Skip to content

පටුනට යන්න

පල්ලිවලට සිදු වන්නේ කුමක්ද?

පල්ලිවලට සිදු වන්නේ කුමක්ද?

පල්ලිවලට සිදු වන්නේ කුමක්ද?

මෙක්සිකෝව හා චිලී රට අතර ප්‍රදේශය හැඳින්වෙන්නේ ලතින් අමෙරිකාව ලෙසයි. එහි වැඩිදෙනෙක් අදහන්නේ ක්‍රිස්තියානි ආගමයි. පුරාණ ලතින් අමෙරිකාවේ ප්‍රධාන ආගම ලෙස තිබුණේ රෝමානු කතෝලික ආගමයි. ඊට හේතුව 16වන සියවසේදී ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් මිනිසුන්ව එම ආගමට බලහත්කාරයෙන් බන්දවාගැනීමයි. ඒ වගේම බ්‍රසීලය පාලනය වුණෙත් රෝමානු කතෝලික රටක් වන පෘතුගාලය මගින්. වසර 400ක් පුරා එම රටේ පැවති ආණ්ඩුවලට කතෝලික සභාව සහයෝගය දුන්නේ ආර්ථික වාසි ලබාගැනීමට හා තම ආගම රටේ ප්‍රධාන ආගම කරගැනීමටයි.

එහෙත් 1960 ගණන්වලදී ඉහළ පැළැන්තියේ අයට හා දේශපාලනඥයන්ට සහයෝගය දැක්වීමෙන් මහජන ප්‍රසාදය තමන්ට නැති වී යන බව සමහර කතෝලික පූජකයන්ට වැටහුණා. එමනිසා දිලිඳුන්ට සහය දැක්වීමක් වශයෙන් ආගම මගින් නිදහස ලබා දෙන බවට ඔවුන් දේශනා කිරීමට පටන්ගත්තා. ඉන්පසු ලතින් අමෙරිකාව තුළ දිලිඳුකම පලවාහැරීමේ ව්‍යාපෘතියක් පල්ලිය මගින් දියත් කළා.

ප්‍රසිද්ධ දේශපාලනික පක්ෂවලට හවුල්ව පූජකයන් එවැනි වෑයමක් දරමින් සිටි අතරතුරේ කතෝලික බැතිමතුන් දසදහස් ගණනක් වෙනත් සභාවන්වලට යෑමට පටන්ගෙන තිබුණා. අත්පුඩි ගසමින් හා හඬ නඟා ගීතිකා ගයමින් සංගීත සංදර්ශනයක විලාසයෙන් දේවමෙහෙයන් පවත්වන ආගම් දැන් හතු පිපෙන්නාක් මෙන් වැඩි වී තිබෙනවා. “මුළු ලතින් අමෙරිකාව පුරාම මූලධර්මවාදී සභා බොහොමයක් බිහි වෙලා. බොහෝවිට සභාවක් පාලනය වෙන්නේ තනි දේවගැතිවරයෙක් මගින්. සභාව ටිකෙන් ටික විශාල වෙද්දී ඉන් කැඩී යන කෙනෙක් තවත් අලුත් සභාවක් පිහිටුවා ගන්නවා” කියා ඩන්කන් ග්‍රීන් විසින් ලියූ පොතක සඳහන් වෙනවා.—එම පොත Faces of Latin America.

යුරෝපීයයන් පල්ලිය හැරයයි

වසර 1,600කට වඩා වැඩි කාලයක් යුරෝපය පාලනය කර තිබෙන්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා ආණ්ඩු මගින්. නමුත් මේ 21වන සියවසේදී යුරෝපයේ තිබෙන්නේ එදා තිබුණ ආගමමද? සමාජ විද්‍යාඥ ස්ටීව් බෲස් 2002දී ලියූ දෙවි මිය ගොස්—බටහිර ලෝකයේ ආගම පිරිහෙයි (සිංහලෙන් නැහැ) යන අර්ථය ඇති පොතේ බ්‍රිතාන්‍යය ගැන පවසා තිබෙන්නේ මෙලෙසයි. “දහනවවන සියවසේදී සියලුම විවාහ මංගල්‍යයන් පැවැත්තුවේ ආගමික වතාවත්ද ඇතුළත් කරගනිමින්.” කෙසේවෙතත් 1971 වන විට එංගලන්තයේ සියයට 60ක් පමණයි එසේ කළේ. වර්ෂ 2000 වෙද්දී සියයට 31 දක්වා එය පහත වැටිලා.

ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ වාර්තාකරුවෙක් ආගම පිළිබඳව වාර්තා කළේ මෙයයි. “ප්‍රධාන සභාවන් වන එංගලන්ත සභාව, රෝමානු කතෝලික සභාව, මෙතෝදිස්ත සභාව හා එක්සත් රෙපරමාදු සභාව අභාවයට යමින් පවතිනවා.” එක් වාර්තාවක් ගැන සඳහන් කරමින් ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. “සමහරවිට 2040 වෙනකොට බ්‍රිතාන්‍යයේ ක්‍රිස්තියානි සභාවල ඉරුදින මෙහෙයට සියයට දෙකක්වත් පැමිණෙයිද කියා සැකයි.” නෙදර්ලන්තයේ ක්‍රිස්තියානි ආගම් ගැන පැවසීමට තිබෙන්නෙත් එයමයි.

“පසුගිය දශක කීපයේදී අපේ රටේ පල්ලි යන සංඛ්‍යාව පුදුම ලෙස අඩුවීම හා ඔවුන් බාහිර දේවලට වැඩි අවධානයක් දීම අපට පැහැදිලිවම දකින්න තිබෙන දෙයක් කියාත්, 2020 වන විට ජනයාගෙන් සියයට 72ක්ම කිසිම ආගමක් අදහන එකක් නැති වෙයි” කියාත් නෙදර්ලන්තයේ සමාජ හා සංස්කෘතික සැලසුම් කාර්යාලය වාර්තා කළා. ජර්මනියේ පුවත්පතකත් එවැන්නක් පවසනවා. “මීට කලින් නම් ජර්මන් ජාතිකයන් බොහෝදෙනෙක් සාමය හා සහනය ලැබුවේ තම පල්ලිවලින්, රැකියාවලින් හා පවුල්වලින්. නමුත් දැන් ඒ සඳහා ඔවුන් භූතවාදයේ පිහිට පතනවා. . . . එමනිසා රට පුරා පල්ලිවලට එන සෙනඟ අඩු වී ඒවා වසා දැමීමට පවා සිදු වෙනවා.”

යුරෝපයේ තවමත් පල්ලිවලට යන අය එහි යන්නේ දෙවි ඔවුන්ගෙන් අපේක්ෂා කරන දේ දැනගැනීමට නොවෙයි. ඉතාලියේ එක් වාර්තාවක පවසන්නේ මෙයයි. “ඉතාලි ජාතිකයන් ඔවුන්ගේ ආගම අදහන්නේ ඔවුන්ගේ ජීවන රටාවට ගැළපෙන විදිහටයි.” එමෙන්ම සමාජ විද්‍යාඥයෙකුත් කියා සිටින්නේ “පාප්වරයා කියන හැම දේම අපි භාරගන්නේ නැහැ. අපිට ඕන දේ විතරයි අපි භාරගන්නේ” කියායි. ස්පාඤ්ඤයේ සිටින කතෝලිකයන්ගෙන් වැඩිදෙනෙක් දැන් ආගම දහම වෙනුවට අවධානය යොමු කරන්නේ සැප සම්පත්වලටයි. එමනිසා මුදල් ඔවුන්ගේ දෙවියන් බවට පත් වෙලා.

නමුත් ක්‍රිස්තුස් මෙන්ම ඔහුගේ අනුගාමිකයන් ඉගැන්වූ හා අනුගමනය කළ දේට වඩා එම ජීවන රටාව හුඟක් වෙනස්. යේසුස් ඉගැන්නුවේ තමන්ට කැමති දේවල් විතරක් තෝරගෙන අනිත් ඒවා අයින් කරන්න කියලා නෙවෙයි. ඔහු පැවසුවේ “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම් ඔහු තමාවම නොසලකා දවස්පතා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා” කියායි. පෞද්ගලික කැප කිරීම් කරමින් හා මහත් වෑයමක් දරමින් ක්‍රිස්තියානි දිවි මඟේ යන්න කියා ඔහු ජනයාට ඉගැන්නුවා.—ලූක් 9:23.

උතුරු අමෙරිකාවේ ආගමික වෙළඳාම

කැනඩාවේ බොහෝදෙනා ආගම දහමට ලැදියාවක් දක්වන්නේ නැහැ. එහෙත් එක්සත් ජනපදයේ ජනයා තම ඇදහිල්ල ගැන බැරෑරුම්ව සිතනවා. එහි සමීක්ෂණයකට භාජන කළ සංඛ්‍යාවෙන් සියයට 40ක් කියා සිටියේ සෑම සතියකම ඔවුන් පල්ලි යන බවයි. නමුත් පොදුවේ සොයා බැලුවොත් එම ගණන සියයට 20කට ආසන්න වෙයි. සියයට 60කට වඩා පවසන්නේ බයිබලය දේවවචනය බව තමන් විශ්වාස කරන බවයි. එනමුත් ඔවුන් එක පල්ලියකට යන්නේ ටික කාලයකට විතරයි. ඊට හේතුව එක්සත් ජනපදයේ පල්ලි යන්නන්ගෙන් හුඟදෙනෙක් නිතරම ඔවුන්ගේ ආගම වෙනස් කිරීමයි. දේවගැතිවරයාගේ ප්‍රසිද්ධත්වය හා ඔහුට ලැබෙන සැලකිල්ල හීන වී ගියොත් ඔහුගේ පල්ලියට එන සෙනඟ අඩු වෙයි. එය දේවගැතිවරයාට ලැබෙන මුදල් හිඟවීමටත් හේතුවක්.

තම දේවමෙහෙයන් වෙත මහජනයාව ඇදගැනීමේ ක්‍රම ගැන ඇතැම් පල්ලි හදාරමින් සිටිනවා. එවැනි පල්ලි මගින් ඩොලර් දහස් ගණනක් වැය කරනවා සාර්ථක ව්‍යාපාරික අදහස් හා උපදෙස් ලබාගැනීමට. මේ සම්බන්ධයෙන් එක් දේවගැතිවරයෙක් පැවසුවේ “එය විශාල ආයෝජනයක්” කියායි. ද වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ දි ඉකොනොමිස්ට් යන සඟරා ව්‍යාපාරික සඟරායි. නමුත් මේ සඟරාවල පවා සෙනඟ දහස් ගණනක් ඇදී එන පල්ලිවලට ලැබෙන විශාල ආදායම ගැන වාර්තා කර තිබෙනවා. එහි පවසන්නේ එම පල්ලිවලට යනවා නම් ‘මනසටත්, ආත්මයටත්, ශරීරයටත් යමක් ලබාගත හැකියි’ කියායි. එවැනි පල්ලි භූමියක අවන්හල්, රූපලාවන්‍යාගාර, ශරීර සුවතා පහසුකම් සහ ක්‍රීඩා පහසුකම්ද තිබෙනවා විය හැකියි. ඊට අමතරව නාට්‍යයන් නැරඹීමටත්, ප්‍රසිද්ධ පුද්ගලයන්ව හමුවීමටත්, නවීන සංගීතයේ රසාස්වාදය විඳීමටත් පුළුවන්. නමුත් එහි දේවගැතිවරුන්ගේ දේශනවලට ඇතුළත් වී තිබෙන්නේ කුමක්ද?

‘සාර්ථකත්වය හා ධනය ලබාගැනීම’ ඔවුන්ගේ තේමාව වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන් තම සැදැහැවතුන්ට පවසන්නේ ලෝභ නැතුව තම පල්ලියට සම්මාදම් දමනවා නම් ඔවුන්ට ධනවත් විය හැකි බවයි. හොඳ නරක සම්බන්ධයෙන් බලද්දී, මොනවා කළත් දෙවි ඉවසන බවයි ඔවුන් පවසන්නේ. සමාජ විද්‍යාඥයෙකුගේ අදහස මෙයයි. “අමෙරිකානු පල්ලිවල පූජකයන් මිනිසුන්ව විනිශ්චය කරන්නේ නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ ජනයාව සිත්තැවුල්වලින් මුදා ඔවුන්ට විවේකයක් ලබා දීමටයි.” ජනයා අතරේ ප්‍රසිද්ධ වී තිබෙන සමහර ආගම්වල උගන්වන්නේ තමා විසින්ම තම ජීවිතය සාර්ථක කරගන්නා ආකාරය ගැනයි. ඒ වගේම එක ආගමකට ආවේණික ඉගැන්වීම් තුළ රැඳී සිටීමට කැමැත්තක් නොදක්වන නිසා දැන් වැඩි වැඩියෙන් සෙනඟ එක් රොක් වෙන්නේ තමන්ට කැමති දේ උගන්වන පල්ලිවලටයි. එහෙත් බොහෝවිට එහිදී උනන්දු කරන්නේ දේශපාලනයට හවුල් වෙන්න කියායි. මෙලෙස දේශපාලනයට හවුල් වීම නිසා මෙවැනි පල්ලිවල සමහර පූජකයන් අපහසුතාවට පත් වී තිබෙනවා.

උතුරු අමෙරිකාවේ නව ආගමික පිබිදීමක් සිදු වී ඇද්ද? “කෑගැසීම, සිහි නැති වී ඇදවැටීම, අඩි හැප්පීම” මෙන්ම වෙනත් ආගමික වතාවත්ද සිදු කරමින් දේවමෙහෙයන් පැවැත්වීම ජනප්‍රිය වී ඇති බව 2005දී නිව්ස්වීක් සඟරාවේ වාර්තා වුණා. “මෙවැනි පිබිදීමකින් අදහස් වන්නේ මෙහි ජනයා දැන් වැඩි වැඩියෙන් පල්ලි යන බව නම් නෙවෙයි.” සමීක්ෂණවලින් සොයාගෙන තිබෙන්නේ බොහෝ අය නිශ්චිත පල්ලියකට බැඳී නැති බවයි. සමහර පල්ලිවල සෙනඟ වැඩි වෙන්නේ අනිත් ඒවාවල සෙනඟ අඩු වෙන නිසයි. ජනයා දැන් පාරම්පරාවෙන් එන ආගමික සිරිත් විරිත් හා වතාවත්වලින් ඈත් වෙමින් සිටිනවා.

ලතින් අමෙරිකාවේ පල්ලි බෙදී යන ආකාරයත්, යුරෝපයේ පල්ලි වැසී යන ආකාරයත්, එක්සත් ජනපදයේ පල්ලි සෙනඟ රඳවාගැනීම සඳහා විනෝදාස්වාදයක් පවා ලබා දීමට ඉදිරිපත් වී සිටින ආකාරයත් අපි ඉහත කෙටියෙන් සාකච්ඡා කළා. සෑම පල්ලියකම මෙවැනි තත්වයක් නොතිබෙන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් බලන කල එකක් පැහැදිලියි. එවැනි පල්ලි මහත් වෑයමක් දරන්නේ තම සෙනඟ රඳවා තබාගැනීමටයි. මින් අදහස් වන්නේ ක්‍රිස්තු ධර්මය අභාවයට යමින් තිබෙන බවද?

[6වන පිටුවේ කොටුව⁄පින්තූර]

“ආගම සුපිරි වෙළඳපොළක් වෙලා”

ප්‍රංශ කතෝලික සභාවේ ජාතික වෘත්තීය සේවාවේ අධ්‍යක්ෂක පවසා තිබෙන්නේ මෙලෙසයි. “දැන් ආගම හරියට වෙළඳපොළක් වගෙයි. තමන්ට ඕන දේවල් ලබාගන්නවා. ඉන්පසු තවත් එකකට යනවා.” යුරෝපීය ආගම පිළිබඳ අධ්‍යයනයක යෙදුණු බ්‍රිතාන්‍යයේ එක්සිටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ග්‍රේස් ඩේවී මෙවැන්නක් කිව්වා. “මිනිස්සු දැන් එක එක පල්ලිවලට ගිහින් තමන්ට කැමති දේ පමණයි ලබාගන්නේ. ධර්මයට අනුව නොව තමන්ට ඕන විදිහටයි ධර්මය පිළිපදින්නේ. ඔවුන් දැන් ආගම අච්චාරුවක් කරගෙන.”

[4, 5වන පිටුවේ පින්තූර]

ඉතාලියේ නේපල්ස්හි පල්ලියක කුරුටු ගාලා

[හිමිකම් විස්තර]

©Doug Scott/age fotostock

[4, 5වන පිටුවේ පින්තූර]

මෙක්සිකෝවේ බොහෝදෙනෙක් කතෝලික පල්ලිය හැර යමින්