Skip to content

පටුනට යන්න

විද්‍යාවෙන් ලොවට සුවයක් ලැබෙයිද?

විද්‍යාවෙන් ලොවට සුවයක් ලැබෙයිද?

විද්‍යාවෙන් ලොවට සුවයක් ලැබෙයිද?

නවීන විද්‍යාව ලොවට සම්පූර්ණ සුවයක් ගෙන එයිද? අසනීප නැති ලොවක් බිහි කිරීමට මිනිසාට හැකි බව බයිබලයේ යෙසායා හා එළිදරව් පොත්වල සඳහන් අනාවැකිවලින් අඟවනවාද? වෛද්‍ය ක්ෂේත්‍රයේ දියුණුව දකිද්දී සමහරු සිතන්නේ විද්‍යාව මගින් සම්පූර්ණ සුවයක් අත් කරගන්න බැරිකමක් නැහැයි කියායි.

රජයන් හා ධනවතුන් මෙන්ම රාජ්‍යය නොවන සංවිධාන එක්සත් ජාතීන් සමඟ හවුල් වී රෝගවලට එරෙහිව නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. එක් දෙයක් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල සිටින දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීමට විශේෂ වෑයමක් දැරීමයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් පවසන පරිදි, තම රටේ දරුවන්ගේ අවශ්‍යතා සඳහා තබා තිබෙන ඉලක්ක අත් කරගැනීමට එක් එක් රටවලට හැකි වේ නම් “2015 වන විට දිලිඳු රටවල සිටින දරුවන්ගෙන් මිලියන 70කට වඩා වැඩි දෙනෙකුට ක්ෂයරෝගය, ඩිප්තීරියාව (ගලපටලය), පිටගැස්ම, කක්කල් කැස්ස, සරම්ප, ජර්මන් සරම්ප, කහ උණ, හීමෝෆිලස් ඉන්ෆ්ලුඑන්සා වර්ගය B, හෙපටයිටිස් B, පෝලියෝ, නිව්මෝනියාව, මෙනින්ජයිටිස් සහ මොළේ උණ (ජැපනීස් එන්සෙෆලයිටිස්) යන රෝගවලට සෑම වසරකම එන්නත් ලැබේවි.” පිරිසිදු ජලය, නිසි පෝෂණය හා සනීපාරක්ෂාව පිළිබඳ නිසි අධ්‍යාපනයක් දීමටත් කඩිනම් පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමට අවශ්‍ය එවැනි මූලික දේවලට වඩා වැඩි යමක් සැපයීමට විද්‍යාඥයන් අපේක්ෂා කරනවා. නවීන තාක්ෂණය වෛද්‍ය ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කර තිබෙනවා. සෑම වසර අටක් ඇතුළත විද්‍යාඥයන් තම වෛද්‍ය දැනුම දෙගුණයකින් වැඩි කරගන්නා බවයි පැවසෙන්නේ. තාක්ෂණයේ නවීනතම දියුණුවට හා රෝග මර්දනය සඳහා තබා තිබෙන ඉලක්ක පිළිබඳව පහත දැක්වෙන්නේ උදාහරණ කීපයක් පමණයි.

X-කිරණ ඡායාරූප වසර 30කට වැඩි කාලයක් පුරා වෛද්‍යවරුන් හා රෝහල් CT පරිලෝකන ප්‍රතිබිම්බ ගැනීමේ තාක්ෂණය යොදාගනිමින් සිටිනවා. එමගින් සිදු වන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තර කොටස්වල ත්‍රිමාණරූප ගැනීමයි. රෝග හඳුනාගැනීමටත් අභ්‍යන්තර ආබාධ පරීක්ෂා කිරීමටත් එම රූප දායක වෙනවා.

විකිරණවලට නිරාවරණය වීමේ අනතුර ගැන යම් මතභේද තිබුණත් මෙම තාක්ෂණයේ දියුණුවෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳව වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දරන්නේ ශුභවාදී අදහසක්. චිකාගෝ ශීක්ෂණ රෝහලේ විකිරණවේදී මහාචාර්ය මයිකල් වැනීයර් පවසන්නේ මෙයයි. “පසුගිය වසර කීපයේදී ලබා තිබෙන ප්‍රගතිය හිතාගන්නවත් බැරි තරම්.”

මෙම CT පරිලෝකන යන්ත්‍රවලින් දැන් ඉතා ඉක්මනින් වඩාත් නිවැරදි ඡායාපිටපත් අඩු මිලකට ලබාගත හැකියි. ඉක්මනින් ප්‍රතිබිම්බ සටහන් කරගත හැකි නිසා විශේෂයෙන්ම හෘදය CT පරීක්ෂණයකට ලක් කළ විටයි එහි වාසිය පැහැදිලි වන්නේ. හෘදය නිතරම ස්පන්දනය වන නිසා සාමාන්‍ය X-කිරණ ඡායාරූප පැහැදිලිව දැකගත නොහැකියි. නමුත් මෙම යන්ත්‍රයෙන් “තප්පරයකින් තුනෙන් එකකදී එනම් එක හෘද ස්පන්දනයකට ගත වන කාලයටත් වඩා අඩු කාලයකදී” පැහැදිලි රූප ගත හැකියි කියා නිව් සයන්ටිස්ට් සඟරාව පවසනවා.

නවීනතම ප්‍රතිබිම්බ තාක්ෂණයේ දියුණුව නිසා සිරුරේ අභ්‍යන්තර ව්‍යුහය සවිස්තරාත්මකව සටහන් කරගැනීමට පමණක් නොව එක් එක් කොටස්වල ජීව රසායනික ක්‍රියාවලිය පවා පරීක්ෂා කළ හැකියි. මෙම හැකියාව නිසා පිළිකාවක මුල් අවදියේදීම එය සටහන් කරගැනීමට පුළුවන්.

රොබෝ සැත්කම් නවීනතම රොබෝවරුන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබන්ධ කථාවලට නම් දැන් සීමා වෙලා නැහැ. රොබෝ යන්ත්‍ර ආධාරයෙන් දැනටමත් සැත්කම් දහස් ගණනක් සිදු කර හමාරයි. එම රොබෝ යන්ත්‍රවල අත්වලට පිහි, කතුරු, කැමරා, ලේසර් කිරණ හා සැත්කම් සඳහා අවශ්‍ය වෙනත් මෙවලම් සවි කර තිබෙනවා. එමනිසා සමහර සැත්කම්වලදී ශල්‍යවද්‍යවරුන්ට දුරස්ථ පාලකය යොදාගෙන රොබෝ යන්ත්‍රවල අත් ක්‍රියා කරවීමට පමණයි තිබෙන්නේ. මෙම තාක්ෂණය නිසා ශල්‍ය වෛද්‍යවරුන්ට බරපතළ සැත්කම් නිවැරදිව සිදු කළ හැකියි. නිව්ස්වීක් සඟරාවේ වාර්තා වුණේ මෙයයි. “මෙම ක්‍රමය යොදාගැනීමෙන් රෝගීන්ගේ රුධිරය ගැලීම හා වේදනාව අඩු වන බවත්, අවදානම අඩු බවත් ශල්‍ය වෛද්‍යවරුන් සොයාගත්තා. එමෙන්ම විශාල කැපීම් සිදු නොකරන නිසා කෙටි කලකින් රෝහලෙන් පිට වෙන්නත් ඉක්මනින් සුවය ලබන්නත් රෝගීන්ට හැකි බව ඔවුන් දැනගෙන තිබෙනවා.”

නැනෝ වෛද්‍යතාක්ෂණය වෛද්‍ය විද්‍යාව දැන් නැනෝතාක්ෂණයත් ප්‍රතිකාර කිරීමට යොදාගන්නවා. නැනෝතාක්ෂණයෙන් අදහස් වන්නේ නැනෝමීටර මට්ටමේදී යම් දේවල් සකස් කිරීමේ විද්‍යාවයි. නැනෝමීටරයක් කියන්නේ මීටරයක් බිලියනයකට බෙදූ විට ලැබෙන එක් කොටසක්. *

නැනෝමීටරයක් කොපමණ කුඩාද යන්න තේරුම්ගැනීමට මෙසේ සිතන්න. දැන් ඔබ කියවමින් සිටින පිටුවේ ගනකම නැනෝමීටර් 1,00,000ක් වන අතර ඔබේ කෙස් ගසක ගනකම 80,000ක්. රතු රුධිරාණුවක විෂ්කම්භය නැනෝමීටර් 2,500ක්. බැක්ටීරියාවක් නැනෝමීටර් 1,000ක් පමණ දිග වන අතර වෛරසයක් නැනෝමීටර් 100ක් පමණ වෙනවා. ඔබේ DNA අනුවක විෂ්කම්භය නැනෝමීටර් 2.5ක් පමණ වෙයි.

මෙම තාක්ෂණයේ උපකාරයෙන් ළඟදීම විද්‍යාඥයන්ට හැකි වෙයි පුංචිම පුංචි වෛද්‍ය උපකරණ සාදා සිරුර තුළ සැත්කම් කිරීමට. නැනෝ යන්ත්‍ර ලෙස හඳුන්වන ඉතා කුඩා එම රොබෝවරුන් විශේෂ දත්ත කැවූ පියවි ඇසට නොපෙනෙන පරිගණක යන්ත්‍ර සිරුර තුළට ගෙන යයි. අවශ්‍ය උපාංග සහිතව සාදනු ලබන මෙම අතිසංකීර්ණ යන්ත්‍ර නැනෝමීටර් 100කට වඩා විශාල නොවීම පුදුමයක්. ඉන් එකක් රතු රුධිරාණුවක විෂ්කම්භය මෙන් 25ස් ගුණයක් කුඩායි!

එම නැනෝ උපකරණ මොන තරම් කුඩාද කියනවා නම් කේශනාලිකා අතරින් පවා යවා දුර්වල පටකවලට ඔක්සිජන් දීමටත්, රුධිරවාහිනීවල අවහිරතා ඉවත් කිරීමටත්, මොළයේ ආබාධිත තත්වයන් සොයා ඊට ප්‍රතිකාර කිරීමටත්, වයිරසයන්, බැක්ටීරියාවන් හා වෙනත් රෝගකාරකයන් සොයා ඒවා විනාශ කිරීමටත් යම් දිනක හැකි වෙයි කියා විශ්වාස කරනවා. එක් එක් සෛලයකට අවශ්‍ය ප්‍රතිකාරය යැවීමටත් මෙම නැනෝ යන්ත්‍රවලට හැකි වෙයි.

පිළිකා සොයාගැනීමටත් මේවා උපකාරවත් වේවි කියා විද්‍යාඥයන් උපකල්පනය කරනවා. භෞතික හා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය සැමුවෙල් වික්ලයින් ඒ ගැන මෙසේ පැවසුවා. “මේ තාක්ෂණය නිසා පිළිකාවක් වර්ධනය වන ලකුණු තිබෙනවාද කියා සොයා කෙළින්ම ඒ ස්ථානයට ප්‍රතිකාර කිරීමටත් අතුරු ආබාධ අවම කිරීමටත් හැකි වෙයි.”

සමහරුන්ට මෙය සිහිනයක් මෙන් පෙනුණත් විද්‍යාඥයන්ට නම් මේ තාක්ෂණය ගැන තිබෙන්නේ පුදුම විශ්වාසයක්. තව වසර දහයක් තුළදී කෙළින්ම සෛලවලටම ප්‍රතිකාර කර ඒවා සුව කිරීමට හැකි වෙයි කියා ඒ පිළිබඳ පර්යේෂණයේ යෙදෙන ප්‍රවීණයන් අපේක්ෂා කරනවා. ඉන් කෙනෙක් පවසන්නේ මෙයයි. “නැනෝතාක්ෂණය මගින් 20වන සියවසේ පවතින සියලුම ලෙඩ රෝග ඉවත් කර වේදනාව පවා නැති කර මිනිසාට තවත් දියුණු වෙන්න මඟ සලසයි.” දැනටමත් මේ තාක්ෂණය මගින් සත්වයන්ට ප්‍රතිකාර කර හොඳ ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා.

ජාන තාක්ෂණය මෙය ජානවල සැකැස්ම පිළිබඳ අධ්‍යයනය කිරීමක් ලෙස දැක්විය හැකියි. මිනිස් සිරුරේ සෑම සෛලයකම විවිධ කොටස් තිබෙන අතර ජාන එම කොටස්වලින් එකක්. සෑම කෙනෙකුගේම හිස කෙස්වල වර්ණය හා ස්වභාවය, සමේ හා ඇස්වල පාට, උස මෙන්ම වෙනත් දේහ ලක්ෂණ සටහන් වී ඇති ජාන 35,000ක් පමණ තිබෙනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල සැකැස්ම තීරණය වන්නෙත් ජාන අනුවයි.

ජානවලට හානි සිදු වූ විට අපේ සෞඛ්‍යයටත් එය බලපානවා. සමහර ප්‍රවීණයන්ගේ අදහස වන්නේ සියලුම රෝගවලට හේතුව නිසි ලෙස ජාන ක්‍රියා නොකිරීම බවයි. එසේ ක්‍රියා නොකිරීමට හේතුව අප උපදින විටම අපේ දෙමාපියන්ගෙන් අපට ජාන උරුම වීමයි. එහෙමත් නැත්නම් අපේ පරිසරයේ තිබෙන හානිකර දේවලට අප නිරාවරණය වීමයි.

අපව රෝගී කරන ජාන මොනවාද කියා හඳුනාගැනීමට තමන්ට ළඟදීම හැකි වෙයි කියා විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා. එසේ හැකි වුණොත් සමහරුන්ට පමණක් පිළිකා වැලඳීමට හේතුවත්, සමහරුන්ට වෙනත් අයට වඩා ඇතැම් පිළිකා වර්ග ප්‍රබල වීමට හේතුවත් වෛද්‍යවරුන්ට තේරුම්ගත හැකි වෙයි. කෙනෙකුට යම් ඖෂධවලින් ප්‍රතිඵලයක් ලැබෙද්දී එය තව කෙනෙකුට ප්‍රතිඵලදායක නොවන්නේ මන්දැයි තේරුම්ගැනීමටත් පුළුවන් වෙයි.

වෛද්‍යවරුන්ට මේ තොරතුරු දැනගන්න පුළුවන් වුණොත් කෙනෙකුගේ ජාන සැකැස්මට අනුව ප්‍රතිකාර කළ හැකි වෙයි. එමෙන්ම කෙනෙකුට රෝගයක් වැලඳීමට කලින්ම එම රෝගය වැලඳීමට ප්‍රවණතාවක් තිබෙන බව හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාර දී, ඔහුව දැනුවත් කර එම රෝගය වැලඳීම පවා වැළැක්වීමට ඔවුන්ට හැකි වෙයි.

කෙනෙකුගේ ජාන සැකැස්ම ගැන අධ්‍යයනයක යෙදීමෙන් වෛද්‍යවරුන්ට හැකියි ඔහුට හානිදායක වන ඖෂධ නිර්දේශ කිරීමෙන් වළකින්න. එමගින් එක් එක් පුද්ගලයාට සුදුසු ඖෂධ සහ ගත යුතු මාත්‍රාවන් නිර්දේශ කිරීමටත් ඔවුන්ට හැකි වෙයි. එක් පුවත්පතක මෙසේ සඳහන් වුණා. “වර්ෂ 2020 වෙද්දී ලොව පුරා එක් එක් පුද්ගලයාට ආවේණික ලෙස බෙහෙත් දීමට හැකි වෙයි කියා සිතිය හැකියි. එමගින් දියවැඩියාව, හෘදයාබාධ, ඇල්ෂයිමර් රෝගය, භින්නෝන්මාදය වැනි සමාජයේ නිතර දක්නට තිබෙන රෝගවලටත් නියම ප්‍රතිකාර සොයා ගන්න පුළුවන් වෙයි.”—එම පුවත්පත The Boston Globe.

ඉහත සඳහන් කළ තාක්ෂණයන් අනාගතයේදී විද්‍යාවෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන දේවල්. එමෙන්ම වෛද්‍ය දැනුමත් ශීඝ්‍රයෙන් පුළුල් වෙමින් පවතිවා. මේ සියල්ල තිබුණත් සහමුළින්ම ලෙඩ රෝග නැති කර දමන බවට සහතිකයක් දෙන්න විද්‍යාඥයන්ට බැහැ. ඊට හේතුව පැනිය නොහැකි කඩුලු තවමත් ඉතිරිව තිබෙන නිසයි.

පැනිය නොහැකි කඩුලු

මිනිසුන්ගේ ක්‍රියාකලාපය නිසා රෝග තුරන් කිරීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි. මිනිසා පරිසරයට කරන හානිය භයානක අලුත් රෝග ඇතිවීමට හේතුවක් කියා විද්‍යාඥයන් විශ්වාස කරනවා. නිව්ස්වීක් වාර්තාකරුවන් වනජීවී සංරක්ෂණයේ සභාපතිනිය මේරි පර්ල් සමඟ කළ සාකච්ඡාවකදී ඇය පැහැදිලි කළේ මෙයයි. “එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල සිට අලුත් රෝග 30කට වඩා හිස එසෙව්වා. ඒඩ්ස්, ඉබෝලා, ලයිම් රෝගය හා සාර්ස්ද ඒ අතර වෙනවා. මේවායින් වැඩිහරියක් මිනිසුන්ට බෝ වී තිබෙන්නේ සතුන්ගෙන්.”

ඊට අමතරව අද ජනයා පලතුරු හා එළවුළු ආහාරයට ගැනීම අඩු කර සීනි, ලුණු සහ මේදය වැඩිපුර ගැනීමට පුරුදු වෙලා. අනිත් එක ව්‍යායාම් නොකිරීමත් නුසුදුසු පුරුදුවල යෙදීමත් හෘද රෝගවලට අත වැනීමක් වෙලා. ලොව පුරා දුම්පානය වැඩි වී ඇති අතර එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ මිලියන සංඛ්‍යාතයකට බරපතළ රෝග වැලඳීම මෙන්ම මරණයයි. රිය අනතුරු නිසාත් සෑම වසරකම මිලියන 20ක් පමණ අනතුරට ලක් වෙනවා හෝ මිය යනවා. යුද්ධය හා ප්‍රචණ්ඩත්වය නිසාත් දස දහස් ගණන් තුවාල ලබනවා නැත්නම් මිය යනවා. මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙනුත් තවත් මිලියන ගණනක් රෝගීන් බවට පත් වෙනවා.

වෛද්‍ය තාක්ෂණය මොන තරම් දියුණු වී තිබුණත් සමහර රෝග තවමත් විශාල ගැටලුවක් වෙලා. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව ‘ගණන් බලන ඕනෑම වෙලාවක, මිලියන 150කට වැඩිදෙනෙක් මානසික අවපීඩනයෙන්ද, මිලියන 25ක් පමණ භින්නෝන්මාදයෙන්ද, මිලියන 38ක් අපස්මාරයෙන් පෙළෙනවා.’ දරුවන් හා තරුණයන් HIV සහ ඒඩ්ස්වලිනුත්, පාචනය, මැලේරියාව, සරම්ප, නිව්මෝනියාව හා ක්ෂයරෝගයෙන් මිය යනවා.

රෝග මුලිනුපුටා දැමීම අසීරු වීමට වෙනත් බාධාවනුත් තිබෙනවා. දිලිඳුකම සහ දූෂිත පාලන ක්‍රම ඉන් දෙකක්. මෑත වාර්තාවකට අනුව WHO පැවසුවේ අසාර්ථක පාලනයන් හා බිඳ වැටුණු ආර්ථිකයන් නොතිබුණා නම් බෝවෙන රෝගවලින් මිය යන මිලියන සංඛ්‍යාතයක් බේරාගත හැකිව තිබුණු බවයි.

විද්‍යාත්මක දැනුමටත් වෛද්‍ය තාක්ෂණයේ විශාල දියුණුවටත් හැකි වෙයිද එම බාධකයන් ජයගන්න? අසනීප නැති කාලයක් දකින්න අපට අවස්ථාවක් ලැබෙයිද? ඇත්තෙන්ම ඉහත සාධක මගින් පැහැදිලි පිළිතරක් ලැබී නැහැ. නමුත් මේ ප්‍රශ්නවලට බයිබලයේ පිළිතුරක් දී තිබෙනවා. ලෙඩ රෝග නැති අනාගතයක් ගැන බයිබලයේ පවසන දේ ඊළඟ ලිපියේ පැහැදිලි කෙරෙයි.

[පාදසටහන]

^ 10 ඡේ. ග්‍රීක් බසින් “නැනෝ” යනු ඉතා කුඩා එනම් “බිලියනයකින් එකක්” යන්නයි.

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

x-කිරණ ඡායාරූප

මෙමගින් මිනිස් සිරුරේ පැහැදිලි නිවැරදි ඡායාරූප ගත හැකි නිසා රෝගයක මුල් අවදියේදීම එය හඳුනාගත හැකියි

[හිමිකම් විස්තර]

© Philips

Siemens AG

රොබෝ සැත්කම්

සැත්කම්වලට අවශ්‍ය උපකරණ සහිත රොබෝ යන්ත්‍ර මගින් වෛද්‍යවරුන්ට ඉතා සියුම් සැත්කම් පවා සාර්ථකව කරන්න පුළුවන්

[හිමිකම් විස්තර]

© 2006 Intuitive Surgical, Inc.

ජාන තාක්ෂණය

කෙනෙකුගේ ජාන සැකැස්ම පිළිබඳ අධ්‍යයනයකින් විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ කෙනෙකුට රෝග ලක්ෂණ පහළ වීමට පෙර පවා රෝගයේ ප්‍රවණතාව සොයාගෙන ප්‍රතිකාර කිරීමටයි

[හිමිකම් විස්තර]

Artist: Vik Olliver (vik@diamondage.co.nz)/​Designer: Robert Freitas

නැනෝ වෛද්‍යතාක්ෂණය

පුංචිම පුංචි යන්ත්‍ර මගින් සෛල මට්ටමේදීම ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට සමහරවිට හැකි වෙයි. පින්තූරයේ දැක්වෙන්නේ රතු රුධිරාණුවක ක්‍රියාවලිය සිදු කරන නැනෝ යන්ත්‍රයි

[හිමිකම් විස්තර]

Chromosomes: © Phanie/​Photo Researchers, Inc.

[8, 9වන පිටුවේ කොටුව]

මාරාන්තික රෝග හයක්

වෛද්‍ය දැනුම හා තාක්ෂණයේ දියුණුව හිනිපෙත්තටම නැඟී ඇතත් සමහර බෝ වන රෝග මුළු ලොවම වෙලාගෙන තිබෙනවා. පහත දැක්වෙන මාරාන්තික රෝග නිට්ටාවට සුව කරීම සඳහා තවමත් බෙහෙත් සොයාගෙන නැහැ.

HIV/ඒඩ්ස්

දැනට මිලියන 60ක් පමණ ඒඩ්ස් රෝගීන් සිටින අතර මිලියන 20ක් පමණ මිය ගිහින්. වසර 2005 තුළ දරුවන් 5,00,000ක් ඇතුළු අලුත් රෝගීන් මිලියන පහක් සිටියා. ඊට අමතරව මිලියන තුනක් මෙම රෝගයෙන් මිය ගියා. ඒඩ්ස් රෝගයෙන් පෙළෙන බොහෝදෙනෙකුට ප්‍රතිකාර ලබාගන්න හැකියාවක් නැහැ.

පාචනය

දිලිඳු අය අතර මෙය ඉතා භයානක රෝගයක් වී තිබෙනවා. සෑම වසරකම බිලියන හතරක් පමණ එයට ගොදුරු වෙනවා. අපිරිසිදු ජලය හෝ ආහාර මගින් එසේ නැතහොත් හොඳ සෞඛ්‍ය පුරුදු නැත්නම් මෙම රෝගය වැලඳෙන්න පුළුවන්. වාර්ෂිකව මේ රෝගයෙන් මිය යන සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවයි.

මැලේරියාව

වාර්ෂිකව මිලියන 300කට පමණ මැලේරියාව වැලඳෙනවා. ඒ වගේම මිලියනයක් පමණ මිය යනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් දරුවන්. අප්‍රිකාවේ සෑම තත්පර 30කටම දරුවෙක් මැලේරියාවෙන් මිය යයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන පරිදි “මැලේරියාව නිට්ටාවටම සුව කළ හැකි ඖෂධයක් තවම විද්‍යාවෙන් සොයාගෙන නැහැ. ළඟදීම සොයාගනියි කියා බොහෝදෙනෙක් විශ්වාස කරන්නෙත් නැහැ.”

සරම්ප

මේ රෝගය නිසා 2003 වසර ඇතුළතදී 5,00,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගියා. බොහෝ දරුවන් මිය යන්නේ මේ රෝගයෙන් වන අතර එය වහා බෝ වනසුලුයි. පුදුම වැඩේ කියන්නේ අවුරුදු 40ක් පුරා මේ රෝගයට සාර්ථක මෙන්ම මිල අඩු එන්නත් ලබාගැනීමේ හැකියාව තිබුණත් සෑම වසරකම මිලියන 30ක් පමණ ඊට ගොදුරු වීමයි.

නිව්මෝනියාව

වෙන කිසිම බෝ වන රෝගයකට වඩා දරුවන් මිය යන්නේ නිව්මෝනියාවෙන් බව WHO පවසයි. වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන දෙකක් පමණ සෑම වසරකම මෙම රෝගයෙන් මිය යනවා. ඔවුන්ගෙන් වැඩි හරියක්ම අප්‍රිකාවේ හා ගිනිකොනදිග ආසියාවේ සිටින දරුවනුයි. මෙම දරුවන් මිය යන්නේ රෝගයට බෙහෙත් තිබුණත් ඒවා ලබාගැනීමට නොහැකි වීම නිසයි.

ක්ෂයරෝගය

වසර 2003 ඇතුළතදී ක්ෂය රෝගය නිසා 17,00,000කට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගියා. විශාලම ගැටලුව වී තිබෙන්නේ ක්ෂයරෝගය සඳහා දෙන ඖෂධ රෝගකාරකයට ඔරොත්තු දීමයි. රෝගකාරකය බලවත් වීමට හේතුව වන්නේ මුළු මාත්‍රාවම නොගැනීම හෝ නිසි ඖෂධ නොලැබීමයි.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වෙනත් ප්‍රතිකාර ක්‍රම ජනප්‍රිය වෙයි

බටහිර ඖෂධවලට අමතරව වෙනත් ඖෂධ හා ප්‍රතිකාර ක්‍රමත් තිබෙනවා. දියුණු වෙමින් පවතින රටවල සිටින බොහෝ අය ගන්නේ මේ ආකාරයේ ප්‍රතිකාරයි. සමහර දිලිඳු අයට බටහිර ප්‍රතිකාර ලබාගන්න වත්කමක් නැහැ. තවත් සමහරුන් කැමැත්තෙන්ම අත්බෙහෙත් හෝ දේශීය ප්‍රතිකාර තෝරගන්නවා.

එවැනි ප්‍රතිකාර ක්‍රම දැන් දැන් ධනවත් රටවලත් ප්‍රසිද්ධයි. ඒවායින් සමහර ක්‍රම නම් කටු චිකිත්සාව, හෝමියෝපති සහ ආයුර්වේදයයි. මේ ක්‍රමවලින් සමහර ඒවා හොඳයි කියා විද්‍යාවෙන් ඔප්පු කර තිබෙනවා. නමුත් සමහර ඒවාවල හොඳ නරක තවම සොයාගෙන නැහැ. විවිධ ක්‍රම ජනප්‍රිය වන නිසා විවිධ ගැටලුද මතු වෙනවා. බොහෝ රටවල දේශීය වෙදකමට සහ අත්බෙහෙත්වලට ප්‍රමිති දමා නැති නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරුන් නොසිටීම හෝ බාල ඖෂධ නිපදවීම වැනි හානිදායක ප්‍රතිඵල ඇති විය හැකියි. තවත් දෙයක් නම් සමහරු හරි දැනුමක් නොමැතිව තමන්ටම වෙදකම් කරගැනීම හා එය අන්අයටත් ලබාගැනීමට උනන්දු කිරීමයි. මේ විවිධ හේතු නිසා සිදු වන්නේ තිබෙන රෝගය සුව නොවී තත්වය තවත් දරුණු වීමයි.

ප්‍රමිති දමා තිබෙන රටවල දැන් මේ ක්‍රමත් පිළිගෙන තිබෙන අතර ඒවා ජනප්‍රිය වෙලා. සමහර බටහිර වෛද්‍යවරු පවා මේවා නිර්දේශ කරයි. කෙසේවෙතත් මේ වෙනත් ප්‍රතිකාර ක්‍රමවලින් ලෙඩ රෝග නැත්තටම නැති කිරීමට හැකි වෙයි කියා නම් සිතන්න බැහැ.