Skip to content

පටුනට යන්න

සියලු දුක්වලින් මම මිදුණා

සියලු දුක්වලින් මම මිදුණා

සියලු දුක්වලින් මම මිදුණා

පැවසුවේ ෂොන් ක්ලෝඩ් ෆ්‍රන්ස්වා

බයිබල් ප්‍රතිපත්තිවලට අනුව මගේ හිතට එකඟ නැති දෙයක් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා අවුරුදු හතක් හිරගෙවල් කීපයක ඉන්න සිද්ධ වුණා. වධ හිංසා වින්දත් මම හිටියේ සතුටෙන්. මගේ ඒ කතාව දැන් කියන්නම්.

මම ඉපදුණේ 1937 ජනවාරි 9වෙනිදා ඇල්ජීරියාවේ ඇල්ජියර්ස්වලදීයි. ඒ කාලයේදී ඇල්ජීරියාව ප්‍රංශ පාලනය යටතෙයි තිබුණේ. මගේ තාත්තා ප්‍රංශ හමුදා නිලධාරියෙක්. ඊජිප්තුව, ඉරාකය, ලෙබනනය හා සිරියාව යන රටවලට යන්න සිද්ධ වුණ නිසා මාස කීපයක්ම දරුවන් පස්දෙනාව දකින්නැතුව ඔහුට නිතරම ඉන්න සිද්ධ වුණා.

මම පාසැල් අධ්‍යාපනය ලැබුවේ හුඟක් ආසාවෙන්. නිතරම හොඳ ලකුණු ලැබුණා. කොහොමවුණත් ඇයි අපි මැරෙන්නේ, දෙවි බලවත් වගේම යහපත් කෙනෙක් නම් ඇයි මේ තරම් නරක දේවල් වෙන්නේ කියන ප්‍රශ්න මගේ හිතට වද දුන්නා. ඒවාට හරි උත්තර ලැබුණේ නැහැ. ජීවය බිහි වුණ ආකාරය දැනගන්නත් මම ආසාවෙන් හිටියා. ඒ කාලයේදී ඩාවින්ගේ පරිණාමවාදය විතරයි ටිකක් හරි පිළිගන්න පුළුවන් වෙලා තිබුණේ. කාලයක් යද්දී මම කොහොමටවත් දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති තත්වයකට පත් වුණා.

හරි පිළිතුරු!

යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වෙලා හිටිය ජෝර්ෂ් මගේ මිත්‍රයෙක්. එයා 1954දී පරිණාමයට පටහැනිව නව ලෝකය යන අර්ථය ඇති පොත්පිංචයක් මට දුන්නා. (පොත්පිංචය Evolution Versus the New World). * මම ඒක කියෙව්වේ ලොකු උනන්දුවකින්. පරිණාමවාදයේ දෝෂ හෙළි කරනවාට අමතරව සෑම ජීවියෙකුවම “ඒ ඒ වර්ග ලෙස” දෙවි විසින් මැව්ව බව සඳහන් උත්පත්ති පොතේ වාර්තාව සනාථ කරන ෆොසිල ගැනත් ඒකේ පැහැදිලි කරලා තිබුණා. (උත්පත්ති 1:12, 25) ඒත් නරක දේවල් පවතින්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු ලැබුණේ නැහැ.

ජෝර්ෂ් පූර්ණ-කාලීන දේවසේවයේ යෙදෙමින් පුරෝගාමියෙකුව සිටියා. මම කවදාවත් කියවලා නැති බයිබලයේ තිබුණ දේවල් ඔහු අන් අයට ඉගැන්නුවා. මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඔහුට පුළුවන් වෙයිද කියලා හිතලා මම ඔහුගේ නවාතැනට ගියා. ඔහු ඒ කුඩා නිවසේ හිටියේ තවත් පුරෝගාමීන් කීපදෙනෙක් එක්කයි. මගේ ප්‍රශ්න වැඩිහරියකට ශුද්ධ ලියවිල්ලෙන්ම පිළිතුරු ලැබුණා. ඊට පස්සේ මම ආසාවෙන් පිළිවෙළකට බයිබලය පාඩම් කළා. එදායින් පස්සේ මම ඇදහිල්ල ශක්තිමත් කරන දේවවචනය අධ්‍යයනය කළා. කවදාවත් එපා වුණේ නම් නැහැ.—හිතෝපදේශ 2:1-5.

ක්‍රිස්තියානි රැස්වීම්වලටත් යන්න පටන්ගත්තා. ඒ දවස්වල රැස්වීම් පැවැත්තුවේ ඇල්ජියර්ස් නගරයේ අවන්හලක පහළ තට්ටුවෙයි. සාක්ෂිකරුවන් මාව ආදරයෙන් පිළිගත්ත නිසා මම දිගටම රැස්වීම්වලට ගියා. දවසක් එක්තරා වීදියක රැස් වෙන්න කියලා නිවේදනයක් දුන්නා. මාත් එතනට ගියා. එතකොටයි මම දැනගත්තේ ගෙයින් ගෙට දේශනා සේවයේ යන්නයි සාක්ෂිකරුවන් රැස් වෙලා ඉන්නේ කියලා. (ක්‍රියා 20:20) ඒත් මම හැරිලා ආවේ නැහැ. එදා තමයි මට ප්‍රසිද්ධ දේවසේවයේ හවුල් වෙන්න අවස්ථාව උදා වුණේ.

සාක්ෂි දරන්න හවුල් වුණ තුන්වෙනි දවසෙදී ගෙවල්වල හිටිය අයට මම තනියම කතා කළා. එක ගෙදරකදී මම බයිබල් පදයක් පෙන්නන්න හැදුවත් හොයාගන්න බැරි වුණා. “ළමයා අනිත් අයට උගන්වන්න ඉස්සෙල්ලා තමන් ඉගෙනගෙන ඉන්න” කියලා නිවසේ හිටිය කෙනා දොර වැහැව්වා. මට වුණේ වස ලැජ්ජාවක්. ළඟ තිබුණ බංකුවක වාඩි වෙලා කොහොමහරි ඒ පදය හොයාගත්තා. ආපහු ඒ ගෙදරට ගිහින් බයිබල් පදය ඔහුට පෙන්නුවා.

මං 1956 මාර්තු 4වෙනිදා බව්තීස්ම වුණා. මාස හයකට පස්සේ වැදගත් තීරණයක් ගන්න සිද්ධ වුණා. ස්ථාවර පුරෝගාමියෙක් හැටියට සේවය කරනවාද නැත්නම් ඇල්ජීරියාවේ පිටිසරබද පළාතක පාසැල් ගුරුවරයෙක් හැටියට පත්වීම ලබාගන්නවාද? එතකොට දේවසේවයට වැඩි කාලයක් මිඩංගු කරන්න බැරි වෙන නිසා මම පුරෝගාමි සේවය තෝරගත්තා.

මගේ තීරණය නිසා මගේ පියාට කේන්ති ගිහින් මගේ බෙල්ල ළඟට පිහියක් දික් කරගෙන හැමදාම රෑ වෙන්න කලින් ගෙදර එන්න ඕන කියලා කිව්වා. මගේ කෑම බීමවල වියදම ගෙවන්න මම කැමති වුණත් මට කන්න බොන්න දෙන්නේ නැහැයි කියලත් කිව්වා. ඒ නිසා හැමදාම ගෙදරින් පිට වුණේ බඩගින්නේ. දවල් කෑම ගත්තේ පුරෝගාමීන් එක්ක එකතු වෙලා. රෑට ගෙදර යන්න කලින් පිටින් මොනවාහරි කාලා ගියා.

බෝම්බ පිපිරීම් හා වෙඩි හඬ මැද

ඒ කාලයේදී ප්‍රංශයෙන් නිදහස ලබාගන්න ඇල්ජීරියාව යුද්ධ කරමින් හිටියා. ඒ නිසා බෝම්බ හා වෙඩි ප්‍රහාර නොනැවතී එල්ල වුණා. එක මාසෙක සිද්ධ වුණ බෝම්බ පිපිරීම් 100කටත් වඩා වැඩියි. බස්වල, බාර්වල, ක්‍රීඩාංගණවල යන හැම තැනකම වගේ බෝම්බ අටවලා තිබුණා. ගෙවල්වල හිටිය අය දොරවල් අරින්න බය වුණ නිසාත්, නිතරම ඇඳිරි නීතිය දැම්ම හින්දත්, හැඳුනුම්පත් පරීක්ෂා කිරීම හා සෝදිසි මෙහෙයුම් නිතරම සිද්ධ වුණ නිසාත් දේවසේවයේ යෙදීම පහසු වැඩක් වුණේ නැහැ.

වර්ෂ 1956 සැප්තැම්බර් 30වෙනි ඉරිදා තවත් පුරෝගාමීන් කීපදෙනෙක් එක්ක මම අපේ රැස්වීම් ශාලාව පිරිසිදු කර කර ඉද්දී උඩ තට්ටුවේ බෝම්බයක් පිපිරුණා. අවන්හලේ හිටිය හුඟදෙනෙකුට තුවාල වුණා. සමහරු මැරුණා. ඒත් පල්ලෙහා හිටිය අපි කාටත් කිසිම හානියක් වුණේ නැහැ. දෙසැම්බර් මාසේ දවසක මායි තව සහෝදරියෙකුයි සෙනඟ හුඟක් ගැවසෙන පාරක දේශනා කරද්දී කාර් එකක් හයියෙන් ඇවිල්ලා වෙඩි තියාගෙන ගියා. අපි ඉක්මනින්ම දොරකොඩකට ගිහින් ඒ සහෝදරියවත් ඇදගෙනම මාත් බිම දිගා වුණා. අපේ ඔළුවට උඩින් වෙඩි උණ්ඩ ගියා. එදායින් පස්සේ අපි සාක්ෂි දැරුවේ හුඟක් පරෙස්සමින්.

යුධ අවි ප්‍රතික්ෂේප කරයි

වර්ෂ 1957 මාර්තු 1වෙනිදා මාව හමුදා සේවයට කැඳෙව්වා. මගේ හෘද සාක්ෂියට අනුව අවි භාවිතය සුදුසු දෙයක් නොවුණ නිසා සම්මුඛ පරීක්ෂණයේදී බලධාරීන්ට මුහුණ දෙන්න ශක්තිය ඉල්ලලා මම යාච්ඤා කළා. මගේ පියාට මාව මුණගැහෙන්න ඉඩ තියන්න එපා කියලත් යාච්ඤා කළා. සම්මුඛ පරීක්ෂණය තියෙන්නේ ප්‍රංශයේ මගේ නිවසෙන් ඈත ලීල් නගරයේ බව දැනගත්තාම මට ලොකු සහනයක් දැනුණා.

දවස් හයකට පස්සේ මම ලීල් නගරයට ගියා. අපේ සම්මුඛ පරීක්ෂණය තිබුණේ 17වන සියවසේ 14වන ලුවී රජු සිටි කාලයේදී තිබූ බලකොටුවෙයි. ඇයි මම හමුදාවට බැඳෙන්නේ නැත්තේ කියලා නිලධාරීන්ට බයිබලෙන් පැහැදිලි කළාම ඔවුන් මාව හිරේ දැම්මා. දවසක් ආරක්ෂක භටයන් මාව බලෙන් හිර කුටියෙන් එළියට ඇදගෙන ගිහින් සෝදිසි කළාම මා ළඟ තිබුණ පුංචි බයිබලය අහු වුණා. ඊට පස්සේ මට හිම උඩ මුණින් අතට දිගා වෙන්න කියලා බයිබලය මගේ පැත්තකට විසි කරලා ඔළුව හරවන්න නොදී විනාඩි 30ක් විතර තුවක්කුව ඔළුවට තියලා තද කරගෙන හිටියා. පස්සේ පුදුමෙකට වගේ ඔවුන් මට බයිබලය ආපහු දුන්නා. තාමත් ඒ බයිබලය මගේ පොත් රාක්කේ තියෙනවා. එදා මං වින්ද වධ හිංසාවලට පස්සේ අවුරුදු ගණනාවක් යනකම්ම සැරෙන් සැරේට බඩේ අමාරුවක් හැදුණා.

දවස් කීපයකට පස්සේ මගේ පියා එව්ව ලිපියක කොටසක් හමුදාපති මට ඇහෙන්න කියෙව්වා. “කැමති දෙයක් කරලා ඒ ගැන තියෙන උනන්දුව නැති කරලා කොහොමහරි එයාව නම්ම ගන්න.” මගේ ස්ථාවරය නැති කරගත්තේ නැති නිසා මාව අඳුරු සිර කුටියකට දැම්මා. නිදාගන්න තිබුණේ ලෑල්ලක්. සීතලට පොරවන්න ලැබුණේ පුංචි බැලැන්කට් කෑල්ලක්. වැසිකිළියක් තිබුණේ නැති නිසා සිර කුටියේ අයිනක් පාවිච්චි කරන්න සිද්ධ වුණා. මූණ කට සෝදගන්නවත්, දත් මදින්නවත්, අඩුම තරමින් පිඟාන හෝදගන්නවත් විදිහක් තිබුණේ නැහැ. සති දෙකකට පස්සේ පැරිසියේ ෆ්‍රෙන්ස් බන්ධනාගාරයට මාව යැව්වා.

ඊට පස්සේ අවුරුදු හයක්ම බන්ධනාගාර 14ක ඉන්න සිද්ධ වුණා. ශීත කාලෙකදී මාව ල්වාර් මිටියාවතේ ෆොන්ටෙව්‍රෝ බන්ධනාගාරයේ හිර කළා. දැන් බන්ධනාගාරයක් වුණාට 12වෙනි සියවසේදී ඒක කන්‍යාරාමයක්. මට තිබුණ හැම දෙයක්ම රාජසන්තක කරලා තිබුණා. මං මගේ බයිබලය ඉල්ලලා ඇවිටිලි කළ නිසා මාසයක්ම හුදෙකලා වූ සිරකඳවුරක රැඳෙව්වා. එතැනදී මට ආපහු තද සීතල නිසා කැස්සක් හැදිලා කහිද්දී ලේ යන්න පටන්ගත්තා.

පස්සේ ඊට වඩා ටිකක් හොඳ ෂැටෝව් ඩ ට්වකාන් නම් සිර කඳවුරට මාරු කළා. එතනදී සිද්ධ වුණේ විශ්‍රාම ගිය මහේස්ත්‍රාත්වරුන්ගේ ගෙවල්වල මෙහෙකාරකම් කරන්නයි. මාත් එක්ක සෙසු සිරකරුවෙකු වූ අහමඩ් බෙන් බෙලාත් හිටියා. කාලෙකට පස්සේ ඔහු ඇල්ජීරියා ජනරජයේ ජනාධිපති වුණා. අපි එකට හිටපු කාලෙදී මාස කීපයක් පුරාම මම ඔහුට සාක්ෂි දැරුවා. “ඔයා ඇල්ජීරියන් ජාතිකයෙක්. අනිත් ඇල්ජීරියන්ලව මරන්න අවි අතට ගත්තේ නැති නිසයි ඔයාව හිර කළේ” කියලා ඔහු වතාවක් මට කිව්වා. ඇත්තෙන්ම ඔහු මගේ ආගමික විශ්වාසයට ගරු කළා.

තවත් පීඩා විඳදරාගැනීමට උපකාර ලැබෙයි

මම ටිකෙන් ටික දුර්වල වුණා. මට ක්ෂය රෝගය හැදිලා තියෙන බව හොයාගත්තට පස්සේ දකුණු ප්‍රංශයේ ළය රෝහලට ඇතුල් කළා. මාස කීපයක්ම ඇඳේ හිටියා. පෙණහැල්ලේ නරක් වුණු කොටස ශල්‍ය කර්මයකින් ඉවත් කරන්න සිද්ධ වෙනවා කියලා වෛද්‍යවරයා කියද්දී මම එකඟ වුණත් ‘ලේ ගන්නේ නැහැ’ කියලා මම කිව්වා. (ක්‍රියා 15:29) කේන්ති ගත් වෛද්‍යවරයා ශල්‍ය කර්මය කරන්න අකමැති වුණා. මේක වුණේ හිරේට ගිහින් හයවෙනි අවුරුද්දෙයි.

ශීත ඍතුවේ මැද හරියේදී මට ඒ රෝහලෙන් පිට වෙන්න සිද්ධ වුණා. ඇඳගෙන හිටිය ඇඳුම විතරයි මට ඉතිරි වුණේ. නමුත් පාවුල්ට උපකාර කරන්න යෙහෝවා දෙවි ඔනෙසිපරස්ව එව්වා වගේ මටත් උපකාරයට කෙනෙක් හොයලා දුන්නා. සහෝදර ඇඩොල්ෆ් ගාරාටෝනි මාව ඔහුගේ ගෙදර තියාගත්තා. ඔහු මට ‘ශක්තිය සපයන උපකාරකයෙක්’ වුණා. (කොලොස්සි 4:11; 2 තිමෝති 1:16-18) ඔහුගෙත්, දකුණු ප්‍රංශයේ වෛද්‍යවරයෙකුගෙත් උපකාරයෙන් ටිකෙන් ටික මම සුව වුණා.

මේ වෙනකොට මම සෑහෙන්න ණය වෙලයි හිටියේ. කොහොමද ණය පියවන්නේ කියලා හිතාගන්නවත් බැරි වුණා. මෙහෙම ඉන්නකොට දවසක් අමුත්තෙක් මාව හොයාගෙන ඇවිත් “මම නීතිඥවරියක්, ඇල්ජීරියාවේ ජනාධිපති බෙන් බෙලා මහතා මේක ඔබට දෙන්න කිව්වා” කියලා ණය ගෙවලත් ඉතිරි වෙන තරමට ලොකු මුදලක් එක්ක ලියුම් කවරයක් ඇය මට දුන්නා. ‘යාච්ඤා අසන’ යෙහෝවා දෙවිට මම මගේ මුළු හිතින් ස්තුති කළා.—ගීතාවලිය 65:2.

බොහෝ වරප්‍රසාද, අගනා සහකාරියක්

හිරෙන් නිදහස් වුණාට පස්සේ ආපහු දේවසේවයේ යෙදුණා. පැරීසිය කිට්ටුව තිබුණ මෙලියුන් සභාවේ හිටිය අවුරුදු 35ක වැන්දඹුවක් වන ආන්ඩ්‍රේ මොරෙල්ව මට මුණගැහුණා. රිය අනතුරකින් මිය ගිය ඇගේ කලින් සැමියාත් සාක්ෂිකරුවෙක්. අපි 1964 සැප්තැම්බර් 26වෙනිදා විවාහ වුණා. විශේෂ පුරෝගාමි දේවසේවකයන් හැටියට 1965 අගෝස්තු 1වෙනිදා අපිට පැවරුම ලැබුණා. ආන්ඩ්‍රේට එච්චර හොඳ සනීපයක් නොතිබුණත් අවුරුදු 28ක්ම පුරෝගාමි සේවය කළා.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලට ගිහින් දිරිගැන්වීමක් ලබා දෙන සංචාරක දේවසේවකයෙක් එනම් චාරිකා අවේක්ෂකයෙක් හැටියට 1967දී සේවය කරන්න ලැබුණා. දකුණු ප්‍රංශයේ බොඩෝක්ස් ඉඳලා මොනාකො අතරත්, අවුරුද්දක්ම පැරීසියෙත් අපි සේවය කළා. සෞඛ්‍ය තත්වය දුර්වල වුණ නිසා සංචාරක සේවය පහසු වුණේ නැතත් යෙහෝවා දෙවිගේ උපකාරයෙන් 1986 වෙනකම් අවුරුදු 20ක්ම සේවය කළා. ඊට පස්සේ අපි ආපහු විශේෂ පුරෝගාමීන් හැටියට සේවය කරන්න පටන්ගත්තා.

අද දින මගේ ජීවිතය

දැන් මට 70ක් වෙන්නත් ළඟයි. පීඩා විඳදරාගන්න යෙහෝවා දෙවි හැමවිටම තම සේවකයන්ට ශක්තිය දෙන බව මම නිතර නිතර අද්දැක්කා. ඒ ශක්තිය යම් දුරකට ලැබෙන්නේ ඔහුගේ බලයෙන් ලියපු බයිබලයෙන්. ඒ නිසා හැම අවුරුද්දෙම මුළු බයිබලයම කියවන්න මම උත්සාහ කරනවා.—යෙසායා 40:28-31; රෝම 15:4; 2 තිමෝති 3:16.

මිනිස්සු ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වද්දිත්, ඔවුන්ගේ ජීවිත යෙහෝවාට කැප කරනවා දකිද්දිත් ආන්ඩ්‍රේයි මායි තව තවත් දිරිගැන්වෙනවා. පහුගිය කාලයේදී අපෙන් බයිබලය ඉගෙනගත්ත අය 70දෙනෙක් එහෙම කරනවා දැකීම අපිට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක්. අපේ පහුගිය කාලේ දිහා ආපහු හැරිලා බලද්දී මට මතක් වෙන්නේ ගීතිකාකරු ලියූ මේ දෙයයි. “මේ දුප්පතා මොරගැසුවේය; යෙහෝවා ඔහුගේ බස් අසා සියලු දුක්වලින් ඔහු ගැලෙව්වේය.” මේක ලියලා තියෙන්නේ අපිටමයි.—ගීතාවලිය 34:6.

[පාදසටහන]

^ 7 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොකෙරේ.

[21වන පිටුවේ පින්තූරය]

ෂැටෝව් ඩ ට්වකාන් සිර කඳවුරේදී

[23වන පිටුවේ පින්තූර]

මගේ බිරිඳ එක්ක 1967දීත් දැනුත්