Skip to content

පටුනට යන්න

මේ වයසේ පෙම් කිරීම සුදුසුද?

මේ වයසේ පෙම් කිරීම සුදුසුද?

යෞවන අය අසති . . .

මේ වයසේ පෙම් කිරීම සුදුසුද?

“කොල්ලෙක් නැත්නම් වැඩක් නැහැ.”—පාසැල් ශිෂ්‍යාවක් වන බ්‍රිට්නි.

“හැමෝටම කොල්ලෙක් ඉන්නවා, ඕන තරම් ලස්සන කොල්ලොත් ඉන්නවා, මටත් ආසයි කොල්ලෙක් එක්ක යාළු වෙන්න.”—විට්නි.

▪ ඔබ පන්තියේ සිටිද්දී පිරිමි ළමයෙකුයි, ගැහැනු ළමයෙකුයි අත් අල්ලගෙන යනවා ඔබ දකිනවා. ඔබට හැඟෙන්නේ කෙසේද?

ප්‍රශ්නයක් නැහැ

පුංචි ඊර්ෂ්‍යාවක් දැනෙනවා

පුදුම ඊර්ෂ්‍යාවක් දැනෙනවා

▪ යාළුවන් එක්ක චිත්‍රපටයක් බලන්න යනවා. හැමෝටම කෙල්ලෙක් හෝ කොල්ලෙක් ඉන්නවා. ඔබ විතරක් තනියම! ඔබට හැඟෙන්නේ කෙසේද?

ප්‍රශ්නයක් නැහැ

පුංචි ඊර්ෂ්‍යාවක් දැනෙනවා

පුදුම ඊර්ෂ්‍යාවක් දැනෙනවා

ඔබේ හොඳම යාළුවා ළඟදී ඉඳන් ප්‍රේම සම්බන්ධයක් පටන් අරන්. ඔබට හැඟෙන්නේ කෙසේද?

ප්‍රශ්නයක් නැහැ

පුංචි ඊර්ෂ්‍යාවක් දැනෙනවා

පුදුම ඊර්ෂ්‍යාවක් දැනෙනවා

ඉහත ප්‍රශ්නවලට ඔබ “පුංචි ඊර්ෂ්‍යාවක්” නැත්නම් “පුදුම ඊර්ෂ්‍යාවක්” ඇති වෙනවා කියා පිළිතුරු දෙනවා නම්, එය පුදුමයක් නෙවෙයි. ඔබේ ප්‍රදේශයේත් මේ වගේ දේවල් සිදු වෙනවා ඇති. එහෙම හැඟන්නේ ඔබට විතරක් නෙවෙයි. දාහතර හැවිරිදි ඉවෙට් මෙහෙම කියනවා. “යාළුවෝ හැමෝටම කොල්ලො ඉන්දැද්දී මට විතරක් නැති නිසා මට හිතෙන්නේ මම කොන් වෙලා කියලයි.”

ඔබට විශේෂ කෙනෙක් අවශ්‍ය වීමත් කෙනෙක් ඔබව විශේෂ කොට සැලකීමත් අමුතු දෙයක් නෙවෙයි. “මටත් කෙල්ලෙක් හිටියා නම් කියලා හැමදාම හිතෙනවා” කියා එක් නහඹරයෙක් පවසයි. උදාහරණයක් හැටියට ටයිම් සඟරාව මගින් කළ සමීක්ෂණයකින් හෙළි වුණේ, සමීක්ෂණයට භාජන කළ 13-හැවිරිදි ළමුන්ගෙන් සියයට 25ක්ම ඒ වන විටත් ‘පෙම්වතුන්’ වී හමාර බවයි. ඔවුන් සිටින්නේ පෙම්වතුන් වෙන්න තරම් සුදුසු වයසක කියා ඔබ සිතනවාද? ඔබ ගැන කුමක් කියන්න පුළුවන්ද? ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න තරම් සුදුසු වයසකද ඔබ සිටින්නේ? මේවාට පිළිතුරු සෙවීමට කලින් ප්‍රේම සම්බන්ධයක් කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නය පැහැදිලි කරගමු.

එය ප්‍රේම සම්බන්ධයක්ද?”

▪ ඔබ නිතරම එකම පුද්ගලයෙක් සමඟ ගමන් බිමන් යනවාද?

එය ප්‍රේම සම්බන්ධයක්ද? □ ඔව් නැහැ

▪ එකම කෙනාට දවසකට කිහිප වතාවක්ම දුරකථනයෙන් කතා කරනවා හෝ sms පණිවිඩ යවනවාද?

එය ප්‍රේම සම්බන්ධයක්ද? □ ඔව් නැහැ

▪ ඔබ දෙදෙනාගේ යාළුකම දෙමාපියන් දැනගත්තොත් ඔවුන් ඒකට අකමැති වෙන බව දන්න නිසා හොරෙන්ද ඔබ ඒක පවත්වාගෙන යන්නේ?

එය ප්‍රේම සම්බන්ධයක්ද? □ ඔව් නැහැ

▪ යාළුවන් සමඟ එකතු වෙද්දී එකම විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක විතරක් ඔබ නිතරම ගැවසෙනවාද?

එය ප්‍රේම සම්බන්ධයක්ද? □ ඔව් නැහැ

පළමු ප්‍රශ්නයට පිළිතුරු දෙන එක නම් ඔබට අමාරු වෙන එකක් නැහැ. ඒත් ඊළඟ ප්‍රශ්නවලට ඔබ විගස පිළිතුරු දෙන්නේ නැති වෙයි. ඇත්තටම ප්‍රේම සම්බන්ධයක් කියන්නේ මොකද්ද? ඔබ එක් පුද්ගලයෙකුට විශේෂ ලෙන්ගතුකමක් දක්වද්දී ඔහු හෝ ඇයත් ඔබට එවැනිම ලෙන්ගතුකමක් දැක්වීම ප්‍රේම සම්බන්ධයකට මුලපිරීමක් වෙන්න පුළුවන්. කණ්ඩායමක් සමඟ සිටිද්දී වුණත්, දුරකථනයෙන් ඇමතුවත්, තනියම හමු වුණත්, එළිපිට හෝ රහසෙන් හමු වුණත් විරුද්ධ ලිංගයේ කෙනෙකුට විශේෂ ලෙන්ගතුකමක් දක්වනවා නම්, එය ප්‍රේම සම්බන්ධයක්.

ඔබේ වයසේ හැටියට මෙසේ කිරීම සුදුසුද? මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබාගැනීමට පහත සඳහන් ප්‍රශ්න තුන සලකා බලමු.

ඔබේ අරමුණ කුමක්ද?

බොහෝ අය ප්‍රේම සම්බන්ධයක් සලකන්නේ විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක ළඟින් ආශ්‍රය කරන්න ලැබෙන අවස්ථාවක් හැටියටයි. ඒත් එය ඒ තරම් බොළඳ දෙයක් ලෙස සලකන්න එපා. එහි අරමුණ විය යුත්තේ විවාහ වීමයි. ඒ ඇයි?

යොවුන් විය කියන්නේ ආදර හැඟීම් හා ලිංගික හැඟීම් උත්සන්නව පවතින කාලයකටයි. බයිබලයෙහි එය විස්තර කර තිබෙන්නේ “යොවුන් වියේ ඇති වන හැඟීම්වල උච්චාවස්ථාව” ලෙසයි. (1 කොරින්ති 7:36) එවැනි තත්වයකදී ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීම නුවණට හුරු දෙයක් වෙන්නේ නැහැ. එහි ඇති භයානකකම ගැන “යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය” කියා ගලාති 6:7හි සඳහන් දෙයින් පැහැදිලියි.

ඔබේ මිතුරන් අතර සිටින සමහර අය ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නේ විවාහ වීමේ අදහසකින් නෙවෙයි. එක්කෝ සෙල්ලමට නැත්නම් අනිත් අය කරන නිසා, එහෙමත් නැත්නම් ලස්සන කෙල්ලෙක් හෝ කඩවසම් කොල්ලෙක් ඉන්නවා කියලා පෙන්නන්න ඕනෙ නිසා. හැබැයි කෙනෙකුගේ හැඟීම් සමඟ සෙල්ලම් කිරීම කුරිරු දෙයක්. ඒ වගේම මෙවැනි සම්බන්ධකම් තාවකාලිකයි. හෙදර් නම් තරුණිය මෙසේ පැවසුවා. “හුඟක් අය සතියකින් නැත්නම් දෙකකින් ඔවුන්ගේ සම්බන්ධකම් නවත්තලා දානවා. එහෙම බලද්දී මේක විවාහයට නෙවෙයි දික්කසාදයට සූදානමක්.”

ප්‍රේම සම්බන්ධයක් විහිළුවට ගත්තොත් නැත්නම් කරන්නම් වාලේ කළොත් සිදු වෙන්නේ හානියක් සහ කෙනෙකුව රිදවීමක්. එරික් පවසන්නේ ඔහු වයස 18දී ගැහැනු ළමයෙක් එක්ක නිකම් මිත්‍රකමක් ඇති කරගත්තත් ඇය මිත්‍රකමකට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වූ බවයි. “මං එයාව සැලකුවේ මගේම සහෝදරියෙක් වගෙයි. හැබැයි එයාට ඕනෙ වුණේ මාත් එක්ක යාළු වෙන්නයි.”

ඇත්තටම විරුද්ධ ලිංගයේ අය සමඟ මිත්‍රවීමේ වරදක් නැහැ. නමුත් ඒ මිත්‍රකම ප්‍රේම සම්බන්ධයකට පෙරළෙන්න යනවා නම් මුලින්ම එය තමන්ගේ වයසට ගැළපෙනවාද තමන් විවාහයට සූදානම්ද කියා සිතා බලන්න. චෙල්සි නමැති තරුණිය ඇගේ අදහස ප්‍රකාශ කළේ මෙලෙසයි. “මටත් ආසයි සෙල්ලමට වගේ සම්බන්ධයක් ඇති කරගන්න. ඒත් අනිත් කෙනා ඒක ලොකුවට බාරගත්තොත් නම් ඒක සෙල්ලමක් නෙවෙයි.”

ඔබේ වයස කීයද?

▪ ඔබ හිතන විදිහට ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න හොඳම වයස මොකද්ද? පිළිතුර ලියන්න. ․․․․․

▪ එම ප්‍රශ්නයම දෙමාපියන්ගෙන් අසා ඔවුන්ගේ පිළිතුරද ලියන්න. ․․․․․

බොහෝදුරට ඔබ දෙන පිළිතුර දෙමාපියන්ගේ පිළිතුරේ වයසට වඩා අඩු වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න තරම් සුදුසු වයසක නෙවෙයි ඔබ සිටින්නේ කියා ඔබ සිතනවා ඇති. ක්‍රිස්තියානි යෞවනියක් වන සෝන්ඩ්‍රා විවාහ වීමට නීතියෙන් අවසර ලත් වයසකයි හිටියේ. එහෙත් ඇගේ අදහස වුණේ මෙයයි. “මට පෙම්වතෙක් හිටියොත් එයා මාව කොහොම තේරුම්ගන්නද මටම මාව තේරුම්ගන්න බැරුව ඉද්දී?”

දාහත් හැවිරිදි ඩැනියෙල්ටත් හැඟෙන්නේ එලෙසමයි. “මීට අවුරුදු දෙකකට කලින් මම පෙම්වතෙක් තෝරගන්න හිතද්දී බලපු දේවලුයි අද බලන දේවලුයි හුඟක් වෙනස්. දැන් මම එච්චර බොළඳ නැහැ. ඒත් මම හිතන්නේ හොඳ තීරණයක් ගන්න මට තවත් ටිකක් කල් ඕනෙ කියලයි.”

ඔබ විවාහයට සූදානම්ද?

ප්‍රේම සම්බන්ධකම විවාහයකට තබන මුල්ම පියවරයි. එමනිසා විවාහයත් සමඟ එන වගකීම් එනම් ස්වාමිපුරුෂයෙක් හෝ භාර්යාවක් වීම, පියෙක් හෝ මවක් වීම වැනි දේවල් භාරගැනීමට සූදානම්ද කියා ඔබෙන්ම අසාගන්න. ඔබ ඊට ලෑස්තියි කියා සිතනවාද? ඔබේ සූදානම මනින්න නම් පහත සඳහන් කරුණු සලකා බලන්න.

අනුන්ව සලකන ආකාරය ඔබේ දෙමාපියන්ට හා පවුලේ අනිත් අයට ඔබ සලකන්නේ කොහොමද? නිතරම කෑගහල ඒ අය සමඟ රණ්ඩු කරනවාද? ඔවුන්ට ඔබ ගැන හැඟෙන්නේ කොහොමද? පවුලේ අයව සලකන ආකාරයෙන් ඔබටම පැහැදිලි වෙයි ඔබේ අනාගත සහකාරියට හෝ සහකරුවාට ඔබ සලකන්නේ කොහොමද කියලා.—එෆීස 4:31, 32.

මුදල් ඔබේ මුදල් පාලනය කිරීම කොහොමද? නිතරම ඔබ ණය වෙලාද ඉන්නේ? ඔබට ස්ථිර රැකියාවක් තියෙනවාද? එසේ නැත්නම් ඒ ඇයි? නිතර නිතර රැකියා මාරු කරනවාද? එසේ කරනවා නම් එය ඔබේ වරදක් නිසාද? ඔබට ඔබේ මුදල් හරියාකාරව පාලනය කරන්න බැරි නම් ඔබ පවුලක් නඩත්තු කරන්නේ කොහොමද?—1 තිමෝති 5:8.

ආගමික භක්තිය ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නම් ඔබේ ආගමික කටයුතුවල හවුල්වීම කොහොමද? දේවවචනය කියවීමට, දේශනා සේවයේ හවුල්වීමට, රැස්වීම්වලට සහභාගි වීමට ඔබ පෙරමුණ ගන්නවාද? ඔබ ඔබේම ආගමික කටයුතුවලට පෙරමුණ ගන්නේ නැත්නම් ඔබේ සහකාරයාට හෝ සහකාරියට ඒවා කිරීමට දිරිගන්වන්නේ කොහොමද?—2 කොරින්ති 13:5.

ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්නත් කලින්ම මේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ අතරතුර විරුද්ධ ලිංගයේ අයත් සමඟ සුදුසු ආකාරයෙන් ආශ්‍රය කරන්න. පසු කාලයකදී ඔබට පුළුවන් වෙයි සතුටින් අර්ථවත් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරන්න. ඊට හේතුව ඒ කාලයේදී ඔබට ඔබ ගැනම හොඳ අවබෝධයක් තිබෙනවා වගේම ඔබේ අනාගත සහකාරිය හෝ සහකරුවා බලාපොරොත්තු වන දේත් ඔබ වටහාගෙන සිටින නිසයි.

පවුලේ සන්තෝෂයට රහස

වැඩි විස්තර සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කළ මේ පොතේ 13-26 දක්වා පිටු බලන්න.

සිතා බලන්න

▪ විරුද්ධ ලිංගයේ අය සමඟ ආශ්‍රය කරන්න සුදුසු තත්වයන් මොනවාද?

▪ විවාහ වීමට පෙර ඔබ තුළම වර්ධනය කරගත යුතු ගුණාංග මොනවාද?

[28වන පිටුවේ කොටුව⁄පින්තූර]

සමහර අයගේ අදහස්

“මේ වගේ ජෝඩු දකිනකොට මට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. හැබැයි මම දන්නවා මේක සෙල්ලමක් නෙවෙයි කියලා. කෙනෙකුගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න නම් බැහැ. මම හිතන්නේ ප්‍රේම සම්බන්ධයක් කියන්නේ විවාහ වීමේ අරමුණින් අනිත් කෙනාව හඳුනාගැනීමයි.”—බ්ලේන්, අවුරුදු 17යි.

“එක කොල්ලෙක් එක්ක යාළු වෙලා ඊට පස්සේ වෙන කෙනෙක් හම්බ වුණාම එයත් එක්ක යාළු වෙන එක හොඳ නැහැ. අන්තිමට ඉතිරි වෙන්නේ සිත්තැවුල විතරයි. ප්‍රේම සම්බන්ධකම් කියන්නේ සෙල්ලමට කරන දෙයක් නෙවෙයි.”—චෙල්සි, අවුරුදු 17යි.

“අඩු වයසින් නම් ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න එපා. එහෙම කරනවා නම් ඒක හරියට රස්සාව බාරගන්න කිසිම අදහසක් නැතුව ඉස්කෝලේ යද්දිම සම්මුඛ පරීක්ෂණයට යනවා වගේ වැඩක්.”—සෝන්ඩ්‍රා, අවුරුදු 21යි.

[30වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි

ඔබේ දරුවත් කවදාහරි ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න තත්වයට එයි. ෆිලිප්ගේ අද්දැකීම සලකා බලන්න. “මම මුකුත් කරන්න ඕනෙ නැහැ. කෙල්ලොම ඇවිල්ලා කියනවා මට කැමතියි කියලා. ඒ වෙලාවට මම අන්දුන් කුන්දුන් වෙනවා. කොහොමද ඉතිං බැහැ කියන්නෙ, කෙල්ලොත් හරි ලස්සනයිනේ.”

දෙමාපියෙනි ඔබට කළ හැකි හොඳම දෙය වෙන්නේ දරුවන් සමඟ මේ ගැන කතා කිරීමයි. ඔබ කැමති නම් මේ ලිපියෙන් තොරතුරු සොයාගන්න පුළුවන්. පාසැලේදී හෝ ක්‍රිස්තියානි සභාවේදී මේ වගේ තත්වයක් ඇති වෙලා තියෙනවාද කියා ආදරයෙන් අහලා බලන්න. මේක මහා ලොකු දේශනයක් වෙන්න අවශ්‍ය නැහැ. සුහද සාකච්ඡාවක් වෙන්නයි ඕනෙ. හරියට මෙවැනි අවස්ථාවක වගේ. “ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද ඒවා ගැන කතා කරන්න.” (ද්විතීය කතාව 6:6, 7) කොහොමවුණත් ඔබේ දරුවා සමඟ කතා කරද්දී “ඇසීමට ඉක්මන් විය යුතුය. කතා කිරීමට ප්‍රමාද විය යුතුය.”—යාකොබ් 1:19.

දරුවා විරුද්ධ ලිංගයේ කෙනෙකුට කැමතියි කියා කිව්වොත් කලබල වෙන්න එපා. එක් තරුණියක් පැවසූ දෙය බලන්න. “මට කොල්ලෙක් ඉන්නවා කියලා තාත්තා දැනගත්තාම එයා හුඟක් කලබල වුණා. ඊට පස්සේ එයා උත්සාහ කළේ විවාහය ගැන හුඟක් ප්‍රශ්න අහලා මාව බය කරන්න. මෙහෙම වෙනකොට අපිට හිතෙන්නේ අපේ සම්බන්ධය වරදින්නේ නැහැ, අම්මලා තාත්තලා මොනවා කිව්වත් මම මේක කරනවා කරනවාමයි කියලා.”

දෙමාපියන් එක්ක මේවා කතා කරන්න බැහැ කියලා දරුවන්ට හිතෙනවා නම් මොකද වෙන්නේ? එවිට ඔවුන් සම්බන්ධය රහසිගතව කරගෙන යන්න තිරණය කරයි. “දෙමාපියන් ඕනෑවට වඩා කලබල වුණොත් නැත්නම් ඕනෑවට වඩා දැඩි වුණොත් දරුවන් කරන්නේ සම්බන්ධය නතර කරන එක නෙවෙයි ඒක රහසින් කරගෙන යන එකයි” කියා තවත් තරුණියක් පවසයි.

අවංක හා සුහද සාකච්ඡාවකින් හුඟක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. විසි හැවිරිදි තරුණියක් කියන්නේ මෙයයි. “අපේ ගෙදර නම් අම්මයි තාත්තයි එක්ක මේ දේවල් ගැන කතා කරන්න පුළුවන්. මම කාටහරි කැමති නම් ඒගොල්ලෝ ආසයි ඒ කාටද කියලා දැනගන්න. මමත් කැමති එහෙම කරනවට. තාත්තා ඒ පිරිමි ළමයට අඬ ගහලා ටිකක් කතා කරනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියනවා. ඒත් ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්නත් කලින් මමම තීරණය කරනවා ඒ පුද්ගලයාට මම කැමතිද නැද්ද කියලා.”

[29වන පිටුවේ පින්තූරය]

කණ්ඩායමක් හැටියට විරුද්ධ ලිංගයේ අය සමඟ ආශ්‍රය කිරීමෙන් ඔබට අද්දැකීම් මෙන්ම සතුටක්ද ලැබේ