Skip to content

පටුනට යන්න

අඳුර කපා යන “පුංචි කෝච්චිය”

අඳුර කපා යන “පුංචි කෝච්චිය”

අඳුර කපා යන “පුංචි කෝච්චිය”

▪ බ්‍රසීලයේ ගැමි පළාත්වල අඳුර වැටුණට පස්සෙයි මේ පුංචි ‘කෝච්චියේ’ ගමන කැලෑවෙන් ඇරඹෙන්නේ. අඳුර කපාගෙන ඉදිරියට යන්න උපකාර වන රතු පාට “ප්‍රධාන ලාම්පු” දෙකක් තිබෙන අතර, ‘කෝච්චියේ’ දෙපැත්තේ කොළ හෝ කහ පාට අතර වර්ණවලින් යුත් පහන් ජෝඩු 11ක් දකින්න තිබෙනවා. මෙම අඟල් දෙකේ කෝච්චිය පීලිවල ගමන් කරන එකක් නොවෙයි. ඇත්තටම මෙය උතුරු හා දකුණු අමෙරිකාවේ සිටින කුරුමිණි වර්ගයක්. ගැහැනු සතා උගේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ පණුවෙක් ලෙසයි. උන්ගේ හැඩය හා දෙපැත්තේ දිස්වන පාටවල් නිසා බ්‍රසීලයේ ගම්මුන් උන්ට කියන්නේ කෝච්චි පණුවා නැත්නම් පුංචි කෝච්චිය කියායි.

දවල් වරුවේ මේ දුඹුරු පැහැති පණුවාව දකින්න අමාරු වුණත් රෑට උන් විවිධ පාටවලින් දිස් වෙන්න පටන්ගන්නවා. උන් රතු, තැඹිලි, කහ හා කොල පාටට රත් නොවන එළියක් විහිදුවන්නේ ලුසිෆරින් යන කාබනික රසායන ද්‍රව්‍යය හා ලුසිෆරෙස් නමැති එන්සයිමයේ උපකාරයෙනුයි.

පර්යේෂණවලින් සොයාගෙන තිබෙන්නේ කෝච්චි පණුවාගේ ඉදිරිපස තිබෙන රතු “ප්‍රධාන ලාම්පු” නිතරම දැල්වෙන අතර උන්ගේ ප්‍රියතම ආහාරය වන හැකරැල්ලන්ව සෙවීමට උන් එය පාවිච්චි කරන බවයි. ඒ වගේම දෙපැත්තේ එළිය විහිදු වන්නේ උන්ට යම් තර්ජනයක් ඇති බව දැනුණ විටයි. කුහුඹුවන්, ගෙම්බන් හා මකුළුවන්ට ඉන් දෙන පණිවුඩය නම් “අනතුරුදායකයි! මාව කෑමට ගන්න එපා” යන්නයි. හැකරැල්ලෙක්ව ගොදුරු කරගන්න විට හා බිත්තර රකින විටත් දෙපැත්තේ ආලෝකයක් දිස් වෙයි. සාමාන්‍යයෙන් මේ එළිය දිගටම පත්තු නොවන අතර තප්පර කිහිපයක් ඇතුළත පත්තු වී නැවත අඳුරු වෙනවා. පණුවාට කැමති වාර ගණනක් මෙය කළ හැකියි.

කැලෑ බිමේ ඉන්න පුංචිම සතුන් අතර වුණත් අලංකාර හා පුදුමාකාර නිර්මාණ දකින විට, “පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය” කියා ගීතිකාකරු අපගේ මැවුම්කාර දෙවිට දුන් ප්‍රශංසාව අපටත් මතක් වෙනවා.—ගීතාවලිය 104:24.

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Robert F. Sisson/​National Geographic Image Collection