Skip to content

පටුනට යන්න

ඇය ඉගෙනගත් දේ අගය කළා

ඇය ඉගෙනගත් දේ අගය කළා

ඇය ඉගෙනගත් දේ අගය කළා

පිළිකාවකින් පෙළුණ එක් කාන්තාවක් 2004 මැයි මාසේ හදිසියෙන් මිය ගියා. ඇය ඊට ටික දවසකට පෙර ලියූ ලිපියක් මෑතකදී සොයාගනු ලැබුවා. සොයාගත් අය එය කියවූ විට ඇස්වලට කඳුළු ආවා වගේම දෙවි කෙරෙහි තිබූ ඔවුන්ගේ ඇදහිල්ලත් ශක්තිමත් වුණා. ඇය මේ ලිපිය ලියා අවසන් කරලවත් තැපැල් කරලවත් තිබුණේ නැහැ.

මෙම ලිපිය ලියා තිබුණේ සූසන් විසින්. ඇය විස්තර කළේ වයස අවුරුදු 14දී එක්සත් ජනපදයේ කනෙක්ටිකට්හි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩිමහල්ලෙකුට ඇය මුල් වරට දුරකථන ඇමතුමක් දුන් බවයි. යෞවන කාලේ ඇය මුහුණ දුන් තත්වය ගැන විස්තර එම ලිපියේ සඳහන් කර තිබුණා. ගිය අවුරුද්දේ අන්තිම හරියේදී සූසන්ගේ අම්මට මේ ලිපිය දුන් විට ඇය නිව් යෝක් නගරයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය වෙත ලිපියේ පිටපතක් තැපැල් කළා.

වර්ෂ 1973 දුරකථන නාමාවලියෙන් කනෙක්ටිකට්වල සිටින එම වැඩිමහල්ලාගේ දුරකථන අංකයක් සොයාගත් බව සූසන් සඳහන් කර තිබුණා. ඉන්පසු සිදු වූ දෙය ඇය මේ ආකාරයට විස්තර කරනවා. “ඒ වෙද්දී මට අවුරුදු 14යි. මුරටැඹ සහ පිබිදෙව්! කියවද්දී මම තේරුම්ගත්තා මේක තමයි සත්‍යය කියලා. එහෙත් සාක්ෂිකරුවන්ව හමු වෙලා තිබුණේ නැති නිසා දුරකථන නාමාවලියෙන් අපේම ප්‍රදේශයේ සිටින සාක්ෂිකාරයෙක්ගේ අංකයක් සොයාගත්තා. ඒකට කතා කළාම පිළිතුරු දුන්නේ සහෝදර ජෙන්රික්. මට කවදාවත් සාක්ෂිකරුවෙක් මුණ ගැහිලා නැහැ කිව්වහම ඔහු පුදුම වුණා.” *

පවුලෙන් ආ හිරිහැර

සූසන් තම ලිපියේ පැහැදිලි කරන්නේ, වයස අවුරුදු දහයේදී ඇයව කනෙක්ටිකට්වල ඉන්න පුංචි අම්මාගෙ ගෙදරට තාවකාලිකව යැවූ බවයි. එහෙත් පසුව දිගටම පුංචි අම්මා එක්ක ඉන්න තීරණය කරපු සූසන් ෆ්ලොරිඩාවේ තනියෙන් හිටිය ඇගේ අම්මට ඒ ගැන දැනුම් දුන්නා. පුංචි අම්මගේ ගෙදර තිබූ වාතාවරණය සූසන් විස්තර කළේ මේ ආකාරයටයි. “හිරිහැර කළ අය සමඟ තරහා නොවී කිට්ටු වෙන්න මම උත්සාහ කළා.” ඒත් ඔවුන් ඇයට හුඟක් හිරිහැර කළා.

සූසන් මෙසේ ලිව්වා. “මගේ පුංචි අම්මා සහ එයත් එක්ක එකට ජීවත් වුණ පුද්ගලයා මට හුඟක් හිරිහැර කළා. ඒ වගේම අපේ ගෙදරට අමුත්තෙක් ආවේ හුඟක් කලාතුරකින්. අම්මා මගේ වියදම්වලට සල්ලි එව්වත් ඉස්කෝලේ යනකොට මට හරි හැටි ඇඳුමක්වත් කෑමවත් ලැබුණේ නැහැ. පුංචි අම්මගේ දුවලා දෙන්නා මට වඩා ටිකක් බාල වුණත් එයාලට හැම දේම තිබුණා. ඒත් මට තිබුණේ එක යට ඇඳුමක් විතරයි.” ඇය මේ දේවල් ලිව්වේ බයිබලය පාඩම් කරන්න කැමති බව පුංචි අම්මාට ආරංචි වුණොත් මීටත් වඩා කරදරවලට මුහුණ දෙන්න වෙයි කියලා ඇය දැන සිටි නිසයි.

සූසන් බයිබල් දැනුම වැඩි කරගනියි

සූසන් තවදුරටත් ලිව්වේ මෙසේයි. “සහෝදර ජෙන්රික් මට අද්දැකීම් ලත් ක්‍රිස්තියානි සහෝදරියක් වන ලෝරාව හඳුන්වලා දුන්නා. බයිබලය හා සම්බන්ධ මගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඇය හුඟක් කාලය ගත කළා. අපි මුණ ගැහුණේ රෙදි සෝදන්න ගිය වෙලාවලදීයි.” සූසන් සඳහන් කර තිබුණේ මීට පෙර කිසි දිනක කිසිම දෙයක් ගැන තනි තීරණක් ගෙන නොමැති බවයි. නමුත් මෙම සාකච්ඡාවලින් සහ සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය යන බයිබලය මත පදනම් පොත කියෙව්වට පස්සේ ඇයට තේරුණා තනි තීරණයක් ගන්න වෙනවා කියලා.

ඊළඟට වුණ දේ ගැන සූසන් මෙසේ පැවසුවා. “සාක්ෂිකරුවන් සමඟ සාකච්ඡා කරනවා කියලා මම පුංචි අම්මට සිකුරාදා දවසක කිව්වහම එදා රෑ පුරාම කුස්සියේ මැද මාව හිටෝලා තිබ්බා. ඒ සිද්ධියෙන් පස්සේ මම සාක්ෂිකරුවෙක් වෙනවාමයි කියලා අධිෂ්ඨාන කරගත්තා.”

සහෝදර ජෙන්රික් දිගටම සූසන්ට බයිබල් දැනුම වැඩි කරගන්න අවශ්‍යය පොත් පත් ලබා දුන්නා. සූසන් තවදුරටත් මෙසේ ලිව්වා. “වර්ෂ 1974 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (සිංහලෙන් නැත) මගේ අධිෂ්ඨානය ඉටු කරගන්න රුකුලක් වුණා. එහි කියා තිබුණා දෙවෙනි ලෝක මහා යුද්ධයට පෙර හා යුද්ධය පැවති කාලයේදී ජර්මනියේ නාට්සි පාලන සමයේදී සාක්ෂිකරුවන් විඳදරාගත් ආකාරය ගැන. . . . පසුව මම සහෝදර ජෙන්රික්ට කිව්වා රාජ්‍ය ගීතිකා පටිගත කරලා දෙන්න එතකොට මටත් පුළුවන් වෙයිනේ එම ගීතිකා ඉගෙනගන්න කියලා. අවුරුද්දක් ඇතුළත 1966දී මුද්‍රණය කළ ගීතිකා 119කින් යුත් ‘ඔබගේ හෘදයේ සංගීතයෙන් යුක්තව ගායනයෙන් හවුල්වීම’ යන ගීතිකා පොතේ සියලුම ගීතිකා මට කටපාඩමෙන් ගායනා කරන්න පුළුවන් වුණා.”

“ඒ අතරතුර සහෝදර ජෙන්රික් මට පටිගත කළ බයිබල් කතාවන්, නාට්‍යයන් සහ සමුළු වැඩසටහන් ලබා දුන්නා. අපි කලින් නියම කරගත් මහ පාරක ටෙලිෆෝන් කණුවක් ළඟ ඔහු ඒවා තැබුවා. . ඊට පස්සේ මම ගිහින් ඒවා ගත්තා . . . ඒත් එක රැස්වීමකටවත් ගිහින් නැති නිසා මට ඉන් එහාට කිසිවක් කරන්න බැරි වුණා. ටිකෙන් ටික මම කලකිරුණා.”

සූසන් විස්තර කරන්නේ ඊළඟ අවුරුදු කිහිපය හුඟක් අමාරු වූ බවයි. සාක්ෂිකරුවන් දෙදෙනා සමඟ තිබූ ආශ්‍රය ඇය නැවැත්තුවා. නමුත් ඇය කියන්නේ “මම ඉගෙනගත්ත ගීතිකා මගේ හිතට වද දෙන්න පටන්ගත්තා” කියලයි. හේතුව? “එක් එක් ගීතිකාවල වචන මට මතක් වෙද්දී මම බයගුල්ලෙක් කියලා හිතුණා. ‘යාගේ භටයින් සැප නොසොයනු’ කියන වචන මට මතක් වෙද්දී, මේ වචන ලියනු ලැබුවේ දෙවෙනි ලෝක මහා යුද්ධය කාලයේදී ජර්මනියේ වහල් කඳවුරේ හිටිය සාක්ෂිකරුවෙක් බව මම දැනගෙන හිටපු නිසා යෙහෝවා දෙවි මාව අතහැරලාද කියලා හිතුණා.” *

ජයගැනීම

“මගේ ජීවිතයේ වෙනසක් ඇති වුණේ 18වන උපන් දිනය දවසේදීයි. සාක්ෂිකරුවන්ට ‘එන්න එපා’ කියලා දැන්වීමක් දාලා තිබුණ නිසා අවුරුදු ගණනකට කිසිම සාක්ෂිකරුවෙක් අපේ නිවසට ආවේ නැහැ. නමුත් එදා වෙනත් ප්‍රදේශයක සිටි සාක්ෂිකරුවෙක් ගෙදරට ආවා. කවුරුවත් හිටියේ නැති නිසා මම එයත් එක්ක කතා කළා. මට මතක තියෙන විදිහට එදා තමයි සෙනසුරාදා දවසක තනියම මම ගෙදර හිටියේ. මේකෙන් මට පැහැදිලි වුණා යෙහෝවා දෙවි මාව අතහැරලා නැහැ මට උපකාර කරනවා කියලා. මට මුලින්ම හමු වූ සහෝදර ජෙන්රික්ට මම නැවත වතාවක් දුරකථනයෙන් කතා කරලා කිව්වා මට මෙහෙන් යන්න ඕනෙ කියලා. ඒ සඳහා මම ඔහුගෙන් උදව් ඉල්ලුවා. අන්තිමට පදිංචිය වෙනස් කරන්න පුළුවන් වුණා.”

සූසන් 1977 අප්‍රියෙල් මාසේ වෙනත් තැනක පදිංචි වුණා. ලිපියේ තවදුරටත් මෙසේ පවසනවා. “ඊළඟ අවුරුද්දේ සිට සියලුම රැස්වීම්වලට හා සමුළුවලට යන්නත්, දේශනා සේවයේ හවුල් වෙන්නත් මට පුළුවන් වුණා. කාලෙකට පස්සේ මම අම්මා එක්ක කතා කළා. පසුගිය අවුරුදුවල මම මොන තරම් කරදරවලට මුහුණ දුන්නද කියා ඇය දැනගත් විට ඇය හුඟක් දුක් වුණා. මට අවශ්‍ය දේවල් ලබා දෙන්න ඇය සැලසුම් කළා. අම්මා ඇලස්කාවේ පදිංචියට ගිහින් තියෙන්නේ අවුරුදු කිහිපයකට කලින්. ඇයත් බයිබලය ගැන යම් උනන්දුවක් දක්වපු නිසා මම 1978දී ඇලස්කාවට ගියා අම්මත් එක්ක ඉන්න. අම්මා සාක්ෂිකාරියක් බවට පත් වී අද දක්වා විශ්වාසවන්තව ඉන්නවා.

“මම රැස්වීම් යන්න පටන් අරන් වැඩි කල් යන්න පෙර සහෝදර ජෙන්රික් සංවිධානය කළා නිව් යෝක්වල තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය බලන්න යන්න. ඔවුන් එක්ක යන්න මටත් ආරාධනා කළා. එම ගමන මගින් යෙහෝවා දෙවිගේ සංවිධානය කෙරෙහි මට ඇති වූ විශාල අගය මගේ ජීවිත කාලය පුරාවටම මගේ හදවතේ තිබුණා. ඇත්තටම එදා ලැබූ ආරාධනාව මම සලකන්නේ මට ලැබුණු වටිනා තෑග්ගක් ලෙසයි. ඉතිං කියන්න තියෙන්නේ එච්චරයි. මම මේ ලියුම ටිකක් කෙටි කරලා තියෙන්නේ හුස්ම ටික යන්න කලින් ඉවර කරන්න ඕනෙ නිසයි.”

එය පිටු හයාමාරක් දිග ලිපියක්. ඒ නිසා ඉහත සඳහන් කර තිබෙන්නේ ලිපියේ සමහර කොටස් පමණයි. සූසන් අන්තිමට ලිව්වේ මෙසේයි. “ගිය මාසේ රෝහලේදී මට හුඟක් අමාරු වුණා. මම දැනගත්තා මේ සැරේ නම් මට ගොඩ එන්න බැහැ කියලා. . . . ඒ නිසා යෙහෝවා දෙවිට යාච්ඤා කළා සති දෙකකට මගේ තත්වය හොඳ වෙන්න ඉඩ දෙන්න මට තව වැඩ කීපයක් කරන්න තියෙනවා කියලා. . . . මම තව හුඟක් කල් ජීවත් වෙන්නේ නැති වුණත්, මට එක දෙයක් කියන්න පුළුවන්. සත්‍යය තුළ සිටිය කාලය හරිම වටිනා කාලයක්. මගේ ජීවිතයේ හොඳම කාලය එයයි!”

මේක ලිව්වේ කාටද කියලවත්, අත්සන් කරලවත්, තැපැල් කරලවත් තිබුණේ නැහැ. මේ ලිපිය සොයාගත් අය දැනගෙන හිටියෙත් නැහැ මේක ලැබිය යුත්තා කවුද කියලා. නමුත් කලින් සඳහන් කළ විදිහට අන්තිමේදී ලිපිය ලබා දුන්නේ සූසන්ගේ අම්මටයි.

සූසන් ගැන තවත් විස්තර

සූසන් බව්තීස්ම වුණේ 1979 අප්‍රියෙල් මාසේ 14වෙනිදායි. පසුව ඇගේ අම්මා නැවතත් ෆ්ලොරිඩාවට ගිය විට සූසන් දිගටම ඇලස්කාවේ හිටියේ, උතුරු පෝල සභාවේ අය සමඟ ඇය කිට්ටුවෙන් ආශ්‍රය කළ නිසයි. වැඩි කල් නොගොස් ඇය පුරෝගාමියෙක් ලෙස පූර්ණ කාලීන දේවසේවය ආරම්භ කළා. අවසානයේදී ඇය නැවත වරක් 1991දී ෆ්ලොරිඩාවට ගිහින් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වු පුරෝගාමි සේවකයෙක් සමඟ විවාහ වුණා. සූසන්ගේ මරණයෙන් ටික කාලයකට පසු ඔහුත් මිය ගියා.

සූසන් හා ඇගේ ස්වාමිපුරුෂයා හැමෝගේම ආදරය දිනාගත් පූර්ණ කාලීන දේවසේවකයන් හැටියට අවුරුදු 20කට වැඩි කාලයක් සේවය කළා. ඇගේ අසනීපය නිසයි සේවය නතර කරන්න සිදු වුණේ. ෆ්ලොරිඩාවේදී දුන් ඇගේ අවමංගල්‍යය කතාව දුරකථනය ඔස්සේ උතුරු පෝල සභාවේ අයටද සවන් දෙන්න සැලැස්සුවා.

යෙහෝවා දෙවිට සේවය කරන අයට ලැබෙන ආශීර්වාද හා ඔවුන්ට තිබෙන නැවත නැඟිටීමේ ප්‍රීතිමත් බලාපොරොත්තුව ගැන අගය කිරීමට සූසන්ගේ ලිපිය අපට උදව් කරනවා. (ක්‍රියා 24:15) මේ ජීවිත කතාවෙන් පැහැදිලි වන්නේ දෙවිට ළං වන සියල්ලන්ට ඔහු ළං වන බවයි!—යාකොබ් 4:7, 8.

[පාදසටහන්වල]

^ 4 ඡේ. සහෝදර ජෙන්රික් සහ ඔහුගේ බිරිඳ 1993දී හදිසි අනතුරකින් මිය ගියා.

^ 13 ඡේ. යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න, ගීතිකා අංක 29, “සාක්ෂිකරුවෙනි, පෙරට යන්න!”

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සත්‍යය තුළ සිටිය කාලය හරිම වටිනා කාලයක්, මගේ ජීවිතයේ හොඳම කාලය එයයි!”

[21වන පිටුවේ පින්තූරය]

සූසන්, අවුරුදු දහයේදී

[23වන පිටුවේ පින්තූරය]

සූසන්, ස්වාමිපුරුෂයා වන ජේම්ස් සීමෝ සමඟ