Skip to content

පටුනට යන්න

යමු බලන්න තේජාන්විත මීකොං ගඟ

යමු බලන්න තේජාන්විත මීකොං ගඟ

යමු බලන්න තේජාන්විත මීකොං ගඟ

එය පටන්ගන්නේ මුහුදට කිලෝමීටර් 4,350ක් පමණ ඈතින්. විවිධ ජනවාර්ගික කණ්ඩායම් හා ගෝත්‍ර 100කට පමණ අයත් මිලියන 100කට ආසන්න ජනතාවක් යැපෙන්නේ එමඟින්. මේ ගංගාව ගිනිකොන ආසියාවේ දිගම එක වන අතර ආසියාවේ රටවල් හයක් අසලින් ගලා බසියි. වාර්ෂිකව මසුන් ටොන් මිලියන 1.3ක් ලබා දෙන මේ ගංගාවට බොහෝ නම් තිබුණත් වැඩියෙන්ම ජනප්‍රිය වී තිබෙන්නේ මීකොං යන නමයි. තායිලන්තයේ මේ යෝධ ගඟට කියන්නේ මෙ-නාම්-කොං කියායි.

චීනයේ හිමාලයා කඳුකරයේ මීටර් 5,000ක උසින් ඇරඹෙන මේ ගඟ හඳුන්වන්නේ ලැන්සැං යන නමින්. එය චීනයේ දේශ සීමාව පසු කරද්දී අලංකාර දිය ඇලි මගින් මීටර් 4,500ක් පහළට බැස වේගයෙන් ගලා යන අතර, ගංගාවේ මුළු දුරින් අඩක් පමණ ඇවිත් තිබෙනවා. ඉතිරි ගමනට තව මීටර් 500ක් පමණයි පහළට බහින්න තිබෙන්නේ. ඒ නිසා ගලා යන වේගය අඩු වෙයි. මියන්මාරය හා ලාඕසය වගේම ලාඕසය හා තායිලන්තය අතර දේශ සීමාවල් වැඩිහරියක් සෑදෙන්නේ චීනයෙන් ආ මේ ගංගාවෙනුයි. කාම්බෝජයේදී මීකොං ගඟ බෙදී වියට්නාමයට ගලා යන්නේ ගංගාවල් දෙකක් හැටියටයි. පසුව අතුරු ඇළවල් කිහිපයකට නැවත බෙදී, දකුණු චීන මුහුදට බසියි.

ප්‍රංශ ජාතිකයන් 1860 ගණන්වලදී චීනය බලා පිටත් වුණේ මීකොං ගඟ හරහායි. එහෙත් කාම්බෝජයේ ක්‍රාටියා නගරයේදී ගල් අසල වේගයෙන් ගලා යන ඇළ මාර්ගවල් නිසා හා දකුණු ලාඕසයේ තිබෙන කෝන් දිය ඇල්ල නිසාත් ඔවුන්ගේ එම ගමන අසාර්ථක වුණා. ලෝකයේ විශාලතම ජල කන්දරාව ගලා බහින්නේ කෝන් දිය ඇල්ලෙනුයි. එය එක්සත් ජනපදය හා කැනඩාවේ දේශ සීමාවේ තිබෙන නයගරා දිය ඇල්ලටත් වඩා දෙගුණයක් විශාලයි.

ජීවනයට අත්‍යවශ්‍ය ගංගාවක්

ශරීරයට රුධිරය අත්‍යවශ්‍ය මෙන් ගිනිකොන ආසියාවේ ආර්ථිකයට මීකොං ගඟ අත්‍යවශ්‍යයි. ලාඕසයේ වියන්තියන් වගේම කාම්බෝජයේ ප්නොම් පෙන් යන වරාය සහිත අගනුවරවල් දෙකම පිහිටා තිබෙන්නේ මීකොං ගඟ අසලයි. මිකොං ගඟ වියට්නාමයට නැතුවම බැරි එකක්. එහිදී මිකොං ගඟ අතුරු ගංගාවල් හතකට බෙදී වර්ග කිලෝමීටර් 25,000කින් යුත් විශාල ඩෙල්ටාවක් සෑදෙන අතර, එහි ඇළ මාර්ගවල සම්පූර්ණ දිග කිලෝමීටර් 3,200ක් වෙනවා. මෙම ඇළ මාර්ග මගින් ලැබෙන ජලය හා රොන්මඩ ගොවියන්ට ලොකු වාසියක්. මෙයින් වසරකට තුන් වතාවක් වී වගා කරන්න ඔවුන්ට හැකි වෙනවා. ලෝකයේ වැඩියෙන්ම වී අපනයනය කරන්නේ තායිලන්තයයි. දෙවෙනි ස්ථානයේ සිටින්නේ වියට්නාමයයි.

මීකොං ගඟේ විවිධ මසුන් වර්ග 1,200ක් පමණ සිටිනවා. උන්ගෙන් සමහර වර්ග මත්ස්‍ය වගාවට ගන්නා අතර ඉස්සෝ වගාවත් සිදු වෙනවා. මසුන් කොපමණ ජනප්‍රියද කිවහොත් කාම්බෝජයේ මුදල්වලට පවා දමා තිබෙන රියෙල් යන නම මාළුවෙකුගේ නමක්. මීකොං ගඟේ සිටින මත්ස්‍ය වර්ගවලින් අඩුම තරමින් දෙකක් පමණ වඳවීමේ තර්ජනයට ලක් වෙනවා. උන්ගෙන් එක වර්ගයක් වන අඟුලුවා මීටර් 2.75ක පමණ දිගට වැඩෙයි. වර්ෂ 2005දී කිලෝග්‍රෑම් 290ක් බර අඟුලුවෙක්ව ධීවරයන්ගේ දැලකට අසු වුණා. දැනට මිරිදියේ අසු වූ විශාලතම මත්ස්‍යයා ඌ විය හැකියි! වඳවීමේ තර්ජනයට ලක් වන අනිත් මත්ස්‍යයා නම් ඉරවාඩී ඩොල්ෆිනයායි. පර්යේෂකයන් කියන්නේ දැන් මේ මත්ස්‍යයන් එහි සිටින්නේ 100ටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි.

මීකොං ගඟ මිලියන සංඛ්‍යාත ජනතාවකට ආහාර සපයනවාට අමතරව, එය ඔවුන්ගේ බෝට්ටු ගමන් ගන්නා මහමාර්ගයද වෙයි. මඟීන් සහ බඩු මුට්ටු ප්‍රවාහණය කරන කුඩා හා විශාල බෝට්ටු නිරතුරුවම ඒ ගඟේ දක්නට ලැබෙනවා. බොහෝ සංචාරකයන් අතරත් මේ ගඟ ජනප්‍රියයි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් කෝන් දිය ඇල්ල පහු කරගෙන සිරි නරඹමින් ඒ ගඟ හරහා වියන්තියන් නගරය කරා ගමන් කරනවා. ඇළ මාර්ග, දාගැබ් හා ජලයේ කණු මත සෑදූ නිවෙස් එහි දක්නට ලැබෙනවා. ඊට අමතරව අවුරුදු 1,000කට වැඩි කාලයක සිට ව්‍යාපාරය, දේශපාලනය හා ආගමික කටයුතු සඳහාත් වියන්තියන් නගරය ප්‍රසිද්ධ වී තිබෙනවා. වියන්තියන් සිට කෙනෙකුට ගඟ උඩහට ගමන් කරමින් ල්වාං ප්‍රාබාං නගරයට යා හැකියි. වරායක් සහිත එම නගරය ඉපැරණි කාලයේ ලාඕසයේ අගනුවර වී තිබුණා. මෙම ඓතිහාසික නගරය පුරාම ප්‍රංශයේ බලපෑමත් දැකගන්න හැකි වෙනවා.

මෑත කාලවලදී මසුන් ඇල්ලීමේ නුසුදුසු ක්‍රම, වනාන්තර හෙළි පෙහෙළි කිරීම සහ විශාල ජල විදුලි වේලි බැඳීම වැනි දේවල් නිසා මීකොං ගඟ තර්ජනයට ලක් වී තිබෙනවා. මේ යෝධ ගංගාව අනතුරුදායක තත්වයක තිබෙන බව බොහෝදෙනෙකුට හැඟුණත් මේ ගඟ සදහටම ගලා යන බව නම් නියතයි.

බයිබලයේ දී තිබෙන පොරොන්දුවට අනුව අපගේ ප්‍රේමණීය මැවුම්කරු වන දෙවි තම රාජ්‍යය තුළින් ළඟදීම තත්වයන් වෙනස් කරයි. (දානියෙල් 2:44; 7:13, 14; මතෙව් 6:10) දේවපාලනය යටතේ මුළු පොළවටම සුවයක් ලැබෙන අතර සියලුම ගංගාවන් ප්‍රීතියෙන් “අත්පොළසන්” දෙන කාලයක් උදා වෙයි. (ගීතාවලිය 98:7-9) එදාට මීකොං ගඟත් ඉවුරු තලා ගලා බසියි.

[24වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මියන්මාරය

ලාඕසය

චීනය

තායිලන්තය

කාම්බෝජය

වියට්නාමය

මීකොං ගඟ

[24වන පිටුවේ පින්තූරය]

මීකොං ඩෙල්ටාවේ කුඹුරු

[24වන පිටුවේ පින්තූරය]

මීකොං ගඟේ මසුන් වර්ග 1,200ක් පමණ සිටිනවා

[25වන පිටුවේ පින්තූරය]

වියට්නාමයේ බෝට්ටුවල තිබෙන පොළක්

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Rice paddies: ©Jordi Camí/age fotostock; fishing: ©Stuart Pearce/World Pictures/age fotostock; background: © Chris Sattlberger/Panos Pictures

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Market: ©Lorne Resnick/​age fotostock; woman: ©Stuart Pearce/​World Pictures/​age fotostock