Skip to content

පටුනට යන්න

ගොවියාගේ හිතමිතුරා ඉඟුරුගොළුවා

ගොවියාගේ හිතමිතුරා ඉඟුරුගොළුවා

ගොවියාගේ හිතමිතුරා ඉඟුරුගොළුවා

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

කුරුමිණියෙක් කියන්නේ බොහෝවිට මිනිසුන් ප්‍රිය කරන සතෙක් නෙවෙයි. ඒත් මේ කුරුමිණියා ඊට වඩා ටිකක් වෙනස්. බ්‍රිතාන්‍යයේ ලේඩිබර්ඩ් කියා හඳුන්වන මේ කුරුමිණියාව ශ්‍රී ලංකාවේ සිංහලෙන් හඳුන්වන්නේ ඉඟුරුගොළුවා කියලයි. උන්ගේ මනරම් පෙනුම නිසා කුඩා ළමුන් උන්ට ආසයි. ඒ වගේම ගොවියන් හා වැවිලිකරුවනුත් මේ පුංචි කුරුමිණියාව තමන්ගේ වතුවලට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ ඇයි?

මිතුරෙක් වෙන්නේ කොහොමද?

මේ පුංචි කුරුමිණියාගේ ප්‍රියතම ආහාරය වෙන්නේ කූඩිත්තන්. (වමේ පින්තූරය) කූඩිත්තන් කියන්නේ මල් පැළවලට වගේම වෙනත් පැළෑටිවලට හානි කරන කුඩා සත්තු වර්ගයක්. සාමාන්‍යයෙන් ඉඟුරුගොළුවෙක් අවුරුද්දක් ඇතුළත කූඩිත්තන් දහස් ගාණක් කාලා දානවා. ඒ විතරක් නෙවෙයි උන්ගේ කීට අවස්ථාවේ සිටම උන් කන්නේ කූඩිත්තන්ව. සමහර ඉඟුරුගොළු වර්ග ගස්වල බැඳෙන පුස් වර්ගත් ආහාරයට ගන්නවා. එහෙම බලද්දී ගොවියන් හා වතුවගා කරන්නන් මේ පුංචි කුරුමිණියාව තමන්ගේ වතුවලට ආදරයෙන් පිළිගැනීම අහන්නත් දෙයක්ද!

එක්දාස් අටසිය ගණන්වල අගභාගයේදී, එක් කෘමී විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිට එක්සත් ජනපදයේ කැලිෆෝනියාවට වැරදීමකින් ගෙනාවා. උන් විශාල ලෙස බෝවීම ලොකු ගැටලුවක් බවට පත් වුණා. ඒ වගේම උන් දෙහි හා දොඩම් වැනි ගස්වලට හානි කළා. ඊට පිළියමක් සෙවීම සඳහා කෘමීන් පිළිබඳ විද්‍යාඥයෙක් ඕස්ට්‍රේලියාවට ගියා. ගමන සාර්ථකයි. ඔහු පිළියමක් හැටියට ස්වාභාවික කෘමිනාශකයෙක් සොයාගත්තා. ඒ තමයි ඉඟුරුගොළුවා. ඊළඟට ඔහු කළේ ඉඟුරුගොළුවන් 500ක් විතර කැලිෆෝනියාවට ගෙන ඒමයි. අවුරුද්දක් ගත වෙද්දී මේ අපූරු කෘමිනාශකයා නිසා දෙහි හා දොඩම් වැනි ගස් වර්ග බේරාගැනීමට ඔවුන්ට හැකි වුණා.

ඉඟුරුගොළුවෙක්

මේ චූටි කුරුමිණියාට තියෙන්නේ දෙහි පළුවක නැත්නම් බිත්තර පළුවක හැඩයක්. හැබැයි ඌ කොතරම් පුංචිද කියනවා නම් අඟල් භාගයක් තරම්වත් දිග නැහැ. ඒත් හරිම කෑදරයෙක්. උගේ තටුවලට උඩින් ආරක්ෂාව සඳහා ගනකම ආවරණයක් තියෙනවා. පාට තියෙන්නේ මේ ආවරණයේ. උන් පියාඹන විට මේ ආවරණය ඉහළට එසවෙනවා. සාමාන්‍යයෙන් හුඟක් අය හිතන්නේ උන් රතු පාට වන අතර කළු පාට තිත් තියෙනවා කියලයි. ඒත් මේ කුරුමිණියන් වර්ග 5,000කටත් වඩා වැඩියෙන් ඉන්නවා. විවිධ පාටවලිනුත් ඉන්නවා. සමහර උන් කහ හෝ තැඹිලි පාටයි, තිත් කළුයි. තවත් සමහර උන් කළු පාටයි, තිත් රතුයි. තවත් උන්ට තිත් නැහැ. තවත් සමහරුන්ට කොටු නැත්නම් ඉරි තමයි තියෙන්නේ.

ඉඟුරුගොළුවෙකුගේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුද්දයි. උන් සීත කාලයේදී පැත්තකට වෙලා පාඩුවේ ඉන්නවා. ග්‍රීෂ්ම කාලයේදී කඩිසරව කූඩිත්තන්ව හොයමින් හැම තැනම ඇවිදිනවා. ඉඟුරුගොළුවාගේ ගැහැනු සතා බිත්තර දමන්නේ කොළවල යට පැත්තෙයි. ඒවා කහ පාටයි. (දකුණේ පින්තූරය) බිත්තර දාන්නෙත් කූඩිත්තන් යහමින් ඉන්න තැනක් බලලා. බිත්තරෙන් එළියට එන කීටයාව දකිද්දී මේ ඉඟුරුගොළු පැටියෙක් වෙන්න පුළුවන්ද කියලත් හිතෙයි. (වමේ පින්තූරය) උගේ වැඩේ කූඩිත්තන්ව කන එකමයි. කීටයා ටිකක් ලොකු වෙද්දී උගේ උඩ හම පැළෙනවා. තවත් ටිකක් ලොකු වෙද්දී ආයිත් හම පැළෙනවා. මේ විදිහට කිහිප වතාවක්ම වුණාට පස්සේ උගේ හම ගන වෙලා පිළාකෝෂයක් හැදෙනවා. පිළාකෝෂය ඇතුලේ කීටයා වැඩී අවසානයේදී ඉඟුරුගොළුවෙක් මෙළොව එළිය දකියි. දින කිහිපයක් අතුළතදී උගේ උඩ හම ගන වෙලා පාට වැටිලා ඌ නියම ඉඟුරුගොළුවෙක් වෙනවා.

ඉඟුරුගොළුවා ආත්මාරක්ෂාවට අපූරු වැඩක් තමයි කරන්නේ. සතෙක් ඌව අල්ලගන්න ආපු ගමන්ම අමුතු රසක් තියෙන කහ පාට, ගඳ දියරයක් පිට කරනවා. ඒකෙන් ඌව අල්ලන්න එන සතාට ලැබෙන්නේ අමතක නොවන පාඩමක්. ඒත් කවදාහරි මේ පාඩම ඒ සතාට අමතක වුණොත් ආපහු ඉඟුරුගොළුවෙකුගේ පාට දැකපු ගමන්ම ඒක ඌට මතක් වෙයි.

කරදරකාරයෙක්

ඉඟුරුගොළුවන්ගෙන් එක් වර්ගයක් මිනිසුන්ට යහපතකට වඩා කරදරයකුයි ඇති කරලා තියෙන්නේ. මේ වර්ගය බොහෝදුරට ඉන්නේ ඊසානදිග ආසියාවෙයි. උන්ව උතුරු අමෙරිකාවට හා යුරෝපයට ගෙනාවේ වෙනත් කෘමීන්ව විනාශ කර දැමීම සඳහායි. නමුත් සිදු වුණේ බලාපොරොත්තු නොවූ දෙයක්. මේ කුරුමිණියා කළේ ඒ රටට ආවේණික වෙලා හිටිය කෘමීන්ගේ ආහාර ටික කාලා දාලා ඊට පස්සේ උන්වත් කාලා දාන්න පටන්ගැනීමයි. ඊට අමතරව ඉදුණු පලතුරු කඩන්න ඔන්න මෙන්න කියා තිබෙද්දී ඒවාත් කාලා පාඩු කළා. ඒ විතරක් නෙවෙයි ශීතකාලයේදී උන් දහස් ගණනින් ගෙවල්වලටත් රිංග ගන්නවා. මේ හේතු නිසා කෘමීන් පිළිබඳ විද්‍යාඥයන් කියා සිටින්නේ මේ කරදරකාරයා නිසා තවත් ඉඟුරුගොළුවන් වර්ග වඳ වී යන්න ඉඩ තිබෙනවා කියායි.

ඉඟුරුගොළුවන්ගෙන් වර්ගයක් දෙකක් කරදරකාරයන් වුණාට බොහෝ වර්ගවලින් සිදු වන්නේ පාඩුවකට වඩා ලාභයක්.

ආදරයෙන් පිළිගනිමු

අපි මේ පුංචි කෘමිනාශකයාව අපේ ගෙවත්තට ගෙන්වාගන්නේ කොහොමද? බොහෝවිට උන් වතුවලට එනවා මල්පැණි බොන්න සහ පරාග කන්න. ඊට අමතරව පැළ කිහිපයක් අස්සේ වතුර ටිකක් තිබුණත් උන් ඇවිත් ඇති එතනට. ඉඟුරුගොළුවාගේ හතුරා තමයි රසායනික පළිබෝධනාශක. ඒ නිසා ඒවා භාවිත කිරීමෙන් වළකින්න. සීත කාලයට උන් කොළරොඩු යටට රිංග ගන්නවා. ඊට පස්සේ උන්ගේ නවාතැන එතනයි. මේ විදිහට ඉන්න උන්ව හෝ උන්ගේ බිත්තර දැක්කොත් විනාශ කරන්න නම් එපා. එහෙම කළොත් සමහරවිට ඔබ පරම්පරාවක්ම විනාශ කළා වෙන්න පුළුවන්.

හානිකර පළිබෝධනාශකවලට වඩා මේ පුංචි කුරුමිණියා හොඳ කෘමිනාශකයෙක් නිසා ඌ මුළු වත්තටම ලොකු සෙතක් කරයි. ඔබ උන්ව ආදරයෙන් පිළිගත්තොත් උන්ද ඔබට විශාල සේවයක් කරයි. අපිත් මේ කුඩා අපූරු කෘමියාව අගේ කොට සලකනවා නම් අපිටත් හැකි වෙයි ගීතිකාකරු වන දාවිත් කිව්වා වගේ මෙසේ කියන්න. “යෙහෝවා දෙවියනි, කොතරම් දේවල් ඔබ මවා ඇත්ද! ඒ සියල්ලම ඔබ ප්‍රඥාවන්තව මැව්වේය. පොළොව ඔබ මවා ඇති දේවල්වලින් පිරී ඇත.”—ගීතාවලිය 104:24.

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: © Waldhäusl/Schauhuber/Naturfoto-Online; left two: Scott Bauer/Agricultural Research Service, USDA; middle: Clemson University - USDA Cooperative Extension Slide Series, www.insectimages.org; eggs: Bradley Higbee, Paramount Farming, www.insectimages.org

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Left: Jerry A. Payne, USDA Agricultural Research Service, www.insectimages.org; 2nd from left: Whitney Cranshaw, Colorado State University, www.insectimages.org; 3rd from left: Louis Tedders, USDA Agricultural Research Service, www.insectimages.org; 4th from left: Russ Ottens, The University of Georgia, www.insectimages.org; ladybirds on a leaf: Scott Bauer/Agricultural Research Service, USDA