Skip to content

පටුනට යන්න

කලින් මම අකීකරු පුත්‍රයෙක්

කලින් මම අකීකරු පුත්‍රයෙක්

කලින් මම අකීකරු පුත්‍රයෙක්

පැවසුවේ මෙරෝස් විලියම් සන්ඩේ විසින්

දෙවිට ප්‍රේම කරන්න මට පුංචි කාලෙදී ඉගැන්නුවත් වයස 18 වෙද්දී හිතුවක්කාර වෙලා ගෙදරින් ගියා. අවුරුදු 13ක්ම යේසුස්ගේ උපමාවේ අකීකරු පුත්‍රයා වගෙයි ජීවත් වුණේ. (ලූක් 15:11-24) මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ජීවිතේ නිකරුණේ නාස්ති වුණා. නොමඟ ගිය විදිහත් යථා තත්වයට ආපු විදිහත් දැන් මං කියන්නම්.

මම ඉපදුණේ 1956දී, නිරිතදිග නයිජීරියාවේ නගරයක් වන ඉලේෂාවලයි. දරුවෝ නමදෙනෙකුගෙන් යුත් පවුලේ මම දෙවනියා. කලින් තාත්තා කතෝලික කෙනෙක් වුණත් 1945දී ඔහුගේ බාප්පා ඔහුට ද හාප් ඔෆ් ගෝඩ් කියන පොත දීලා තියෙනවා. * ඒක කියෙව්වහම තාත්තා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සොයාගෙන ගිහින්. වර්ෂ 1946දී ඔහුත්, ඊට ටික කලකට පස්සේ අම්මත් බව්තීස්ම වෙලා.

පුංචි කාලේදී මට යෙහෝවා දෙවි සැබෑ පුද්ගලයෙක් වුණා අද වගේ මතකයි. දෙමාපියන් එක්ක දේශනා සේවයේ හවුල් වුණෙත් හරිම ආසාවෙන්. තාත්තා මට බයිබලය ඉගැන්නුවත්, ඉඳලා හිටලා ඇලිස් ඔබාරාත් මට බයිබලය ඉගැන්නුවා. ඇගේ සැමියා අපේ ප්‍රදේශයේ සේවය කළේ සංචාරක අවේක්ෂක හැටියටයි. මම පූර්ණ-කාලීන දේවසේවකයෙක් වෙනවා දකින්නයි දෙමාපියන් කැමති වුණේ. නමුත් ඊට කලින් උසස් පෙළ හදාරලා ඉවර කරන්න කියලා මට කිව්වා.

මට වයස අවරුදු 16දී උසස් පෙළ පන්තියට ගියත් එක්කම නරක ආශ්‍රෙට වැටුණා. ඒ අය බයිබල් ප්‍රතිපත්තිවලට ගරු නොකරපු ළමයි. ඒක හරිම මෝඩ වැඩක්! දුම්වැටි උරන්නත් දුරාචාර ලෙස හැසිරෙන්නත් පටන්ගත්තා. ක්‍රිස්තියානි රැස්වීම්වලදී ලැබුව උපදෙස් එක්ක මගේ මේ අලුත් ජීවන රටාව ගැළපෙන්නේ නැති බව මට වැටහුණ නිසා රැස්වීම් යෑමත්, ගෙයින් ගෙට දේවසේවයේ යෙදීමත් නතර කළා. මගේ දෙමාපියන් ඒ ගැන හුඟක් දුක් වුණත් මට නං ගානක්වත් තිබුණේ නැහැ.

ගෙදරින් ගියා

උසස් පෙළ දෙවනි වසරේදී මම ගෙදරින් ගිහින් අසල්වැසි නිවසක යාළුවන් එක්ක නැවතුණා. සමහර වෙලාවලදී හොර රහසේම ගෙට පැනලා, තියෙන කෑම බීම ටිකක් හොරකම් කරගෙන ගියා. කලකිරුණු තාත්තා මගේ පාසැල් ගාස්තු ගෙවන එකත් නතර කළේ මම වෙනස් වෙයි කියලා හිතාගෙනයි.

කොහොමවුණත් ඒ කාලේදීම මට ශිෂ්‍යත්වයක් ලැබුණා. මට උපකාර කරන්න ඉදිරිපත් වුණ අනුග්‍රාහකයා ස්කොට්ලන්තයේ ඉඳලා පාසැල් ගාස්තුව එව්වා විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී මුදල් ඇතුළු තවත් තෑගි භෝගත් එව්වා. මේ අතරතුරේ මගේ අයියයි මල්ලි කෙනෙකුයි සාක්ෂිකරුවන් එක්ක ඇසුරු කිරීම නවත්වලා දෙමාපියන්ට දුක් දුන්නා. අම්මා ඇඬූ කඳුළෙන් බැගෑපත් වෙලා වෙනස් වෙන්න කියලා නිතර කියද්දී මට දුකක් දැනුණත් මගේ ජීවිතය වෙනස් කළේ නැහැ.

ප්‍රසිද්ධ නගරවල

වර්ෂ 1977දී පාසැල් අධ්‍යාපනය අවසන් කරලා පස්සේ ලාගෝස්වලට ගිහින් රැකියාවක් හොයාගත්තා. ටික කලකින් නීති විරෝධී ලෙස මුදල් හම්බ කරලා ටැක්සියක් ගත්තා. අත මිට සරු වුණා. මත්ද්‍රව්‍ය ගන්නත් රාත්‍රි සමාජශාලාවල සහ ගණිකා නිවාසවල කාලය ගත කරන්නත් පටන්ගත්තා. ටික කලක් යද්දී ඒ ජීවිතෙත් එපා වුණ හින්දා 1981දී ලන්ඩන්වල පදිංචියට ගියා. එහෙත් වැඩි කල් නොඉඳ බෙල්ජියම්වලට ගිහින් ප්‍රංශ භාෂාව ඉගෙනගත්තා. අවන්හලක අර්ධ-කාලීන රැකියාවක් කළා. නමුත් වැඩියෙන්ම කළේ නයිජීරියාවට වාහන සහ විද්‍යුත් උපකරණ යවන එකයි.

තාත්තා බෙල්ජියමේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ලියලා තියෙනවා මාව හොයාගෙන බයිබල් පාඩමකට හවුල් කරගන්න කියලා. ඒත් සාක්ෂිකරුවන් මගේ ගෙදරට ආව හැම වෙලාවෙම මම ඔවුන්ව හරවලා යැව්වා. මං පල්ලියට යන්න පටන්ගත්තා මොකද දේවමෙහෙයෙන් පස්සේ කන්න බොන්නත්, විවිධ ක්‍රීඩාවල යෙදෙන්නත් සැලසුම් කරලා තිබුණ හින්දා.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින්

මම 1982දී සුඛෝපභෝගී වාහනයක් නයිජීරියාවට යවලා මමම නයිජීරියාවේ වරායට ගියා ඒක එහෙදී භාරගන්න. ඒත් තීරු බදු ලියවිල්ල බොරු එකක් බව නයිජීරියාවේ රේගුවෙන් හොයාගත්තා. දවස් 40ක් මට හිරේ ඉන්න සිද්ධ වුණා. තාත්තා ඇප දීලා මාව එළියට ගත්තත් නඩුවට සල්ලි හොයාගන්න ඕන හින්දා නොයෙක් භාණ්ඩත්, ගංජා කිලෝ කීපයකුත් අරගෙන ආපහු බෙල්ජියමට ගියා. නඩුවෙන් නිදහස් වුණාට පස්සේ මම දිගටම ජාවාරමේ යෙදුණා.

එක් අවස්ථාවකදී මම නෙදර්ලන්තයට ගියහම මාව අත්අඩංගුවට අරන් නිලධාරීන් මාව නයිජීරියාවලට පිටුවහල් කළා. ඒ යන අතරේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන තව අය එක්ක යාළු වෙලා අපේම කියලා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් පටන්ගත්තා. වර්ෂ 1984 ජනවාරි මාසයේදී මම අප්‍රිකාවේ වෙනත් රටක පදිංචි වුණා. ඔවුන්ගේ භාෂාව ප්‍රංශ භාෂාව නිසා පොලිස් භටයන්, සොල්දාදුවන් සහ රේගු නිලධාරීන් යන හැමෝම එක්ක ඉක්මනින්ම යාළු වෙන්න මට පුළුවන් වුණා. ඒ නිසා ගංජා තොග පිටින් එම රටට ගෙන්වගත්තා.

හිරබත් කෑවා

මගේ බඩු ටික හෙමින් සීරුවේ පන්න ගන්න උදව් කරන්න පොරොන්දු වෙලා හිටිය හමුදාපති එන්න ප්‍රමාද වුණ නිසා ගුවන් තොටුපොළේදී මාව අහු වුණා. ප්‍රංශ පොලිස් නිලධාරීන් මට ඇති තරම් පහර දුන්නා. අන්තිමේදී සිහියත් නැති වුණා. මාව රෝහලට ඇතුල් කළ ඔවුන් හිතුවේ එහෙදී මාව මැරෙයි කියලයි. නමුත් එහෙම වුණේ නැහැ. ඊට පස්සේ මට නඩු දාලා මාව හිරේ දැම්මා.

හිරෙන් නිදහස් වෙලා ගෙදර එනකොට ගේ බලාගන්න භාර දීලා තිබුණ යාළුවා මගේ ඉඩමයි ගේයි විකුණලා සල්ලිත් අරගෙන පැනලා ගිහිල්ලා. කීයක් හරි හම්බ කරගන්න ආපහු ගංජා විකුණන්න පටන්ගත්තා. දවස් දහයකට පස්සේ ආයිත් මාව අත්අඩංගුවට අරන් මාස තුනකට බන්ධනාගාරයට යැව්වා. ආපහු හිරෙන් නිදහස් වෙනකොට මට හොඳටම අසනීප වෙලා හිටිය මම ලාගෝස්වලට ගියේ හුඟක් අමාරුවෙන්.

ආපහු “වැඩේට බැස්සා”

ලාගෝස්වලදී අපේම ව්‍යාපාරයේ කීපදෙනෙක් එකතු වෙලා ඉන්දියාවට ගියා. එහෙදී ඩොලර් 6,00,000ක් පමණ (රුපියල් 6,00,00,000) වටින හෙරොයින් තොගයක් අරගෙන බොම්බේවලින් (දැන් මුම්බායි) ස්විට්සර්ලන්තයටත්, ඊට පස්සේ පෘතුගාලයටත් අන්තිමේදී ස්පාඤ්ඤයටත් ගිහින් සෑහෙන මුදලක් හම්බ කරගෙන එකටම නෑවිත් අපි වෙන වෙනම ආපහු ලාගෝස්වලට ආවා. වර්ෂ 1984 අගභාගයේදී තවත් මත්ද්‍රව්‍ය තොගයක් විකුණුවා. මගේ සිහිනය වුණේ කොහොමහරි ඩොලර් මිලියනයක් (රුපියල් 10,00,00,000 පමණ) හම්බ කරගෙන එක්සත් ජනපදයට ගිහින් පදිංචි වෙන්නයි.

වර්ෂ 1986දී තිබුණ හැම සතේම වියදම් කරලා හොඳම හෙරොයින් වර්ගය අරං තවත් රටකට ගියා. එහෙදී කපටි ජාවාරම්කාරයෙක් මාව රැවැට්ටුවා. මගේ සල්ලි දුන්නේ නැහැ. මරණ තර්ජනත් ආව නිසා ගිය දේ ගියාවේ කියලා හිතාගෙන ආපහු ලාගෝස්වලට පැනගත්තා. මුදල් අතිනුත් මානසිකවත් පහළටම වැටුණා. මොකක්ද මේ ජීවිතය කියලා ඉඳගෙන කල්පනා කළේ පළමු වතාවටයි. ‘ඇයි මට මේ විදිහට වෙන්නේ’ කියලා මම හිතුවා.

යළි දෙවිට ළං වෙයි

ඊට ටික දවසකට පස්සේ, එක රෑක මම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා උපකාර ඉල්ලුවා. පුදුමෙකට වගේ ඊළඟ දවසේ උදේ වයසක ජෝඩුවක් මගේ දොරට තට්ටු කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන ඔවුන්ට සවන් දීලා සඟරා ලබාගත්තා. “මගේ දෙමාපියනුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්. මගේ පාඩම කළේ ඇලිස් ඔබාරා” කියලා මම ඔවුන්ට කිව්වා.

ඔහුගේ නම පී. කේ. ඔග්බානෙෆේ. “අපි ඔබාරලාව හොඳට දන්නවා. ඒගොල්ලෝ දැන් ලාගෝස්වල අපේ නයිජීරියා ශාඛා කාර්යාලයෙයි සේවය කරන්නේ” කියලා ඔහු මට කිව්වා. ඔවුන් මට උනන්දු කළා ඔබාරාලාව මුණගැසෙන්න යන්න කියලා. මම ගියා ඔවුන්ව බලන්න. මම හුඟක් දිරිගැන්නුණා. ඊට පස්සේ සහෝදර ඔග්බානෙෆේ මාත් එක්ක බයිබල් පාඩමක් පටන්ගත්තා. මගේ දුරාචාර ජීවිත රටාව වෙනස් කරන්න ඉක්මනින්ම මම පියවර ගත්තත් කාලයක් පුරා පවත්වාගෙන ආ පුරුද්ද නවත්වන්න ලේසි වුණේ නැහැ. කොහොමවුණත් පිරිසිදු ජීවිතයක් ගත කරන්න මම අදිටන් කරගත්තා.

ඒත් පරීක්ෂා සහ බලපෑම්වල අඩුවක් නම් තිබුණේ නැහැ. මගේ යාළුවෝ මාව හොයාගෙන ගෙදරට ඇවිත් හිත ඇදෙන විදිහට කතා කළා. මම ආපහු ටික කාලයකට දුම්පානය කිරීමටත්, දුරචාර හැසිරීමටත් පෙලඹුණා. යාච්ඤා කරලා හිතේ තියෙන හැම දෙයක්ම දෙවිට කිව්වා. නරක දේට පොලඹන යාළුවෝ මාව නොමඟ යවපු බව තේරුම්ගත්ත නිසා ඒගොල්ලන්ගෙන් අයින් වුණා. දෙවිගේ නමස්කාරය තුළ දියුණු වෙන්න නම් ලාගෝස්වල ඉඳලා බැරි බව වැටහුණත් ඉලේෂාවල මගේ දෙමාපියන්ගේ ගෙදරට යන්න ලජ්ජාවක් දැනුණා. කෝකටත් තාත්තටයි අයියටයි ලිපියක් ලියලා මට ආපහු ගෙදර එන්න පුළුවන්ද කියලා ඇහැව්වා.

කිසි ප්‍රශ්නයක් නැහැ ගෙදර එන්න කියා තාත්තා කිව්ව අතර මුදල්වලින් උපකාර කරන්න අයියා ඉදිරිපත් වුණා. අවුරුදු දහයකට පස්සේ ආපහු ගෙදර ආවා. මාව ආදරෙන් පිළිගත්තා. “යෙහෝවා දෙවියනි ඔබට ස්තුතියි” කියලා අම්මා ප්‍රීතියෙන් කිව්වා. එදා හවස තාත්තා ගෙදර ආවහම “යෙහෝවා දෙවි ඔයාට උපකාර කරයි පුතේ” කියලා කිව්වා. තාත්තා පවුලේ හැමෝම එකතු කරගෙන යාච්ඤා කරලා දෙවිගේ කැමැත්ත කරන්න මට උපකාර කරන්න කියලා ඉල්ලුවා.

හරි තීරණ හා බොහෝ ආශීර්වාද

ආපහු බයිබලය පාඩම් කරලා ඉක්මනින්ම දියුණු වෙලා 1988 අප්‍රියෙල් 24වෙනිදා බව්තීස්ම වුණා. කල් නෑර ක්‍රියාශීලීව දේවසේවයේ හවුල් වුණා. වර්ෂ 1989 නොවැම්බර් පළවෙනිදා පූර්ණ-කාලීන දේවසේවකයෙකු හැටියට පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. වර්ෂ 1995දී නයිජීරියාවේ දේවසේවා පුහුණු පාසලේ දහවෙනි පංතියට සහභාගි වෙන්න කියා ආරාධනයක් ලැබුවා. ඊට පස්සේ 1998 ජූලි මාසයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලට ගොස් සේවය කරන සංචාරක අවේක්ෂකයෙක් ලෙස පැවරුමක් ලැබුණා. ඊළඟ අවුරුද්දේදී මට රූත්ව හමු වුණා. එයා මගේ බිරිඳ වගේම සංචාරක සහකාරිය බවට පත්වීම ඇත්තෙන්ම ආශීර්වාදයක්!

මගේ පවුලේ අනිත් අයත් දෙවිගේ නමස්කාරය තුළ දියුණුවක් ලැබුවා. යෙහෝවා දෙවිට සේවය කිරීම නතර කරලා හිටිය අයියාත් නැවතත් සැබෑ නමස්කාරයේ යෙදෙන්න පටන්ගෙන බව්තීස්ම වුණා. අපි ආපහු සත්‍යය තුළ දියුණු වෙනවා දැකලා තාත්තා හුඟක් සතුටු වුණා. වයස අවුරුදු 75ක් වී 1993දී ඔහු මිය යන තෙක්ම සභා සේවකයෙකු හැටියට සතුටෙන් සේවය කළා. අම්මා තවමත් ඉලේෂාවල උද්‍යෝගයෙන් යෙහෝවා දෙවිට සේවය කරමින් ඉන්නවා.

එදා යුරෝපයේ, ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් 16කට ඉසුරු සොයා ගියත් බොහෝ වේදනාවලින් මටම ඇනගන්න සිද්ධ වුණා. (1 තිමෝති 6:9, 10) අතීතය දිහා හැරිලා බලද්දී මත්ද්‍රව්‍ය සහ දුරාචාරය නිසා නැති නාස්ති වෙමින් කා දැමූ කාලය ගැන හරිම කනගාටුයි. යෙහෝවා දෙවිටත්, පවුලේ අයටත් මං දුන්න වේදනාව ගැන ඇත්තෙන්ම මං දැන් තැවෙනවා. කොහොමවුණත්, ප්‍රමාද වැඩි වෙන්න කලින් පියවි සිහියට එන්න පුළුවන් වුණ එක ගැන ස්තුතිවන්ත වෙනවා. මගේ අධිෂ්ඨානය යෙහෝවා දෙවිට පක්ෂපාතව සිට සදහටම සේවය කිරීමයි.

[පාදසටහන]

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. දැන් මුද්‍රණය නොකෙරේ.

[13වන පිටුවේ පින්තූරය]

කැරලිකාර නහඹරයෙකු ලෙස

[15වන පිටුවේ පින්තූරය]

බව්තීස්ම වුණ දා

[15වන පිටුවේ පින්තූරය]

රූත් සමඟ (බිරිඳ)