Skip to content

පටුනට යන්න

ඇයි දෙවිට අපේ දුක නොපෙනෙන්නේ?

ඇයි දෙවිට අපේ දුක නොපෙනෙන්නේ?

ඇයි දෙවිට අපේ දුක නොපෙනෙන්නේ?

සමහරවිට කෙනෙක් “ඇයි” කියා අසන්නේ සැනසීම මෙන්ම පිළිතුරක් බලාපොරොත්තුවෙන්. දරාගත නොහැකි වේදනාවකදී අසන ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම සැනසිලිදායක පිළිතුරක් අවශ්‍යයි. බයිබලයෙන් එවැනි සැනසීමක් ලබාගත හැකිද? මේ කාරණය සම්බන්ධයෙන් ඉතා වටිනා බයිබල් සත්‍යයන් තුනක් ගැන බලමු.

පළමුව, දෙවි මිනිසාට දුක් විඳින්න ඉඩහැර බලා සිටින්නේ ඇයි කියා ඇසීම වරදක් නෙවෙයි. එවැනි ප්‍රශ්නයක් ඇසීම දෙවි කෙරෙහි ඇදහිල්ල මදිකමක් හෝ ඔහුට අගෞරව කිරීමක් කියා සමහරු කල්පනා කරනවා. එනමුත් ඔබ මෙම ප්‍රශ්නය අසන්නේ අවංක සිතකින් නම් එය ඔබ පමණක් අසන ප්‍රශ්නයක් නොවන බව මතක තබාගන්න. ඇදහිලිවන්ත අනාගතවක්තෘ කෙනෙක් වූ හබක්කුක්ද දෙවිගෙන් මෙසේ ඇසුවා. “තාඩන පීඩන හා බලාත්කාරය මා අවටින් ඇත. කලකෝලහාල හා අඬදබර හැමතැනම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ සලසා ඇත්තේ මක්නිසාද?” (හබක්කුක් 1:3, අන අනුවාදය) මෙසේ ඇසූ විට යෙහෝවා දෙවි හබක්කුක්ට තරවටු කළේ නැහැ. ඒ වෙනුවට ඔහු එම ඇදහිලිවන්ත මිනිසා ඇසූ ප්‍රශ්න අපට කියවා බැලීම සඳහා වාර්තා කරන්න සැලැස්සුවා.—රෝම 15:4.

දෙවනුව, ඔබේ දුක දෙවිටත් දැනෙන බව වටහාගැනීම වැදගත්. දෙවි අපෙන් ඈත්ව සිටින ගුප්ත කෙනෙක් නොව ‘යුක්තියට ප්‍රිය කරන’ කෙනෙක්. දුෂ්ටකම හා එයින් උපදවන වේදනාව ඔහුට පිළිකුලක්. (ගීතාවලිය 37:28; හිතෝපදේශ 6:16-19) නෝවාගේ කාලයේදී පොළොව පුරා ප්‍රචණ්ඩත්වය පැතිර තිබූ නිසා දෙවි “තමන් හෘදයෙන් ශෝක” වුණා. (උත්පත්ති 6:5, 6) එදා සිටි දෙවිමයි අදත් සිටින්නේ. අද දින සිදු වන දේ ගැන ඔහුට හැඟෙන්නේත් එදා වගේමයි.—මලාකි 3:6.

තුන්වනුව, දුෂ්ටකම ඇති කර තිබෙන්නේ දෙවි නෙවෙයි. බයිබලයේ මෙය පැහැදිලිව දක්වනවා. මිනී මැරුම් හා ත්‍රස්තවාදය පිටුපස සිටින්නේ දෙවි කියා කීම ඔහුට අවමන් කිරීමක්. යෝබ් 34:10හි පවසන දේ බලන්න. “දුෂ්ටකම් කිරීම දෙවිගෙන්ද අයුතුකම් කිරීම සර්වපරාක්‍රමයාණන්ගෙන්ද දුරු වේවා.” එලෙසම, යාකොබ් 1:13හි මෙසේ පවසනවා. “පරීක්ෂා කරනු ලබද්දී, “දෙවි විසින් මාව පරීක්ෂා කරනු ලබන්නේය” යි කිසිවෙක් නොකියාවා! මන්ද, නපුරු දෙයින් දෙවිව පරීක්ෂා කළ නොහැක. ඔහුද නපුරු දෙයින් කිසිවෙකුව පරීක්ෂා කරන්නේ නැත.” කවදා හෝ දිනක ඔබ යම් වේදනාවක් විඳ ඇද්ද ඒ දෙවි නිසා නොවන බව ස්ථිරයි.

ලෝකයේ පාලකයා කවුද?

ඉහත සඳහන් තොරතුරුවලින් යමක් පැහැදිලි වුණත්, දෙවි ප්‍රේමණීය, යුක්තිසහගත හා බලවත් කෙනෙක් නම් ඇයි තවමත් නපුරු දේවල් පවතින්නේ? මුලින්ම පොදුවේ තිබෙන එක වැරදි වැටහීමක් ඉවත් කරගැනීම අත්‍යවශ්‍යයි. බොහෝ අය සිතන්නේ සෑම දෙයක්ම පාලනය කිරීමේ හැකියාව තිබෙන සර්වබලධාරි දෙවි මේ ලෝකයේ පාලකයා කියායි. උදාහරණයකට සෙමනේරියක සභාපති පැවසුවේ “මේ විශ්වයේ පවතින එක පරමාණුවක්වත් එක අණුවක්වත් දෙවිට නොදැනුවත්ව පාලනය වෙන්නේ නැහැ” කියායි. ඇත්තෙන්ම බයිබලයේ උගන්වන්නේ එයද?

මේ ලෝකය පාලනය කරන තැනැත්තා ගැන බයිබලයේ පවසන දේ දැනගැනීමෙන් හුඟදෙනෙක් මවිතයට පත් වෙනවා. උදාහරණයකට 1 යොහන් 5:19 පවසන්නේ මෙයයි. ‘මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත් බව අපි දනිමු.’ මේ දුෂ්ටයා කවුද? යේසුස් ක්‍රිස්තුස් ඔහුව හැඳින්නුවේ “ලෝකයේ පාලකයා” වන සාතන් නමැති යක්ෂයා ලෙසයි. (යොහන් 14:30) මින් යමක් පැහැදිලි නොවන්නේද? කෲර, රැවටිලිකාර මෙන්ම ද්වේෂසහගත සාතන් නිසයි ජනයා බෙහෙවින් දුක් වේදනා විඳින්නේ. එහෙත්, දෙවි ඇයි සාතන්ට පාලනය කිරීමට ඉඩහැර තිබෙන්නේ?

ඒදන්හිදී පැන නැඟි ප්‍රශ්නයක්

තම දරුවන්ට හුඟක් ආදරේ, යුතුකම් නොපිරිහෙළා ඉටු කරන දෙමාපියෙකු තම දරුවන්ට බොරු කියන බවටත්, අනිසි ලෙස ඔවුන්ව පාලනය කරන බවටත්, අවශ්‍ය දේවල් නොදෙන බවටත් ප්‍රසිද්ධියේ චෝදනා කළොත්, එම දෙමාපියාට කෙසේ හැඟේවිද? එය අසත්‍ය බව ඔප්පු කිරීමට ඔහු හෝ ඇය එම චෝදනා එල්ල කළ කෙනාට පහර දේවිද? කොහෙත්ම නැහැ. ඇරත් එසේ ප්‍රතික්‍රියා කළොත් චෝදනා කළ තැනැත්තාගේ චෝදනාව සත්‍යයක් බව ඔප්පු විය හැකියි.

මේ උදාහරණයෙන් මිනිස් ඉතිහාසයේ ආරම්භය සිදු වූ ස්ථානය වන ඒදන්හිදී යෙහෝවා දෙවිට විරුද්ධව එල්ල කළ චෝදනාවට ඔහු ප්‍රතිචාරය දැක්වූ ආකාරය පැහැදිලි කරගන්න පුළුවන්. තම භූමික දරුවන් වූ ආදම් සහ ඒව යන මුල් මිනිස් යුවළට පොළොව පුරා පැතිර ඒක යටත් කරගැනීමටත්, එය පාරාදීසයක් බවට පත් කිරීමටත් දෙවි අපූරු වැඩ කොටසක් පැවරුවා. (උත්පත්ති 1:28) ස්වර්ගයේ සිටින දෙවිගේ දස දහස් ගණන් දූතයන්ද මෙම වැඩ කොටස ගැන දැඩි උනන්දුවක් දැක්වුවා.—යෝබ් 38:4, 7; දානියෙල් 7:10.

පරිත්‍යාගශීලී කෙනෙකු වන යෙහෝවා දෙවි ආදම් සහ ඒවට එම මනහර උයන නිවස කර දුන් අතර එහි විවිධ රසයෙන් යුත් පලතුරු ගස් තිබුණා. නමුත් එක ගසකට අත තැබීම තහනම් කළා. එම ගස නම් කළේ “යහපත හා නපුර දැනගැනීමේ ගහ” කියායි. මේ ගසෙන් පමණක් නොකා සිටීමෙන් ආදම් සහ ඒවට තම පියාණන් කෙරෙහි පූර්ණ විශ්වාසය පෙන්වන්න හැකියාව තිබුණා වගේම තම දරුවන්ට හොඳ දේ හා නරක දේ තීරණය කිරීමට අයිතිය තිබෙන්නේ දෙවිට බවත් ඔවුන් වටහාගත යුතු වුණා.—උත්පත්ති 2:16, 17.

එහෙත් දෙවිගේ ස්වර්ගික පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් තමාට නමස්කාරය ලබාගැනීමට ආශා වූ නිසා තහනම් කළ ගසෙන් ගෙඩි කෑවොත් ඔබ නසින්නේ නැහැ කියා ඒවට පැවසුවා. (උත්පත්ති 2:17; 3:1-5) මෙම දුෂ්ට දේවදූතයා වන සාතන් හිතා මතාම දෙවිට විරුද්ධ වී දෙවි බොරුකාරයෙක් කියා කිව්වා. ආදම් සහ ඒව ලැබිය යුතුව තිබූ දැනුමත් දෙවි ඔවුන්ට ලබා දී නැහැයි කියා සාතන් දොස් පැවරුවා. එමනිසා මිනිසාටම යහපත හා අයහපත තීරණය කිරීමට හැකි බවයි සාතන් ඇඟෙව්වේ. කොටින්ම සාතන් ඇඟෙව්වේ පාලකයා හැටියටත් පියෙකු හැටියටත් සුදුසුකමක් දෙවිට නැහැ වගේම තමාට ඒ කාර්ය වඩාත් හොඳින් කරන්න පුළුවන් බවයි.

එම කපටි හා දේවේෂසහගත බොරු කීම හේතුවෙන් මෙම දේවදූතයා සාතන් නමැති යක්ෂයා බවට පත් වුණා. මේ නම් දෙකේ අර්ථය “එදිරිවාදියා” හා “අපහාස කරන්නා” යන්නයි. ආදම් හා ඒව සාතන්ගේ පැත්ත ගෙන දෙවිව ප්‍රතික්ෂේප කළා.—උත්පත්ති 3:6.

ඔවුන්ව ක්ෂණිකවම විනාශ කිරීමට යෙහෝවාට හැකිකම තිබුණා. නමුත් දරුණු පළිගැනීමකින් ඉහත ප්‍රශ්න විසඳිය නොහැකියි. සාතන් දෙවිට අභියෝග කරද්දී තවත් දස දහස් ගණන් දේවදූතයන් ඊට සවන් දෙමින් සිටි බවත් අමතක නොකරන්න. ඉන්පසු තවත් දේවදූතයන් විශාල සංඛ්‍යාවක් සාතන්ට එකතු වුණා. ඔවුන් භූතයන් බවට පත් වුණා.—මාක් 1:34; 2 පේතෘස් 2:4; යූද් 6.

දෙවි මැදිහත් නොවන්නේ ඇයි?

දෙවිගෙන් ඈත්ව තනි තීරණ ගැනීමට ආදම්ව හා ඒවව රැවටීමෙන් සාතන් කළේ ඇත්තෙන්ම ස්වාධීන පවුලක් බිහිවීමට සැලැස්වීම නොව තමාගේ අධිකාරිය යටතට ඔවුන්ව ගැනීමයි. මේ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ පවුල අනුගමනය කළේ තම “පියා” වන යක්ෂයාවයි. (යොහන් 8:44) සාතන්ගේ ප්‍රමිතිවලට අනුව තම ජීවිත හැඩගස්වා ගැනීමෙන් ඔවුන්ට සම්පූර්ණ නිදහස හා කල්පවතින සතුට නොලැබෙන බව යෙහෝවා හොඳින් දැන සිටියා. එහෙත් දෙවි කැරළිකාරයන්ට රිසි පරිදි යන්න ඉඩහැරියේ ඒදන් උයනේදී නැඟූ ප්‍රශ්නවලට සම්පූර්ණ විසඳුමක් දීමට එකම මඟ එය නිසයි.

දැනට මිනිසා අවුරුදු 6,000ක් පුරා විවිධ පාලන ක්‍රම අත්හදා බලමින් විනය පිළිබඳ නීති රීති මාලාවක් සකස් කරගෙන ලෝක සමාජ ක්‍රමයක් පිහිටුවාගෙන තිබෙනවා. එයින් අද්දකින දේට ඔබ කැමතිද? මිනිසා දැන් සිටින්නේ සතුටෙන්, සමාදානයෙන් සහ එකමුතුවෙන්ද? ඇත්තෙන්ම නැහැ! ඒ වෙනුවට යුද්ධ, සාගත, ස්වාභාවික විපත්, අසනීප හා මරණය අද්දකිනවා. බයිබලයේ පවසන ආකාරයට මිනිසා “නිෂ්ඵලභාවයට,” පත්ව “කෙඳිරිගාමින්” හා “වේදනා” විඳිමින් සිටිනවා.—රෝම 8:19-22; දේශනාකාරයා 8:9.

එහෙත් සමහරු මෙසේ ඇසීමට ඉඩ තිබෙනවා. ‘දෙවි මේ දුක්දායක දේවල් නොවළක්වන්නේ ඇයි?’ මේවා ඇති වුණේ දෙවිට අකීකරු වූ නිසයි. අකීකරු වීමෙන් ඇති වන පලවිපාක ඔවුන්ට දැනෙන්න ඉඩහැරියේ නැත්නම් එය අසාධාරණයක් වන අතර සාතන් නැඟූ මුල් ප්‍රශ්නයට නියම පිළිතුරක්ද ලැබෙන්නේ නැහැ. * සාතන්ගේ ක්‍රමය සාර්ථක විය හැකි බව හා සන්තෝෂයට මඟ එය බව පැවසූ හානිකර බොරුවට යෙහෝවා දෙවි එකඟ වන්නේවත්, සිදු වන දේ දිහා නිකම් බලාගෙන ඉන්නේවත් නැහැ. ඇත්තෙන්ම අපි දැන් සලකා බලන්න යන්නේ දෙවි ඉතා ක්‍රියාශීලීව සිටින ආකාරය ගැනයි.

“මාගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටින්නේය”

යේසුස්ගේ එම වදන්වලින් පෙනී යන්නේ සිද්ධීන් එකිනෙක සිදු වෙන ආකාරය දෙස දෙවි නිකම් බලාගෙන සිටින්නේ නැති බවයි. (යොහන් 5:17) ඒදන්හි කැරැල්ල සිදු වූ කාලයේදී වගේම ඔහු අදත් කාර්ය බහුලව සිටිනවා. උදාහරණයකට, අනාගතයේදී ‘වංශයක්’ මාර්ගයෙන් සාතන්ව හා ඔහුගේ පැත්ත ගත් සියලුදෙනාවම විනාශ කරන බවට වූ පොරොන්දුව වාර්තා කිරීමට දෙවි බයිබල් ලේඛකයන්ට බලය දුන්නා. (උත්පත්ති 3:15) ඊට අමතරව දෙවි එම වංශය මගින් කීකරු මිනිසුන්ගේ දුක් වේදනාවලට හේතු වන සියල්ලත්, මරණයත් නැති කර ඔවුන්ට ආශීර්වාද කිරීම සඳහා ආණ්ඩුවක් එනම් ස්වර්ගික රාජ්‍යයක් පිහිටුවනවා.—උත්පත්ති 22:18; ගීතාවලිය 46:9; 72:16; යෙසායා 25:8; 33:24; දානියෙල් 7:13, 14.

එම මවිතකර දේවල් ඉටු කිරීමේ පියවරක් ලෙස එම රාජ්‍යයේ පාලකයා වීමට සිටි තැනැත්තාව යෙහෝවා දෙවි විසින් පොළොවට එව්වා. මොහු දෙවිගේම පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්. (උත්පත්ති 3:16) ඔහු දෙවිගේ කැමැත්තට අනුව දෙවිගේ රාජ්‍යය ගැන ඉගැන්නුවා; (ලූක් 4:43) කුසගින්නේ සිටි දහසකුත්දෙනාව පෝෂණය කළා; අසනීපවූවන්ව සුව කළ අතර මළවුන්වත් නැඟිට්ටෙව්වා; චණ්ඩ මාරුතයක් සන්සුන් කරමින් කාලගුණික තත්වයන් පාලනය කිරීමට බලය තිබෙන බවත් පෙන්නුවා. මිහිපිට සිටියදී ඔහු කළ එම දේවලින් පෙන්නුම් කෙරුවේ රාජ්‍යයේ රජු ලෙස ඉදිරියේදී තමා ඉටු කරන දේවලුයි. (මතෙව් 14:14-21; මාක් 4:37-39; යොහන් 11:43, 44) ඔහු ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “දෙවිගේ පොරොන්දු කොපමණ වුවත්, යේසුස් මාර්ගයෙන් ඒවා එසේය වී තිබේ.”—2 කොරින්ති 1:20.

යේසුස්ට සවන් දී, සාතන්ගේ පාලනය යටතේ පවතින “ලෝකයෙන් වෙන්” වන අයව යෙහෝවා දෙවිගේ පවුලේ සාමාජිකයන් ලෙස සාදරයෙන් පිළිගනු ලබනවා. (යොහන් 15:19) ලෝක ව්‍යාප්තව සිටින සැබෑ ක්‍රිස්තියානීන්ගෙන් සැදි මේ පවුල ප්‍රේමයෙන් පාලනය වී, සාමයට කැප වී, ජාති කුල මල භේද ඉවතලෑමේ අධිෂ්ඨානය ඇතුව සිටිනවා.—මලාකි 3:17, 18; යොහන් 13:34, 35.

මේ ලෝක තත්වයට සහයෝගය දක්වනවා වෙනුවට සැබෑ ක්‍රිස්තියානීන් මතෙව් 24:14හි සඳහන් දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරන්න යන යේසුස්ගේ අණට කීකරු වෙමින් සිටිනවා. ලොව පුරාම “රාජ්‍යයේ මේ ශුභාරංචිය” දේශනා කරන්නේ කවුද? යුද්ධවලටත් ජනවාර්ගික ගැටුම්වලටත් සහභාගි නොවන දෙවිගේ නමස්කාරය තුළ සහෝදරත්වයෙන් බැඳී සිටින මේ පවුල මෙන් පවුලක් තවත් සිටීද? දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් උසස් ප්‍රමිති ජනප්‍රිය වුණත් නූණත් ඒවා පිළිපදින්නේ කවුද? (1 යොහන් 5:3) මේ ගුණාංග යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුව ඇති බව හුඟදෙනෙක් දැක තිබෙනවා. ඔබටම හැකියි ඊට සාක්ෂි සොයා බලන්න.

දෙවිගේ පාලනය තෝරගන්න!

දෙවිගෙන් ඈත් වී සාතන්ට රැවටී සිටින මිනිසා ඇති කර තිබෙන්නේ කනස්සලුභාවය වැඩි කරවන පිළිසරණක් නැති සමාජයක්. ඒ විතරක් නෙවෙයි මේ මහ පොළොවත් විනාශ වෙලා! නමුත් යෙහෝවා දෙවිගේ ස්වර්ගික ආණ්ඩුව මගින් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත හොඳ අතට හරවා ඔවුන්ට ස්ථිර බලාපොරොත්තුවක්ද දී තිබෙනවා. (1 තිමෝති 4:10) ඔබ තෝරගන්නේ කුමක්ද?

සාතන්ටත්, ඔහුගේ දුෂ්ට ලෝකයටත් සදහටම පවතින්න දෙවි ඉඩ නාරින නිසා දැන්ම තීරණයක් ගත යුතුයි. දෙවි මුලින්ම අරමුණු කළේ මේ පොළොව පාරාදීසයක් කිරීමටයි. ඒ අරමුණ කවදාවත් වෙනස් වී නැහැ. එය අත් කරගැනීම සඳහා ඔහුගේ රාජ්‍යයත්, ඊට සහයෝගය දක්වන අයත් දිනෙන් දින ශක්තිමත් වන අතර සාතන්ගේ පාලනය යටතේ තිබෙන ලෝකය වැඩි වැඩියෙන් “වේදනා” විඳිමින් සිටිනවා. (මතෙව් 24:3, 7, 8) ඔබ “ඇයි” කියා දෙවිගෙන් අසා තිබෙනවා නම් සැනසීමක් හා බලාපොරොත්තුවක් ලබා දෙන බයිබල් පණිවිඩය සිතට ගනිමින් ඔහුට සවන් දෙන්න. මේ දැන්ම වුවත් ඔබේ කඳුළු සතුටු කඳුළු බවට පත් විය හැකියි.—මතෙව් 5:4; එළිදරව් 21:3, 4.

[පාදසටහන]

^ 19 ඡේ. කලින් කලට දෙවි මිනිසාගේ කටයුතුවලට මැදිහත් වී තිබුණත්, අද පවතින සමාජ ක්‍රමයට නම් ඔහු අත හිත දී නැහැ. කෙසේවෙතත් ඔහුගේ අරමුණ ඉටුවීමේදී ඒවාවල දායකත්වයක් තිබෙනවා.—ලූක් 17:26-30; රෝම 9:17-24.

[7වන පිටුවේ පින්තූර]

මිනිස් පාලනයෙන් ලැබී ඇති ප්‍රතිඵලවලින් ඔබ සෑහීමට පත් වෙනවාද?

[හිමිකම් විස්තර]

Baby: © J. B. Russell/​Panos Pictures; crying woman: © Paul Lowe/​Panos Pictures

[8, 9වන පිටුවේ පින්තූර]

නැවත ජීවත් වීමට මළවුන්ව පවා නැඟිටුවමින් යේසුස් පාරාදීසය යළි ඇති කරයි