Skip to content

පටුනට යන්න

සියලු රෝගවලට නිමාවක්!

සියලු රෝගවලට නිමාවක්!

සියලු රෝගවලට නිමාවක්!

බොහෝ අය විශ්වාස කරන්නේ වේදනාවෙන් හා සියලුම රෝගවලින් නිදහස ලැබෙන්නේ මතු බවයකදී නැත්නම් ස්වර්ගයේදී කියායි. නමුත් බයිබලයේ පෙන්වන්නේ ඉදිරියේදී පාරාදීස පොළොවක එසේවීම ගැනයි. (ගීතාවලිය 37:11; 115:16) එහිදී සම්පූර්ණ නිරෝගීකම, සන්තෝෂය හා සදාකාල ජීවනය භුක්ති විඳින්න ලැබෙනවා.

බයිබලයේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. ඇයි අපි අසනීප වී මිය යන්නේ? කිසිම රෝගයක් නැති පාරාදීස පොළොවක් බිහි වන්නේ කෙසේද?

අසනීප වීමට ප්‍රධාන හේතුව දෙවි අපගේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒවව මැව්වේ සෞඛ්‍ය සම්පන්නවයි. (උත්පත්ති 1:31; ද්විතීය කතාව 32:4) එමෙන්ම සදහටම ජීවත් වීමේ හැකියාවත් ලබා දී තිබුණා. නමුත් ඔවුන් දෙවිට විරුද්ධව කැරළිගැසූ විට ඔවුන් තම ජීවිතයේ උල්පත වූ දෙවි සමඟ තිබූ සම්බන්ධය නැති කරගත්තා. එදා සිට ඔවුන්ගේ තත්වය වෙනස් වුණා. දෙවි අනතුරු ඇඟවූ ආකාරයටම ඔවුන් අසනීප වී මිය ගියා.—උත්පත්ති 3:17-19; 2:16, 17; 5:5.

ආදම් සහ ඒව තම නිරෝගීකම නැති කරගත් නිසා ඔවුන්ගේ දරුවන්ටත් එම තත්වයම උරුම වුණා. (රෝම 5:12) කලින් ලිපියේ සඳහන් කළ පරිදි විද්‍යාඥයන් පවා පිළිගන්නේ සමහර ලෙඩ රෝග අපට උරුමයෙන්ම ලැබෙන බවයි. විද්‍යාඥයන් කණ්ඩායමක් ඒ පිළිබඳව කළ පුළුල් අධ්‍යයනයකින් පසුව පැවසුවේ මෙයයි. “කළලයක් හැදුණ මොහොතේ සිට එහි මරණය ලියවී තිබෙනවා.”

විසඳුම මිනිසාගෙන් නොව ලෙඩ රෝග වැළැක්වීමට විද්‍යාවෙන් බොහෝ දේ කර තිබෙන බව ඇත්තයි. නමුත් ලෙඩ රෝග සෑදීමට මූලික හේතුව සොයා ඊට පිළියමක් යොදන්න විද්‍යාවට නොහැකි වී තිබෙනවා. දේවවචනය වන බයිබලය ගැන දැනුමක් තිබෙන අයට නම් එය පුදුමයක් නොවෙයි. එහි පවසන්නේ මෙලෙසයි. “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාස නොකරන්න.”—ගීතාවලිය 146:3.

ඒ වගේම බයිබලයේ මෙසේද පවසනවා. “මිනිසුන්ට කළ නොහැකි දේවල් දෙවිට කළ හැකිය.” (ලූක් 18:27) යෙහෝවා දෙවිට අපේ ලෙඩ රෝග සුව කිරීමට පමණක් නොව ඊට මුල් වන හේතුව පවා ඉවත් කිරීමට හැකියාව තිබෙනවා. (ගීතාවලිය 103:3) ඔහුගේ වචනයෙහි දී තිබෙන පොරොන්දුව මෙයයි. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරන්නේය; ඔවුහුද ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවිම ඔවුන් සමඟ සිටින්නේය. තවද, ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:3, 4.

වහාම කළ යුතු දේ අසනීපවලින් තොර පාරාදීසයක ජීවත් වීමට අප කළ යුතු දේ යේසුස් පැහැදිලිවම කිව්වා. ඔහු පැවසුවේ “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය” කියායි.—යොහන් 17:3.

දෙවි ගැනත් ඔහුගේ පුත් යේසුස් ගැනත් ඔවුන්ගේ ඉගැන්වීම් ගැනත් අපට බයිබලයෙන් දැනගන්න පුළුවන්. දැන් පවා අපට සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ප්‍රායෝගික උපදෙස්ද එහි දී තිබෙනවා. ඊට අමතරව දෙවිට කීකරු වන අයට “මම රෝගාතුරවෙමියි” නොකියන කාලයක් උදා කර දෙන බවට පොරොන්දු වී තිබෙනවා. එය සිහිනයක් නොවෙයි සැබෑවක්!—යෙසායා 33:24.

[11වන පිටුවේ කොටුව⁄පින්තූර]

සෞඛ්‍යය ගැන සමබරව සිතන්න

ජීවිතයට ගරු කරන්න කියායි බයිබලයේ අපට උනන්දු කර තිබෙන්නේ. එමනිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය හා දුම්පානය වැනි හානිදායක පුරුදුවලින් ඔවුන් වළකිනවා. දෙවි තම නමස්කාරකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ පමණ දැන කෑම බීම ගැනීම මෙන්ම මත්පැන් පානය කිරීමයි. (හිතෝපදේශ 23:20; තීතස් 2:2, 3) මීට අමතරව ප්‍රමාණවත් විවේකය ගැනීම හා ව්‍යායාම් කිරීමෙනුත් බොහෝ ලෙඩ රෝග වළක්වාගැනීමට හෝ හොඳ සෞඛ්‍යයකින් සිටීමට හෝ හැකියි. නමුත් අසනීප වූ විට නැණවත්ම දේ වන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමයි.

සාධාරණකම හා “හොඳ සිහිකල්පනාව” පවත්වගන්න කියා බයිබලයේ උනන්දු කර ඇතත් අද දින බොහෝදෙනා තම සෞඛ්‍යය ගැන අන්තයකට යනවා. (තීතස් 2:12; ෆිලිප්පි 4:5) මේ නිසා සමහරුන්ට ආගම දහමටත් වෙලාවක් නැහැ. තවත් සමහරු හානිකර ප්‍රතිකාර ක්‍රමවල පිහිටත් පතනවා. වෙනත් අය මුදල් හා කාලය වැය කරමින් අරගන්නා වූ බේත් හේත්වලින් සිදු වන්නේ ප්‍රයෝජනයක් නොව හානියක්.

කොහොමවුණත් අංග සම්පූර්ණ ශරීරයක් හා සෞඛ්‍ය සම්පන්නබව තවමත් අත් කරගෙන නැති දෙයක්. එය අපට ලැබෙන්නේ නුදුරු අනාගතයේදීයි. ඒ වන තෙක් බයිබලයේ තිබෙන නැණවත් මෙන්ම සාධාරණ උපදෙස් අප පිළිපදනවා නම් සෞඛ්‍යය ගැන සාධාරණව සිතීමටත් සාමාන්‍යයෙන් හොඳ සෞඛ්‍ය තත්වයක් රැකගැනීමටත් අපට හැකියි.