Skip to content

පටුනට යන්න

ඔහු විශිෂ්ට කෙනෙක් වීමට හේතුව

ඔහු විශිෂ්ට කෙනෙක් වීමට හේතුව

ඔහු විශිෂ්ට කෙනෙක් වීමට හේතුව

එදා සිට මේ වන තෙක්ම වසර 2,000ක් පුරා යේසුස්ගේ උපත කෙරෙහි බොහෝදෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. පළමු සියවසේ සිටි වෛද්‍යවරයෙකු වූ ලූක් පවසන පරිදි, තරුණ කන්‍යාවක් වන මරියාට දේවදූතයෙක් මෙසේ පැවසුවා. “බලන්න! ඔබ පිළිසිඳගෙන පුතෙකු බිහි කරන්නෙහිය. ඔබ ඔහුට යේසුස් යන නම තැබිය යුතුය.” මේ දේවදූතයා යේසුස් ගැන පැවසුවේ කුමක්ද? “[යේසුස්] ශ්‍රේෂ්ඨ වන්නේය. ඔහුට මහෝත්තමයාණන්ගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. . . . ඔහු රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය අවසන් නොවන්නේය” කියායි.—ලූක් 1:31-33.

නිසැකවම මිනිසාට අවශ්‍ය එයයි. එනම් මුළු ලොවම ප්‍රේමණීය ලෙස පාලනය කරන ධර්මිෂ්ඨ පාලකයෙක්. යේසුස්ගේ උපතට බොහෝ කලකට පෙර බයිබලයේ ඔහු ගැන පැවසුවේ මෙයයි. “අපට ළදරුවෙක් උපන්නේය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේය; ඔහුගේ කරපිට ආණ්ඩුව තිබෙන්නේය; [ඔහුට] . . . සදාකාල පියාණෝය; සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය; මෙතැන් පටන් ඔහුගේ ආණ්ඩුවේ වැඩිවීමටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.”—යෙසායා 9:6, 7.

ධර්මිෂ්ඨ ආණ්ඩුවක් සහ සාමය! මොන තරම් අගනා අපේක්ෂාවක්ද! එහෙත් එම ආණ්ඩුව කුමාරයෙකුගේ එනම් “සමාදානයේ කුමාරයාගේ” කරපිට තිබෙනවා කියා පුරෝකථනය කිරීමෙන් හෙළි වන්නේ සියලු මැවිල්ලේ රජු වන සර්වබලධාරි දෙවි තම පුත්‍රයාට එය බාර දෙන බවයි. තමා ඉදිරියේදී මෙම ආණ්ඩුවේ එනම් ‘දෙවිගේ රාජ්‍යයේ’ පාලකයා වෙනවා කියා යේසුස් යළි යළිත් පැවසුවේ එමනිසයි.—ලූක් 9:27, 60, 62.

යේසුස් දේවසේවයේ යෙදුණු මුල් කාලයේදී මෙලෙස පැවසුවා. “මා . . . දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කළ යුතුය. මන්ද, මාව එවන ලද්දේ ඒ සඳහාය.” (ලූක් 4:43) යේසුස් තම ගෝලයන්ටත් දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියා යාච්ඤා කිරීමට ඉගැන්නුවා. (මතෙව් 6:9, 10) “[යේසුස්ගේ] ඉගැන්වීම්වල ප්‍රධාන තේමාව වුණේ දෙවිගේ රාජ්‍යයයි. වෙනත් කිසිවකට ඔහුගේ මනසේ හෝ ඔහුගේ පණිවිඩයේ එතරම් ප්‍රමුඛත්වයක් හිමි වුණේ නැහැ. සුවිශේෂ පොත්වල ඒ ගැන සිය වාරයකටත් වඩා සඳහන් වී තිබෙනවා.” මෙලෙස පැවසුවේ ක්‍රිස්ටියැනිටි ඇන්ඩ් ක්‍රයිසිස් සඟරාවයි.

සලකා බැලිය යුතු ප්‍රශ්න

ඔබ යේසුස්ව දකින්නේ කොයි ආකාරයටද? සාමාන්‍යයෙන් වසරේ මේ කාලයේදී ඔහුව දකින්න ලැබෙන්නේ ගවඔරුවක සිටින බිළිඳෙක් විලසින්. කෙටි කලකට ඔහු බිළිඳෙකු ලෙස සිටි බව ඇත්තයි. (ලූක් 2:15-20) ඒත් ඔහුව අපේ මතකයට නැඟිය යුත්තේ එලෙසින්ද? මේ ගැන කල්පනා කර බලන්න. යේසුස් මිනිසෙකු ලෙස උපන්නේ ඇයි? ඔහු ඇත්තෙන්ම කවරෙක්ද?

“යේසුස්, හෙබ්‍රෙව් බයිබලයේ සඳහන් වන පොරොන්දු කරන ලද ගැලවුම්කාරයා වූ දෙවිගේ පුත්‍රයාද, නැතහොත් ඔහු විශිෂ්ට ක්‍රියා කළ සාමාන්‍ය මිනිසෙක්ද?” කියා 1996 එන්කාර්ටා යියර්බුක් ප්‍රකාශනයෙහි අසනු ලැබුවා. මේ ගැන ගැඹුරට කල්පනා කළ යුතුයි. මොකද අපේ ජීවිතයත් සතුටත් රඳා පවතින්නේ අපි යේසුස්වත් ඔහුගේ ක්‍රියාත් කොතරම් දුරකට සලකනවාද යන්න මතයි. “පුත්‍රයා කෙරෙහි ඇදහිල්ල පෙන්වන්නාට සදාකාල ජීවනය ලැබේ.” නමුත් ‘පුත්‍රයාට අකීකරු වන්නා ජීවනය නොදකියි’ කියා බයිබලයේ පවසයි.—යොහන් 3:36.

සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි

වයස අවුරුදු 12දී යෙරුසලමේ දේවමාලිගාවේදී යේසුස් කළ දේ විස්තර කිරීමෙන් පසුව මරියා හා ඇගේ ස්වාමිපුරුෂයා වූ යෝසෙප් සමඟ ඔහු ආපසු ගෙදර ගොස් “ඔවුන්ට යටත්ව” සිටි බව බයිබලයේ පවසනවා. (ලූක් 2:51, 52) නමුත් යේසුස් වැඩුණු පසු තවදුරටත් සාමාන්‍ය කෙනෙක්ව නොසිටි බව පැහැදිලියි.

යේසුස් කුණාටුවක් නිශ්චල කළ අවස්ථාවේදී බිය වුණු මිතුරෙක් පුදුමයෙන් “ඇත්තටම මොහු කවුද” කියා ඇසුවා. (මාක් 4:41) අන්තිමේදී බොරු චෝදනා මත යේසුස්ව රෝම පාලකයා වූ පොන්තියුස් පිලාත් ළඟට ගෙන යනු ලැබුවා. යේසුස් අත වරදක් නැති බවත්, කෲර අසාධාරණ ක්‍රියා හමුවේ යේසුස් ගෞරවාන්විතව සිටි ආකාරය දැකීමෙනුත් යේසුස් ගැන පැහැදුණු පිලාත් සෙනඟ අමතා “මෙන්න! ඒ මිනිසා” කියා පැවසුවා. එහෙත් යුදෙව්වරු පිළිතුරු දුන්නේ මේ විදිහටයි. “අපට නීතියක් ඇත. මොහු තමාවම දෙවිගේ පුත්‍රයා බවට පත් කරගත් නිසා, ඒ නීතියට අනුව ඔහු මැරුම් කෑ යුතුය.”—යොහන් 19:4-7.

යේසුස් “දෙවිගේ පුත්‍රයා” බව ඇසීමෙන් පිලාත් භය වුණා. ඊට කලින් ඔහුගේ බිරිඳ යේසුස් පිළිබඳව දුටු සිහිනයකදී ඇය යේසුස්ව හැඳින්නුවේ “ඒ ධර්මිෂ්ඨ මිනිසා” කියායි. (මතෙව් 27:19) එබැවින් පිලාත් ඇත්තෙන්ම යේසුස් කවුද කියා කල්පනා කළා. යේසුස් ගලීලයේ කෙනෙක් බව දැන සිටියත් පිලාත් ඔහුගෙන් මෙසේ ඇසුවා. “ඔබ කොතැනින්ද?” යේසුස් පිළිතුරක් නොදුන් නිසා සංවාදය එතනින් නතර වුණා.—යොහන් 19:9, 10.

යේසුස් මිනිසෙකුව සිටි බව ඇත්තයි. නමුත් මිනිසෙකු වීමට කලින් ඔහු අදෘශ්‍යමාන පුද්ගලයෙක් හැටියට ස්වර්ගයේ සිටියා. එහිදී ඔහුව හැඳින්නුවේ වචනය යන නමින්. දෙවි ප්‍රාතිහාර්යයකින් ඔහුගේ ජීවිතය මරියාගේ කුස තුළට මාරු කළා. “වචනය මාංසවත් වී අප අතරෙහි වාසය කළේය” කියා යොහන් පවසන්නේ ඒ නිසයි.—යොහන් 1:1, 2, 14, 18; එළිදරව් 3:14.

දිව්‍යමය ආරම්භයක් අවශ්‍ය වීමට හේතුව

මුල් මිනිසා වූ ආදම් පව් කළේ දරුවන් ලැබීමට පෙරයි. යක්ෂයා හා සාතන් බවට පත් වූ කැරලිකාර දේවදූතයෙක් දෙවිට අකීකරු වීමට ආදම්ව පෙලෙඹෙව්වා. ඒ නිසා ආදම්ට දෙවිගේ පුත්‍රයෙකුව සිටීමේ වරප්‍රසාදය අහිමි වී ගියා. නමුත් අකීකරු වුණොත් එසේ වන බව දෙවි ඔහුට කලින්ම දැනුම් දීලයි තිබුණේ. ඒ නිසා ආදම් ප්‍රතිවිපාක වින්දා. පාපය හා මහලු වී මිය යෑම උරුම වී තිබෙන පුද්ගලයෙක් බවට ඔහු පත් වුණා.—උත්පත්ති 2:15-17; 3:17-19; එළිදරව් 12:9.

ආදම්ගේ අකීකරුකම ඔහුගෙන් පැවතෙන සියල්ලන්ට බලපාන අන්දම විස්තර කරමින් බයිබලයේ පැහැදිලි කරන්නේ මෙසේයි. “එක් මිනිසෙකුගෙන් [ආදම්ගෙන්] ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.” (රෝම 5:12) අන්තිමේදී අපේ මුල් පියා වූ ආදම්ගෙන් අපි සියලුදෙනාටම පාපය උරුම වුණේ වයසට යෑමේ හා මිය යෑමේ කටුක විපාකත් සමඟයි.—යෝබ් 14:4; රෝම 3:23.

එවැනි විපාකවලින් මිදෙන්න ලැබෙන්නේ පාපය හා එහි කටුක ප්‍රතිඵල උරුම වී නැති පියෙකු සිටියොත් පමණයි. ආදම් පව් කිරීමට පෙර සිටියේ කිසි කැළලක් නැති පරිපූර්ණ තත්වයකයි. ඒ හා සමාන පරිපූර්ණ අලුත් පියෙක් අපට ලබා දුන්නේ කෙසේද කියා සලකා බලන්න.

අවශ්‍ය වූ තැනැත්තාව ලැබෙයි

පොරොන්දුවට අනුව “සමාදානයේ කුමාරයා” යන තැනැත්තාව “සදාකාල පියාණෝ” කියාත් හඳුන්වනවා. ඔහුගේ මිහිපිට උපත ගැන පුරෝකථනය කර තිබුණේ මෙලෙසයි. “කන්‍යාව ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නීය.” (යෙසායා 7:14; මතෙව් 1:20-23) මුල් මිනිසා වූ ආදම්ට මෙන් යේසුස්ටත් මනුෂ්‍ය පියෙක් සිටියේ නැහැ. බයිබලයේ සඳහන් ඉතිහාසඥ ලූක් පෙන්වන්නේ ආදම් ‘දෙවිගේ පුත්‍රයෙකු’ ලෙස බිහි වුණ බවයි. (ලූක් 3:38) නමුත් අප දන්නා පරිදි ආදම් දෙවිගේ පුත්‍රයෙකු ලෙස සිටීමේ ප්‍රස්තාව අහිමි කරගත්තා පමණක් නොව ඔහුගෙන් පැවතෙන්නන්ටත් එය අහිමි කළා. අහිමි වූ දේ යළි ලබාගන්න නම්, ආදම්ව මවද්දී සිටි තත්වයට සමාන පරිපූර්ණ පව් නොකළ අලුත් පියෙක් අප සියල්ලන්ටම අවශ්‍යයි.

ඒ සඳහා ආදම්ගේ තැන ගැනීමට දෙවි තම පුත්‍රයාව ස්වර්ගයේ සිට පොළොවට එව්වා. බයිබලයේ පවසන්නේ මෙයාකාරයෙන්. “‘පළමුවන මිනිසා වූ ආදම් ජීවමාන පුද්ගලයෙක් බවට පත් වුණේය.’ අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් බවට පත් වුණේය. පළමුවන මිනිසා පොළොවෙන්ය. ඔහුව දූවිල්ලෙන් සාදනු ලැබීය. දෙවන මිනිසා ස්වර්ගයෙන්ය.” (1 කොරින්ති 15:45, 47) යේසුස්ව “අන්තිම ආදම්” හැටියට හඳුන්වන්නේ ඔහු “පළමුවන මිනිසා වූ ආදම්ට” සමාන වූ නිසයි. ආදම්ට සමානව යේසුස්ටත් පාපයෙන් තොරව සදහටම මිහිපිට ජීවත් වෙන්න පුළුවන් පරම්පරාවක් බිහි කිරීමේ හැකියාව තිබුණා.—ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4.

නමුත් යේසුස් දරුවන් බිහි කිරීමේ අයිතිය මෙන්ම සාතන්ගේ ප්‍රහාර හමුවේ දෙවිට විශ්වාසවන්තවද සිට ජීවත් වීමට ඇති අයිතියත් අත්හැර ඔහුව මරණයට පත් කිරීමට ඉඩහැරියා. එමනිසා ඔහුගේ මරණය පූජාවක් ලෙස සැලකිය යුතුයි. එම පූජාව නිසා මිනිසාව පව්කාරකමෙන් හා මරණයෙන් මුදාගන්න අවස්ථාව උදා වුණා. එය හරියට යමක් මුදාගැනීමට ගෙවන මිලක් හා සමානයි. ඒ ගැන බයිබලයේ පැහැදිලි කරන්නේ මෙසේයි. “[යේසුස්ගේ] රුධිරය මාර්ගයෙන් ගෙවන ලද මිදීමේ මිලය නිසා අපි [ආදම්ගෙන් උරුම කරගත් පාපය හා මරණයෙන්] නිදහස ලබා ඇත්තෙමු.” තවදුරටත් එහි මෙලෙසත් පවසනවා. “[ආදම්ගේ] අකීකරුකම නිසා බොහෝදෙනෙකු පව්කාරයන් වූවා සේම, [යේසුස්ගේ] කීකරුකම නිසා බොහෝදෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබන්නෝය.”—එෆීස 1:7; රෝම 5:18, 19; මතෙව් 20:28.

අපි යේසුස් කෙරෙහි ඇදහිල්ල තබනවා නම් ඔහු අපේ ‘සදාකාල පියා’ මෙන්ම අපේ ‘ගැළවුම්කාරයා’ වෙනවා. තම පියාගේ රාජ්‍යයේ පාලනය හොබවද්දී ඔහු කුමාරයා ලෙසත් තම පාලනය විස්මය දනවන අයුරින් හොබවයි. එම පාලනය යටතේ ජීවත් වීමට ලැබීම කොයි ආකාර වේද කියාත්, උදාර ආශීර්වාද භුක්ති විඳීමට ලැබෙන්නේ කවදාද කියාත් අපි ඊළඟට සලකා බලමු.—ලූක් 2:8-11.

[5වන පිටුවේ පින්තූර]

ඔබ යේසුස්ව දකින්නේ කොයි ආකාරයටද?

[6වන පිටුවේ පින්තූරය]

යේසුස්ව “අන්තිම ආදම්” කියා හැඳින්නුවේ ඇයි?