Skip to content

පටුනට යන්න

වාහන මංකොල්ලකෑමෙන් ඔබත් ආරක්ෂා වන්න

වාහන මංකොල්ලකෑමෙන් ඔබත් ආරක්ෂා වන්න

වාහන මංකොල්ලකෑමෙන් ඔබත් ආරක්ෂා වන්න

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! ලේඛක විසින්

ඉන්දියාවේ කරච්චි, ස්පාඤ්ඤයේ ලිස්බන්, කෙන්යාවේ නයිරෝබි හා බ්‍රසීලයේ රියෝ ඩි ජැනීරෝ වැනි ලොව පුරා විවිධ නගරවල වාහන මංකොල්ලකෑම් දැන් විශාල ගැටලුවක් වී තිබෙනවා. එක්සත් ජනපදයේ වර්ෂ 1993 සිට 2002 දක්වා, සෑම වසරකම වාහන මංකොල්ලකෑමේ සිද්ධීන් 38,000ක් පමණ වාර්තා වුණා කියා එම රටේ සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලිව පෙන්නුම් කරනවා.

දකුණු අප්‍රිකාවේ ජනගහනය එක්සත් ජනපදයේ ජනගහනය මෙන් හයෙන් එකක් පමණ වුණත්, එහි වාහන මංකොල්ලකෑම් වසරකට 14,000කට වඩා වැඩියෙන් වාර්තා වෙනවා. සිද්ධ වෙන අපරාධවලින් භයානකම එක මෙයයි කියා බොහෝදෙනෙක් පවසනවා. ඊට හේතුව මෙම අද්දැකීම්වලින් පැහැදිලියි. මේවා දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ වෙසෙන අයගේ සැබෑ අද්දැකීම්. ඔබ කවදාහරි මෙවැනි අපරාධයකට ගොදුරු වුණොත් කරන්නේ කුමක්ද කියා මේ අද්දැකීම් මගින් ඔබට දැනගන්න පුළුවන්.

සැබෑ අද්දැකීම්

▪ “මගේ මිතුරිය වන සූසන් සමඟ මමත් අවුරුද්දක පමණ කාලයක් දේවසේවයේ යෙදී සිටියා. කොහොමහරි එක බදාදා දවසක් අපේ ඊළඟ බයිබල් පාඩමට යන්න කලින් අපි තේ ටිකක් බොන්න ගහක් යට වාහනේ නැවැත්තුවා. සූසන් බැහැලා මට තේ කෝප්පෙ අතට දුන්නා විතරයි, එකපාරටම මිනිස්සු දෙන්නෙක් එතනට ආවා. එක්කෙනෙක් සූසන්ගේ බෙල්ලට තුවක්කුවක් තිබ්බා. මම භය වෙලා වාහනෙන් බහින්න හදනකොට අනිත් කෙනා මාව ඇතුළට තල්ලු කරලා, සූසන්වත් ඇතුළට දාලා, ඒ දෙන්නා වාහනේ පදවාගෙන යන්න පටන්ගත්තා. මම හොඳටම භය වුණා. මේ දෙන්නා අපිව දූෂණය කරයිද, නැත්නම් අපිව මරලා දායිද කියලත් මට හිතුණා.”—තරුණ භාර්යාවක් වන අනීකා.

▪ “උදේ 7ට මම වැඩට යන්න පිටත් වුණා. එක හන්දියක මම වාහනේ නැවැත්තුවා. ඒ පැත්තේ වැඩියෙන්ම ඉන්නේ රැකියා නැති අය. එකපාරටම මිනිහෙක් ඇවිත් මගේ බෙල්ලට තුවක්කුවක් තියලා ‘බැස්සෙ නැත්නම් මරනවා’ කියලා මට කිව්වා. ඒ මොහොතේදීම හෙලිකොප්ටරයක් ගියා. ඔහු ඒක පොලිස් එකක් කියලා හිතාගෙන මට වෙඩි තියලා පැනලා දිව්වා. ඒ වෙඩි පහර මගේ බෙල්ල ළඟින් සුෂුම්නාවට වැදුණ නිසා මගේ බෙල්ලෙන් පහළ සම්පූර්ණයෙන්ම පණ නැති වුණා.”—යෞවන පුතෙකු සිටින බැරී.

▪ “අපි කෑමට යන්න ලෑස්ති වෙවී හිටියා. මගේ භාර්යාව වන ලින්සේ එනකම් මම වාහනයට වෙලා බලන් හිටියා. වාහනේ දොරවල් අගුලු දමා තිබුණත් රස්නෙ නිසා මම වීදුරුව යන්තම් ඇරලා තිබ්බා. මම දැක්කා ඉස්සරහයින් දෙන්නෙක් අපේ වාහනය පැත්තට එනවා. නමුත් ඔවුන් ඔවුන්ගේ පාඩුවේ ගමනක් යන නිසා මම ගනන්ගත්තේ නැහැ. මේ දෙන්නා වාහනයට ළං වෙද්දී එකපාරටම වාහනේ දෙපැත්තෙන් ඇවිත් තුවක්කු පෙන්නලා කෑ ගහන්න පටන්ගත්තා. ඔවුන් කියපු විදිහට මම වාහනය පණ ගැන්නුවා. මාව පස්සට දාලා ඔවුන් දෙන්නා ඉස්සරහා ඉඳගෙන මට කිව්වා හෙල්ලෙන්නවත් එපා කියලා. එක්කෙනෙක් වාහනය පදවාගෙන යන අතර අනිත් කෙනා කිව්වා මාව මරන්න යනවා කියලා. මම ඔවුන්ට පැවසුවා මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් කියලා. මම භය වෙලයි හිටියේ. ඒ නිසා දිගටම යාච්ඤා කළා. මම ලින්සෙ ගැනත් හිතුවා. වාහනය විතරක් නෙවෙයි තමාගේ ස්වාමිපුරුෂයත් නැති වෙලා කියලා එයා දැනගත්තාම එයාට ඒක දරාගන්න පුළුවන් වෙයිද?”—සංචාරක අවේක්ෂකයෙක් හා දෙමාපියෙක් වන ඇලන්.

මෙම අද්දැකීම් තුළින් පෙන්නුම් කරන්නේ වාහන මංකොල්ලකෑම් හදිසියේම බලාපොරොත්තු නොවූ අවස්ථාවන්වලදී සිදු විය හැකි බවයි. මේ අපරාධකරුවන් හැසිරෙන්නේ කොහොමද කියාත් මේ අද්දැකීම්වලින් අපට පැහැදිලි වෙනවා. එමනිසා පාළු තැනක් නොවන ස්ථානයක පවා වාහන නවතා තැබීම හෝ ටිකක් ගිමන් හැරීම සඳහා නැවතී සිටීම සුදුසු නැහැ. ඒ වගේම හන්දිවල හෝ සමහරවිට ඔබේම නිවස ඉදිරිපිට වුණත් මෙය සිදු වෙන්න පුළුවන්.

පසුව වූ දේ

සූසන්ගේ හා අනීකාගේ අද්දැකීමේ අවසානය හොඳ අතට හැරුණා. වාහනය පැහැර ගත් අය වාහනය පදවගෙන යන අතරේදී මෙම කාන්තාවන් දෙන්නා ඔවුන් කරමින් සිටි බයිබල් අධ්‍යාපනික වැඩය ගැන පැහැදිලි කළා. මේ මිනිසුන් දෙදෙනාට ඔවුන්ගේ සිත වද දුන්නා. “ඔවුන් කරපු දේට අපෙන් සමාව ඉල්ලුවා” කියා අනීකා පැවසුවා. “මේක කරන්නේ කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්නයි කියලා කිව්වාම, දෙවි දුප්පත්කමට හා දුක් වේදනාවන්ට ඉඩ දීමට හේතුව අපි ඔවුන්ට පැහැදිලි කළා.” බයිබලයේ තිබෙන සත්‍යයයන් මේ මිනිසුන් දෙදෙනාගේ සිතට කා වැදුණා. පස්සේ ඔවුන් අපෙන් ගත්ත සල්ලි සහ අත්ඔරලෝසු ආපසු දුන්නා. සූසන්ගේ හා අනීකාගේ ජීවිතවලට කිසිම හානියක් කළේ නැහැ. “ඉදිරියේදී නැවත සැරයක් මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදු වුණොත් කරන්න ඕනෙ මොනවද කියලත් අපිට කියලා දුන්නා” කියා සූසන් පැවසුවා. “ඔවුන් අපිට කිව්වා ආපහු නම් තේ බොන්න පාරේ කොහෙවත් නතර කරන්න එපා කියලා” කියා අනීකා පවසයි. අපි ඔවුන්ට බයිබලය හා සම්බන්ධ ප්‍රකාශන දුන්නා. ඔවුන් ඒවා පිළිගෙන අපිට කිසි හානියක් නොකර බැහැලා ගියා.

සංචාරක අවේක්ෂකයෙකු වූ ඇලන්ට සිදු වුණේ මෙයයි. පාළු තැනකට ආවට පස්සේ ඔහුව වාහනයෙන් බැස්සුවා. ඇලන්ගේ වාහනය නැති වුණාට ඔහු ස්තුතිවන්ත වෙනවා ඔහුගේ ජීවිතය බේරුණාට. ඇලන් පවසන්නේ මෙසේයි. “මම කලබල වුණේ නැහැ. ඒ වගේම ඔවුන් එක්ක රණ්ඩු කරන්නත් ගියේ නැති නිසා වෙන්න ඇති මගේ ජීවිතේ බේරුණේ. කොහොමවුණත් මේකෙන් මම එක දෙයක් ඉගෙනගත්තා. අපි සිටින්නේ සාතන්ගේ දුෂ්ට ක්‍රමයේ අවසාන දවස්වල නිසා නිතරම සැලකිල්ලෙන් සිටිය යුතුයි.” පසුදා ඇලන් හා ලින්සෙ නැවතත් එම ප්‍රදේශයටම ගියා ඔවුන්ගේ සේවය සඳහා. ඒ ගැන ඇලන් කියන්නේ “දවස පුරාම අපි යාච්ඤා කළා. අපි පුදුම අවධානයකින් තමයි හිටියේ. එදා දවස ගෙවුණේ සාමාන්‍යය විදිහට නෙමෙයි. එහෙත් යෙහෝවා දෙවි අපට ‘සාමාන්‍යය ඉක්මවූ බලය’ ලබා දුන්නා” කියලයි.—2 කොරින්ති 4:1, 7.

බරපතළම හානිය සිදු වුණේ බැරීටයි. ඔහු අවුරුදු 11ක් පුරාම රෝද පුටුවට පමණක් සීමා වෙලා ඉන්නවා. බැරීට මෙම අද්දැකීම අමිහිරි වුණත් ඔහු තවමත් සිටින්නේ සිනහවෙන්. දෙවි ගෙනෙන්න යන පාරාදීස පොළොව ගැන ඔහුට තිබෙන ඇදහිල්ල ඒ වගේම ශක්තිමත්. (2 පේතෘස් 3:13) බැරී දිගටම ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වන අතර ලැබෙන සෑම අවස්ථාවකදීම ඔහුගේ විශ්වාසයන් අන් අය සමඟ බෙදාගන්නවා. “යෙහෝවා දෙවිට සේවය කිරීම ලොකු සතුටක්. රෝද පුටුවක සිටියත් යෙහෝවා දෙවි මට කරලා තිබෙන දේවල් මතක් කරගැනීම, දේවල් විඳදරාගැනීමට මට උපකාරයක්. ඉතාමත් ඉක්මණින් මේ දුෂ්ට ක්‍රමය අවසාන වෙන්න යනවා. එදාට නැවතත් මට ඇවිදීමට හැකියාව ලැබීම මොන තරම් පුදුමාකාරද” කියා බැරී පවසනවා.—යෙසායා 35:6; 2 තිමෝති 3:1-5

දකුණු අප්‍රිකාවේ බලධාරීන් විසින් වාහන මංකොල්ලකෑම වැළැක්වීමට උත්සාහ දරා තිබෙනවා. එහෙත් වාහන මංකොල්ලකෑම ලෝකයේ සිදු වෙන අතර එය වැඩි වැඩියෙන්ද සිදු වෙමින් පවතිනවා. සැබෑ ක්‍රිස්තියානීන් විශ්වාස කරන්නේ අපරාධ හා ප්‍රචණ්ඩත්වය අවසාන කරන්න පුළුවන් වෙන්නේ දෙවිගේ රාජ්‍යයට පමණක් බවයි.—ගීතාවලිය 37:9-11; මතෙව් 6:10.

[14වන පිටුවේ කොටුව/පින්තූරය]

ඔබේ වාහනය ආරක්ෂා කරගැනීම සඳහා

▪ අපරාධවලට ප්‍රසිද්ධ ප්‍රදේශයක ඔබ ඔබේ වාහනය පදවනවා නම්, නිතරම දොරවලට අගුල් දමා ජනෙල්වල වීදුරු වසා තබන්න.

▪ හන්දියක වාහනය නතර කරන විට, සැක සහිත පුද්ගලයන් පාරේ සිටිනවාද කියා පරීක්ෂා කර බලන්න.

▪ නවතා ඇති වාහනයක් හා ඔබේ වාහනය අතර යම් දුරක් තබා නතර කිරීමෙන්, හදිසියකදී ඔබේ වාහනය ඉක්මනින් පිටතට ගත හැකි වෙයි.

▪ ඔබ වාහනයේ යන අතරේදී පිටිපස්සෙන් කවුරු හරි හැප්පුවොත් එය අපරාධවලට ප්‍රසිද්ධ ප්‍රදේශයක් නම් වඩා සුදුසු දේ වන්නේ එතනම බහින්නේ නැතිව ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යෑමයි.

▪ ඔබේ නිවස අවට කිසියම් පිරිසක් සිටිනවා දැක්කොත් කල්පනාකාරී වෙන්න. එතන නතර නොකර පොඩි රවුමක් ගිහින් එන්න. නැත්නම් ළඟම තිබෙන පොලිස් ස්ථානයට යන්න.

▪ පාළු තැනක ඔබ වාහනය නතර කළොත්, වටපිට සිදු වන දේ ගැන සැලකිලිමත් වෙන්න. යම් අනතුරක් ඇති බව හැඟුණොත්, වාහනය අරන් වෙන පැත්තකට යන්න.

[14වන පිටුවේ පින්තූරය]

රෝද පුටුවේ සිටියත් බැරී ඉන්නේ සතුටින්.