Skip to content

පටුනට යන්න

බැරෑරුම්ම ප්‍රශ්නය

බැරෑරුම්ම ප්‍රශ්නය

බැරෑරුම්ම ප්‍රශ්නය

“ඇයි?” මේ ප්‍රශ්නය සරල වුණත් උහුලගන්න බැරි වේදනාවක් ඇති වුණ විට බොහෝදෙනෙකුගේ මුවෙන් පිට වන්නේ එයයි. ඇයි මෙහෙම වෙන්නේ? සැඩ කුණාටුවකින් මුළු පළාතක්ම විනාශ වෙයි. මිනිසුන් මරණයට පත් වෙයි. භූමිකම්පාවකින් නගරයක් නටඹුන් ගොඩක් වෙයි. ත්‍රස්තවාදී ප්‍රහාරවලින් නිහඬබව බිඳී යන අතර ප්‍රචණ්ඩත්වය ගැන බියෙන් වෙළී සිටීමට ජනයාට සිදු වෙයි. එසේ නැතහොත් ප්‍රේමණීයයෙකු අනතුරකට ලක් වී ආබාධිත වෙයි. නැත්නම් මිය යයි.

වැඩි වශයෙන් අප අතර සිටින අහිංසක අසරණ අය ඊට ගොදුරු වීම ඇත්තෙන්ම කනගාටුදායකයි. මෑතකදී වෙන කවරදාටත් වඩා එවැනි ව්‍යසනයන් සිදු වී ඇති නිසා බොහෝදෙනෙක් දෙවිගෙන් අසන්නේ මෙහෙම වෙන්නේ “ඇයි” කියලයි. උදාහරණ කීපයක් සලකා බලන්න.

▪ “දෙවියෙනි, ඇයි අපිට මෙහෙම කළේ? අපි ඔබට කළ වරද මොකද්ද?” ඉන්දියාවේ තම ගම්මානය සුනාමි ව්‍යසනයට ලක්වීමෙන් පසු වයසක කාන්තාවක් එම ප්‍රශ්න ඇසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

▪ “දෙවි හිටියේ කොහෙද? දෙවිට හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් නම්, මෙහෙම වෙන්න දෙවි ඉඩහැරියේ ඇයි?” තුවක්කුවක් අතැති මිනිසෙක් පල්ලියක සිටි බැතිමතුන්ව වෙඩි තබා තුවාල කිරීමෙන් හා මරා දැමීමෙන් අනතුරුවයි, අ.එ.ජ., ටෙක්සස්හි පුවත්පතක වාර්තාකරුවන් විසින් එම ප්‍රශ්න ඇසුවේ.

▪ “දෙවි ඇයට මැරෙන්න ඉඩහැරියේ ඇයි?” පිළිකාවකින් පෙළුණු තම මිතුරිය දරුවන් පස්දෙනෙකු හා සැමියාව තනි කරමින් මිය ගිය අවස්ථාවේදී කාන්තාවක් ඇසුවේ එයයි.

තමන්ට කරදර පමුණුවා තිබෙන්නේ දෙවියි කියා සිතන්නේ මේ අය පමණක්ම නෙවෙයි. උදාහරණයකට ස්වාභාවික විපත්ති ගැන මෑතකදී අන්තර්ජාලයෙන් පැවැත්වූ සමීක්ෂණයකදී වැඩිදෙනෙක් කියා සිටියේ සැඩ කුණාටු වැනි ස්වාභාවික විපත් ඇති කරන්නේ දෙවි බවයි. හුඟදෙනෙකුට එසේ හැඟෙන්නේ ඇයි?

ආගමික ඉගැන්වීම්වල වියවුල

ඇයි යන ප්‍රශ්නයට සෑහීම ගෙන දෙන පිළිතුරක් දෙනවා වෙනුවට ආගමික නායකයන් කරන්නේ ඔවුන්ව තව තවත් වියවුල් කිරීමයි. ආගමික නායකයන් බොහෝවිට දෙන පිළිතුරු තුනක් අපි දැන් සලකා බලමු.

මුලින්ම, බොහෝ ආගමික නායකයන් දේශනා කරන්නේ නරක මිනිසුන්ට දඬුවම් දෙන්න දෙවි විපත්ති ඇති කරනවා කියායි. උදාහරණයකට එක්සත් ජනපදයේ නිව් ඕර්ලියන්ස්, ලුයිෂියානාවල කැට්රිනා චණ්ඩ මාරුතයෙන් මහත් ව්‍යසනයක් සිදු වුණේ දූෂණය, සූදුව හා දුරාචාරයෙන් පිරී තිබුණ එම නගරයට දෙවි දඬුවම් දුන් නිසායයි සමහර දේවගැතිවරුන් කියා සිටියා. නපුරු අයව දෙවි ජලගැල්මෙන් හෝ ගින්නෙන් විනාශ කළ අවස්ථා ගැන බයිබලයේ සඳහන් වාර්තාත් ඇතැම් අය උපුටා දැක්වුවා. කෙසේවෙතත් එය බයිබලයේ තිබෙන දේ කනපිට පෙරළා කීමක් බව පැහැදිලියි.—“දේවශාපයක්ද?” යන කොටුව බලන්න.

දෙවනුව, මිනිසාට විපත්ති ගෙන ඒමට දෙවිට හොඳ හේතු තිබෙනවා. ඒත් ඒවා මොනවද කියා අපි දන්නේ නැහැ යනුවෙන් සමහර පූජ්‍ය පක්ෂයට අයත් අය පවසනවා. එවැනි අදහසකින් සෑහීමට පත් වෙන්න හුඟදෙනෙකුට බැහැ. මොකද ඔවුන් මෙසේ කල්පනා කරනවා. ‘ප්‍රේමණීය දෙවි කෙනෙක් එවැනි නපුරක් කරයිද? සැනසීමක් ලැබීමේ අරමුණින් මෙහෙම වෙන්නේ ඇයි කියා ආයාචනාත්මකව අසන අයට ඔහු අවබෝධයක් ලබා නොදෙන්නේ ඇයි?’ ඇත්තෙන්ම බයිබලයේ පවසන්නේ “දෙවි ප්‍රේමයය” කියායි.—1 යොහන් 4:8.

තුන්වනුව, තවත් අයට හැඟෙන්නේ දෙවි ප්‍රේමණීය කෙනෙක් නොවන අතර ඔහුට ඒ තරම් බලයක් නැති කෙනෙක් හැටියටයි. එය පිළිතුරක් නොවන අතර තව තවත් බැරෑරුම් ප්‍රශ්න පැන නැඟීමට හේතුවක් වෙනවා. “සියල්ල මැවූ” තැනැත්තාට, එනම් ඉතා විශාල මුළු විශ්වයම මැවූ කෙනාට, මේ පොළොවේ පවතින දුක් වේදනා නැති කිරීමට බලයක් නැද්ද? (එළිදරව් 4:11) අපට ප්‍රේමය කියා දුන්, තමාගේම වචනයේ සඳහන් වන ලෙස ප්‍රේමයේ පරමාදර්ශය වන ඔහුට මිනිසාගේ දුක නොදැනී තිබිය හැකිද?—උත්පත්ති 1:27; 1 යොහන් 4:8.

දෙවි දුක් වේදනාවලට ඉඩහැර තිබීමට හේතුව දැක්වීම සඳහා මිනිසා ඉහත සඳහන් කරුණු තුන ගෙනහැර දක්වතත්, සිතා බලන අයට සියවස් ගණනාවක් පුරා තවම පිළිතුරු නොලැබුණ ප්‍රශ්නයක් ඉතිරිව තිබෙනවා. මෙම වැදගත් මෙන්ම කාලෝචිත විෂය ගැන බයිබලයේ උගන්වන්නේ කුමක්ද කියා අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු. එවිට බයිබලයේ ඇති නිවැරදි, තර්කානුකූල පැහැදිලි කිරීම්වලින් මෙම ප්‍රශ්නයට සෑහීම ගෙන දෙන විසඳුමක් ලැබෙන බව ඔබට වැටහෙයි. එමෙන්ම දුකට පත් කරන අවස්ථාවන්ට මුහුණ දී ඇති සියල්ලන්ට බයිබලයෙන් ඉමහත් සැනසීමක්ද ලැබිය හැකියි.

[4වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දේව ශාපයක්ද?

අද අපි අද්දකින ස්වාභාවික විපත්ති ගෙන එන්නේ දෙවි බව බයිබලයේ සඳහන් වෙනවාද? කොහෙත්ම නැහැ. බයිබලයේ සඳහන් වන දෙවිගේ විනිශ්චයන් ස්වාභාවික විපත්තිවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. දෙවි ආවට ගියාට දේවල් කරන කෙනෙක් නෙවෙයි. මිනිසුන්ගේ හදවත්වල ඇති දේ කියවා දුෂ්ට අයව පමණයි ඔහු විනාශ කරන්නේ. (උත්පත්ති 18:23-32) එපමණක්ද නොව, පළමුව ඔහු අවවාද කර පසුව ධර්මිෂ්ඨ අයට බේරීම සඳහා අවස්ථාවක්ද සලසනවා.

නමුත් ස්වාභාවික විපත්ති පැමිණෙන්නේ අවවාද දීමකින් හෝ අනතුරු ඇඟවීමකින් තොරවයි. එමෙන්ම එයින් විනාශ වන්නේ කිසිම තේරීමක් නොකර සිත් පිත් නැති ආකාරයකටයි. යම් දුරකට මිනිසාත් එයට වග කිව යුතුයි. මන්ද ඔවුන් ස්වාභාවික පරිසරයට හානි කරන අතර භූමිකම්පා හා ගංවතුර ඇති වන ප්‍රදේශවල මෙන්ම දුෂ්කර කාලගුණයක් පවතින ප්‍රදේශවලත් ගොඩනැඟිලි ඉදි කරමින් සිටිනවා.

[හිමිකම් විස්තර]

SENA VIDANAGAMA/​AFP/​Getty Images

[4වන පිටුවේ පින්තූරය]

නිසි පිළිතුරක් දීමට ආගමික නායකයන්ට නොහැකියි