Skip to content

පටුනට යන්න

ක්‍රිස්තු ධර්මය දෝෂ සහිතද?

ක්‍රිස්තු ධර්මය දෝෂ සහිතද?

බයිබලයෙන් පිළිතුරක්

ක්‍රිස්තු ධර්මය දෝෂ සහිතද?

ලෝකයෙන් තුනෙන් එකකම සිටින්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා අයයි. ඒත් වෙන කවරදාටත් වඩා දේශපාලනමය අතින් බෙදී තීබෙන අද ලෝකය ප්‍රචණ්ඩත්වයෙන්ද නෑවිලා. ඉන් අදහස් වන්නේ යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූ ධර්මයේ දෝෂයක් තිබෙන බවද? නැතහොත් ජනයා එය පිළිපදින්නේ වැරදි ක්‍රමයකටද?

ඇත්තෙන්ම යේසුස් ඉගැන්නුවේ කුමක්ද කියාත්, ඔහු තම අනුගාමිකයන්ට තැබූ ආදර්ශය ගැනත් අපි දැන් සලකා බලමු. ඒ වගේම ක්‍රිස්තියානියයි කියා සිටින අය පිළිගන්නා එක් මතයක් ක්‍රිස්තු ධර්මයට පටහැනි වන ආකාරයත් බලමු.

විකෘති කළ ක්‍රිස්තු ධර්මය

ක්‍රිස්තුස් මිය ගොස් වසර 400ක් පමණ ගත වෙද්දී ක්‍රිස්තු ධර්මය විකෘති වී තිබුණා. එම විකෘති වූ ධර්මය රෝම අධිරාජ්‍යය තුළ රාජ්‍ය ආගමක් ලෙස පිළිගනු ලැබුවා. ක්‍රිස්තියානියයි කියාගත් අයට තිබූ පිළිගැනීම නිසා වැඩි කල් නොගොස් ඔවුන් රෝමයේ දේශපාලන හා සමාජ කටයුතුවල වැඩි වැඩියෙන් හවුල් වුණා. ඒ කාල වකවානුවේදී ඔගස්ටීන් වැනි නායකයන් ඉගැන්නුවේ යේසුස් පැවසූ දේවරාජ්‍යය ඒ වන විටත් පැමිණ තිබෙන බවයි. ඒ විතරක් නෙවෙයි දෙවිගේ කැමැත්ත මෙලොවේ ඉටු වන්නෙත් ඔවුන්ගේ ආගමික හා දේශපාලනික බලතල මාර්ගයෙන් කියා ඔවුන් පැවසුවා. එමෙන්ම ඔවුන් කාවැද්දුවේ, පොළොවේ පාලනය සඳහා මිනිසාගේ වෑයම අත්‍යවශ්‍ය බවයි.

ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ අය විශ්වාස කරන්නේ ක්‍රිස්තියානි කෙනෙක් දේශපාලනයට සම්පූර්ණයෙන්ම සහයෝගය දිය යුතුයි කියායි. එසේ කිරීමට නම් සමාජයේ අවශ්‍යතා අනුව ඔහුගේ ක්‍රිස්තියානි විශ්වාසයන් පවා යටපත් කරගන්න ඔහුට සිදු වෙයි. උදාහරණයක් හැටියට බොහෝ ක්‍රිස්තියානීන් ක්‍රිස්තු ධර්මයේ උගන්වන ප්‍රේමය හා සාමය ගැන කතා කළත් දරුණු යුද්ධවලට සහයෝගය දෙනවා. ඒ වගේම සමහර පල්ලිවල දේවරාජ්‍යය ගැන යාච්ඤා කිරීමට ඉගැන්නුවත් එහි සාමාජිකයන්ගේ ක්‍රියාවලින් පෙන්වන්නේ දේශපාලන නායකයන්ට සහයෝගය දෙන බවයි.

අදත් ක්‍රිස්තියානියයි කියාගන්නා බොහෝදෙනෙක් කරන්නේ ඒ දේමයි. නමුත් යේසුස් ඉගැන්වූ ක්‍රිස්තු ධර්මය එය නොවෙයි. බයිබල් ප්‍රතිපත්ති පිළිපදිනවා වෙනුවට බොහෝ අය පිළිපදින්නේ මිනිසා විසින්ම විකෘති කළ මෙම ක්‍රිස්තු ධර්මයයි.

ඇත්තෙන්ම යේසුස් ඉගැන්නුවේ කුමක්ද?

යේසුස් තම ගෝලයන්ට පැවසුවේ “මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක්” නොවිය යුතුයි කියායි. (යොහන් 17:15, 16) මෙසේ පවසා තිබෙන බව දැනගත් විට සමහරු පුදුම වෙයි. තම ගෝලයන්ට ලෝකයේ කොටසක් නොවන්න කියා යේසුස් පැවසුවේ ඇයි? යේසුස් හුඟක් ප්‍රේම කළ ගෝලයෙකු වූ යොහන් එයට පිළිතුරු සැපයුවේ මෙලෙසයි. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්.”—1 යොහන් 5:19.

යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් මගින් පැහැදිලි වුණේ ධර්මිෂ්ඨ පාරාදීස පොළොවක් බිහි වන්නේ ස්වර්ගයේ පිහිටුවා තිබෙන දෙවිගේ රාජ්‍යයෙන් පමණක් මිස කිසි මිනිසෙකු මාර්ගයෙන් නොවන බවයි. (මතෙව් 6:10) යේසුස් එවකට තිබූ දේශපාලනයෙන් කොතරම් වැළකී සිටියාද කිවහොත් දේශපාලන නායකයෙකු වීමට ප්‍රස්තාව තිබෙද්දීත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. (යොහන් 6:15) ප්‍රශ්න විසඳීමට ප්‍රචණ්ඩත්වය යොදාගැනීම යන අදහසත් ඔහු හෙළාදැක්කා. (මතෙව් 26:50-53; යොහන් 18:36) යේසුස් තම අනුගාමිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දුන්නේවත්, සිවිල් නීති පැනෙව්වේවත් නැහැ. ඔහු එදා තිබූ ප්‍රශ්නවලට දේශපාලනමය විසඳුම් සොයන්න ගියෙත් නැහැ. උදාහරණයකට ඔහු දාසයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළේවත්, යුදෙව්වන් හා රෝමවරුන් අතර තිබූ ගැටුම්වලට හවුල් වුණේවත් නැහැ.

යේසුස් මිනිසුන් ගැන හා ඔවුන්ගේ ගැටලු ගැන කිසිම තැකීමක් නොකළ බව ඉන් අදහස් වෙනවාද? කොහෙත්ම නැහැ. සෙසු ජනයා ගැන සැලකිලිමත් විය යුතුයි කියා යේසුස් නිතර නිතර ඉගැන්නුවා. බදු ගෙවීමේදී අවංක වන්න කියාත්, බලධාරීන්ට යටත් වන්න කියාත් ඔහු අවධාරණය කළා. (මතෙව් 22:17-21) අන්‍යයන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වන ආකාරයත් ඔහු ඉගැන්නුවා. අනුන්ට ගරු කරන, ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න, සමාව දෙන හා දයාව පෙන්වන ආකාරය ගැනත් ඔහු පෙන්වා දුන්නා. (මතෙව් 5-7වන පරිච්ඡේද) ක්‍රිස්තු ධර්මයේ මූලික ඉගැන්වීම වන්නේ දෙවිටත් අසල්වැසියාටත් ප්‍රේමය දැක්වීමයි.—මාක් 12:30, 31.

සැබෑ ක්‍රිස්තියානියෙක් යනු . . .

එසේනම් යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් ලෙස හැඳින්විය හැක්කේ කාවද? යේසුස් ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කරන කෙනෙක්. ඔහු රටේ නීති රීතිවලට කීකරු වන අතර කොහොමටවත් දේශපාලන පැති ගන්නේ නැහැ. (යොහන් 12:47, 48) හිංසා පීඩා විඳින්න සිදු වුණත් ඔහු ක්‍රිස්තු ධර්මයේ ප්‍රතිපත්ති කඩ කරන්නේ නැහැ. (1 පේතෘස් 2:21-23) ඒ වගේම සැබෑ ක්‍රිස්තියානියෙක් අත් දෙක අකුළගෙන ඔහේ බලාගෙන ඉන්න කෙනෙකුත් නෙවෙයි. ඔහු යේසුස් මෙන් අනුන් ගැන අව්‍යාජ සැලකිල්ලක් දක්වනවා. (මාක් 6:34) අන් අයට ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් තේරුම්ගෙන, එමගින් ලැබෙන සතුට අත් පත් කරගැනීමට උපකාර කිරීම සඳහා ඔහු වෙහෙස වෙනවා.—යොහන් 13:17.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් කරන්නේ මෙයයි. අන් අය සමඟ කටයුතු කරද්දී ඔවුන් උත්සාහ කරන්නේ යේසුස්ව අනුගමනය කරන්නයි. ඕනෑම රටක නීති ගරුක පුරවැසියන් ලෙස ජීවත් වුවත් ලෝකයේ කොටසක් නොවී සිටිනවා. යේසුස් මෙන් ඔවුනුත් ප්‍රචණ්ඩත්වයට හා දේශපාලන මතභේදයන්ට හවුල් වන්නේ නැහැ. ලෝකයේ තිබෙන ප්‍රශ්නවලට එකම විසඳුම දේවරාජ්‍යය කියා ඔවුන් විශ්වාස කරනවා. නියම ක්‍රිස්තු ධර්මයේ ප්‍රතිඵලය වන්නේ එහි සාමාජිකයන් සතුටෙන් හා සමඟියෙන් ජීවත් වීමයි. (යොහන් 13:34, 35) ඇත්තටම යේසුස්ගේ ඉගැන්වීම්වල කිසි දෝෂයක් නැහැ.

මේ ගැන ඔබ සිතුවාද?

▪ ක්‍රිස්තියානීන් දේශපාලනයට හවුල් වීම සුදුසුද?—යොහන් 6:15.

▪ ක්‍රිස්තුස් ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රශ්නවලට විසඳුම් සොයන්න කිව්වාද?—මතෙව් 26:50-53.

▪ සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්නේ කුමන ගුණාංගයෙන්ද?—යොහන් 13:34, 35.

[පින්තූරයේ හිමිකම් විස්තර 18වන පිටුවේ]

EL COMERCIO, Quito, Ecuador