකට පැය තුනකට ටිකක් වැඩි කාලයක් එය නරඹනවා. උතුරු අමෙරිකානුවන් දවසකට පැය හතරහමාරක් රූපවාහිනිය නරඹන අතර දවසකට පැය පහක් එය නරඹමින් වැඩිම කාලයක් ගත කරන්නේ ජපන් ජාතිකයින්. මෙම පැය ගණන එකතු කළොත් එය විශාල කාලයක්. කෙනෙක් දවසකට පැය හතරක් රූපවාහිනිය නරඹනවා නම් වයස අවුරුදු 60 වෙද්දී ඔහු රූපවාහිනිය ඉදිරියේ වසර දහයක් ගත කරලා තිබෙනවා. ඒත් අපි මිය ගිය දාට “මේ අපේ ප්‍රියාදර මිතුරා [හෝ මිතුරිය] තම ජීවිත කාලයෙන් හයෙන් එකක් රූපවාහිනිය වෙනුවෙන් කැප කළා” කියා අපි ගැන පවසනවාට කැමතිද?

පැය ගණන් රූපවාහිනිය නරඹන්නේ එයින් වින්දනයක් ලැබෙන නිසාමද? නැහැ. බොහෝදෙනෙකුගේ අදහස තමන් ප්‍රයෝජනවත් වැඩකට කාලය යොදන්නේ නැතුව රූපවාහිනිය වෙනුවෙන් කාලය කා දමන බවයි. සමහරු කියන්නේ ඔවුන් “ඇබ්බැහි” වෙලා කියලයි. කෙනෙක් මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවා වගේම රූපවාහිනියට ඇබ්බැහි නොවුණත් යම් පැතිවලින් ඊට සමාන විය හැකියි. මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ඒ වෙනුවෙන් වැඩි කාලයක් කැප කරනවා. පුරුද්ද අත්හැරීමටත් ඒ සඳහා වැය කරන කාලය අඩු කිරීමටත් ඔවුන් කැමති වුණත් ඒක කරන්න ඔවුන්ට බැහැ. අත්‍යවශ්‍ය සමාජීය හා පවුල් ක්‍රියාකාරකම්ද අතපසු කරන ඔවුන් මත් ද්‍රව්‍යය ගැනීමෙන් වළකින්න උත්සාහ කරද්දී ශාරීරික හා මානසික වේදනාවන් අද්දකිනවා. රූපවාහිනිය නැරඹීමට වැඩි කාලයක් ගත කරන අය තුළත් මේ සෑම ලක්ෂණයක්ම දැකගත හැකියි.

“බොහෝ මීපැණි කෑම හොඳ නොවේ” කියා නැණවත් සලමොන් රජ ලිව්වා. (හිතෝපදේශ 25:27) මේ ප්‍රතිපත්තිය රූපවාහිනිය නැරඹීමටත් අදාළ වෙනවා. රූපවාහිනියෙන් බොහෝ ප්‍රයෝජන තිබුණත් වැඩි කාලයක් එයට ගත කරන දරුවන් කියවීමට හා පාඩම්වල යෙදීමට මැළිකමක් දක්වන අතර ඔවුන් තරබාරු වෙනවා. ඊට වැඩි කාලයක් යොදද්දී ලැබෙන ප්‍රතිඵලය ගැනත් නැණවත්ව කල්පනා කළ යුතුයි. කාලය රන් හා සමාන නිසා අපි නරඹන දේ ගැන සැලකිලිමත් වීම සුදුසුයි. ඊළඟ ලිපියේ ඒ ගැන සාකච්ඡා කෙරෙනවා.