Skip to content

පටුනට යන්න

මළවුන්ට අපේ උපකාර අවශ්‍යද?

මළවුන්ට අපේ උපකාර අවශ්‍යද?

බයිබලයෙන් පිළිතුරක්

මළවුන්ට අපේ උපකාර අවශ්‍යද?

“එදා ඉඳලා පල්ලිවල . . . [මළවුන්] වෙනුවෙන් යාච්ඤා කළා. . . . ඒ යාච්ඤා මගින් මළවුන්ව පවිත්‍ර කළ නිසා දෙවි මෙන් සිටින්න ඔවුන්ට පුළුවන්.”—“කතෝලික පල්ලිවල ඉගැන්වීමක්.”

ඕනෑම කෙනෙක් මරණය ගැන හුඟක් හිතනවා. සමහරවිට ඔබටත් ඔබ ආදරය කරන කෙනෙක් මිය ගිය විට දුකක් සහ පාළු බවක් දැනෙනවා ඇති. ඒ නිසා ඔබ මෙසේ සිතන්නත් පුළුවන්. මිය ගිය පුද්ගලයාගේ ජීවිතය වෙනත් පැවැත්මක් සඳහා මාරු වෙලා තිබෙනවාද? ඔවුන් සිටින්නේ දුකෙන්ද නැත්නම් සැපෙන්ද? ඔවුන්ට මගේ උපකාර අවශ්‍යද?

බොහෝ ආගමික භක්තිකයන් විශ්වාස කරන්නේ මළවුන්ට අපෙන් උපකාර අවශ්‍ය අතර අපටද ඔවුන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කියලයි. උදාහරණයකට හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ, තමන් ආදරය කරන පුද්ගලයෙකු මිය ගිය විට ඔහුගේ සිරුර ගංගා නම් ගං ඉවුරේ ආදාහනය කර ගඟේ අළු පා කර හැරීමෙන් මිය ගිය පුද්ගලයාගේ ආත්මයට සදාකාලික සතුට ලැබෙන බවයි. නැඟෙනහිර රටවල බෞද්ධයන් විශ්වාස කරන්නේ කඩදාසිවලින් වාහන, නිවෙස්, ඇඳුම් හා සල්ලි සාදා ඒවා මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් පිච්චීමෙන් ඔවුන්ගේ ඊළඟ පැවැත්මේදී ඒවායින් ප්‍රයෝජන ගන්න ඔවුන්ට හැකි වන බවයි. අප්‍රිකාවේ, සොහොන මතට මත්පැන් වත් කරන්නේ ඉන් මිය ගිය පුද්ගලයාට යම් යහපතක් සිදු වෙයි කියා සිතාගෙනයි.

කතෝලික ධර්මයට අනුව කෙනෙක් ඔහු කළ “පාපවලට” පසුතැවිලි නොවී මිය ගියොත් ඔහුට දෙවිගේ අනුමැතිය නොලැබෙයි. එවිට සිදු වන්නේ “‘නිරයට’ යන්නයි.” අනෙක් අතට පසුතැවිලි වී දෙවිගේ අනුමැතිය ලබාගත් කෙනෙකුට ස්වර්ගයේදී “පරම සැපත” ලබන්න පුළුවන්. එහෙත් පරම සැපත ලබාගන්න කලින් මිය ගිය පුද්ගලයාට ‘ගිනෙන් පවිත්‍ර වීම’ සඳහා ශුද්ධ ගිනි ස්ථානයේ යම් කාලයක් ගත කරන්න වෙනවා. එම කාලය තුළදී පල්ලිය මගින් ඔහු වෙනුවෙන් කරන යාච්ඤාවන් ඔහුට උපකාර වෙයි. බොහෝදුරට මෙවැනි යාච්ඤාවන් කෙරෙන්නේ මිය ගිය කෙනාගේ නෑදෑයන් හා මිතුරන්ගේ ඉල්ලීම මතයි.

මිය ගිය ප්‍රේමණීය කෙනෙකු දුක් විඳිනවා නම් ඔහුට උපකාරයක් ලෙස ඔබට හැකි සියල්ල කිරීමට පෙලඹීම සාමාන්‍ය දෙයක්. මිය ගිය අයට අපේ උපකාරය අවශ්‍ය නම් අපි කළ යුත්තේ කුමක්ද කියා දෙවි අපිට පහදා දිය යුතුයි. එසේනම් මළවුන්ට උපකාර කිරීම ගැන බයිබලයේ පවසන දේ අපි සලකා බලමු.

මළවුන්ගේ සැබෑ තත්වය

ඉහත සඳහන් කළ සියලුම වත් පිළිවෙත් පදනම් වී තිබෙන්නේ, කෙනෙක් මිය ගියාට පස්සේ අමරණීය යමක් හෙවත් ආත්මයක් ඉතුරු වෙනවා යන විශ්වාසය මතයි. බයිබලයෙහි උගන්වන්නේ කුමක්ද? “ජීවත් වන්නෝ තමන් නසින බව දනිති; එහෙත් මළාහු කිසිවක් නොදනිති; ඔවුන්ට විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම මතක නැති විය; ඔවුන්ගේ ප්‍රේමය මෙන් ඔවුන්ගේ ද්වේෂයද ඊර්ෂ්‍යාවද දැන් නැති වී තිබේ; ඉර යට කරන ලද කිසි දෙයකින් ඔවුන්ට කොටසක් තවත් නැත. ඔබේ අතින් කරන්ට ලැබෙන කොයි දෙයක් නමුත් ඔබේ වීර්යයෙන් කරන්න; මක්නිසාද ඔබ යන මිනීවළේ ක්‍රියාවක්වත් උපායක්වත් දැනගැන්මක්වත් ප්‍රඥාවක්වත් නැත.”—දේශනාකාරයා 9:5, 6, 10.

පුද්ගලයෙකු මිය ගිය විට ඔහුගේ කල්පනාවට සිදු වන දේ ගැන ගීතිකාකරු මෙසේ සඳහන් කළා: “ඔහුගේ හුස්ම නික්ම යයි; ඔහු ස්වකීය භූමියට හැරී යයි. එදාම ඔහුගේ කල්පනා නැති වේ.”—ගීතාවලිය 146:4.

බයිබලයේ ඇති ප්‍රකාශයන් විශ්වාසදායකයි, සාධාරණයි. මේ ගැන සිතන්න. තම දරුවන්ට උපතින්ම ලැබුණ වැරදි කිරීමේ නැඹුරුවාව නිසා ප්‍රේමණීය පියෙක් ඔවුන්ට දුක් විඳීමට සලස්වයිද? (උත්පත්ති 8:21) කොහෙත්ම නැහැ. එසේනම් අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන් එවැනි දෙයක් කරයිද? පුරාණයේ සිටි සමහර ඊශ්‍රායෙල්වරු තම දරුවන්ව ගින්නට දමා බොරු දෙවිවරුන්ට පූජා කිරීම යෙහෝවා දෙවි පිළිකුල් කළා. එය ‘ඔහු විසින් ඔවුන්ට අණ නොකළාවූ නොසිතුවාවූ දෙයක්.’—යෙරෙමියා 7:31.

මිනිසාගේ පාපයේ ප්‍රතිඵලය මරණය මිස, මරණින් පසු වේදනා විඳීම නෙවෙයි. ‘පාපය සඳහා ගෙවන කුලිය නම් මරණයයි’ කියා බයිබලය පවසන අතර ‘මිය ගිය තැනැත්තා සිය පාපයෙන් නිදහස්’ බව පැහැදිලියි.—රෝම 5:12; 6:7, 23.

මිය ගිය අය දුක් විඳින්නේ නැහැ. ඇත්තටම ඔවුන්ගේ තත්වය හරියට තද නින්දක් හෝ සිහිසුන් තත්වයක් වගෙයි. ඒ නිසා ඔවුන්ට කිසි දුකක් හෝ සැපක් හෝ ලැබෙන්නේ නැහැ. එසේ නම් මළවුන්ට උපකාරයක් වෙනුවෙන් කරන්නාවූ සියල්ලක්ම බයිබලයේ ඇති ඉගැන්වීම්වලට පටහැනියි.

මළවුන් ගැන ඇති බලාපොරොත්තුව කුමක්ද?

ඔබ ප්‍රේම කළ කෙනෙක් මිය ගිය විට ඔහුව සදහටම අමතක කර දමනවා කියා එයින් අදහස් වෙන්නේ නැහැ. ඔවුන් ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තිබෙනවා.

යේසුස්ගේ මිත්‍ර ලාසරුස්ව නැවත නැඟිටුවීමට පෙර යේසුස් මෙසේ පැවසුවා. “මම ඔහුව නින්දෙන් අවදි කරන්න එතැනට යමි.” (යොහන් 11:11) තවත් අවස්ථාවකදී ඔහු පැවසුවේ ‘සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ පිටතට එන්නෝය’ කියායි. (යොහන් 5:28, 29) මිය ගිය අය නැවත නැඟිටින්නේ පෙර කළ ක්‍රියා වෙනුවෙන් දඬුවම් ලබන්න නෙවෙයි. ඔවුන්ට කිසි බාධාවක් නැතුව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා ඉගෙනගැනීමට අවස්ථාවක් ලැබෙනවා. මොන තරම් විශිෂ්ට බලාපොරොත්තුවක්ද!

ඔබ මේ පොරොන්දු ගැන වැඩි විස්තර දැනගන්න කැමතිද? එසේනම් ප්‍රමාද නොවී මෙහි සත්‍යතාව ගැන සොයා බලන්න. ඔබට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

ඔබ මේ ගැන සිතුවාද?

▪ මළවුන්ගේ තත්වය කුමක්ද?—ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5, 6, 10.

▪ ගිනිමය නිරයක දුක් විඳීමට දෙවි මළවුන්ට ඉඩ හරිනවාද?—යෙරෙමියා 7:31.

▪ මළවුන් ගැන බලාපොරොත්තුවක් තිබෙනවාද?—යොහන් 5:28, 29.