Skip to content

පටුනට යන්න

මත්පැන් පානය කිරීම වැරදිද?

මත්පැන් පානය කිරීම වැරදිද?

බයිබලයෙන් පිළිතුරක්

මත්පැන් පානය කිරීම වැරදිද?

“මිදි යුෂ සරදම් කරන්නෙකි; සුරා පානය කෝලාහල කරන්නෙකි; එයින් මුළා වන කවරෙක් නමුත් ඥානවන්ත නොවේ.” බයිබලයේ හිතෝපදේශ 20:1හි සඳහන් මෙම වදන්වලින් අඟවන්නේ මත්පැන් පානය කිරීම වැරදි බවද? සමහරු එසේ සිතිය හැකියි. ඊට සාක්ෂි වශයෙන් ඔවුන් පෙන්නුම් කරන්නේ අනිසි මත්පැන් පානයේ නරක ප්‍රතිඵල ගැන බයිබලයේ තිබෙන වාර්තාවන්.—උත්පත්ති 9:20-25.

එමෙන්ම අධික මත්පැන් පානයෙන් අක්මා රෝගයක් වන සිරෝසියාව, හදිසි අනතුරු, මුදල් නාස්තිය, පවුල් ප්‍රශ්න සහ කුසේ සිටින දරුවාට හානි වීම වැනි කරදර ඇති වෙයි. “මත්පැන් පානය වැරදියි කියා බොහෝ ආගම්වල උගන්වා තිබෙන්නේ” එවැනි නරක ප්‍රතිඵල නිසා විය හැකියි. එසේ පවසා තිබුණේ ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පොතෙයි. නමුත් මත්පැන් පානය කිරීම ඇත්තෙන්ම වරදක්ද? ඕනෑම මත්පැන් වර්ගයක් ස්වල්පයක් හෝ පානය කිරීම බයිබලයේ තහනම් කර තිබෙනවාද?

බයිබලයේ පවසන්නේ කුමක්ද?

අධික මත්පැන් පානයේ නරක ප්‍රතිඵල ගැන බයිබලයේ අනතුරු අඟවා තිබෙනවා. එෆීස 5:18හි දෙන අවවාදය මෙයයි. “වයින්වලින් වෙරි වීමෙන් අශිෂ්ට ක්‍රියා හටගන්නා නිසා වෙරි නොවී සිටින්න.” එලෙසම හිතෝපදේශ 23:20, 21ත් අවවාද කරන්නේ “බොහෝ මිදි යුෂ බොන්නන් සහ ගිජු ලෙස මස් කන්නන්ට එකතු නොවන්න; මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිලිඳුකමට පැමිණෙන්නෝය” කියායි. ඒ වගේම යෙසායා 5:11ත් මෙසේ පවසයි. “සුරා බීමට යන පිණිස උදෑසනම නැඟිට මිදි යුසින් ඇවිලෙන තුරු රෑවන තෙක් පමාව සිටින්නන්ට දුක් වන්නේය.”

පමණ දැන පානය කිරීමෙන් ලැබෙන සතුට හා ප්‍රයෝජන ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයක් ලෙස ගීතාවලිය 104:15හි පවසන්නේ “මනුෂ්‍යයාගේ සිත සතුටු කරන මිදි යුෂ” දෙවි දුන් ත්‍යාගයක් බවයි. එමෙන්ම යහපත් වැඩ සඳහා ත්‍යාගයක් ලෙස “ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා සතුටු සිතින් මිදි යුෂ බොන්න” කියා දේශනාකාරයා 9:7හි පවසා තිබෙනවා. වයින් පානය කිරීමෙන් ලැබෙන ඖෂධීය ගුණය ගැන දැන සිටි පාවුල් තිමෝතිට පැවසුවේ “මෙතැන් පටන් වතුර නොබී, ඔබේ උදරය සඳහාත්, නිතර ඇති වන ඔබේ අසනීප නිසාත් වයින් ටිකක් භාවිත කරන්න” කියායි. (1 තිමෝති 5:23) ඊට අමතරව, තද දුකක් වේදනාවක් දැනෙන විට එය දරාගැනීමට උපකාර කිරීමේ හැකියාවක් මත්පැන්වලට තිබෙන බව බයිබලයේ සඳහන් කර තිබෙනවා.—හිතෝපදේශ 31:6, 7.

මෙයින් පැහැදිලි වන්නේ මත්පැන් පානය බයිබලයෙහි තහනම් කර නැති බවයි. නමුත් අධික මත්පැන් පානය හා බේබදුකම එහි හෙළාදැක තිබෙනවා. එමනිසා පාවුල් ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට, සභා සේවකයන්ට සහ වැඩිහිටි ස්ත්‍රීන්ටත් අවවාද කර තිබෙන්නේ “බොහෝ වයින් පානයට වහල්” නොවන්න කියායි. ඒ වගේම ඔහු තිමෝතිට උපදෙස් දුන්නේ “වයින් ටිකක්” පානය කරන්න කියායි. (1 තිමෝති 3:2, 3, 8; තීතස් 2:2, 3) සියලුම ක්‍රිස්තියානීන්ට සිහිගන්වන්නේ “බේබද්දන්ට . . . දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ” නැති බවයි.—1 කොරින්ති 6:9, 10.

බයිබලයේ බේබදුකම කෑදරකම හා සම්බන්ධ කර දක්වා තිබීමෙන් අඟවන්නේ ඒ දෙකෙන්ම වළකින්න අවශ්‍ය බවයි. (හිතෝපදේශ 23:20) මේ අනුව, අපි කොහොමටවත් මත්පැන් පානය නොකළ යුතු බව එහි අඟවා තිබුණා නම් කිසිම ආහාරයක් ගැනීමත් වැරදි බව ඇඟවෙනවා නොවේද? නමුත් බයිබලයේ වරදක් ලෙස පෙන්වා දෙන්නේ පමණ දැන කෑම හා බීම නොව බේබදුකම හා කෑදරකමයි.

යේසුස් කළේ කුමක්ද?

ක්‍රිස්තුස් “ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, [අපට] ආදර්ශයක් දුන්නේය. ඔහු කිසි පාපයක් නොකළේය” කියා පේතෘස් පැවසුවා. (1 පේතෘස් 2:21, 22) යේසුස් මත්පැන් පානය ගැන දැරුව අදහස කුමක්ද? ඔහුගේ මුල්ම ප්‍රාතිහාර්යය වතුර වයින් බවට පත් කිරීමයි. ප්‍රාතිහාර්යමය ලෙස සෑදූ මේ වයින් වර්ගය ගැන “මංගල්‍ය කටයුතු අධීක්ෂණය කරන්නා” මනාලයාට ප්‍රශංසා කළා. ඔහු පැවසුවේ මෙයයි. “සෑම මිනිසෙකුම පළමුකොට හොඳ වයින් දී, මිනිසුන් බොහෝ සෙයින් බීවායින් පසු බාල වයින් දෙන්නේය. ඔබ මේ වන තුරු හොඳ වයින් තබාගෙන සිටියේය.”—යොහන් 2:9, 10.

ඒ වගේම වයින් පානය කිරීම පාස්කු මංගල්‍යයෙත් එක් අංගයක් වුණා. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්වූ අවස්ථාවේදීත් යේසුස් වයින් යොදාගත්තා. තම ගෝලයන්ට වයින් කුසලානක් දී ඔහු පැවසුවේ මෙයයි. “ඔබ සියල්ලන්ම මෙයින් බොන්න.” ඔහුගේ මරණය ඉතා ඉක්මනින් සිදු වන බව දැන සිටි ඔහු මෙහෙමත් පැවසුවා. “මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහිදී මා ඔබ සමඟ අලුත් වයින් බොන දවස එන තුරු, මම මෙතැන් පටන් මිදිවැලෙන් ලැබෙන මේ පලයෙන් කිසිසේත් නොබොන්නෙමි.” (මතෙව් 26:27, 29) මෙයින් පැහැදිලි වන්නේ යේසුස් වයින් පානය කළ බව ජනයා දැන සිටි බවයි.—ලූක් 7:34.

අප කළ යුත්තේ කුමක්ද?

බයිබලයේ මත්පැන් පානය කිරීම තහනම් කර නැතත් අප එය පානය කළ යුතුයි කියා ඉන් අදහස් වන්නේ නැහැ. ඉන් වැළකී සිටීමට බොහෝ හේතු තිබෙනවා. උදාහරණයකට කලින් ඊට ඇබ්බැහි වී සිටි කෙනෙක් දැන් බිඳක්වත් ගැනීම අනතුරුදායක බව දන්නවා. ඒ වගේම ගර්භිණී කාන්තාවක් තම කළලයට හානි වේවියයි යන බියෙන් ඉන් වැළකී සිටිය හැකියි. ඒ විතරක් නෙවෙයි රියදුරෙක් පවා ඉන් වැළකෙන්නේ තමන්ගේ හෝ අන්‍යයන්ගේ ජීවිතවලට හානි වෙයි කියා කල්පනා කරන නිසයි.

මත්පැන් පානය සුදුසු නැතැයි සිතන අයව පැකිළෙන ආකාරයෙන් ක්‍රිස්තියානියෙකු කටයුතු කරන්නේ නැහැ. (රෝම 14:21) දේශනා සේවයේ යෙදෙන අවස්ථාවලදී මත්පැන් පානයෙන් වැළකී සිටීම නැණවත් දෙයක්. පුරාණ ඊශ්‍රායෙලයේ පූජකයන්ට නමස්කාරයේ යෙදෙන විට “වයින්වත් මත්පැන්වත් නොබිව යුතුයි” කියා දෙවි නීතියක් දී තිබීමත් සැලකිය යුතු කරුණක්. (ලෙවී කතාව 10:9, නව ලොව පරිවර්තනය) එමෙන්ම මත්පැන් බීම තහනම් කර තිබෙන රටවලදී ක්‍රිස්තියානීන් රටේ නීතියට කීකරු විය යුතුයි.—රෝම 13:1.

මත්පැන් පානය කරනවාද නැද්ද යන්නත්, කොපමණ ප්‍රමාණයක් බොනවද යන්නත් පෞද්ගලික තීරණයක් වුවත් බයිබලයේ දිරිගන්වන්නේ පමණ දැන පානය කිරීමටයි. එහි පවසන්නේ “එබැවින්, ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත්, දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න” කියායි.—1 කොරින්ති 10:31.

මේ ගැන ඔබ සිතුවාද?

▪ මත්පැන් පානය කිරීම ගැන බයිබලයේ දී තිබෙන්නේ කුමන අවවාදයක්ද?—1 කොරින්ති 6:9, 10.

▪ යේසුස් ක්‍රිස්තුස් මත්පැන් පානය කළාද?—ලූක් 7:34.

▪ කෑවත් බිව්වත් සැබෑ ක්‍රිස්තියානීන් මතක තබාගත යුත්තේ කුමක්ද?—1 කොරින්ති 10:31.