Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ “විවාහක යුවළයන් අතරින් අඩක් පමණ පිළිගන්නවා ඔවුන් කරන වියදම් ගැන එකිනෙකාට බොරු කියන බව.”—එක්සත් ජනපදයේ THE WALL STREET JOURNAL.

▪ “ග්‍රීසියේ භූමියෙන් සියයට 84ක් කාන්තාර බවට පත්වීමේ අවදානමක් තිබෙන අතර දැනටමත් සියයට අටක් වියළියි.”—ග්‍රීසියේ KATHIMERINI, (ඉංග්‍රීසි පිටපත).

▪ වානුවාටුවල ටෙගුවා දූපතේ තිබූ ගම්මානයක ගම්වාසීන් සම්පූර්ණයෙන්ම ගම අතහැර ගියේ වෙනස් වන දේශගුණය නිසයි. මීට හේතුව මෙම ගම්මානය නිතර නිතර “විශාල කුණාටුවලින් හා මුහුදු රැළිවලින් යට වෙලා” තිබීමයි. ගමකට මෙහෙම වුණා කියා වාර්තා වී ඇති පළමු අවස්ථාව මෙය විය හැකියි.—වානුවාටුවල VANUATU NEWS.

සියක් ආයු ඉක්මවන්නෝ වැඩි වෙයි

අද කාලයේ කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙන එක අමුතු දෙයක් නෙවෙයි කියා නිව් සයන්ටිස්ට් සඟරාව පවසයි. දැනට ලොව පුරා අවුරුදු 100ක් දක්වා ජීවත් වී සිටින සංඛ්‍යාව 2,00,000ක් පමණ වෙනවා. ඒ අයගෙන් 66දෙනෙක් ඔවුන්ගේ 110වන උපන් දිනය සමරා තිබෙනවා. මෙවැනි කෙනෙකුගේ වයස ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි සොයාගැනීම අපහසුයි. “නිවැරදි වාර්තාවල් නැති නිසා අවුරුදු 110ක් ජීවත් වී සිටින අයගේ සංඛ්‍යාව සමහරවිට 450ක් විය හැකි” බව එම සඟරාව තවදුරටත් පවසයි.

මාරාන්තික රෝගය කුමක්ද?

ඉපැරණි ග්‍රීක් ලේඛකයෙක් වසංගත රෝගයක් ගැන පවසයි. (එම පොත History of the Peloponnesian War) එය කොතරම් භයානකද කියනවා නම් ක්‍රි.පූ. 430දී ස්පාටා සමඟ කළ යුද්ධයේදී ඇතන්ස්හි ජනයා පැරදුණේ මේ රෝගය ඔවුන්ට වැලඳී තිබුණ නිසයි. ලේඛකයා දී තිබෙන විස්තරයට අනුව රෝගය කුමක්ද කියා හරිහැටි හඳුනාගන්න බැරි වී තිබුණා. නමුත් කැනඩාවේ මැක්ලීන්ස් සඟරාව පවසන පරිදි “ඇතන්ස්හි පැරණි මිනී වළක තිබූ දත්වල DNA මගින් මාරාන්තික රෝගයක් හඳුනාගැනීමට හැකි වී තිබෙනවා.” මේ DNA පරීක්ෂණයට ලක් කිරීමෙන් එම මාරාන්තික රෝගය උණසන්නිපාතය බව ඔප්පු වුණා.

ඔටු තරඟවලට රොබෝවරුන්

පර්සියානු බොක්ක අවට රටවල ඉතා ප්‍රසිද්ධ ක්‍රීඩාවක් තමයි ඔටුවන්ගේ තරඟ පැවැත්වීම. නමුත් මේ තරඟවලදී ඔටුවන්ව හැසිරවීමට දරුවන්ව පාවිච්චි කිරීම වැරදියි කියා මානව හිමිකම් කණ්ඩායම් පවසද්දී ප්‍රශ්නයක් මතු වුණා. ප්‍රවීණයන් කියන්නේ ඔටුවන් පිට යන්නාගේ බර කිලෝ 27කට වඩා අඩු විය යුතු බවයි. මේ අනුව බලද්දී යෞවනයන්ව පාවිච්චි කරන්නත් බැහැ. විසඳුම කුමක්ද? ස්විට්සර්ලන්තයේ නිර්මාණකරුවන් කළේ මේ සඳහා කිලෝ 27කට ආසන්න බරකින් යුත් රොබෝ කෙනෙක් හඳුන්වා දීමයි. ඔටුවට විශේෂ සෑදලයක් දමා එහි තබන මෙම රොබෝට මිනිස් කටහඬක් දී තිබෙන අතර කසයකුත් පාවිච්චි කිරීමට හැකියාවද තිබෙනවා. මෙමගින් ඔටුවව හසුරුවන්න රොබෝටම පුළුවන්. ඔටුවන්ගේ අයිතිකාරයන් උනන්දුවෙන් බලා සිටින්නේ රොබෝවරුන්ව තරඟවලට පාවිච්චි කරන්නයි.

වසර 2000ක් පැරණි බීජයක් පැළ වෙයි

රට ඉඳි ගස පුරාණ යුදය අලංකාර කිරීමට, සෙවණ හා ඖෂධ සඳගා යොදාගත්තා. යුධ සමයේදී මේවා විනාශ වී ගියා. නමුත් මෑතකදී “ඊශ්‍රායෙලයේ වෛද්‍යවරුන්ට හා විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා වසර 2000ක් පමණ පැරණි රටඉඳි බීජයක් පැළ කරගන්න” කියා ද නිව් යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. “මසාඩාවෙන් සොයාගත් මෙම බීජය නම් කළේ මෙතුසෙලා කියලයි.” මසාඩා යන බලකොටුව ක්‍රි.ව. 73දී රෝමවරුන් විසින් අල්ලාගත්තා. මෙම බීජය ප්‍රරෝහණය කළ කෘෂිකර්මය පිළිබඳ මහාචාර්යවරියක් වන ඉලේන් සොලවේ කියා සිටින්නේ මෙය ජයාංගී පැළයක් වුණත් පල හටගන්න අවුරුදු ගාණක් යයි කියායි. “පූමාංගි පැළයක් නම් එය පෙනුමට පමණක් තියෙයි” කියායි.