Skip to content

පටුනට යන්න

ක්වේකවරුන්ගේ ‘නව යුගය’

ක්වේකවරුන්ගේ ‘නව යුගය’

ක්වේකවරුන්ගේ ‘නව යුගය’

වර්ෂ 1656 ජූලි මාසයේදී, බටහිර ඉන්දීය දූපත්හි බාබඩෝස් දූපතට අයත් ස්වොලෝ නෞකාව දැන් නැංගුරම්ලා තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්හි බොස්ටන් වරායේයි. මැසචුසෙට්ස්හි උප ආණ්ඩුකාර රිචඩ් බෙලිංග්හම්, එම නැවේ සිටි මේරි ෆිෂර් සහ ඈන් ඔස්ටින් යන කාන්තාවන් දෙදෙනාට නැවෙන් නොබසින ලෙසට අණ කළා. ඔවුන්ට අයත් දේවල් සමඟ පොත් 100ක් අත්අඩංගුවට ගැනුණු අතර, ඒවායේ “දූෂිත, ආගම් විරෝධී, හා දේවාපහාස ඉගැන්වීම්” තිබූ බවට සැලකුණා.

ප්‍රතිඵලය වුණේ මෙම පොත් ප්‍රසිද්ධ වෙළඳපොළකදී පුළුස්සා දැමීමයි. ඉන්පසුව මෙම කාන්තාවන්ව සිරගත කොට, ඔවුන්ගේ ඇඳුම් ඉරා දමා, ඔවුන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට සම්බන්ධ අයද කියා සෝදිසි කෙරුණා. ඔවුන් සිටි සිරමැදිරියේ ජනේල පවා වසා තිබූ නිසා, සති පහක් යන තෙක්ම මෙම කාන්තාවන් දෙදෙනා ජීවත් වූයේ ගන අන්ධකාරයේයි. ඔවුන් සමඟ කතා කිරීමට යම් කෙනෙක් උත්සහා කළා නම්, පවුම් පහක දඩයක් නියම කෙරුණා. අවසානයේදී, මේරි ෆිෂර් සහ ඈන් ඔස්ටින්ව යළි බාබඩෝස් දක්වා හරවා යවනු ලැබුවා.

“හරියට හමුදාවක් රට ආක්‍රමණය කරන්න ආව වගේ මේ කාන්තාවන් දෙදෙනාගේ පැමිණීම ගැන ඔබ භය වුණේ ඇයි” කියා එක්තරා ඉතිහාසඥයෙක් මහේස්ත්‍රාත්වරයාගෙන් ඇසුවා. මෙම “භයානක” කාන්තාවන් ඇත්තෙන්ම උතුරු අමෙරිකාවට ආ පළමු ක්වේකවරුන්ගේ මිෂනාරීන් දෙදෙනායි. ක්වේකවරුන් යනු කවුරුන්ද? ඔවුන්ව එවක සමාජයට තර්ජනයක් ලෙස සලකනු ලැබුවේ ඇයි?

මිත්‍ර සමාගම

ක්වේකවරුන් හෙවත් ආගමික මිත්‍ර සමාගමේ ආරම්භය එංගලන්තයේ 17වන සියවස කරා දිව යනවා. මොවුන්ගේ ආරම්භකයා එංගලන්තයේ ලෙස්ටර්ෂියර් ප්‍රාන්තයේ රෙදි වියන්නෙකුගේ පුතෙක් වූ ජෝර්ජ් ෆොක්ස් (1624-91) නැමැත්තායි. ඉහළින් ආව අරුම පුදුම කටහඬක් තමාට ඇසුණු බව කියා සිටි හෙතෙම, තමාට දෙවි සමඟ ඍජුවම කතා කළ හැකි බවත්, කිසිම කෙනෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය නැති බවත් නිගමනය කළා. “මිත්‍ර සමාගමේ ආරම්භය 1652දී සිදු වූ බවට” එක්තරා පොතක සඳහන් වෙනවා.—එම පොත A Religious History of the American People.

මෙම මිත්‍ර සමාගමට අයත් වූවන්ව ක්වේකවරුන් ලෙස හඳුන්වන්න හේතුපාදක වූයේ කුමක්ද? ඉංග්‍රීසි බසින් ක්වේක් යන වචනයේ එක් අර්ථයක් වන්නේ බයෙන් ගැහෙනවා යන්නයි. එක් මූලාශ්‍රයකට අනුව ක්වේකවරුන් “‘දෙවියන්ගෙන් පණිවුඩ’ ලැබීමට පෙර කැලඹුණු ස්වරූපයකින් හැසිර” තිබෙනවා. ඔවුන් “දෙවියන්ගේ සදාතනික පාරිශුද්ධ මහානුභාව සම්පන්නකම වටහාගෙන, මහත් භීතියකින් ගැහෙන්න පටන්ගත්” බවද තවත් මූලාශ්‍රයක දැක්වෙනවා. මුල් ක්‍රිස්තියානි ආගමේ තිබූ සත්‍යයන් වටහාගැනීමයි මෙම ක්වේකවරුන්ගේ අරමුණ වුණේ.

ශුද්ධාත්මය හෙවත් දෙවිගේ බලයෙන්ද, බයිබලයේ අනාගතවක්තෘවරුන්ද, ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන්ද ‘දිව්‍ය සත්‍යයන් පහළ කරන’ “කටහඬක්ද” තමන්ට මඟ පෙන්වන බව ඔවුන් විශ්වාස කළා. මේ නිසා මොවුන්ගේ රැස්වීම්වලදී, කණ්ඩායමක් හැටියට හැමෝම පාහේ ඉතා නිශ්ශබ්දව සිට එක් එක්කෙනා දෙවිගේ මඟ පෙන්වීම පැතුවා. එම අවස්ථාවේදී යමෙකුට යම් දිව්‍ය පණිවුඩයක් ලැබුණා නම් ඔහු විගස ඒ ගැන පැවසුවා. *

ක්වේකවරුන්ගේ අභිප්‍රාය වුණේ යුක්තිගරුකව, අවංකව හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සරල ජීවිත රටාවක් ගත කිරීමයි. කාන්තාවන් ඇතුළු සියලුම ක්‍රිස්තියානීන් දෙවියන්ට සේවය කළ යුතු බවද ඔවුන් විශ්වාස කළා. පිළිගත් ආගමික ක්‍රම, වත්පිළිවෙත්, මංගල්‍යයන් වැනි දේවල් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ නිසාත් තමන්ට මඟ පෙන්වන්නේ පූජකයන් නොව තමන්ට ඇසෙන කටහඬක්යයි කියා සිටි නිසාත් ක්වේකවරුන් ගැන අන් අය තුළ ඇති වුණේ භයක් සහ සැකයක්. තම ආගමික අදහස් පැතිරවීමට ඔවුන් දැක්වූ උද්‍යෝගය අතිමහත්. මේ නිසා අන්‍යයන්ගේ කෝපයටද, මැර ප්‍රහාරවලටද ආණ්ඩුවේ නිලධාරීන්ගේ තහංචිවලටද ඔවුන් ලක් වුණා.

එංගලන්තයේදී පීඩාවලටත් සිරගත කිරීම්වලටත් ලක් වූ ක්වේකවරුන්ව, අමෙරිකාවේ නිව් ඉංග්ලන්ඩ් යනුවෙන් හැඳින්වෙන අමෙරිකානු ප්‍රාන්ත හයකින් සමන්විත ප්‍රදේශයෙන්ද පිටුවහල් කෙරුණු අතර, මින් සමහරෙකුව ඝාතනය කෙරුණා. නිදසුනක් වශයෙන්, 1659 සිට 1661 දක්වා, මේරි ඩයර්, විලියම් ලෙඩ්‍රා, විලියම් රොබින්සන් සහ මාර්මඩූක් ස්ටීවන්සන් යන මිෂනාරීවරුන්ව බොස්ටන්හිදී එල්ලා මරා දැමුවා. තවත් අයට මාංචු දමනු ලැබූ අතර සමහරුන්ව හංවඩු ගසා ලකුණක් දැමුවා නැතහොත් කස පහර දෙනු ලැබුවා. තවත් අයගේ කන් කපා දැමුවා. විලියම් බ්‍රෙන්ඩ් නැමැත්තාගේ පිටට තාර තැවරූ කසයකින් පහරවල් 117ක් ගැසුවා. කෙසේවෙතත්, මෙවන් කෲර පීඩා හමුවේ පවා ක්වේකවරුන්ගේ සංඛ්‍යාව ගණනින් වැඩි වුණා.

විලියම් පෙන් සහ ‘නව යුගය’

වර්ෂ 1681 ආරම්භයේදී, ක්වේකවරුන් උතුරු අමෙරිකාවේ විශාල වෙනසක් අද්දැක්කා. මිත්‍ර සමාගමේ සාමාජිකයෙක් බවට පත් වී සිටි ඉංග්‍රීසි ජාතික යෞවනයෙක් වූ විලියම් පෙන් (1644-1718), ක්වේකවරුන්ගේ ප්‍රතිපත්ති මගින් පාලනය වූ ජනපදයක් පිහිටෙවූ අතර, එහි පාලකයන් වූයේද ක්වේකවරුන්මයි. බ්‍රිතාන්‍ය නාවික සේනාධිපතිවරයෙකුගේ පුතෙකු වුවත් යුද්ධයට විරුද්ධව කටයුතු කළ පෙන්, තම මත ගැන දේශනා කිරීම හා ලිවීම නිසා සිරගත වී සිටි කෙනෙක්.

පෙන්ගේ පියාට බ්‍රිතාන්‍ය රජු විසින් වන්දියක් ගෙවීමට තිබුණා. ඒ නිසාම බ්‍රිතාන්‍ය රජු පෙන්ට උතුරු අමෙරිකාවේ විශාල භූමි ප්‍රමාණයක් ලබා දෙමින් එහි සම්පූර්ණ බලයද පැවරුවා. එම නව ජනපදය නම් කළේ “පෙන්ගේ වනාන්තරය” යන අර්ථය ඇති පෙන්සිල්වේනියාව යනුවෙනුයි. පෙන් නමැති මෙම නාවික සේනාධිපතිවරයා සිහිවීම පිණිසයි එසේ හැඳින්නුවේ. එහි සියලුම ආගම්වල ජනයාට සිය ආගම නිදහසේ ඇදහීමට අවස්ථාව ලබා දීමයි පෙන්ගේ අභිප්‍රාය වුණේ.

පෙන් පළමුවෙන්ම කළේ තම ඥාති සොයුරු විලියම් මාර්කම්ව තමාගේ නියෝජිතයා ලෙස අමෙරිකාවට යැවීමයි. ඔහුගේ අරමුණ වූයේ නව ජනපදයේ සිටි යුරෝපීය ජාතිකයන්ගේ අනුග්‍රහය දිනාගෙන අමෙරිකානු ආදිවාසීන්ගෙන් තවත් ඉඩම් මිලට ගැනීමයි. වර්ෂ 1682දී, පෙන් පෞද්ගලිකවම අමෙරිකාවේ ඩෙලවෙයාර් ගඟ ඔස්සේ ගොස් තමාගේම ජනපදය පළමු වතාවට සියැසින්ම දැකගත්තා. පසුව ෆිලඩෙල්ෆියාවේ කොටසක් වන (දැන් කෙන්සිංග්ටන් නමින් හැඳින්වෙන) ෂැකැමැක්සන්හි ආදිවාසීන් සමඟ ගිවිසුමකට එළඹුණා. එහි සිට කිලෝමීටරයක් පමණ දුරින් ඔහු තවත් අලුත් ජනපදයක් ඇරඹීමට සැලසුම් යොදා, එයට “ෆිලදෙල්ෆියා” යන නම තැබුවා. එහි තේරුම “සහෝදර ප්‍රේමය” යන්නයි. එම ජනපදය ශීඝ්‍රයෙන් දියුණු වුණා.

නැවත එංගලන්තය බලා ආ පෙන්, තමාට අයත් අලුත් ජනපදය ගැන පුළුල් ප්‍රචාරයක් දී එහි ගොස් පදිංචි වන ලෙස ජනයාව දිරිමත් කළා. සාරවත් භූමිය, වනාන්තර, මහා ගංගාව හා වන සතුන් සහිත කදිම දේශයක් ගැන ඔහු ලීවා. හැමදෙනාටම ආගමික නිදහස හා සාමකාමීව ජීවත්වන්න හැකියාව එහි තිබෙන්න යන නව ආණ්ඩුවෙන් ලැබෙන බවට ඔහු පොරොන්දු වුණා. යහපත් පාලනයකට අත හිත දෙන්න කැමති දුප්පත් පෝසත් සියල්ලන්ට එහි ගොස් පදිංචි වෙන්න කියා ආරාධනා කළා.

යුරෝපයේ එවකට පැවති විවිධ සමාජීය හා දේශපාලනික ගැටුම් නිසා එංගලන්තයේ හා උතුරු අයර්ලන්තයේ විසූ ක්වේකවරුන්ට මින් ලැබුණේ මහත් බලාපොරොත්තුවක්. යුරෝපයේ රයින් ගඟ අසබඩ පදිංචි වී සිටි මෙනනිවරු නමින් හැඳින්වෙන රෙපරමාදු සහ වෙනත් ආගමික කණ්ඩායම් මෙම අලුත් ජනපදයේ පදිංචියට ආවා. මුලින්ම විශාල වශයෙන් පදිංචි වුණේ ක්වේකවරුන්. මේ නිසා මෙම ජනපදය සාර්ථක වන බවට පෙන් පොරොන්දු වුණා. වර්ෂ 1683දී ඔහු මෙසේ ලීවා. “මන්ත්‍රී මණ්ඩලයේ මහා රැස්වීම් දෙකක්ම පැවැත්වූ අතර, . . . මෙහිදී කිසිම විරෝධයකින් තොරව අඩු තරමින් නීති රෙගුලාසි හැත්තෑවක් පමණ සම්මත කරගන්නා ලදි.” කෙසේවෙතත්, මෙම හිතකර වාතාවරණය වැඩි කල් පැවතුණේ නැහැ.

‘නව යුගයේ’ පිරිහීම

පෙන්ගේ ජනපදයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එහි සිටි සියල්ලන්ටම තම හෘදය සාක්ෂියට අනුව කටයුතු කිරීමට නිදහස දී තිබුණා. නීතිය හා සාමය රැකීමට ප්‍රචණ්ඩකාරී ක්‍රියා මාර්ගයක් ගන්න සිදු වූ අවස්ථාවේදී ක්වේකවරුන්ගේ ප්‍රතිපත්තිවලට එල්ල වුණේ විශාල අභියෝගයක්. මේ ප්‍රශ්නයට කෙළින්ම මුහුණ දෙන්න පෙන් කැමති වුණේ නැති නිසා ඔහු ක්වේකවරුන් නොවන උප පාලකයන්ව පත් කළා. ඔහුම මේ ගැන සඳහන් කළේ, “සමහර අවස්ථාවලදී අපේ අසල්වැසියන් සමඟ තදින් කටයුතු කරන්න” ඔවුන්ට හැකි බවයි. වර්ෂ 1689දී ප්‍රංශය සමඟ ඇති වෙන්න ගිය යුද්ධයේදී අභියෝගය තවත් දරුණු වුණා.

තවත් ගැටලුවක් වුණේ, ක්වේකවරුන් නොවන වෙනත් නව පදිංචිකරුවන් මුල් අමෙරිකානු වැසියන්ගේ මව්බිම් අල්ලාගැනීමයි. මෙසේ, ක්වේකවරුන්ගේ සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් අඩු වී ගිය අතර, අසල්වාසීන් සමඟ අමනාපකම් එන්න එන්නම වැඩි වෙන්න පටන්ගත්තා.

ක්වේකවරුන්ගේ ප්‍රතිපත්තිවලට මෙන්ම දේශපාලනික රාජධානියට මරු පහර එල්ල වුණේ ආණ්ඩුකාරයා සහ ඔහුගේ ප්‍රධාන ව්‍යවස්ථා උපදේශක විසින් 1756දී අමෙරිකානු ඉන්දියන්වරුන්ගේ ඩෙලවෙයාර් සහ ෂෝනි ගෝත්‍ර කෙරෙහි යුද්ධ ප්‍රකාශ කිරීමත් සමඟයි. මේ නිසා ක්වේකවරුන් ආණ්ඩුවෙන් ඉවත් වුණා. මෙසේ, වසර 75ක් පමණ ක්‍රියාත්මක වූ පෙන් විසින් දියත් කරන ලද ‘නව යුගය’ නිමාවට පත් වුණා.

කල් යත්ම, ක්වේකවරුන් ලෞකික සැප සම්පත්වලට ඇලුම් වූ නිසා ඔවුන් තුළ තිබූ ආගමික උද්‍යෝගය පිරිහෙන්න පටන්ගත්තා. ක්වේකවරයෙකු වූ සැමුවෙල් ෆොදර්ගිල් මේ ගැන පැවසුවේ මෙසේයි. “මේ ලෝකයේ රටාවට නැඹුරු වූ ඒ [ක්වේකවරුන්ට] තම ප්‍රතිපත්ති තම දරුවන්ට ඉගැන්වීමට හැකි වුණේ නැහැ. මන්ද ඒ ප්‍රතිපත්ති ඔවුන්ටම අමතක වෙලයි තිබුණේ.” ක්‍රමක්‍රමයෙන් ඔවුන් අතරම යම් යම් නිකායන්ද බිහි වෙන්න පටන්ගත්තා.

පෙන් සහ ඔහුගේ අනුගාමිකයන්ට හොඳ චේතනා තිබෙන්න ඇති. ඒ වගේම ඔවුන් යම් සාර්ථකත්වයක් අද්දකින්නත් ඇති. නමුත්, යේසුස් කීවේ තම ගෝලයන් ‘ලෝකයේ කොටසක් නොවන’ බවයි. (යොහන් 17:16) එය ඔවුන් තේරුම්ගත්තේ නැහැ. නැත්නම් ඔවුන් එය එතරම් ගණන්ගත්තේ නැහැ. එමනිසා, මේ ප්‍රතිපත්තිය දෙස බලන කල, අපට යමක් පේනවා. එනම්, කොතරම් හොඳ චේතනාවකින් වුවද යම් සංවිධානයක් හෝ පිරිසක් ආගමයි දේශපාලනයයි එකට සම්බන්ධ කරන්න උත්සාහ කරනවා නම්, ඔවුන් එය කරන්නේ දෙවිගේ හෝ ඔහුගේ පුත්‍රයාගේ ආශීර්වාදය නැතුවයි. (යාකොබ් 4:4; 1 යොහන් 5:19) එවැනි දෙයක් කිසිම විටෙක සාර්ථක වන්නේ නැහැ.—ගීතාවලිය 127:1.

[පාදසටහන]

^ 8 ඡේ. වර්තමානයේ ක්වේකවරුන්ගේ පල්ලි බොහොමයක දේවමෙහෙයන් පවත්වන්නේ වැටුපක් ලබන දේවගැතිවරයෙක්.

[12වන පිටුවේ කොටුව]

“මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ”

යොහන් 18:36හි සඳහන් මේ වචන යේසුස් පැවසුවේ ඇයි? දෙවිගේ රාජ්‍යය කුමක්ද කියා අප දන්නවා නම් අපට මෙම ප්‍රශ්නයට පිළිතුර පැහැදිලියි. යේසුස්ගේ ඉගැන්වීම්වල මූලික තේමාව දෙවිගේ රාජ්‍යයයි. ඇත්තටම එය යේසුස් ක්‍රිස්තුස්ට භාර දී තිබෙන ලෝක පාලන ක්‍රමයක්. (යෙසායා 9:6, 7; ලූක් 4:43) මිනිස් පාලන සමඟ හවුලේ කටයුතු කරනවා වෙනුවට, ඒවා සියල්ලම ඉවත් කර, මුළු ලෝකයම පාලනය කරන්නේ එම දේවරාජ්‍යයයි. (දානියෙල් 2:44; 7:13, 14) යේසුස් සිය ආදර්ශ යාච්ඤාවේ මේ ගැන සඳහන් කළේ මෙසේයි. “ඔබගේ රාජ්‍යය ඒවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදුවේවා.” (මතෙව් 6:9, 10) විලියම් පෙන් වැනි අවංක හොඳ හිතක් ඇති මිනිසුන්ට කිසිවිටෙකත් ගෙනෙන්න බැරි වූ සාමකාමී ජීවිතයක් එම රාජ්‍යයේ යටත්වැසියන්ට භුක්ති විඳීමට හැකි වේවි. ඔව්, පාරාදීසමය පරිසරයක් තුළ හොඳ ශරීර සෞඛ්‍යයකින් යුතුව නිම නොවන සදාකල් ජීවිතයක් ඔවුන් භුක්ති විඳිනවා නොඅනුමානයි.—ලූක් 23:43; එළිදරව් 21:3, 4.

[10වන පිටුවේ පින්තූරය]

ෆිලදෙල්ෆියාවේ පැවති ක්වේකවරුන්ගේ රැස්වීමක්, 1800 ගණන්වලදී

[10වන පිටුවේ පින්තූරය]

මැසචුසෙට්ස්හි ක්වේකවරියක වූ මේරි ඩයර්ව ඝාතනය කිරීම සඳහා කැඳවාගෙන යෑම

[11වන පිටුවේ පින්තූරය]

ක්වේකවරුන් එංගලන්තයෙන් පිටමං වීම 1600 ගණන්වලදී

[11වන පිටුවේ පින්තූරය]

විලියම් පෙන් අමරිකානු මුල් වැසියන් සමඟ ගිවිසුමක් ඇති කිරීම, 1682දී

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Both pictures: © North Wind Picture Archives

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Boats: © North Wind Picture Archives; treaty: Brown Brothers