Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ ලොව පුරා අන්තර්ජාලය භාවිත කරන අයව මුලා කිරීමේ උත්සාහයන් මිලියන 5.7ක් දිනකට සිදු වෙනවා.—ස්පාඤ්ඤයේ MAGAZINE.

▪ “ජපානයේ සිය දිවි නසාගැනීම් 2005 දක්වා වසර අටක් පුරා සෑම වසරකම 30,000 ඉක්ම ගියා.” ලෝකයෙන් ඉහළම සංඛ්‍යාව ලැබී තිබෙන්නේ ජපානයෙන්.—ජපානයේ MAINICHI DAILY NEWS.

▪ “පසුගිය වසර 500 පුරා මිනිසාගේ ක්‍රියාකලාපය නිසා (කැලෑවල) සත්ව විශේෂ 844ක්ම සම්පූර්ණයෙන්ම නැති වී ගියා.”—ස්විට්සර්ලන්තයේ IUCN, WORLD CONSERVATION UNION.

▪ රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් සියයට හයක්ම සමලිංගිකයන්. “පුරුෂයන් පුරුෂයන්ව හා ස්ත්‍රීන් ස්ත්‍රීන්ව ‘විවාහ’ කරගැනීමටත්” සාමාන්‍ය විවාහක යුවළකගේ අයිතිවාසිකම් ලබාගැනීමටත් 2005දී රජයෙන් අවසර දුන්නා.—එංගලන්තයේ THE DAILY TELEGRAPH.

දියවීම නිසා වේගය වැඩි වී

“ග්‍රීන්ලන්තයේ විශාල ග්ලැසියර්වල ඉබි ගමන දැන් වේගවත් වෙමින් පවතිනවා” කියා සයන්ස් සඟරාවේ පවසනවා. චන්ද්‍රිකා මගින් ලැබී තිබෙන තොරතුරුවලින් පෙන්වන්නේ පහුගිය වසර පහ ඇතුළත එම ගැලැසියර්වල ගමනේ වේගය දෙගුණයක් වී ඇති බවයි. එනම් දැන් වසරකට කිලෝමීටර් 12කට වඩා වැඩි දුරකට ගමන් කරනවා. ඊට එක් හේතුවක් වන්නේ පසුගිය වසර දහය තුළ අයිස් දියවීමේ ප්‍රමාණය වසරකට ඝන කිලෝමීටර් 90 සිට ඝන කිලෝමීටර් 220 දක්වා වැඩි වී තිබීමයි. මේ අනුව විද්‍යාඥයන් පවසන්නේ “කලින් සිතුවාටත් වැඩි ප්‍රමාණයකින් මුහුදු මට්ටම ඉහළ යන” බවයි.

පල්ලිවල ඩාවින් වෙනුවෙන් උත්සවයක්

එක්සත් ජනපදයේ “ක්‍රිස්තියානි” පල්ලි 450ක් පමණ චාර්ල්ස් ඩාවින්ගේ 197වන උපන් දිනය 2006 පෙබරවාරි මාසයේදී සැමරුවා. “පරිණාමවාදය තම ඇදහිල්ලට පටහැනි නොවන බවත්, තම ආගම විද්‍යාවට පටහැනි නොවන බවත් ක්‍රිස්තියානීන්ට කාවැද්දීම සඳහා ඔහු ඉදිරිපත් කළ යම් වැඩසටහන් හා කතාවන්” එම උත්සවයට ඇතුළත් වුණා. චිකාගෝ ට්‍රයිබියුන් පුවත්පතට අනුව, මෙය සංවිධානය කළ විස්කොන්සින්-ඔෂ්කොෂ් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජීව විද්‍යාඥ පීඨාධිපති වූ මයිකල් සිමමන් පැවසුවේ විද්‍යාවත් ආගමත් අතර තේරීමක් කිරීම අවශ්‍ය නැහැ, ඔබට දැන් ඒ දෙකම විශ්වාස කළ හැකියි කියායි.

රැකියා ස්ථානයේ අවිනීත හැසිරීම

“රැකියා ස්ථානයේ අවිනීත හැසිරීම විශාල පාඩුවක්” කියා ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පවසයි. තුන්දාහක පමණ පිරිසක් අතර සිදු කළ සමීක්ෂණයකින් හෙළි වුණේ සියයට 90ක් පමණ “ඉන් පීඩා වින්ද” බවයි. ඒ අයගෙන් සියයට 50ක්ම පැවසුවේ “වැඩ කරන වෙලාවේදී ඒ ගැන හිත හිත ඉන්න නිසා වැඩ පාඩු වෙන” බවයි. තවත් “සියයට 25ක් තම වැඩේ හොඳින් කිරීමේ වෑයම අත්හැරියා.” ඒ වගේම අටදෙනෙකුගෙන් එක්කෙනෙක් රැකියාවෙන් අස් වී තිබෙනවා. දකුණු කැලිෆෝනියාවේ සරසවියේ කළමනාකරණය පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටීන් පෝරාත් පැවසුවේ “සේවකයන්ගේ අලසකමෙන්, සේවයට වාර්තා නොකිරීමෙන් හා සොරකම් කිරීමෙන් පවා අඟවන්නේ සේවා ස්ථානය තුළ අවිනීත හැසිරීම පවතින” බවයි කියා ජර්නල් පුවත්පතේ සඳහන් වෙනවා.

සාගරයේ කුණු කන්දල්

වර්ෂ 2006 මුල්භාගයේදී “මසුන් අල්ලන උපාංගවල සුන් බුන් හා ප්ලාස්ටික් ද්‍රව්‍යයන් හවායි දූපත්වල වෙරළට” තොග පිටින් ගසාගෙන ආ බව ද හොනලුලු ඇඩ්වර්ටයිසර් පුවත්පතේ වාර්තා වුණා. උතුරු පැසිෆික් සාගරයේ තිබෙන කුණු කන්දල් දිය වැල් මගින් සාගරයේ නිසල තැනකට ගෙන යන නමුත් යම් කාලගුණික තත්වයන් අනුව මේවා හවායි කරා විසිරී යනවා. වර්ෂ 2005දී “සුන් බුන් කෑලි 2,000කට වඩා” මෙන්ම මාළු දැල් 100කට වඩා ගසා ගෙන ආවා. මේවා මුහුදු ජීවින්ට ඉතා හානිදායකයි. ඇල්ගලීටා මරීන් පර්යේෂණායතනය පිහිටෙවූ චාල්ස් මුවර් පවසන්නේ “ස්වාභාවිකව වැඩෙන මාළු දැන් සාගරයෙන් හොයාගන්න බැහැ. මොකද උන් ආහරයට ගන්නේ ප්ලාස්ටික් කෑලියි” කියායි.