Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානි ධර්මයේ අනාගතය කුමක්ද?

ක්‍රිස්තියානි ධර්මයේ අනාගතය කුමක්ද?

ක්‍රිස්තියානි ධර්මයේ අනාගතය කුමක්ද?

මුළු ලොවම ක්‍රිස්තියානි ධර්මය වැලඳගනීවිද? එසේ නැතහොත් එය සදහටම නැති වී යයිද? අඳුරු ලොවක පහනක් මෙන් ක්‍රිස්තියානි ධර්මය පැවතී තිබුණාද? නැත්නම් එය කෙළෙසා තිබුණාද? මේ දක්වා අපිට මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලැබී නැහැ.

හරිම සරල නිදර්ශනයක් භාවිත කරමින් යේසුස් පෙන්වා දුන්නේ ඔහු ක්‍රිස්තියානි ධර්මයේ බීජ පැළ කළ වහාම සාතන් නමැති සතුරා ඊට බාධා කරන බවයි. (මතෙව් 13:24, 25) මෙම කිතු දහම යේසුස්ගේ දේවසේවයෙන් සියවස් දෙක තුනකට පසුව වෙනස් මඟක් ගත්තේ සමාජයෙන් ඇති වූ බලපෑම් නිසාම නොවෙයි. නමුත් සාතන්ගෙන් එල්ල වූ සතුරු ප්‍රහාරයක් නිසයි. අද දින ක්‍රිස්තියානියයි කියාගන්නා බොහෝ ආගම් අතීතයේදී තමන් සිදු කළ වැරදි දිගටම කරමින් සිටින නිසා එහි නරක ප්‍රතිඵලත් නෙළාගනිමින් සිටිනවා.—2 කොරින්ති 11:14, 15; යාකොබ් 4:4.

ක්‍රිස්තියානි ධර්මයට කූට ප්‍රහාරයක්

තම ඉගැන්වීම් විකෘති කරනු ඇතැයි පවසමින් යේසුස් පුරෝකථනය කළේ මෙයයි. “තම කෙතෙහි හොඳ බීජ වැපුරූ මිනිසෙකුට ස්වර්ග රාජ්‍යය සමානය. මිනිසුන් නිදා සිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය.” දාසයන් ඒ ගැන ස්වාමියාට දන්වා කිරිඳි එකතු කරන්න ඔහුගෙන් අවසර ඉල්ලා සිටි විට ඔහු මෙසේ පැවසුවා. “එසේ නොකරන්න. මන්ද, එසේ කළොත්, කිරිඳි එකතු කරද්දී ඒ සමඟම තිරිඟුත් ඉදිරෙන්න පුළුවන. කපන කාලය දක්වා දෙවර්ගයටම එකට වැඩෙන්න හරින්න. එවිට කපන කාලයේදී, මම කපන්නන්ට කතා කොට, පළමුවෙන් කිරිඳි එකතු කර ඒවා පුලුස්සා දමන පිණිස මිටි බඳින්න කියාත්, ඉන්පසු තිරිඟු මාගේ ගබඩාවේ රැස් කරන්න කියාත් කියන්නෙමි.”—මතෙව් 13:24-30.

කෙතේ තිරිඟු වැපුරූ මිනිසාගෙන් නියෝජනය වන්නේ තමා බව යේසුස් පැහැදිලි කළ අතර ඔහු පැළ කළ බීජවලින් නියෝජනය වන්නේ සැබෑ ක්‍රිස්තියානීන්වයි. තිරිඟු අතර කිරිඳි වැපුරූ සතුරා “යක්ෂයායි.” කිරිඳිවලින් අඟවන්නේ නමට පමණක් දෙවිගේ සේවකයන්ව සිටින මිනිසුන් එනම් ‘දුෂ්ටයාගේ පුත්‍රයන්.’ (මතෙව් 13:36-42) සිදුවීමට ඇති දේ ගැන පාවුල් වැඩි විස්තර සැපයුවා. “මාගේ පිටත්ව යෑමෙන් පසු රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණ, රැළට ආදරෙන් සලකන්නේ නැති බව මම දනිමි. ඔබ අතරින්ම මිනිස්සු නැඟිට, තමුන් අනුව යෑමට ගෝලයන් ඇදගන්නා පිණිස, විකෘති වූ දේවල් පවසන්නෝය.”—ක්‍රියා 20:29, 30.

ධර්මය විකෘති වී

යේසුස්ගේ නිදසුනත්, පාවුල් කලින්ම පැවසූ දේත් සැබෑවක් වුණාද? ඇත්තෙන්ම ඔව්. බලයට කෑදර මිනිසුන් යේසුස් විසින් පිහිටෙවූ සභාවේ පාලනය අතට ගෙන තම අභිලාෂයන් ඉටු කරගැනීමට එම බලය පාවිච්චි කළා. ‘ඔබ ලෝකයේ කොටසක් නොවේ’ කියා යේසුස් තම අනුගාමිකයන්ට පවසා තිබුණත් බලයට කෑදර එම මිනිසුන් පාලකයන් සමඟ අත්වැල් බැඳගෙන රජයේ පල්ලි පිහිටෙව්වා. (යොහන් 15:19) එමගින් බලයෙන් හා ධනයෙන් පිරි පල්ලි බිහි වුණා. මේ පල්ලිවලින් ඉගැන්නුවේ “විකෘති වූ දේවල්.” ඔවුන් කිව්වේ රජයට වැඳුම් පිදුම් කරමින් රජය වෙනුවෙන් සටන් කර දිවි පිදීමේ අවශ්‍යතාව ගැනයි. එමනිසා ක්‍රිස්තියානීන්යයි කියාගත්තා වූ අය 11වන හා 13වන සියවස් අතරතුර සිදු වූ කුරුස යුද්ධවලට සහභාගි වී වෙනත් ආගම්වල සිටි සෙනඟව මරා දැමුවා. එපමණක් නොව යුද්ධයට හවුල් වී තමන්ගේම ආගමේ සිටි ‘සහෝදරයන්ව’ මරා දැමුවා. ඔවුන් අසල්වැසියාට ප්‍රේම කළේවත්, පැති නොගෙන සිටියේවත් නැහැ.—මතෙව් 22:37-39; යොහන් 15:19; 2 කොරින්ති 10:3-5; 1 යොහන් 4:8, 11.

එසේනම් සියවස් ගණනාවක් පුරා ක්‍රිස්තියානියයි කියාගන්නා ලද අය ක්‍රිස්තියානි ධර්මය වැලඳගෙන තිබෙන්නේ නමට පමණයි. එහි ප්‍රතිඵල කලින් ලිපි දෙකෙන් අපි දැනගත්තා. තවමත් සිදු වන්නේ එයමයි. පල්ලි බෙදී යනවා; දේශපාලනයට හවුල් වෙනවා; දෙවිගේ නීති නොසලකා හරිනවා. එවැනි නරක ප්‍රතිඵල බිහි කර තිබෙන්නේ සැබෑ ක්‍රිස්තියානි ධර්මය නොව යක්ෂයා විසින් හඳුන්වා දුන් බොරු ක්‍රිස්තියානි ධර්මයයි. මේ විකෘති වූ ධර්මයට සිදු වන්නේ කුමක්ද? යේසුස් පෙන්වූ ආකාරයට අඩු සහයෝගයක් ලැබීම නිසා නොවෙයි එය නැති වී යන්නේ විනිශ්චයකට ලක් වී මෙන්.

අඳුරේ බැබළෙන සැබෑ ක්‍රිස්තියානීන්

“කිරිඳි” හෙවත් නමට පමණක් දෙවිගේ සේවකයන්ව සිටින ක්‍රිස්තියානීන්ව එකතු කර විනාශ කිරීමට පෙර යමක් සිදු විය යුතු බව යේසුස් නිදසුනෙන් පෙන්වා දුන්නා. සියවස් ගණනාවක් පුරා “කිරිඳි” ශීඝ්‍රයෙන් වැඩී තිබෙන්නේ “තිරිඟු” නමැති සැබෑ ක්‍රිස්තියානීන්ව යටපත් කර දමමින්. නමුත් “කපන” කාලයේදී එනම් “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේදී” කිරිඳිවලින් තිරිඟු වෙන් කරන බව යේසුස් පෙන්නුම් කළා. එමෙන්ම “එකල ධර්මිෂ්ඨයෝ තම පියාණන්ගේ රාජ්‍යයෙහිදී, සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙන්නෝය” කියාත් ඔහු පැවසුවා. (මතෙව් 13:39-43) සාක්ෂිවලින් පෙනී යන්නේ මීට වසර 90කට පෙර පළමුවන ලෝක මහා යුද්ධය සිදු වූ දා පටන් අප ජීවත් වී තිබෙන්නේ සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේ බවයි. (මතෙව් 24:3, 7-12) එසේනම් යේසුස්ගේ අනාවැකිමය නිදසුනේ මෙම කොටසත් ඉටු වී හමාරද?

ක්‍රිස්තියානියයි කියාගන්නාවූ ‘කිරිඳිවලින්’ සැබෑ ක්‍රිස්තියානීන්ව වෙන් කර තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අන් අයට සැබෑ දෙවි වන යෙහෝවා දෙවිව හඳුනාගැනීමට උපකාර කරමින් ‘සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙනවා.’ සාක්ෂිකරුවන් දෙවිගේ ප්‍රමිති බාල කරන්නේ නැහැ. කෙනෙක් සාක්ෂිකරුවෙකු බවට පත්වීමට නම් බයිබලයේ තිබෙන ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට කීකරු වෙමින් තම ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරගත යුතුයි.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වද්දී ඊට සහභාගි වන අයව සංගීතයෙන් හා විනෝදාස්වාදයෙන් පිනවන්න උත්සාහ නොකරන අතර ඔවුන්ට බයිබල් අධ්‍යාපනය නොමිලේ ලබා දෙනවා. එමෙන්ම සාක්ෂිකරුවන් උණුසුම් ප්‍රේමයකින් හා මිත්‍රශීලීව කටයුතු කරන්නේ එම ගුණාංග විදහා පෑමට ඔවුන් ශුද්ධ ලියවිල්ලෙන් ඉගෙනගත් නිසයි. දෙවි මුලින් අරමුණු කළ ලෙසම පොළොව පාරාදීසයක් කර මෘදු ගුණැති අයට එහි වාසය කිරීමට සලස්වන බව ඔවුන්ගේ විශ්වාසයයි. එහෙත් ඊට පෙර සැබෑ දෙවිට නමස්කාර නොකරන සියලු ආගම් මේ පොළොවෙන් ඉවත් කිරීමට නියමිතයි. බයිබලයේ එම ආගම් හඳුන්වන්නේ මහා බබිලෝනිය කියායි. බයිබල් අනාවැකිවලට අනුව ඉතා ළඟදීම යෙහෝවා දෙවි විසින් ඒ දේ ඉටු කරයි.—මතෙව් 5:5; එළිදරව් 18:9-10, 21.

එදාට විකෘති වූ ආගමික වත්පිළිවෙත්වලින් නිදහස් වී සිටින සැබෑ ක්‍රිස්තියානි ධර්මය අදහන කීකරු මනුෂ්‍යයන්ගෙන් පොළොව පිරී තිබේවි. යේසුස් ක්‍රිස්තුස් බිහි කළ සැබෑ ධර්මයට තිබෙන්නේ මොන තරම් කදිම අනාගතයක්ද! ඒදන් උයනේ තිබූ පාරාදීසමය සාමකාමී ලොව බිහි වන දා වැඩි ඈතක නොවෙයි. යළි කවදාවත් බෙදීම් ඇති කරන ආගම් බිහි වන්නේ නැහැ.

[7වන පිටුවේ පින්තූර]

“ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය.”—මතෙව් 13:25

[8, 9වන පිටුවේ පින්තූර]

නොමිලේ බයිබල් අධ්‍යාපනය ලබා දෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවට ඔබට සාදර ඇරයුම්

[9වන පිටුවේ පින්තූර]

“ඉන්පසු තිරිඟු මාගේ ගබඩාවේ රැස් කරන්න.”—මතෙව් 13:30