Skip to content

පටුනට යන්න

බෙලීස් බාධක පරය වටිනා සම්පතක්

බෙලීස් බාධක පරය වටිනා සම්පතක්

බෙලීස් බාධක පරය වටිනා සම්පතක්

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

“තම සංස්කෘතියේ හෝ සොබාදහමේ සම්පත් පිරිහීම හෝ වැනසී යෑම මුළු මිනිස් සංහතියටම ඉමහත් පාඩුවක් හා හානියක්. . . . එමනිසා එවැනි වටිනා සම්පත් රැකගැනීම ලොව පුරා සිටින සැමගේ වගකීමයි.”—යුනෙස්කෝ මගින් ලෝක උරුමයන් සුරැකීමේ සමුළුවේදී.

ඉහත වදන්වලට අනුව බෙලීස් බාධක පරය සංරක්ෂණය කිරීමේ වැඩසටහන 1996දී ඇරඹුවා. පෙරූහි මාෂු පීෂු, එක්සත් ජනපදයේ ග්‍රෑන්ඩ් කැනියොන් සහ ලොව වටා තිබෙන වෙනත් වටිනා ස්ථානවල තත්වයම එයටත් ලබා දුන්නා. මෙය ‘වටිනා සම්පතක්’ වන්නේ කෙසේද?

රැකගැනීමට වටිනා සම්පතක්

මෙම බෙලීස් බාධක පරය මුළු ලෝකයෙන්ම දෙවනි වන්නේ ඕස්ට්‍රේලියාවේ තිබෙන මහා බාධක පරයට පමණයි. එමෙන්ම බටහිර අර්ධගෝලයේ තිබෙන දිගම පරයත් මෙයයි. මධ්‍යම අමෙරිකානු රටක් වන බෙලීස්හි මුහුදු තීරයෙන් වැඩි කොටසක් සහ යූකටන් අර්ධද්වීපය ඔස්සේ එය කිලෝමීටර් 300ක් දක්වා දිව යනවා. මෙම පරය මෙන්ම ඊට යාබදව පිහිටි වෙනත් කොරල් පර, කොරල් දූපත් 450ක් පමණ සහ අතොල් පර තුන සංරක්ෂිත ප්‍රදේශයට ඇතුළත් වෙනවා. අතොල් පර පිහිටා තිබෙන්නේ පින්තූරයේ පෙනෙන පරිදි රවුම් හැඩයේ කලපුව වටායි. මේ ආශ්‍රිතව වෙන් කර ඇති සංරක්ෂිත ප්‍රදේශ හතේ එකතුව වර්ග කිලෝ මීටර් 960කින් සමන්විතයි. විශේෂයෙන්ම මේ ප්‍රදේශය සුරකින්නේ ලෝක උරුමයන් සුරැකීමේ වැඩපිළිවෙළ මගින්.

ලොව පුරා මුහුදු පැළෑටි තිබෙන්නේ හා මුහුදු ජීවීන්ගෙන් හතරෙන් එකක් වෙසෙන්නේ කොරල් පර ආශ්‍රිතව නිසා කොරල් පර රැකගත යුතුයි. ගොඩබිමේ වැසි වනාන්තර අත්‍යවශ්‍ය වගේම මුහුදේ තිබෙන කොරල් පරත් අත්‍යවශ්‍යයි. නමුත් විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙන්නේ නොයෙක් ආකාරයෙන් මුහුද දූෂණය කිරීම, සයනයිඩ් වැනි හානිකර දේ යොදා මාළු ඇල්ලීම සහ සංචාරකයන් විසින් කොරල් පර විනාශ කිරීම යනාදිය නැවැත්වීමට වහාම පියවර ගත යුතු බවයි. එසේ නැතහොත් තව වසර 20ත් 40ත් අතර කාලයක් ඇතුළතදී මුළු ලෝකයේම තිබෙන කොරල්වලින් සියයට 70ක්ම විනාශ වී යා හැකියි කියා ඔවුන් පවසනවා.

බෙලීස් බාධක පරය සංරක්ෂණය කිරීමේ වැඩසටහන මගින් එහි ගල් කොරල් විශේෂ 70ක්ද, මෘදු කොරල් 36ක්ද, මාළු විශේෂ 500ක්ද හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම මෙහි සිටින ඔළුගෙඩි කැස්බෑවා, මඩ කැස්බෑවා, පොතු කැස්බෑවා මෙන්ම මැනටියා නම් ශාකභක්ෂක මුහුදු සත්වයාත්, අමෙරිකානු කිඹුලාත් අනතුරට හා තර්ජනයට ලක් වී සිටිනවා. මෙම සංරක්ෂක ප්‍රදේශයේ සිටින මුහුදු ජීවීන්ගේ විවිධත්වය ගැන කොරල් පර ගවේෂකවරියක් වන ජූලියෑන් රොබින්සන් පවසන්නේ මෙයයි. “ගවේෂකයන්ට හා අමුත්තන්ට බෙලීස් බාධක පරය අද්විතීය අවස්ථාවක් උදා කර දෙනවා. . . . මෙය සොබාදහමේ අසිරිය විඳගැනීමට ඉතිරිව ඇති එක් ස්ථානයක් වුවත් දැන් මෙය තර්ජනයට ලක් වී තිබෙන ස්ථානයක් බවට පත් වෙලා.”

කෙසේවෙතත් විශාලතම තර්ජනය වී තිබෙන්නේ කොරල් පර සුදු වෙමින් පැවතීමයි. එමගින් වෛවර්ණ කොරල් හිඟ වී යයි. (26වන පිටුවේ කොටුව බලන්න.) නැෂනල් ජියොග්‍රැෆික් නිව්ස් වාර්තා කරන පරිදි, මිච් සැඩකුණාටුවෙන් පසුව 1997 සහ 1998 අතරතුර විශාල වශයෙන් බෙලීස් කොරල් පර සුදු වුණා. එමනිසා තිබූ කොරල්වලින් සියයට 48ක් මිය ගියා. මෙම විනාශයට හේතුව කුමක්ද? දිගින් දිගටම පර්යේෂණයන් සිදු කළත් ගල් පර පිළිබඳ විද්‍යාඥවරියක් වන මෙලානී මැක්ෆීල්ඩ් පවසන්නේ මෙයයි. “මුහුදේ උෂ්ණත්වය අධික වීමත් කොරල් පර සුදුවීමට විශාල හේතුවක්. . . . පාරජම්බුල කිරණත් ඊට හේතුවක් වන අතර මේ හේතු දෙකම එක්වීමෙන් කොරල් පර සුදු වීමේ තත්වය තවත් දරුණු වෙයි.” කෙසේවෙතත්, බෙලීස් පරය යළි වර්ණවත් වෙමින් පැවතීම සතුටට කරුණක්. *

පාරාදීසයක්

බෙලීස් පරය ආශ්‍රිත පැහැදිලි පිරිසිදු ජලය සෙල්සියස් අංශක 26ක පමණ උෂ්ණත්වයක තිබෙන නිසා කිමිදුම්කරුවන්ට හිතේ හැටියට කිමෙදන්න පුළුවන්. නමුත් ඔවුන් තවමත් ජලයේ යට තිබෙන පාරාදීසයෙන් සියයට 90ක්ම දැකලා නැහැ. මෙම පරයට පහසුවෙන්ම යා හැක්කේ ඇම්බග්‍රිස් දූපතේ සාන් පෙඩ්රෝ නගරයෙනුයි. සාන් පෙඩ්රෝවල ගිණිකොණදිගේ සිට කිලෝමීටර් 6ක දුරින් වර්ග කිලෝමීටර් 8ක ප්‍රදේශයක් තවත් සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස වෙන් කර තිබෙනවා. එය හෝල් ෂාන් මුහුදු සංරක්ෂණ ප්‍රදේශයයි. එහි නොගැඹුරු මුහුදේ ලස්සන මාළු සහ කොරල් පර දිස් වෙන්නේ හරියට උද්‍යානයක් වගෙයි. එමනිසා මෙය කිමිදුම්කරුවන්ට කදිම ප්‍රදේශයක්.

බෙලීස් සිට කිලෝමීටර් 100ක් ඈතින් පිහිටි ලයිට්හවුස් පරය මධ්‍යයෙහි පිහිටි නිල් විලත් අලංකාර ස්ථානයක්. එය කිමිදුම්කරුවන්ට තෝතැන්නක්. ප්‍රංශ මුහුදු ගවේෂක ෂාක් ඊව් කොස්තෝ 1970දී කැලිප්සෝ නෞකාවෙන් ගිය ගමනෙන් පසුවයි මෙය ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් වුණේ. ඒ ස්ථානය දිස් වන්නේ නොගැඹුරු මුහුදේ ලොකු ළිඳක් හාරලා තියෙනවා වගෙයි. නිල් කැටයක් මෙන් පැහැදිලි ජලයෙන් පිරී තිබෙන එම විලේ වටේට රවුම් බැම්මක් බැඳලා වගෙයි පේන්නේ. ඒ බැම්ම හැදිලා තියෙන්නේ කොරල්වලින්. එම විලේ ගැඹුර මීටර් 120කටත් වඩා වැඩි වන අතර එහි විෂ්කම්භය මීටර් 300ක් පමණ වෙයි. නමුත් බැම්මේ මතුපිට සිට මීටර් 35ක් පමණ ගැඹුරට යද්දී එම බැම්ම වක්‍රාකාර වී විෂ්කම්භය වැඩි වී විශාල ප්‍රදේශයක් වට කරගෙන තිබෙනවා. ජලය යට එම ප්‍රදේශය පුරා තිබෙන්නේ අලංකාර පරිසරයක්. එය මීටර් 60ක දක්වා දිව යනවා. කෙසේවෙතත් මුහුදු මට්ටම ඉහළ නඟින්න පෙර මේ භූමි ප්‍රදේශය තිබී ඇත්තේ විශාල ගුහාවක් හැටියටයි. මේ විලේ වැඩි හරියක් ඉන්නේ මෝරුන්. මෙතරම් ගැඹුරු තැනක කිමිදිය යුත්තේ පළපුරුදු කිමිදුම්කරුවන් පමණයි. නමුත් වෙනත් අයට කොරල් පර වටරවුම අසල නොගැඹුරු මුහුදේ නිල් කැටේ මෙන් වූ පැහැදිලි ජල තීරුව කිමිදෙන්න කදිම ප්‍රදේශයක්.

සංරක්ෂිත ප්‍රදේශ හතෙන් තවත් එකක් තමයි හාෆ් මූන් දූපත. එහිදී නිතර දකින්න නොලැබෙන රත් පා සුලාවියා කුරුල්ලාව දැකගත හැකියි. එමෙන්ම තවත් කුරුළු විශේෂ 98ක් පමණ එහි සිටින බවට වාර්තා වෙනවා. මෙම දූපතේ එක පැත්තක මුහුද ගැඹුරුයි. එම පැත්ත අලංකාර මෘදු කොරල් පරවලින් ගහනව තිබෙන අතර මීටර් 1,000ක් යටට කිමිදීමෙන් දර්ශනීය මුහුදු පාරාදීසයක් නැරඹීමට පුළුවන්.

බෙලීස් බාධක පරය වෙත අප ගිය මේ කෙටි ගමනෙන් අපට මතක් කර දෙන්නේ අනාගත පරම්පරාවන් සඳහා මේ අපූරු දායාදය සුරැකීම අපේ වගකීම බවයි. එය අහිමි වී යෑම “මුළු මිනිස් සංහතියටම ඉමහත් පාඩුවක් හා හානියක්” වේවි.

[පාදසටහන]

^ 9 ඡේ. මුහුදේ උෂ්ණත්වය ඉහළ නැඟීමෙන් වායුගෝලය උණුසුම් වීම වැළැක්වීමට රටවැසියන්ට විශාල දෙයක් කළ නොහැකි විය හැකි නමුත් මෙම වැඩසටහන හේතුවෙන් බෙලීස්හි වැසියන්ට මෙම ප්‍රදේශය සුරැකීමට උද්‍යෝගයක් ඇති වී තිබෙනවා.

[26වන පිටුවේ කොටුව⁄පින්තූර]

කොරල් පර සුදුවීම

කොරල් පරයක් සෑදී තිබෙන්නේ කොරල් සත්වයෙකු වන බුහුබාවාගෙන්. උන් වටා කැල්සියම් කාබනේට් ගන ස්ථරයක් තිබෙනවා. ජීවමාන කොරල් සෑදෙන්නේ උන්ගේම කලින් පරම්පරාවල මිය ගිය සැකිලි මතයි. ඇල්ගී වැඩෙන්නේ මෙම කොරල් පරවල ආධාරයෙන් නිසා මේ දෙක අතරේ සහජීවනයක් පවතිනවා. ඇල්ගී මගින් පිට කරන ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ බුහුබාවන් විසින් ලබාගන්නා අතර උන් පිට කරන කාබන් ඩයොක්සයිඩ් ඇල්ගී මගින් උරාගනු ලබනවා. බුහුබාවන් හරිම සංවේදී නිසා උෂ්ණත්වයේ අඩු වැඩිවීම්වලට අනුව සකස් වීමට අපහසුයි. උෂ්ණත්වය වැඩි වෙද්දී උන් ඇල්ගී අයින් කිරීමට පටන්ගනියි. එවිට ඇල්ගී මැරී හරිතප්‍රද විනාශ වීමේ හේතුවෙන් කොරල්වල තත්වය දුර්වල වෙයි. එවිට කොරල් සුදු පැහැයක් ගනියි. කෙසේවුවත් කොරල් පරවල යළි ප්‍රකෘතිමත් වීමේ ස්වාභාවයක් පවතින නිසා ඒවා රැකගතහොත් විනාශ වී යෑමෙන් වළක්වාගත හැකි වෙයි.

[හිමිකම් විස්තර]

Background: Copyright © 2006 Tony Rath Photography - www.trphoto.com

[23වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මෙක්සිකෝ

බෙලීස්

කැරිබියන් මුහුද

පැසිෆික් සාගරය

[23වන පිටුවේ පින්තූරය]

කිලෝමීටර් 300ක් දිග බෙලීස් පරය චන්ද්‍රිකා ඇසින්

[24වන පිටුවේ පින්තූරය]

රොන්ඩෙවූ කොරල් දූපත

[හිමිකම් විස්තර]

©kevinschafer.com

[24වන පිටුවේ පින්තූරය]

පොතු කැස්බෑවා

[24, 25වන පිටුවේ පින්තූරය]

කලින් හුනුගල් ගුහාවක් වූ ලයිට්හවුස් පරයේ නිල් විල

[හිමිකම් විස්තර]

©kevinschafer.com

[25වන පිටුවේ පින්තූරය]

බෙලීස් බාදක පරය මත්ස්‍ය විශේෂ 500ක නිවහනයි

[හිමිකම් විස්තර]

Inset: © Paul Gallaher/​Index Stock Imagery

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Satellite view: NASA/​The Visible Earth (http://​visibleearth.nasa.gov/); divers: © Paul Duda/​Photo Researchers, Inc.

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Copyright © Brandon Cole