Skip to content

පටුනට යන්න

ටවර් පාලම ලන්ඩනයට පිවිසෙන දොරටුව!

ටවර් පාලම ලන්ඩනයට පිවිසෙන දොරටුව!

ටවර් පාලම ලන්ඩනයට පිවිසෙන දොරටුව!

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

ඔබ එය දැක තිබෙනවාද? වාර්ෂිකව දස දහස්ගණන් සංචාරකයන් එය නැරඹීමට පැමිණෙන අතර එංගලන්තයට නොගිය අය පවා ඒ ගැන අසා තිබෙනවා. සෑම දිනකම ලන්ඩනයේ වැසියන් ඒ හරහා එහාට මෙහාට ගියත් එහි ආරම්භය ගැන බිඳක්වත් සිතන්නේ නැහැ. ලන්ඩනයේ තිබෙන ටවර් පාලම ප්‍රසිද්ධ මාර්ග සලකුණක්.

ටවර් පාලම එහි ඇති ලන්ඩන් පාලම සමඟ පටලවා නොගත යුතුයි. ලන්ඩනයේ බලකොටු කුළුණට යාබදවයි ටවර් පාලම සාදා තිබෙන්නේ. වර්ෂ 1872දී තේම්ස් නදිය හරහා මෙම පාලම ඉදි කිරීමට පාර්ලිමේන්තුවෙන් පනත් කෙටුම්පතක් නිකුත් කළා. බලකොටු කුළුණේ භාරකරුගේ විරෝධය මැද පාර්ලිමේන්තුව තවත් පාලමක් ඉදි කිරීමේ වැඩසටහන දියත් කළේ කුළුණේ නිර්මාණයට අනුව එය සෑදීමටයි. අද දක්නට තිබෙන මෙම ටවර් පාලම ඉදි වුණේ එම නිල යෝජනාව ක්‍රියාත්මක වූ නිසයි.

තේම්ස් නදියේ ඉවුරුවල පාලම් කීපයක්ම සාදනු ලැබුවේ 18වන හා 19වන සියවස්වලදීයි. පුරාණ ලන්ඩන් පාලම හුඟක් ප්‍රසිද්ධයි. වර්ෂ 1750 වන විට මෙම පාලම අබලං වෙමින් තිබුණු අතර එහා මෙහා යෑමට තිබුණේ මේ පාලම පමණක් නිසා නිතර එහි තදබදයක්ද තිබුණා. එහි යට තිබූ වරායේ දස දෙසින් පැමිණෙන නැව් නවතනු ලැබුවා. කොතරම් නැව් නවතා තැබුවාද කියතොත් එක නැවක තට්ටුවකින් තවත් නැවකට යමින් නැව් හරහා කිලෝමීටර් ගණනාවක් ඇවිදින්න හැකියාව තිබුණා.

ලන්ඩන් පාර්ලිමේන්තුවේ ඉල්ලීමට අනුව නගරයේ ගෘහ නිර්මාණ ශිල්පියා වූ හෝරස් ජෝන්ස් ගෝතික ගොඩනැඟිලි ක්‍රමයට අනුව ලන්ඩන් පාලමෙන් එහා ගඟේ මෝයකට පැත්තට වෙන්න ඇරෙන වැහෙන පාලමක් ඉදි කිරීමට යෝජනා කළා. මෙම පාලම නවීන ක්‍රමයකට අනුව සාදන්න සැලසුම් කළේ තේම්ස් නදියේ ගමන් කරන නැව්වලට බාධාවක් නොවීමටයි.

විශිෂ්ට නිර්මාණයක්

බොහෝ දේශවල සංචාරය කර තිබූ ජෝන්ස්ට නෙදර්ලන්තයේ ඇලවල් හරහා දමා තිබූ ඇරෙන වැහෙන කුඩා පාලම් දුටු විට අදහසක් පහළ වුණා. ඉන්පසු එම අදහස ක්‍රියාත්මක කරමින් යකඩ රාමු හා කූරු මෙන්ම සිමෙන්ති යොදා නවීන පන්නෙට ඔහුගේ ඉන්ජිනේරු කණ්ඩායම එය ඉදි කළා.

ටවර් පාලම සාදා තිබෙන්නේ ප්‍රධාන කුළුණු දෙකක් අතරෙයි. මහා මාර්ගයට මීටර් 34ක් සහ නදියේ ජල මට්ටමට මීටර් 42ක් උසකින් මඟී පාලම් දෙකක් එම කුළුණු අතර වෙයි. ගං ඉවුරු දෙක අතර මහාමාර්ගය සාදා තිබෙන්නේ ඇරෙන වැහෙන පියන් දෙකක් ඇති පාලමක් සහිතවයි. මෙම එක් යෝධ පියනක බර ටොන් 1,200ක් පමණ වෙනවා. අංශක 86ක කෝණයක් වන සේ ඇරෙන ආකාරයෙනුයි ඒවා පිහිටුවා තිබෙන්නේ. මෙම පියන් ඇරෙන විට විශාල නැව්වලට පවා කිසි හානියක් නැතුව එම පාලම යටින් යෑමට හැකියි.

පියන් අරින්න යෝධ බලයක්

පාලමේ පියන් ඇරුණෙත්, වැහුණෙත්, මගී සෝපානයන් මහ මාර්ග මට්ටමේ සිට මඟී පාලම් තෙක් ඉස්සුණෙත් ජල බලයෙන්. ප්‍රවාහණ සංඥා පවා ක්‍රියාත්මක වුණේ එම බලයෙන්. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ජලය තිබුණ නිසා බලය සපයාගැනීම අපහසුවක් වුණේ නැහැ.

පාලමේ දකුණු පැත්තේ ගල් අඟුරු බොයිලේරු හතරක් සවි කර තිබූ අතර ඒවායින් වර්ග සෙන්ටිමීටරයකට කිලෝ ග්‍රෑම් 5-6ක පීඩනයකින් ජල වාෂ්ප නිපදෙව්වා. එම වාෂ්ප මගින් විශාල ජල පොම්ප දෙකක් ක්‍රියාත්මක වුණා. එම පොම්පවලින් විශේෂාකාර ටැංකි හයකට අධි පීඩනයකින් ජලය රැස් කළා. එක් එක් ටැංකියේ වර්ග සෙන්ටිමීටරයකට කිලෝග්‍රෑම් 60ක ජල පීඩනයක් තිබුණා. මෙම පීඩනය සහිත ජලය පාලමේ පියන් දෙක ක්‍රියාත්මක කිරීමට ඇන්ජිම් අටකට බලය ලබා දුන්නා. මේ සියල්ල ක්‍රියාත්මක වූ විට පියන් ඉහළටම ඉස්සීමට ගත වුණේ විනාඩියක කාලයක් පමණයි.

නවීන ටවර් පාලම

දැන් ජලය වෙනුවට භාවිත කරන්නේ විදුලි බලයයි. නමුත් එදා වගේම අදත් ටවර් පාලම ඇරෙන විට වාහන ගමනාගමනය නවතිනවා. ඇවිදගෙන යන්නන්, සංචාරකයන් හා වෙනත් අමුත්තන් මේ අරුම පුදුම පාලම දැකලා විශ්මයට පත් වෙනවා.

අනතුරු ඇඟවීමේ නලාවේ හඬ ඇසෙයි, මාර්ග බාධක වැටෙයි, අවසාන වාහනයත් මාර්ගය හරහා ගොස් හමාරයි, පාලම් පාලක සංඥා ක්‍රියාත්මක වෙමින් පාරේ කිසිවක් නැති බව අඟවයි. එසැනින් පාලම් පියන් දෙක එකිනෙකට සවි වී තිබෙන ස්ථානයේ අගුල් ඇරී පියන් දෙක ඉහළට එසවෙයි. දැන් පාලම යට ගං තීරෙ දෙසට කාගෙත් නෙත් යොමු වෙයි. එහි ටග් බෝට්ටුවක්, රුවල් නැවක් හෝ මඟී නැවක් ගමන් ගන්නා ආකාරය දිස් වෙයි. විනාඩි කීපයකින් යළි පාලක සංඥා ක්‍රියාත්මක වෙයි. පියන් දෙක පහත් වී ඒ හරහා වැටී ඇති මාර්ග බාධක ඉවත් වෙයි. අනිත් වාහන පසු කර ඉදිරියට පැමිණ සිටින සයිකල්කරුවන් ධාවන තරඟෙකට මෙන් සැරසී සිටින්නේ විගස පාලම හරහා යෑමටයි. තත්පර කීපයකින් යළි සංඥා හඬ නැංවෙන තෙක් ටවර් පාලම නිසොල්මන් වෙයි.

දැනුමක් ලබන්න කැමති අමුත්තෙක් යළි යළිත් සිදු වන මේ ක්‍රියාවලිය දෙස නිකම්ම බලාගෙන ඉන්නේ නැහැ. විදුලි සෝපානය දිගේ කුළුණේ ඉහළට නඟින අනිත් අයට එකතු වන ඔහු පාලමේ ඉතිහාසය ගැන විස්තර ඇසීමෙන් හා දැකීමෙන් පුදුම වෙනවා. පාලම ක්‍රියාත්මක වන ආකාරය පෙන්වන ආකෘතියක් එහි තිබෙන අතර ඉන්ජිනේරුවන්ගේ දස්කම් හා සමාරම්භක උත්සවය අපූරුවට සිතුවම් කර තිබෙනවා. එමෙන්ම ඉපැරණි ඡායාරූප හා විස්තර සහිත දැන්වීම් පුවරුද එහි දක්නට ලැබෙනවා.

ඉහළ මඟී පාලම අමුත්තෙකුට අවට සිරි නරඹන්න කදිම ස්ථානයක්. බටහිර දෙසින් සුප්‍රසිද්ධ ශා. පාවුලුගේ දේවස්ථානයත්, ඓතිහාසික බැංකු ගොඩනැඟිලි හා වෙනත් ව්‍යාපාරික ගොඩනැඟිලිත්, ඊටත් එහායින් ප්‍රධාන තැපැල් කාර්යාලයත් දක්නට ලැබෙනවා. ඒ කාලයේදී කවුරු හෝ නැඟෙනහිර දෙස බැලුවා නම් දකින්න තිබුණේ වරායයි. නමුත් දැන් එහි තිබෙන්නේ නවීන පන්නයේ ගෙවල් දොරවල්. ලන්ඩනයේ කවුරුත් දන්නා මඟ සලකුණක් ලෙස සැලකිය හැකි මෙම ස්ථානය සිත් ඇදගන්නා අතිරමණීය මෙන්ම කාගෙත් කුතුහලය අවුස්සන තැනක්. එමෙන්ම එතන සිට අවට බලද්දී දකින දේත් එලෙසම සුන්දරයි කියා කිව්වොත් නිවැරදියි.

ඔබ ලන්ඩනයට ගිය දාකට නොවරදවාම මෙම ඓතිහාසික ඉදි කිරීම බලන්න යන්න. එදාට විශිෂ්ට ඉන්ජිනේරුවන්ගේ එම දස්කම් ඔබේ මතකයේ කිසිදා නොමැකෙන සේ ඇඳේවි.

[16වන පිටුවේ පින්තූරය]

වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ ජල පොම්ප දෙකෙන් එකක්

[හිමිකම් විස්තර]

Copyright Tower Bridge Exhibition

[16, 17වන පිටුවේ පින්තූරය]

පියන් දෙක ඉහළටම එසවෙන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයන්

[හිමිකම් විස්තර]

©Alan Copson/​Agency Jon Arnold Images/​age fotostock

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Brian Lawrence/​SuperStock