Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“ජනමාධ්‍යයෙන් අහන්න දකින්න ලැබෙන ප්‍රචණ්ඩත්වය හා කලහකාරී [නහඹරයන්ගේ] ජීවිත හරියට දුම්වැටියයි පෙණහලු පිළිකාවයි අතර තිබෙන සම්බන්ධය වගෙයි.”—ඔස්ට්‍රේලියාවේ, THE MEDICAL JOURNAL OF AUSTRALIA.

පලතුරු කන මාවවුලන්ව සමහර අප්‍රිකානු රටවල ආහාරයට ගන්නවා. සාක්ෂිවලින් පෙන්වන්නේ එය “ඉබෝලා යන වයිරසයට තෝතැන්නක් විය හැකි” බවයි.—කැනඩාවේ, MACLEANS.

මෙක්සිකෝවේ නීතිපති කාර්යාලයෙන් ලබාගත් දත්තවලින් හෙළි වන්නේ පසුගිය වසර අට පුරා එම රටේ ළමුන් 1,30,000ක්වත් පැහැරගෙන ගොස් ඇති බවයි. එසේ කර තිබෙන්නේ විකිණීමට, ලිංගික අපචාරවලට, මෙහෙකාරකමට හෝ ඉන්ද්‍රියන් ගලවාගෙන විකිණීමටයි.—මෙක්සිකෝවේ, MILENIO.

වසර 12ක් සිර බත් කෑවේ ඇයි?

යෙහෝවාගේ සාක්ෂිකරුවන් තුන්දෙනෙකුව සාවාවල, එරිට්‍රියාවල සහ නැඟෙනහිර අප්‍රිකාවේ වසර 12ක් හිර කර තැබුවා. නමුත් ඔවුන් වෙනුවෙන් නඩු විභාගයක් පවත්වා හෝ ඔවුන්ට විරුද්ධව කිසිම පැමිණිල්ලක් දමා හෝ තිබුණේ නැහැ. කිසිම කෙනෙකුට, අඩුම තරමින් පවුලේ කෙනෙකුටවත් ඔවුන්ව බැලීමට අවසර දුන්නේ නැහැ. හේතුව? ඔවුන් හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කළ නිසයි. එරිට්‍රියාවේ නීතියට අනුව සිය කැමැත්තෙන් හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීමට කිසිම ඉඩක් තබා නැහැ. හමුදා කඳවුරේ සිටියදී තරුණයන්ට සිදු වන්නේ අමානුෂික වධ හිංසාවලට ලක් වෙන්නයි.

වන ජීවීන්ට අන්තර්ජාලය තර්ජනයක්ද?

“අන්තර්ජාලය නිසා අප්‍රිකානු අලීන්ගේ ජීවිතවලට වැඩි හානියක් සිදු වෙනවාද කියා ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාකරු ඇසුවා. සතුන් ගැන සැලකිලිමත් වන අය පවසන්නේ උන් පමණක් නොව අනිත් බොහෝ සත්ව විශේෂයන්ද අන්තර්ජාලය නිසා අනතුරක සිටින බවයි. මෙය හරහා නීති විරෝධි ලෙස වෙළඳාම් කිරීම වැඩි වී තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන වෙබ් අඩවියක් ගැන මාස තුනක් පුරා සෝදිසි කළ කණ්ඩායමක් සොයාගත්තේ, කැස්බෑ කටු, අලීන්ගේ ඇටකටුවලින් තැනූ ප්‍රතිමා මෙන්ම පණ පිටින් අඳුන් දිවියන් ඇතුළු සතුන් “6,000කට වඩා නීති විරෝධි ලෙස විකුණන” බවයි.

පරිසරයට හිතකර තාප ජනකයක්

“ඔලීව ඇට ප්‍රධාන තාප ජනකයක් වී තිබේ” කියා වාර්තා කරන්නේ ස්පාඤ්ඤයේ එල් පාඊස් පුවත්පතයි. මෙම තාප ජනකය මගින් මැඩ් රිඩ්හි නිවාස 300කටවත් තාපය හා උණු වතුර ලබා දෙනවා. වැඩි මුදලක් වැය නොවන ඔලීව ඇට ඉන්ධනය ඛනිජ තෙල්වලට වඩා සියයට 60කින්ද, ගල් අඟුරුවලට වඩා සියයට 20කින්ද මිල අඩුයි. එපමණක් නොව ඒවායින් පරිසරය දූෂණය වන්නේද නැහැ. සාමාන්‍ය ලෙස දිරාපත් වීමේදී පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයමයි දහනයේදීත් පිට වෙන්නේ. තවත් වාසියක් නම් ඕනෑ තරම් ඔලීව ඇට තිබීමයි. ඔලීව ගෙඩිවලින් තෙල් ලබාගත් පසුව ඉතිරි වන ඇට ඉන්ධන ලෙස භාවිතයට ගැනෙනවා. ඔලීව තෙල් නිපදවන ප්‍රධාන රට ලෙස නම් දරා සිටින්නේ ස්පාඤ්ඤයයි.

අවුරුදු හාරදාහක් පැරණි නූඩ්ල්ස්

විද්‍යාඥයන් පොළොවෙන් හාරාගත් මේ නූඩ්ල්ස් “ලොව පැරණිතම නූඩ්ල්ස්” ලෙසින් හැඳින්වෙන බව ද නිව් යෝර්ක් ටයිම්ස්හි වාර්තා වෙනවා. මේවා සාදා තිබෙන්නේ චීන ජාතීන්ට ආවේණික මෙනේරි වැනි ධාන්‍ය වර්ගයකින්. ඒවා සෙන්ටිමීටර් 50ක් දිගයි; කහපැහැතියි. වයඹදිග චීනයේ හුවාන් ගඟ අසබඩ තැන්පත් වී ඇති මණ්ඩිවල මීටර් 3ක් යටට හාරද්දී සොයාගත් මැටිබඳුනකයි ඒවා තිබී ඇත්තේ. බඳුණ හොඳින් ආවරණය කර තිබුණා. නේචර් සඟරාවට අනුව මීට වසර 4,000කට පමණ පෙර සිදු වූ භූමිකම්පාවකින් හා “විනාශකාරී ගංවතුරකින්” එම ප්‍රදේශය විනාශ වී ගොස් තිබෙන්න ඇති. නූඩ්ල්ස් වර්ගයක් වන පැස්ටා බිහි වුණේ ඉතාලියේද, මැදපෙරදිගද නැත්නම් නැඟෙනහිර ආසියාවෙද යන්න ගැන විවාදයක් පැවතුණත් මෙය සොයාගත් අයගෙන් කෙනෙක් වන චීනයේ විද්‍යා ඇකඩමියේ හෝයූඅන් ලූ ඒ ගැන පවසන්නේ මෙයයි. “මුලින්ම නූඩ්ල්ස් නිෂ්පාදනය කර තිබෙන්නේ චීනයේ බව අධ්‍යයනවලින් ඔප්පු වී තිබෙනවා.” මෙය වාර්තා වී තිබුණේ ටයිම්ස් පුවත්පතෙයි.