Skip to content

පටුනට යන්න

මොවුන් කවුද? අවුරුදු දහසක ඉපැරණි ඉතිහාසයක්

මොවුන් කවුද? අවුරුදු දහසක ඉපැරණි ඉතිහාසයක්

මොවුන් කවුද? අවුරුදු දහසක ඉපැරණි ඉතිහාසයක්

බැලූබැල්මට මෙය විවාහ මංගල්‍යයක් වගෙයි. කෑම බීමවලින් හා සංගීතයෙන් නිවස පිරිලා. හැම පැත්තෙන්ම නෑදැයෝ ඇවිත් මනාලිට හා මනාලයාට සුභ පතනවා. අමුත්තන් 600කට වඩා සිටිනවා. මෙහිදී දෑවැද්ද දෙන්නේ මනාලයයි. එහෙත් මෙය විවාහයට කලින් දා පවත්වන විවාහ පොරොන්දුව ස්ථිර කිරීමේ සාදයයි. විවාහය සිදු වන්නේ ඊළඟ දවසෙයි. එදාට මනාලයා විසින් මනාලිව කැන්දන් ගිහින් ඔහුගේ නිවසේ ලොකු සාදයක් පවත්වනවා.

මෙහි සිටින සියල්ලෝම කතා කරන්නේ ඔවුන්ටම ආවේණික වූ රෝමනි භාෂාවයි. ඔවුන්ගේ භාෂාව පමණක් නොවෙයි සිරිත් විරිත් හා විවාහ චාරිත්‍ර පවා හුඟක් වෙනස්. ඒවා ඔවුන්ටම ආවේණික දේවල් වුවත් තමන්ගේම කියා රටක් හෝ ස්ථිර තැනක්වත් ඔවුන්ට නැහැ. ලොව පුරාම දකින්න ලැබෙන මේ අයව හඳුන්වන්නේ රෝමා කියායි. *

ඔවුන්ව හඳුනාගනිමු

මේ අයගේ සංස්කෘතිය අවුරුදු 1,000ක් පමණ පැරණි වන අතර ඔවුන්ගේ ආදිපියවරුන්ගේ නිජබිම වූයේ උතුරු ඉන්දියාවයි. ඔවුන්ගේ භාෂාවේ යම් යම් වෙනස්කම් සිදු වී තිබුණත් එය ඉන්දියාවෙන් ආ එකක් බව පැහැදිලියි. ඒත් මොවුන් තම මව්බිම වන ඉන්දියාව අත්හැර යුරෝපය බලා පිටත් වීමට හේතුව තවමත් පැහැදිලි නැහැ. සමහර විශාරදයන් විශ්වාස කරන්නේ, මේ අයගේ මුතුන්මිත්තන්ට විවිධ කුසලතාවන් තිබුණ නිසා සහ ඔවුන් සංගීතයට හා රඟපෑමට දක්ෂ අය වුණ නිසා හමුදාවට බැඳුණා කියායි. එමෙන්ම පසුව රටේ යුද්ධ හා විවිධ ගැටුම් ඇති වූ නිසා එම හමුදා කණ්ඩායම් සමඟම ඔවුන් රටෙන් පිට වුණා විය හැකියි කියායි. කෙසේවෙතත් පර්සියාව හා තුර්කිය හරහා ගමන් කළ මේ අය යුරෝපයට ගොඩබැස්සේ ක්‍රිස්තු වර්ෂ 1,300ටත් පෙරයි.

යුරෝපීයයන් මේ අයට සැලකුවේ දෙවිදිහකටයි. සමහර පොත් පත් හා චිත්‍රපටවල පෙන්නුම් කරන්නේ ඔවුන් සංග්‍රහශීලී, සැහැල්ලු දිවි පෙවෙතක් ගෙවන, තැනින් තැනට යන, ජීවිතයේ දුක සැප නිදහසේ සංගීතය මගින් ප්‍රකාශ කරන, සුන්දර ජීවිතයක් ගත කරන සෙනඟක් ලෙසයි. අනෙක් අතට වංක, ගුප්ත, සමාජ ආශ්‍රයක් නැති, අන් අයව නිතර සැක කරන පිටගම්කාරයෝ ලෙසත් ඔවුන්ව සලකනවා. එකින් එකට පටහැනි මේ අදහස් ඇති වුණේ කොහොමද කියා දැනගැනීමට මේ අයගේ ඉතිහාස කතාව බලමු.

රෝමාවරුන්ව කොන් කරයි

මධ්‍යකාලීන යුගයේදී තම ගමට හෝ නගරයට සීමා වී සිටි යුරෝපීයයන් මුල් වතාවට රෝමාවරුන්ව දුටු විට පුදුම වෙන්න ඇති. මේ අය යුරෝපීයයන්ට වඩා හැම පැත්තෙන්ම වෙනස්. සුදු සමක් හා නිල් ඇස් ඔවුන්ට තිබුණේ නැති අතර ඔවුන්ගේ හිසකෙස් කළුම කළුයි. ඉන්දියාවේ තිබෙන කුල හා පන්ති භේද අනුව හැඩගැසුණු මොවුන් යුරෝපයට ගිය පසුවත් මිනිසුන් සමඟ වැඩි ආශ්‍රයක් පැවැත්වූයේ නැහැ. වැඩි කල් නොගොස් යුරෝපීයයන් මොවුන් දෙස බලන්න පටන්ගත්තේ වපර ඇසින්.

ක්‍රම ක්‍රමයෙන් රෝමාවරුන්ව කොන් කරන්න පටන්ගත්තා. ගමකට ඇතුල් වී අවශ්‍ය බඩු මුට්ටු ගැනීම හා පොදු ළිඳකින් වතුර ගැනීම පවා ඔවුන්ට තහනම් කළා. “ඔවුන් පොඩි ළමයින්ව පැහැරගෙන ආහාරයට ගන්නවා” කියා සමහරු කටකතාවක් පැතිරෙව්වා. මේ නිසා සමහර ප්‍රදේශවල නීතියට අනුව රෝමාවරුන්ට සිදු වුණා එළිමහනේ ඔවුන්ගේ ආහාර පිසගන්න. මෙයින් ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවකදී ඔවුන් මොනවද උයන්නේ කියා පරීක්ෂා කර බැලීමට අවස්ථාවක් ලැබුණා. එහෙත් බොහෝ ගම්වාසීන් මෙවැනි පරීක්ෂණ පැවැත්තුවේ මේ අයගේ ආහාර වේලත් නැති කර දමමිනුයි. මේ නිසා සමහර රෝමාවරුන් කෑම බීම සොරකම් කරන්න පටන්ගැනීම පුදුමයක් නෙවෙයි.

රෝමාවරුන් මෙවැනි අසාධාරණකම්වලට මුහුණ දුන්නේ ඔවුනොවුන් අතර තිබූ බැඳීම ශක්තිමත් කරගැනීමෙනුයි. ශතවර්ෂ ගණනාවක් පුරා ඔවුන් සතුටත් සහනයත් ලබා තිබෙන්නේ ඔවුන්ගේ රෝමා පවුලෙන්. රෝමා දෙමාපියන් තම දරුවන්ව හොඳින් හදා වඩා ගන්නවා වගේම දරුවන්ද තම දෙමාපියන් වයසට ගිය විට ආදරයෙන් බලාගන්නවා. හැසිරීම හා සදාචාරය පිළිබඳ ඔවුන්ගේ නීති රීතිවලට ඔවුන් ඇලී සිටිනවා.

තැනින් තැන ගත කරන ජීවිතය

රෝමාවරුන්ව කිසි කෙනෙක් පිළිනොගත්ත නිසා තැනින් තැනට ගොස් ජීවත් වෙන්න ඔවුන්ට සිදු වුණා. මෙවැනි සංචාරක ජීවිතයක් මගින් ඔවුන්ට හැකි වුණා විවිධ කුසලතාවන් දියුණු කරගනිමින් එයින් තම ජීවිකාව සඳහා යමක් උපයාගන්න. රෝමා කාන්තාවන්ට ශ්‍රාස්ත්‍ර කීම හා සම්බන්ධ ක්‍රියා කිරීමේ හැකියාවන් තිබුණා කියා සමහරු විශ්වාස කළ නිසා රෝමාවරුන් එයින් වාසියක් ගන්න උත්සාහ කළා. තැනින් තැනට යන ඔවුන්ට පිටින් එන්නා වූ බලපෑම්වලින් තොරව තමුන්ටම ආවේණික වූ සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට හැකි වුණා. *

ඒ අතරතුරේදී රෝමාවරුන් බොහෝ පීඩා වින්දා. යුරෝපයේ සමහර ප්‍රදේශවලින් මේ අයව පිටුවහල් කළා. වෙනත් ප්‍රදේශවල අය ඔවුන්ව සියවස් ගණනාවක් පුරා වහලුන් කරගත්තා. එක්දාස් අටසිය හැට ගණන්වලදී නිදහස ලැබූ විගස මේ අයගෙන් බොහෝදෙනෙක් බටහිර යුරෝපයටත් අමෙරිකාවටත් විසිර ගියා. ඔවුන් යන යන තැනට ඔවුන්ගේ භාෂාව, සිරිත් විරිත් හා විවිධ කුසලතාවන්ද රැගෙන ගියා.

ඔවුන් බොහෝ කටුක අද්දැකීම්වලට මුහුණ දුන්නත් ඔවුන් සැනසීමක් ලබාගත්තේ සංගීතය මගිනුයි. ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ ෆ්ලැමෙන්කෝ සංගීතය හා නැටුම් ක්‍රමය ඇති වුණේ එම රටට ආ රෝමා අය නිසයි. නැඟෙනහිර යුරෝපයේ සිටි රෝමා සංගීතකරුවන් එම ප්‍රදේශවල ජන ගීවලට තම තාල එකතු කළා. බේතෝවන්, මෝසාට් හා වෙනත් සමහර ප්‍රසිද්ධ බටහිර ශාස්ත්‍රීය සංගීතඥයන් රෝමා සංගීත ක්‍රම ඔවුන්ගේ නිර්මාණවලටද ඇතුළත් කර තිබෙනවා.

නවීන දින රෝමා

අද දින ලොව පුරා රෝමාවරුන් මිලියන දෙකත් පහත් අතර සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන්ගෙන් වැඩිදෙනෙක් වෙසෙන්නේ යුරෝපයේයි. ඒ අයගෙන් බොහෝදෙනෙක් දැන් සංචාරය නොකරනවා වගේම සමහරුන් ඉතා ධනවත් අය. ඒ වුණත් බොහෝ ප්‍රදේශවල ජීවත් වන රෝමාවරුන් තවමත් ගත කරන්නේ අන්ත දුගී ජීවිතයක්.

කොමියුනිස්ට් පාලනය යටතේ නැඟෙනහිර යුරෝපය තිබෙද්දී රට වැසියන් සියලුදෙනාටම සමාන තත්වයක් තිබිය යුතුයි කියා මතයක් තිබුණා. ඒ නිසා පාලකයන් තීරණය කළා රෝමාවරුන්ට නිවෙස් තනා දීමට හා රැකියාවන් ලබා දීමට. මෙයින් ඔවුන්ට හොඳ සෞඛ්‍යයක් ඇතුව සිටින්න හා ජීවන තත්වය ඉහළ නංවාගැනීමට හැකි වුණා. ඒත් හැමෝම මේ අයව එක හා සමාන ලෙස සැලකුවේ නැහැ.

එක්දාස් නවසිය අනූ ගණන්වලදී නැඟෙනහිර යුරෝපයේ විශාල දේශපාලනික විප්ලවයක් ඇති වුණා. එයින් සිදු වුණේ සමහර රෝමා අයට වාසියක් හා බොහෝදෙනෙකුට අවාසියක්. පැරණි ආකල්ප නැවත මතු වූ නිසා රෝමා අය නැවතත් කොන් වුණා. ඔවුන්ගේ සමාජීය හා ආර්ථික තත්වය පහත වැටුණා.

අනර්ඝ බලාපොරොත්තුවක්, යහපත් ජීවිතයක්

ආන්ඩ්‍රෙයා රූමත් රෝමා තරුණියක්. ඇගේ පාසැල් අවදිය ගැන ඇය මතක් කරද්දී ඇයට ඇඬෙනවා. ඇය ඉගෙනගත්තේ නැඟෙනහිර යුරෝපයේයි. ඇගේ පන්තියේ රෝමා ශිෂ්‍යාවකට හිටියේ ඇය පමණයි. ඇගේ පාසැල් කාලය ගැන ඇය පවසන්නේ “මාව නිතරම කොන් කළා. සෙල්ලම්වලට හෝ ක්‍රීඩාවලට හුඟක් වෙලාවට මාව ගත්තේ නැහැ. මම නිතරම හිතුවේ ‘අනේ ආපහු ඉන්දියාවට යන්න පුළුවන් නම් එහෙදි හරි මාව පිළිගනියිනේ’ කියලයි. ‘යනවා යන්න ඉන්දියාවට!’කියලා දවසක් කෙනෙක් මගේ යාළුවෙකුට කෑගහල කියද්දී ඒ යාළුවා කිව්වා ‘සල්ලි තියෙනවා නම් යනවා තමයි’ කියලා. අපි රෝමා අය නිසා කවුරුත් අපිව පිළිගත්තේ නැහැ.” ආන්ඩ්‍රෙයා දක්ෂ නැටුම් ශිල්පිනියක් නිසා ඇය හිතුවේ ඇගේ දක්ෂකමින්වත් ප්‍රසිද්ධියක් හා පිළිගැනීමක් ලැබෙයි කියලයි. එහෙත් ඇගේ යෞවන කාලයේදීම ඊටත් වඩා හොඳ දෙයක් ඇයට ලැබුණා.

ඒ අද්දැකීම ආන්ඩ්‍රෙයා විස්තර කරන්නේ මෙලෙසයි. “දවසක් යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන පිරොස්කා අපේ ගෙදරට ඇවිත් මට බයිබලයෙන් පැහැදිලි කළා දෙවි එක් එක් පුද්ගලයා කෙරෙහි සැලකිල්ලක් දක්වන බව. ඒ නිසා මම කැමති නම් දෙවි සමඟ හොඳ සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන් කියලත් ඇය පැවසුවා. මේක ඇසීම මට ලොකු සතුටක්. දෙවි සියලුදෙනාටම එක හා සමානව සලකනවා කියා දැනගැනීමෙන් මට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වුණා.

“යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පිරොස්කා මාව එක්කන් ගියා. එහිදී රෝමා අය හා රෝමා නොවන අය අතර තිබුණ එකමුතුකම මගේ සිත්ගත්තා. මේ දෙගොල්ලන් අතරින්ම මට සැබෑ මිතුරන් සොයාගන්න පුළුවන් වුණා. පිරොස්කා සමඟ අවුරුදු එකහමාරක් බයිබලය පාඩම් කළාට පස්සේ මමත් යෙහෝවාගේ සාක්ෂිකාරියක් වුණා.” දැන් ආන්ඩ්‍රෙයා සහ ඇගේ ස්වාමිපුරුෂයා, දෙවි සියලු මිනිසුන් කෙරෙහි දක්වන ප්‍රේමය ගැන අනිත් අයටත් කියා දෙමින් පූර්ණකාලීන දේවසේවකයන් ලෙස සේවය කරනවා.

සැබෑ ‘සහෝදරයෝ’

තමාගේ තරුණ කාලය ගැන රෝමා යෞවනයෙක් වන හයිරෝ මෙසේ පැවසුවා. “මගේ යාළුවෝ නීතියට ගරු කළේ නැති නිසා හැමදාම වගේ අපි මොකක් හරි කරදරයකට වැටෙනවා. සැරයක් ඒ අය එක්ක ඉද්දී මම දෙයක් හොරකම් කළ නිසා පොලිස්සියෙන් මාව අල්ලගෙන ගෙදර ගෙනියද්දී ඒගොලන්ට වඩා අම්මා මට මොනවා කරයිද කියන එක ගැනයි මම භයෙන් හිටියේ. මොකද රෝමා අය හැටියට අපේ ගෙවල්වල අපිට උගන්වලා තිබුණේ හොරකම වැරදි දෙයක් කියලයි.”

පසු කාලෙකදී හයිරෝගේ පවුලේ අයටත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුණ ගැසුණා. දෙවිගේ රාජ්‍යය මගින් අගතිය හා වෙනස්කම් කිරීම ඇතුළු මිනිස් සමාජයේ තිබෙන සියලු ප්‍රශ්න ගැටලු විසඳනවා යන බයිබලයේ ඇති පොරොන්දුව හයිරෝගේ හිතට තදින් කාවැදුණා. “රෝමා අය වන අපට අපේම කියලා රාජ්‍ය පාලනයක් කවදාකවත් තිබිලා නැහැ. හැබැයි දේවරාජ්‍ය පාලනය මගින් රෝමා අය වන අපටත් හුඟක් ආශීර්වාද ලැබෙන්න යන නිසා අපි ආසාවෙන් ඒක එනකන් බලන් ඉන්නවා. ඇත්තටම දැනටමත් මම එයින් ප්‍රයෝජන අද්දකිනවා. රාජ්‍ය ශාලාවකට ගිය මුල් වතාවේ සිට පේතෘස් කියපු මේ දෙයෙහි සත්‍යතාව මට දැනුණා. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය.’ (ක්‍රියා 10:34, 35) මේ අය මාව පිළිගත්තා. රෝමා නොවන අය වුණත් අපේම භාෂාවෙන් මට ‘සහෝදරයා’ කියා කතා කරනකොට මට එය අදහාගන්නවත් බැරි වුණා.

“බයිබල් ප්‍රතිපත්තිවලට අනුව මම ජීවිතේ වෙනස් කරපු එක මගේ පවුලේ අයට තේරුම්ගන්න බැරුව ගියා. ඒ නිසා ඔවුන් මට තදින්ම විරුද්ධ වුණා. ඒත් වැඩි කල් නොගොස් මගේ නැදෑයන්ටත්, රෝමා අසල් වාසීන්ටත් මගේ ප්‍රීතිය මෙන්ම බයිබල් ප්‍රතිපත්ති නිසා මා ලැබූ යහපත් ප්‍රතිඵල දැකගන්න හැකි වුණා. දැන් ඔවුනුත් කැමතියි ඔවුන්ගේ ජීවිතත් මේ විදිහට වෙනස් කරගන්න.” හයිරෝ දැන් සභාවක වැඩිමහල්ලෙක් මෙන්ම පූර්ණකාලීන දේවසේවකයෙක් ලෙස වැඩ කරමින් සිටිනවා. ඔහුගේ භාර්යාව වන මේගන් රෝමා කෙනෙක් නූණත් ඇය රෝමා අය ඇතුළු ඕනෑම කෙනෙකුට බයිබලය භාවිත කරමින් දැනුත් අනාගතයේදීත් අර්ථවත් ජීවිතයක් ගත කරන විදිහ උගන්වනවා. “මගේ ස්වාමිපුරුෂයාගේ පවුලේ හැමෝම මාව ආදරෙන් පිළිගෙන තියෙනවා. මම රෝමා කෙනෙක් නූණත් මම රෝමා අය ගැන දක්වන සැලකිල්ල ඔවුන්ට ලොකු සතුටක්” කියා මේගන් පැවසුවා.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සමහර ප්‍රදේශවල ඔවුන්ට අහිකුණ්ටිකයන්, සිගයිනර්, සිගානි හා කිතානෝ වැනි නම් භාවිතා කරනවා. මේවා භාවිත කරන්නේ ඔවුන්ව පහත්කොට සැලකීමටයි. ඔවුන් තමුන්වම හඳුන්වා ගන්නේ රෝමා ලෙසයි. එහි අර්ථය වන්නේ “මිනිස්සු” යන්නයි.

^ 12 ඡේ. රෝමාවරුන් තමන්ගේ සම්ප්‍රදායන්ට බැඳී සිටියත්, ඔවුන් වෙසෙන ප්‍රදේශයේ පොදු ආගමත් වැලඳගත්තා.

[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අද දින ලොව පුරාම රෝමා අයව දකින්න ලැබෙනවා

[23වන පිටුවේ කොටුව/පින්තූර]

යුරෝපයේ නාට්සි යුගයේදී හිට්ලර් විසින් රෝමාවරුන් 4,00,000ක් මෙන්ම යුදෙව්වන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා වෙනත් අයවද මරණයට පත් කළා. හිට්ලර් මේ දේ කරන්න පෙර 1940දී රෝමා කෙනෙක් වන ජනප්‍රිය විකට නළුවෙක් වූ චාලි චැප්ලින්, නාට්සි හමුදාවේ හා හිට්ලර්ගේ ක්‍රියාකාරකම් අළලා මහා ඒකාධිපතියා යන විකට චිත්‍රපටය නිෂ්පාදනය කළා. තවත් රෝමාවරුන්ගෙන් බිහි වූ ජනප්‍රිය කලාකරුවන් වූයේ යූල් බ්‍රයින (නළුවෙක්), රීටා හේවර්ත් (නිළියක්), පැබ්ලෝ පිකාසෝ (චිත්‍ර ශිල්පියෙක්) යන අයයි. එමෙන්ම රෝමා අය අතර සංගීතඥයෝ, ගායකයෝ, ඉන්ජිනේරුවෝ, වෛද්‍යවරු, මහාචාර්යවරු හා මන්ත්‍රීවරුද සිටිනවා.

[හිමිකම් විස්තර]

AFP/​Getty Images

Photo by Tony Vaccaro/​Getty Images

[26වන පිටුවේ කොටුව/පින්තූර]

රෝමා සාක්ෂිකරුවන්

රෝමාවරුන් බොහෝදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වී සිටිනවා. ඔවුන්ගෙන් සමහරු සභාවේ අවේක්ෂකයන් ලෙසත් පූර්ණකාලීන දේවසේවකයන් ලෙසත් දෙවිට සේවය කරමින් සිටිනවා. රජයේ නිලධාරීන් ඇතුළු රෝමා නොවන වෙනත් අය ඔවුන්ව පිළිගන්නේ ආදර්ශවත් සෙනඟක් හැටියටයි. ස්ලෝවේකියාවේ වෙසෙන රෝමා සාක්ෂිකාරයෙක් කීවේ මෙයයි. “දවසක් රෝමා නොවන අසල්වැසියෙක් අපගේ නිවසට ඇවිත්, ‘මගේ පවුල් ජීවිතය කඩාකප්පල් වෙන්නයි යන්නේ. නමුත් මම දන්නවා මට උපකාර කරන්න ඕගොල්ලන්ට පුළුවන් කියලා’ කිව්වා. ‘ඔයා ඇයි එහෙම හිතුවේ’ කියලා අපි ඔහුගෙන් ඇහුවාම ඔහු මෙහෙම කිව්වා. ‘ඕගොල්ලන් අදහන දෙවිට පුළුවන් නම් රෝමාවරු වන ඕගොල්ලන්ට හොඳ තත්වයකට එන්න උපකාර කරන්න දෙවිට පුළුවන් වෙන්න ඕනේ අපිටත් උපකාර කරන්න.’ අපි ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කළ බයිබල් උපදෙස් අඩංගු පොතක් දුන්නා.

“පසුව ඔහුගේ බිරිඳත් ඇවිත් අපෙන් එම ඉල්ලීම කළේ ඔහු එහි පැමිණි බව නොදැනයි. ‘මේ ගෙවල්වල සිටින වෙන කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ අපිට උපකාර කරන්න’ කියා ඇය පැවසුවා. අපි ඇයටත් එම පොතේම පිටපතක් දුන්නා. මේ ගැන අනිත් කෙනාට කියන්න එපා කියා දෙන්නාම අපෙන් ඉල්ලා සිටියා. මාස එකහමාරකට පසුව අපි එම යුවළ සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති අපි අපේ ජීවිතයට අදාළ කරගෙන ජීවත් වන නිසා මිනිසුන් දැන් අපිට ගොඩක් ගරු කරනවා. ඒ නිසා බයිබලයෙන් උපකාර ලබාගැනීම සඳහා ඔවුන් අපි වෙතට එනවා.”

[පින්තූර]

ප්‍රංශයේ නාබොන්

ස්පාඤ්ඤයේ ග්‍රනාඩා

“දේව රාජ්‍යය මගින් සියලුම මිනිසුන්ට ලැබෙන්න යන ප්‍රයෝජන රෝමාවරුනුත් අගය කරනවා.”—හයිරෝ

[22වන පිටුවේ පින්තූරය]

පෝලන්තයේ

[හිමිකම් විස්තර]

© Clive Shirley/​Panos Pictures

[22වන පිටුවේ පින්තූරය]

රෝමාවරුන් එංගලන්තයේ, 1911දී

[හිමිකම් විස්තර]

By courtesy of the University of Liverpool Library

[22, 23වන පිටුවේ පින්තූරය]

ස්ලොවේකියාවේ

[23වන පිටුවේ පින්තූරය]

මැසිඩෝනියාවේ

[හිමිකම් විස්තර]

© Mikkel Ostergaard/Panos Pictures

[24වන පිටුවේ පින්තූරය]

රුමේනියාවේ

[24වන පිටුවේ පින්තූරය]

මැසිඩෝනියාවේ

[24, 25වන පිටුවේ පින්තූරය]

චෙක් ජනරජයේ

[24, 25වන පිටුවේ න්තූර]

ස්පාඤ්ඤයේ

[25වන පිටුවේ පින්තූරය]

ආන්ඩ්‍රෙයා නැටුම් හා සංගීතය මගින් පිළිගැනීමක් සෙව්වා

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Romania: © Karen Robinson/​Panos Pictures; Macedonia: © Mikkel Ostergaard/​Panos Pictures; Czech Republic: © Julie Denesha/​Panos Pictures