Skip to content

පටුනට යන්න

වැලිකතරේ ගෙවන දිවිය

වැලිකතරේ ගෙවන දිවිය

වැලිකතරේ ගෙවන දිවිය

රත්‍රන්! සොයාගත්තේ 1848දී අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැක්‍රමෙන්ටෝහිදීයි. ඊළඟ වසර වෙද්දී ඉසුරු සොයා 80,000ක් පමණ මේ ප්‍රාන්තය කරා ඇදී ඇවිත් තිබුණා. වර්ෂ 1849 දෙසැම්බර් 25වෙනිදා අශ්ව රථ 100කින් පමණ විශාල පිරිසක් සෝල්ට් ලේක් නගරයේ සිට බටහිර දෙසට ගමන් කරමින් සිටියදී ඔවුන්ගෙන් කණ්ඩායමක් වෙන් වී කෙටි පාරක් සොයාගෙන ගියා. ඔවුන් කැලිෆෝනියා සහ නිවාඩා අතර වැලිකතරකට ඇතුල් වුණා. අද එය හඳුන්වන්නේ ඩෙත් නිම්නය ලෙසයි.

එදා එම වැලිකතරේ සෞම්‍ය දේශගුණයක් තිබුණත් හරිහැටි පාරක් තිබුණේ නැහැ. ඒ නිසා ගමන දුෂ්කරයි. වැලිකතරට ඇතුල් වූ මොවුන් කුඩා කණ්ඩායම්වලට බෙදී පාරක් සොයමින් විවිධ දිශාවලට ගියා. කාන්තාවන් හා දරුවන් ඇතුළු එක කණ්ඩායමක් අතරමං වුණා. විඩාවට පත්ව, කෑම බීමද අඩු වී සිටි ඔවුන් ෆර්නස් ක්‍රීක් යන ඇළ ළඟ ගිමන්හැරිය පසු බෙනට්ගේ ළිඳ යන නමින් හැඳින්වෙන දිය උල්පත අසල නතර වුණා. එතැන් සිට විලියම් මෑන්ලි හා ජෝන් රොජර්ස් යන 20-හැවිරිදි තරුණයන් දෙදෙනා උපකාරයක් සොයා ගිය අතර අනිත් අය එහිම රැඳී සිටියා.

මෑන්ලි හා රොජර්ස් හිතාගෙන හිටියේ දවස් දෙක තුනකින් ලොස් ඇන්ජලිස් නගරයට යන්න පුළුවන් වෙයි කියලයි. නමුත් ඇත්තටම ඔවුන් දැනගෙන හිටියේ නැහැ කිලෝමීටර් 300ක පමණ දුරක් යන්න තියෙන බව. සති දෙකක් පමණ ඇවිද්දයින් පසුව අන්තිමට ඔවුන් උතුරු ලොස් ඇන්ජලිස්හි සැන් ෆර්නැන්ඩෝ නිම්නයට පැමිණියා. ආහාර පාන මිල දී ගත් ඔවුන් වහාම මිත්‍රයන් වෙතට ආපසු යන්න පිටත් වුණා.

මේ දෙදෙනා දවස් 25කින් පසුව යළි බෙනට්ගේ ළිඳ අසලට පැමිණි විට මිනිස් පුළුටක්වත් දකින්න තිබුණේ නැති නිසා මෑන්ලි අහසට වෙඩිල්ලක් තිබ්බා. ඒ සද්දෙට අශ්ව රථයක් යට සිටි එක්කෙනෙක් එළියට ආවා. පසු කාලයකදී මෑන්ලි ඒ ගැන ලිව්වේ මෙලෙසයි. “ඔහු අත් දෙක උස්සගෙනම කෑගහන්න පටන්ගත්තා ‘කොල්ලෝ දෙන්නා ඇවිත්, කොල්ලෝ දෙන්නා ඇවිත්’ කියලා.” අනිත් අයත් හැංගිලා හිටපු ස්ථානවලින් එළියට ආවා. මෑන්ලි සහ රෝජර්ස්ගේ වීර ක්‍රියාව නිසා එක් අයෙක් හැර අන් සියල්ලන්ගේම ජීවිත බේරුණා. කණ්ඩායමෙන් වෙන් වී තනිවම ඇවිදගෙන ගිය ඔහු අතුරුදහන් වුණා. මේ කුඩා කණ්ඩායම වැලිකතරෙන් පිට වී යද්දී එක් කාන්තාවක් වැලිකතර දෙස ආපසු බලා ‘ඇති යන්තං මරන නිම්නයෙන් අපිව බේරුණා’ කියා පැවසුවා. එදා සිට ඒ ස්ථානය ප්‍රසිද්ධ වුණේ ඩෙත් නිම්නය ලෙසයි.

කටුක ප්‍රදේශයක්

කිලෝමීටර් 225ක් දිගකින් හා කිලෝමීටර් 8ත් 24ත් අතර පළලකින් යුත් ඩෙත් නිම්නය උතුරු අමෙරිකාවේ පහත්ම, වියළිම හා උණුසුම්ම ස්ථානයයි. උදාහරණයකට ජලය රත් වී නටන්නේ සෙල්සියස් අංශක 100යේදීයි. ෆර්නස් ක්‍රීක්වල වාතයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 57ක් ලෙසත්, භූමියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 94ක් ලෙසත් වාර්තා කර තිබෙනවා. *

සාමාන්‍යයෙන් වසරකට මේ මිටියාවතට ලැබෙන වර්ෂාපතනය සෙන්ටිමීටර් පහක් දක්වා අඩු වන අතර සමහර වසරවල එක සෙන්ටිමීටරයක්වත් ලැබෙන්නේ නැහැ. මුළු බටහිර අර්ධගෝලයේ පහත්ම තැන නම් ඩෙත් නිම්නයේ බෑඩ්වෝටර් යන ප්‍රදේශයයි. එය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමෙන් මීටර් 86ක් පහළින්. එම ස්ථානයේ සිට කිලෝමීටර් 140ක ඈතින් මීටර් 4,418ක් උස විට්නි කන්ද පිහිටා තිබෙනවා. ඇලස්කාවට අමතරව එක්සත් ජනපදයේ උසම ස්ථානය මෙම කන්දයි.

වර්ෂ 1850දී රත්‍රන් කුඩා ප්‍රමාණයක් සෝල්ට් ස්ප්‍රිං යන ස්ථානයෙන් සොයාගනු ලැබූ අතර පිත්තල, රිදී හා ඊයම්ද ඩෙත් නිම්නයෙන් සොයාගෙන තිබෙනවා. එම කාල වකවානුවේ ඩෙත් නිම්නය පුරාම පතල් හාරන කුඩා ගම්මාන හතු පිපෙන්නාක් මෙන් ඇති වුණා. ඒවායින් සමහරකට ඉංග්‍රීසියෙන් අමුතු නම් දමා තිබුණා. එහෙත් පතල්වල ලෝ පස් ඉවර වූ විට ඒ ගම්මාන පාළුවට ගියා. කෙසේවුවද 1880දී තවත් දෙයක් සොයාගත්තා. එය නම් සබන් හා වෙනත් දෑ නිපදවීමට යොදාගන්නා බෝරැක්ස් යන ඛනිජ ද්‍රව්‍යයි. එමගින් 1888වන තෙක් මෙම ප්‍රදේශය යළි නව පණක් ලැබී තිබුණා. බූරුවන් 18දෙනෙක් හා අශ්වයන් දෙදෙනෙක් ඇදගෙන යන දිගින් මීටර් පහක් වූ කරත්ත දෙකක් එකට සවි කර, බෝරැක්ස් පටවාගෙන කිලෝමීටර් 270ක දුරක් ගෙවා ළඟම තිබූ මොහාවේ නගරයට ගෙන ගියා. කොහොමවුණත් ජූනි හා සැප්තැම්බර් මාස අතර කාලයේදී කිසිම ප්‍රවාහණයක් සිදු වුණේ නැහැ. ඊට හේතුව මිනිසුන්ටත් සතුන්ටත් දරාගන්න බැරි අධික උෂ්ණත්වයක් තිබූ නිසයි.

ඩෙත් නිම්නය 1933දී ජාතික වස්තුවක් ලෙස පිළිගත්තා. වර්ෂ 1994 හෙක්ටයාර් මිලියන 1.3ක් විශාල මෙම භූමි ප්‍රදේශය ඩෙත් නිම්නය යන ජාතික උද්‍යානය ලෙස නම් කළා. මෙය දැනට එක්සත් ජනපදයේ තිබෙන ජාතික උද්‍යානවලින් එකක්.

වැලිකතරේ ජීවීන්

බැලූ බැල්මට ඩෙත් නිම්නය කිසිම ජීවියෙක් නැති පාළු පෙදෙසක් ලෙසයි දිස් වෙන්නේ. එහෙත් විවිධ ජීවීන් වර්ග රාශියක් මෙහි සිටිනවා. අධික උෂ්ණත්වය නිසා මුන්ගෙන් බොහෝදෙනෙක් නිශාචරයන්. මෙහි සිටින විශාලතම ක්ෂීරපායි සත්වයා සංචාරකයෙක්. අවට කඳුවලින් බැස එන කඳු බැටළුවන් මේ නිම්නයට ඉඳ හිට පැමිණෙනවා. එමෙන්ම බැජරාවන්, වවුලන්, බොබ්කැට් නම් බළල් වර්ගය, සිවලුන් වර්ග, කැන්ගරු මීයන්, කඳු සිංහයන්, ඉත්තෑවන්, හාවුන්, උරුලෑ වර්ගයක් වන ස්කන්කයන්, වල් බූරුවන්, කටුස්සන්, සර්පයන්, ඉබ්බන් වැනි සතුන්ද එහි දැකගත හැකියි. පක්ෂීන් අතරෙන් කිතලුන්, උකුස්සන්, කොක්කුන්, වටුවන්, කාක්කන්, හින්නන්, ගිජුලිහිණියන් හා තවත් කුරුලු විශේෂ සිය ගණන් මෙහි සැරිසරනවා.

ඩෙත් නිම්නයේ කටුක තත්වයන්ට හොඳින්ම මුහුණ දෙන්නේ කැන්ගරු මීයයි. වතුර පොදක්වත් නොබී මුළු ජීවිත කාලයම ගත කිරීමට උන්ට හැකියි. “උන් ආහාරයට ගන්නා වියළි ඇට වර්ගවල තිබෙන පිෂ්ඨයෙන් හා මේදයෙන් ශරීරයට අවශ්‍ය ජලය ලැබෙනවා” කියා එක් පොතක සඳහන් වෙනවා. ඒ වගේම උන්ගේ වකුගඩුවලින් මූත්‍රා පෙරීම සිදු වන්නේ අල්පයක් පමණයි. මුන් නිශාචරයන් නිසා තද අව්ව තිබෙන වෙලාවට වැල්ලේ සැඟවී සිට රාත්‍රි කාලයේදී ආහාර සොයා එළියට පැමිණෙනවා.

මේ නිම්නයේ විවිධ ශාක වර්ග දහස් ගණනින් වැඩෙනවා. වසර දහස් ගණනක් පුරා මෙම ප්‍රදේශයේ වෙසෙන ෂොශෝනි ගෝත්‍රයට අයත් රතු ඉන්දියානු ජාතිකයන් කෙදිනකවත් කුසගින්නේ සිට නැහැ. ඔවුන්ගේ ආහාරය සඳහා මෙන්ම භාණ්ඩ සෑදීමටත් මෙහි තිබෙන විවිධ ශාක වර්ග භාවිත කරනවා.

වැලිකතරේ මල් හටගන්නා විට

විටින් විට ඩෙත් නිම්නයේ ස්වාභාවික මල් ප්‍රදර්ශනයක් දැකගත හැකියි. මේ අලංකාර මල් හටගන්නේ කොහොමද? වසර ගණනාවක් පුරා පස යට තිබෙන අසීමිත බීජ සංඛ්‍යාව වැසි කාලයේදී පැළ වෙයි. “සමහරවිට අවුරුදු ගානකට එක මලක්වත් දකින්න ලැබෙන්නේ නැහැ” කියා ජාතික වනෝද්‍යාන පිළිබඳ උද්භිද විද්‍යාඥ ටිම් ක්‍රොසාන්ට් පැවසුවා.

වර්ෂ 2004/2005 ශීත ඍතුවේ ඩෙත් නිම්නයට වාර්තා වී තිබෙන වැඩිම වර්ෂාපතනය ලැබුණා. එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුන්ගුණයක්. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ මල් වර්ග 50කට වඩා හටගත්තා. ඒවා අතරේ උඩවැඩියා, පොපි, සූරියකාන්ත වැනි මල් තිබුණා. ඒ කාලයේ ඩෙත් නිම්නයට ගිය එක් සංචාරකයෙක් පැවසුවේ මුළු ප්‍රදේශයේම සුවඳ විලවුන් හැලිලා වගේ සුවඳ හැමුවා කියලයි. සාමාන්‍යයෙන් මල්වලට බඹරු ඇදෙන නිසා මේ කාලයේදී ඩෙත් නිම්නය පුරාම බඹරු, මී මැස්සන් හා සමනලුන් වැනි කුඩා සතුන් දැකගත හැකියි.

ඔබ කවදාහරි ඩෙත් නිම්නය යන මේ වැලිකතරේ සිරි නරඹන්න තීරණය කළොත් හොඳ වාහනයක් වගේම ඇති තරම් ජලය රැගෙන යන්න අමතක කරන්න එපා. ඔබ එහි යන්නේ මල් පිපෙන කාලේදී නම් නොරදවාම ඔබේ කැමරාවත් ගෙනියන්න. එවිට වැලිකතරේ දිවි ගෙවන ජීවීන් හා තිබෙන ශාක දෙස ඔබේ පවුලේ සාමාජිකයන්ට හා මිතුරන්ට රස විඳිය හැකි වෙයි.

[පාදසටහන]

^ 7 ඡේ. දැනට වාර්තා වී තිබෙන වාතයේ වැඩිම උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 58ක් ලෙසින්. එය 1922දී ලිබියාවෙයි. එහෙත් සමස්තයක් වශයෙන් ගත් විට ගිම්හානයේදී ලෝකයේ වැඩිම උෂ්ණත්වය තිබෙන්නේ ඩෙත් නිම්නයෙයි.

[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

උතුරු අමෙරිකාවේ පහත්ම, වියළිම හා උණුසුම්ම ස්ථානය

[17වන පිටුවේ කොටුව/පින්තූර]

කාන්තාරයෙත් මසුන්!

මේ වැලිකතරේ මසුන් විශේෂ හතරක්ම දැකගන්න පුළුවන්. සෙන්ටිමීටර් හයක් දිග රිදී පාට මේ මසුන් ශීත කාලයේ කුඩා ඇළවල හා පොකුණුවල මඩේ රැඳී සිට ක්‍රියාශීලී වී වර්ගයා බෝ කරන්නේ උණුසුම් කාලයේදීයි. ඒ වන විට පිරිමි සතාගේ පාට වෙනස් වී නිල්පාටකින් දිලිසෙන අතර ඌ තම සීමාව වෙන් කරගෙන මුර කරනවා. දැඩි හිරු රැස් නිසා වැඩි කල් නොගොස් ඇළවල හා පොකුණුවල ජලය වාෂ්ප වී බොහෝ මසුන් මිය යයි. බේරී ජීවත් වන මසුන්ට ඉතා කටුක තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා ඉහළ යා හැකි අතර වාෂ්ප වීම නිසා ජලයේ ලුණු ගතිය වැඩි වෙයි.

[හිමිකම් විස්තර]

Top fish: © Neil Mishalov--www.mishalov.com; bottom fish: Donald W. Sada, Desert Research Institute

[14වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

අමෙරිකා එක්සත් ජනපදය

කැලිෆෝනියාව

ඩෙත් නිම්නය ජාතික උද්‍යානය

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Mules: Courtesy of The Bancroft Library/​University of California, Berkeley

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Burros: ©Joseph C. Dovala/​age fotostock; top panorama: © Neil Mishalov--www.mishalov.com; flowers: Photo by David McNew/​Getty Images