Skip to content

පටුනට යන්න

පාලනය කිරීමට ක්‍රම

පාලනය කිරීමට ක්‍රම

පාලනය කිරීමට ක්‍රම

“අපි රූපවාහිනිය දැම්මාම තියෙන ඕන දෙයක් බලනවා. එකකින් නතර වෙන්නෙත් නැහැ. නිදිමත නං විතරයි ඒක වහලා දාන්නේ” කියා ක්ලෝඩීන් පැවසුවා. “ඒකෙන් ඇස් දෙක අහකට ගන්න හරිම අමාරුයි” කියා සමහරු පවසද්දී තවත් අය කියන්නේ “හුඟක් වෙලා ඒක බලන්න මට ඕනෙ නැහැ ඒත් වෙන මොනවා කරන්නද” කියලයි. ඔබ රූපවාහිනිය නරඹමින් කාලය කා දමනවාද? ඔබේ පවුලේ අයට එයින් සිදු විය හැකි බලපෑම ගැන ඔබ සැලකිලිමත් වෙනවාද? පාලනයකින් යුතුව එය නැරඹීමට මෙන්න ඔබට යෝජනා කීපයක්.

1. කොපමණ වෙලාවක් නරඹනවාද? “බුද්ධිමත් අය තමාගේ හැසිරීම හොඳ හැටි සොයයි” කියා හිතෝපදේශ 14:15හි පවසනවා. නැරඹීමේ පුරුද්ද වෙනස් කළ යුතුදැයි සොයා බැලීම නැණවත්ම දෙයයි. සතියක් පුරා ඔබ රූපවාහිනිය ඉදිරියේ කොතරම් කාලයක් ගත කරනවාද කියා දිනපොතක සටහන් කරන්න. නැරඹූ වැඩසටහන්, ඉන් ඉගෙනගත් දේ සහ එම වැඩසටහන්වලින් කෙතරම් ප්‍රීතියක් ලැබුවාද යන්නත් සටහන් කරන්න. එහෙත් මූලික දේ වන්නේ නැරඹීම සඳහා කොතරම් කාලයක් ගත කරනවාද යන්නයි. සමහරවිට එය දැනගත් විට ඔබ පුදුම වෙයි. එවිට ඔබ වෙනසක් කිරීමට පෙලඹෙන්න ඉඩ තිබෙනවා.

2. නරඹන වෙලාව අඩු කරන්න. දවසක්, මුළු සතියක් හෝ මාසයක් රූපවාහිනිය නොබලන්න වෑයම් කරන්න. එහෙම නැත්නම් සෑම දිනකම ඔබ නරඹන කාලය සීමා කරන්න. සෑම දිනකම බලන වෙලාව පැය භාගයකින් අඩු කළොත් සෑම මාසයකම පැය 15ක් ඔබට ඉතිරි වේවි. දෙවිගේ නමස්කාරයට ඇතුළත් දෙයක් කිරීම, හොඳ පොතක් කියවීම හෝ පවුලේ අය හා මිතුරන් සමඟ කාලය ගත කිරීම වැනි හරවත් ක්‍රියාකාරකම්වලට ඒ කාලය යොදන්න. බොහෝ වේලාවක් රූපවාහිනිය නරඹන්නන්ට වඩා සීමිත වෙලාවක් එය නරඹන අය ඉන් ප්‍රීතියක් ලබන බවයි අධ්‍යයනවලින් පෙන්වන්නේ. නැරඹීමේ කාලය අඩු කිරීමට නම් නිදන කාමරයේ එය තැබීමෙන් වළකින්න. තම කාමරයේ රූපවාහිනියක් තිබෙන දරුවන් එසේ නොතිබෙන දරුවන්ට වඩා වැඩියෙන් පැය එකහමාරක් රූපවාහිනිය නරඹනවා. ඊට අමතරව බාලයෙකුගේ කාමරයේ එය තිබීමෙන් ඔහු නරඹන දේ දැනගන්න දෙමාපියන්ට නොහැකි වෙයි. නිදන කාමරයෙන් රූපවාහිනිය ඉවත් කළොත් තමන්ගේ කාලය ඉතිරි වෙන බව දෙමාපියන්ට හා යුවළයන්ට වැටහේවි. සමහරු කැමැත්තෙන්ම රූපවාහිනියක් තබාගන්නේ නැහැ.

3. කාලසටහනක් සකස් කරගන්න. නැරඹීමට හොඳ වැඩසටහන් තිබෙනවා. නාලිකාවෙන් නාලිකාවකට මාරු කරනවාට හෝ තිබෙන ඕනෑම දෙයක් නරඹනවාට වඩා, නරඹන්න කැමති වැඩසටහන් සහ ඒවා පෙන්වන වේලාවන් කලින්ම සටහන් කරගන්න. ඔබ තෝරගත් වැඩසටහන පටන්ගන්න වෙලාවට රූපවාහිනිය දමා අවසන් වූ වහාම වසා දමන්න. සමහරවිට එවෙලේම නරඹන්නේ නැතුව වැඩසටහන පටිගත කර වඩාත් පහසු වෙලාවක එය නැරඹිය හැකියි. එවිට වෙළඳ දැන්වීම් ඉවත් කර බැලීමටත් හැකි වෙයි.

4. තෝරා බේරාගන්න. අපේ කාලයේ සිටින ජනයා ගැන බයිබලයේ කලින්ම කියා තිබුණේ මෙයයි. “මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, කිසි කාරණයකදී එකඟ නොවන, නින්දා කරන, ආත්ම දමනය නැති, දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර [මෙන්ම] දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය.” රූපවාහිනියේ එවැනි චරිත හුඟක් පෙන්වන බවට ඔබ එකඟ වෙයි. බයිබලයේ අවවාද කරන්නේ “ඔවුන්ගෙන් අහක් වෙන්න” කියායි. (2 තිමෝති 3:1-5) “මුළා නොවන්න. නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය” කියාද අපට අනතුරු අඟවා තිබෙනවා.—1 කොරින්ති 15:33.

තෝරා බේරාගන්න නම් ආත්ම දමනය අවශ්‍යයි. නාට්‍යයක හෝ චිත්‍රපටයක මුල් කොටස දකිද්දිම හොඳ නැහැ කියලා සිතුණත් සිද්ධ වෙන්නේ මොකක්ද කියා දැනගැනීමේ ආශාවෙන් ඔබ මුළු චිත්‍රපටයම නරඹා තිබෙනවාද? බොහෝ අය එසේ කර තිබෙනවා. එහෙත් ඔබට එය නිවා දමන්න ආත්ම ශක්තියක් තිබෙනවා නම් ඔබට වඩාත් වැදගත් කුමක්දැයි ඔබටම පැහැදිලි වෙයි.

රූපවාහිනිය නිපදවීමට බොහෝ කලකට පෙර ගීතිකාකරු මෙසේ ලිව්වා. “මාගේ ඇස් හමුයෙහි කිසි නීච දෙයක් නොතබන්නෙමි.” (ගීතාවලිය 101:3) අප නරඹන දේ තෝරාගනිද්දී එම වදන් මතකයේ තබාගැනීම කදිම දෙයක් නොවෙයිද! ක්ලෝඩීන් වැනි අය රූපවාහිනියෙන් ඈත්වීමට තීරණය කර තිබෙනවා. ඇය පැවසුවේ මෙයයි. “රූපවාහිනිය අපිව අසංවේදී පුද්ගලයන් කරන බව මට වැටහුණේ නැහැ. කලින් එච්චර ගානක් නොවුණ දේවල් දැන් නරඹන්න දැන් අවස්ථාව ලැබෙනකොට මට පිළිකුළක් ඇති වෙන එක පුදුමයක්. මම කලින් හිතුවේ තෝරා බේරාගෙන බලනවා කියලයි නමුත් ඒක එහෙම වෙලා නැහැ. දැන් මම හොඳ දේවල් බලන නිසා මට ලොකු ප්‍රීතියක් දැනෙනවා.”

[8වන පිටුවේ පින්තූරය]

නරඹන්න ගත කරන වෙලාව සටහන් කරගන්න

[8වන පිටුවේ පින්තූරය]

එය නැරඹීම වෙනුවට ඊට වඩා හරවත් දෙයක යෙදෙන්න

[9වන පිටුවේ පින්තූරය]

අදි මදි නොකර එය වසා දමන්න