Skip to content

පටුනට යන්න

‘හිරු හා සයුරෙන්’ බිහි වන දරුවෙක්

‘හිරු හා සයුරෙන්’ බිහි වන දරුවෙක්

‘හිරු හා සයුරෙන්’ බිහි වන දරුවෙක්

බ්‍රසීලයේ පිබිදෙව්! ලේඛක විසින්

ලුණු ගැන විස්තර කර තිබෙන්නේ, පවිත්‍රම දේවල් දෙකක් වන ‘හිරු හා සයුරෙන්’ බිහි වන දරුවෙක් කියායි. සාමාන්‍යයෙන් ලුණු නිපදවන්නේ මුහුදු ජලය හිරු රශ්මියෙන් වාෂ්ප වීමට සැලැස්වීම මගින්.

බ්‍රසීලයේ ඊසානදිග වෙරළ තීරය ලුණුවලට ප්‍රසිද්ධයි. උණුසුම් දේශගුණයක් තිබෙන එම ප්‍රදේශයට වැසි ලැබෙන්නේ කලාතුරකින් වන අතර නිතර වියළි සුළංද හමයි. එමනිසා එය ලුණු නිපදවීමට කදිම පෙදෙසක්. බ්‍රසීලයට අවශ්‍ය ලුණුවලින් සියයට 95ක්ම ලැබෙන්නේ මෙම ප්‍රදේශයෙන්. අපි දැන් යමු එහි තිබෙන ලුණු ලේවායක් බලන්න. එය පිහිටා තිබෙන්නේ බ්‍රසීලයේ ආරේය බ්‍රාන්කා යන කුඩා නගරයෙයි.

ලුණු ලේවායක සිරි නරඹමු

ලුණු ලේවායකට සාමාන්‍යයෙන් ඉතා විශාල පෙදෙසක් අවශ්‍යයි. සිරි නරඹන්න එන්නන් ආරේය බ්‍රාන්කාවලට පැමිණෙන විට එහි විශාලත්වය දැක පුදුම වෙනවා. පෙනෙන තෙක් මානයේම දකින්න තිබෙන්නේ ලුණු තටාකයි. මේ තටාකවලින් සියයට 90ක්ම පාහේ භාවිත කරන්නේ මුහුදු වතුර වාෂ්ප කිරීමටයි. ඉතිරි ඒවා භාවිත වන්නේ ලුණු කැට බවට පත් කිරීමටයි.

බලන බලන හැම පැත්තෙම සුදු ඇතිරිල්ලක් අතුරලා වගෙයි. හිරු රැස් ඒ මත පතිත වෙද්දී එදෙස බලන්නත් අමාරුයි. ඒ නිසා අව්කණ්ණාඩි රැගෙන යන එක නුවණට හුරුයි. මුලින්ම නොගැඹුරු තටාක 67ක් හරහා වතුර ගලා යන්න සලස්වා තිබෙනවා. නියරවල් තනා මේ තටාක එකිනෙක වෙන් කර තිබෙනවා. සූර්යා සහ සුළඟ මගින් සෑම තත්පරයකටම මුහුදු වතුර ලීටර් 650ක් වාෂ්ප බවට පත් වුණත් සියලුම තටාකවල වතුර වාෂ්ප වීමට දවස් 90ත් 100ත් අතර කාලයක් ගත වෙනවා.

මුහුදු වතුරේ සෝඩියම් ක්ලෝරයිඩ් මෙන්ම කැල්සියම් කාබනේට්, කැල්සියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට් සහ වෙනත් ලුණු වර්ගත් අඩංගුයි. වාෂ්ප වෙද්දී මෙම ද්‍රව්‍යයන් විවිධ වෙලාවලදී මුහුදු වතුරෙන් වෙන් වී තටාකවල පතුලේ තට්ටු ලෙස තැන්පත් වෙයි.

අන්තිමට තැන්පත් වන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නිසා ලුණු සාන්ද්‍රණය අධික මුහුදු වතුර තටාක 20කට ගලායයි. සමහර තටාකවල මුහුදු වතුර සම්පූර්ණයෙන්ම වාෂ්ප වී ගන ලුණු තට්ටුවක් තටාකවල රැඳෙයි. ඉන්පසු විශාල යන්ත්‍ර මගින් ලුණු කඩා ට්‍රක් රථවලට පුරවා වෙනත් ස්ථානයකට ගෙන යනවා. එහිදී ලුණු යන්ත්‍රානුසාරයෙන් සෝදා පිරිසිදු කරගන්නවා.

අන්තිමේදී පාරු මගින් එම ලුණු දූපතකට ගෙන යන්නේ ගබඩා කිරීමට හා බෙදාහැරීමටයි. එම දූපත ස්වාභාවික එකක් නොව මිනිසුන් විසින් තැනූ එකක්. ඍජුකෝණාශ්‍රකාර හැඩයකින් යුත් මෙම දූපත දිගින් හා පළලින් මීටර් 166ක් සහ 92ක් වන අතර එය තිබෙන්නේ ගොඩ බිමේ සිට කිලෝමීටර් 12ක් ඈතින්. එහි ලුණු ටොන් 1,00,000ක් ගබඩා කළ හැකියි. මෙහිදී යන්ත්‍ර මගින් නැව්වලට පටවා බ්‍රසීලයේ වෙනත් ප්‍රදේශවලට ගෙන යනවා.

අත්‍යවශ්‍ය අගනා ද්‍රව්‍යයක්

සාමාන්‍යයෙන් ලුණු යොදාගන්නේ ආහාර රසගන්වා ගැනීමටයි. එහෙත් එය වැඩි වුණොත් කවුරුත් අකමැතියි. සමහරු නොසිතන කරුණක් තමයි ලුණු සුළු ප්‍රමාණයක් හෝ මිනිසාගේ හා සත්වයන්ගේ ශරීරයට අත්‍යවශ්‍ය බව. ලුණු භාවිත වන්නේ ආහාරවලට පමණක් නොව එය වෙනත් දේවලටත් ඉතා ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක්. රසායනික ද්‍රව්‍යයන්, රෙදි පිළි, වානේ, සබන් හා පිඟන් බඩු නිෂ්පාදනයේදී ලුණු යොදාගන්නවා. අද දින 14,000කට වඩා වැඩි විවිධ දේවලට මෙය භාවිත කෙරෙනවා!

මුහුදු ජලය ඕනෑ තරම් තිබෙන නිසා කිසිදාක අපිට ලුණු හිඟයක් ඇති වෙයි කියා හිතන්න අමාරුයි. පුරාණයේදී මෙතරම් පහසුවෙන් ලබාගත නොහැකි වූ නිසා ලුණු මසුරන් වගේ වටිනා ද්‍රව්‍යයක් වුණා. උදාහරණයකට පුරාණ චීනයේ ලුණු දෙවනි වූයේ රත්‍රන්වලට පමණයි. බයිබලයේ පවා බොහෝ අවස්ථාවල ලුණු ගැන සඳහන් වෙනවා.

ඒ කාලයේදී අලුත උපන් සමහර දරුවන්ගේ ඇඟේ ලුණු ගා තිබෙන්නේ ඖෂධීය ගුණයක් තිබෙන නිසා විය හැකියි. (එසකියෙල් 16:4) සංකේත අර්ථයකිනුත් ලුණු ගැන බයිබලයේ සඳහන් වෙනවා. යේසුස් ඔහුගේ ගෝලයන්ව “පොළොවේ ලුණු” කියා හැඳින්වූයේ ඔවුන් ගෙන යන ජීවන දායක පණිවිඩයෙන් අන්‍යයන්ගේ ජීවිත රැකෙන නිසයි. (මතෙව් 5:13) යම් දෙයක ස්ථිරත්වය කියාපෑමටත් ලුණු යන වචනය යොදාගත්තා. “ලුණුවලින් ස්ථිර කළ ගිවිසුමක්” කියා බයිබලයේ සඳහන් වන දෙයින් අදහස් කරන්නේ එය වෙනස් නොවන ගිවිසුමක් බවයි.—ගණන් කථාව 18:19.

ආරේය බ්‍රාන්කාවල ලේවාය බලන්න ගිය සංචාරයෙන් අපි ඉමහත් ප්‍රීතියක් ලැබුවා. ඒ විතරක් නෙවෙයි ලුණු මොන තරම් ප්‍රයෝජනවත්ද කියාත්, ඉතිහාසය පුරාම එය අත්‍යවශ්‍ය දෙයක් වී ඇත්තේ මන්ද කියාත් අපි දැනගත්තා. ‘හිරු හා සයුරෙන්’ බිහි වන මේ අත්‍යවශ්‍ය අගනා ද්‍රව්‍යය දැන් පහසුවෙන්ම අපිට ලබාගැනීමට හැකි වී තිබීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕන.

[16වන පිටුවේ පින්තූරය]

තටාකයෙන් ලුණු ගන්නා යන්ත්‍රයක්

[16වන පිටුවේ පින්තූරය]

පිරිසිදු කිරීමට පෙර ලුණු

[16, 17වන පිටුවේ පින්තූරය]

සෝදා පිරිසිදු කිරීමේ ප්‍රදේශය